අනුරගේ ගමන් බිමන් ගැන තොරතුරු ලබා දීම ජනපති කාර්යාලයෙන් ප්‍රතික්ෂේප කරයි.

ජනාධිපතිවරයාගේ දේශීය ගමන් බිමන් පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුකළ ඉල්ලීමක් ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ. විශේෂයෙන් ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරබයා පෞද්ගලික සහ රාජකාරි ගමන් සම්බන්ධ නීතිමය විභාගවීමක් අතරතුර මෙම සිදුවීම වාර්තා වීම දෛවෝපගත ය. ජිනාත් ප්‍රේමරත්න විසින් කරන ලද මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, අදාළ තොරතුරු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු බව සඳහන් කරමිනි. මේ සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනතේ 5(1)(ආ) වගන්තිය යොදාගෙන තිබේ.

ජනාධිපතිවරයෙකුගේ ගමන් බිමන්වල ආරක්ෂාව ඉතා වැදගත් බව සත්‍යයකි. නමුත්, ඉල්ලා සිටින තොරතුරු මොනවාද සහ ඒවායේ ‘සංවේදීතාව’ කුමක්ද යන්න ප්‍රශ්න කිරීමේ අයිතිය ද ජනතාව සතු ය. නිදසුනක් ලෙස, ඔහු අනාගතයේ යෑමට නියමිත ස්ථාන හෝ ගමන් මාර්ග පිළිබඳව තොරතුරු ඉල්ලීම ආරක්ෂාවට තර්ජනයක් විය හැකි වුවත්, දැනටමත් සිදුකර අවසන් ගමන් බිමන් පිළිබඳ තොරතුරු එසේ විය නොහැකි අවස්ථා තිබේ. එම නිසා, සියලුම දේශීය ගමන් තොරතුරු එකම සාධකයකින් සංවේදී යැයි සලකා ප්‍රතික්ෂේප කිරීම සාධාරණ දැයි විමසා බැලිය යුතු ය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය පාලනය විනිවිදභාවයෙන් සහ වගකීමකින් යුතුව සිදුකරන බවට සහතික කිරීම ය. ජනාධිපතිවරයා යනු රාජ්‍යයේ ඉහළම විධායකය වන අතර, ඔහුගේ දේශීය ගමන් බිමන් සඳහා වැය වන්නේ මහජන මුදල් ය. එම මුදල් වැය වූ ආකාරය පිළිබඳව තොරතුරු ඉල්ලීම, මහජන වගකීමක් ඉටුකිරීමක් ලෙස සැලකිය හැකි ය. එම නිසා, ආරක්ෂාව මූලික කරගෙන සම්පූර්ණ තොරතුරු ප්‍රතික්ෂේප කිරීම පාරදෘශ්‍යභාවය පිළිබඳ අරමුණට හානිකර විය හැකි ය.

ප්‍රතික්ෂේප කිරීමේ ලිපිය මගින් දින 14ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දී තිබේ. මෙය නීතියට අනුව සිදුවන්නක් වුවත්, මූලික ඉල්ලීමම මෙලෙස ප්‍රතික්ෂේප වීම, මෙම ක්‍රියාවලියේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්න මතු කරයි. මහජනයාට අවශ්‍ය වන්නේ තොරතුරු මිස නිරන්තරයෙන් අභියාචනා කිරීමට යෑම නොවේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමේදී තවමත් අභියෝග තිබෙන බව මෙම සිදුවීම මගින් ද පැහැදිලිව පෙනේ. රාජ්‍ය ආයතන, විශේෂයෙන්ම ඉහළම ආයතන, මෙම නීතියේ මූලික අරමුණු අවබෝධ කරගෙන, සුළු හේතූන් මත තොරතුරු ප්‍රතික්ෂේප නොකිරීමට වගබලා ගත යුතු ය. එසේ නොවුණහොත්, මෙම පනත හුදෙක් නීති පොතට පමණක් සීමා වූ එකක් බවට පත් විය හැකි බව ලියා තබමි.

ප්‍රයිවට් ලිමිටඩ් කියන්නෙ ව්‍යාපාර ආකෘතියක්. ඒක රජය සතුයි.

ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 4 කට වෙන් කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. ඔහු විසින් තම නිල ෆේස් බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේ ය.

උපුටා ගැනීම:

“නවලිබරල් ප්‍රතිපත්ති මත බලශක්තිය පුද්ගලීකරණය කරනු නොලැබේ..
ලංකාවෙ බලශක්තිය පුද්ගලික ප්‍රාග්ධනය සතු කරගැනීමට දේශපාලනය, You tube චැනල් හා ඊනීයා ආර්ථික උපදේශක ආයතන දශක ගානක උත්සහය පරාදයි
බලශක්තියේ රාජ්‍ය (මහජන)හිමිකාරිත්වය තවත් ශක්තිමත් කර ප්‍රතිව්‍යුහගතකරණය කරනු ලැබේ , අනාගත ආයෝජන සඳහා පුද්ගලික ප්‍රාග්ධනයට විශාල අවස්ථාවක් ඇත
Pvt limited යනු ව්‍යාපාරය ආකෘතියක් බවත් එහි අයිතිය රජය සතු බවත් දරුවන්ට කියල දෙන්න”

උපුටා ගැනීම අවසන්.

නමුත් චතුරංග අබේසිංහ මින් පෙර ප්‍රකාශ කර තිබුණේ රජය විසින් ඩොලර් බිලියන 5ක ආයෝජන ණය වී හෝ ලබා ගන්නා බවත් පුද්ගලික ආයෝජන නොමැති බවත් ය.

මෙසේ පෞද්ගලික ආයෝජනයන්ට ඉඩ ලබා දෙන්නේ කුමන පදනමකින් ද? සමාගම් 4 කට කැඩීම තුලින් පුද්ගලික ආයෝජනයන්ට ඉඩ පත්වන්නේ කුමන පදනමකින් ද යන්න සම්බන්ධයෙන් තවමත් රජය නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

ගැබ්බර මුවගේ ජීවිතය මස්කළ පාපතරයෝ විල්පත්තුවේදී හසුවේ

විල්පත්තු ජාතික උද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් සිදුකළ මුර සංචාරයක් අතරතුර අද දින අලුයම 12.30ට පමණ රනෝරාව, මීගස්දෙණිය ප්‍රදේශයේ වැටලීමක් කර ඇත.

එහිදී ගැබ්බර මුව දෙනක් මරා දමා මස් කිරීමට සූදානම් වන බව නිරීක්ෂණය වී ඇති අතර එම පාපතරයන් අත්අඩංගුවට ගැනිමට වනජීවී නිලධාරීන් සමත්ව ඇත.

පාපතරයන් සන්තකයේ ගිණි අවි තිබූ නමුත් ඔවුන් යටත් කරගැනීමට නිලධාරීන් සමත් වී ඇති අතර එක් පුද්ගලයෙක් වනජීවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් පළා ගොස් ඇත.

එ අවස්ථාවේදී පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඒ සමග බෝර 12 වර්ගයේ ගිණි අවියක්, පතරොම් ,උල් පිහියක්, යතුරුපැදි දෙකක්, විදුලි පන්දමක් වනජීවී භාරයට ගෙන ඇත.

මෙම සැකකරුවන් සහ නඩු භාණ්ඩ අද දින නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පලාගිය සැකකරු සොයා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කොන්ඩම් පාසල් පෙළපොතට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන, HIV/STI වැළැක්වීමේ ක්‍රමවේද පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට යෝජනා කර ඇත.

ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් 10 ශ්‍රේණියේ විද්‍යා පොතට කොන්ඩම් භාවිතය, පෙර නිරාවරණ ප්‍රතිකාර (PrEP) සහ පසු නිරාවරණ ප්‍රතිකාර (PEP) ඇතුළත් කිරීමට නියමිතය.

විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය ඩේලි මිරර් පුවත්පතට සඳහන් කළේ, දැනට විද්‍යා හා සෞඛ්‍ය–ශාරීරික අධ්‍යාපන පෙළපොත් තුළ HIV වැළැක්වීම “වගකිවයුතු ලිංගික හැසිරීම” ලෙස පමණක් සඳහන් වන අතර, නියමිත ජෛව–වෛද්‍ය ක්‍රමවේද සම්බන්ධයෙන් කිසිදු විස්තරයක් නොමැති බවයි.

ඒ හේතුවෙන්, සිසුන් ප්‍රමාණවත් දැනුවත් නොවන බව ජාතික ඒඩ්ස් සභාවේ මෑත වාර්තාවකින්ද අනාවරණය වී ඇත.

2024 ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණය අනුව, සිසුන්ගෙන් 63%ක් පමණක් HIV/AIDS පිළිබඳව දැනුවත් වී ඇති අතර, 2016 වසරේදී මෙම අගය 77%ක් වූ බවද වාර්තාවෙන් දැක්වෙයි. ඒ මෙන්ම, “HIV ආසාදනය වළක්වා ගන්නේ කෙසේද” යන්න පිළිබඳව පාසල් මට්ටමින් ඉගැන්වීම ලබා ඇති සිසුන්ගේ සංඛ්‍යාව 2016 දී 67.1% සිට 2024දී 44.2% දක්වා පහත වැටී ඇත.

එසේම, සිසුන්ගෙන් 4.6%ක් තමන් ලිංගික සබඳතා පවත්වා ඇති බව පිළිගෙන ඇති අතර, මෙය කඩිනම් අධ්‍යාපන අවශ්‍යතාවය තවදුරටත් අවධාරණය කරන බවත් වෛද්‍යවරිය සඳහන් කළාය.

මෙම ගැටලු සඳහා විසඳුම් ලෙස, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යුනෙස්කෝ මාර්ගෝපදේශ අනුව “ජීවිතය ඉගෙන ගනිමු” (Let’s Learn Life) නමින් නව විස්තීර්ණ ලිංගික අධ්‍යාපන පැකේජයක් සකස් කරමින් සිටින බවද වාර්තා වේ.

ඊට අමතරව, විෂය නිර්දේශ සංශෝධනයට සමගාමීව ගුරුවරුන් සහ පාසල් උපදේශකවරුන් සඳහාද HIV වැළැක්වීමේ උපාය මාර්ග පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිත බවත් ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.

ලංවිම සේවකයෝ රංජන් ජයලාල්ට හෙණ ඉල්ලති..! වස් කවි කියති..!

දශක තුනක කාලයක් තිස්සේ ලංවිමය රැකගනිමු,, කියමින් බෙරිහන් දුන් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, වත්මන් කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්ගේ මුව නිහඬ කරමින් නව විදුලි බල පනතට අනුව, සමාගමකට අනුයුක්ත වීමට අකමැති ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රංජන් ජයලාල්ලාගේ කතාවට රැවටුණු ලංවිම සේවකයින් දැන් කරකියා ගන්නට දෙයක් නොමැතිව බලාපොරොත්තු රහිතව දෙස් දෙවොල් තබමින් සිටී.

රංජන් ජයලාල් ඇතුළු වත්මන් ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවේ නියෝජිතයින් දැන් මුව ගොළු වී කිසිවකට උත්තර නොදෙමින් සිටින අතර, ලංවිම සේවකයින් ඔවුන්ට එරෙහිව වස් කවි පවා පද බැඳ තිබේ. පහතින් දැක්වෙන්නේ එම වස් කවි ය.

ලංවිමය යනු තමන්ගේ අම්මා ය. තමන්ගේ අම්මා විකිණීමට කිසිවෙකුට ඉඩ නොදෙන්නේ ය කියා රංජන් ජයලාල් ලා කියූ කතා දැන් ඔවුන්ටම පාරාවළල්ලක් වී තිබේ. එහෙත් ඔහුට ඉන් වන පාඩුවක් නම් නැත. ඔහු දැන් කඩුවෙල නගරාධිපති ය.. ඒ මස් කට්ට ඔහුට හොඳටම රස වැටී තිබේ.

මින් පෙර ලංකා විදුලි බල මණ්ඩලය විකුණා දැමීමට එරෙහිව ලංකා විදුලි සේවක සංගමය විසින් දමන ලද සමාජ මාධ්‍ය පෝස්ට්වල කමෙන්ට් කිරීම අවහිර කොට තිබේ. එසේ වීරයන් සේ පෝස්ට් දැමූ, සිංහ නාද කළ වෘත්තීය සමිති නායකයින් දැන් බලු කෙඳිරිල්ලක් නගන්නේ නැති තරමට නිවට වී සිටීම හාස්‍යජනක ය.

ලංවිම සේවකයන්ගේ සමාජ මාධ්‍ය ගෲප්වල රංජන් ජයලාල්ලාගේ දරුවන්ට ද හෙණ ඉල්ලමින් තිබේ.

අවුරුදු 5ක් තුළ එක ළමා අපයෝජන නඩුවකටවත් අධිචෝදනා ගොනු කරලා නෑ

නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තා අනුව 2019 සිට 2023 දක්වා කාලය තුළ ළමා අපයෝජනය සම්බන්ධ ගොනු 24,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබුණද, ඒ අතරින් එක් නඩුවකටවත් අධි චෝදනාවක් යොමු කර නොමැති බව අනාවරණය වී ඇත.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ “ළමා අහිංසනයට තිත” සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක අවධාරණය කළේ, නඩු ඉක්මනින් විභාග නොවීම සහ නීති ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය නිසා ළමා අපයෝජනයට ලක් වූ දරුවන්ට යුක්තිය හිමි නොවීමේ විශාල අවදානමක් ඇතිව ඇති බවයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්තා අනුවත්, පසුගිය වසර දහයකදී ළමා අපයෝජන වාර්තා 30%කින් වැඩි වී ඇති අතර, පොලිස් වාර්තා අනුවද ළමා අපයෝජන බරපතල අපරාධ අතර හයවන ස්ථානයට පත්ව ඇත.

2004 සිට නීතිපති දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති විශේෂ නමාරක්ෂණ අංශය මගින් මෙවැනි නඩු සක්‍රීයව විභාග කිරීමට නියමිතය. නමුත්, වාර්ෂික වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනාවරණය වන්නේ, දහස් ගණන් ගොනු ලැබෙද්දී අවසන් වන්නේ ඉතාම අඩු ගණනක නඩු පමණක් යන තත්ත්වයයි.

ඉහත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥයන් පෙන්වා දෙන්නේ නඩු අවසන් කිරීමට අවුරුදු ගණනක් ගන්නා අතර,දරුවන් වැඩිවියට පත්වී එම සිදුවීම් පිළිබඳව සාක්ෂි දීමට උනන්දු නොවන තත්ත්වයක් ඇතිවන බවයි.

ඒ හේතුවෙන් බොහෝ නඩු අවසන් වන්නේ අහෝසිවීමෙන් බවද ඔවුන් අවධාරණය කළේය.

මේ පිළිබදව වෛද්‍ය තුෂ් වික්‍රමනායක වැඩිදුරටත් සඳහන් කළේ,

දේශපාලන නඩු වලට චූන් වෙන රටක අවුරුදු 5ක් තිස්සෙ එක ළමා අපයෝජන නඩුවකටවත් අධිචෝදනා ගොනු කරලා නෑ කියන්නෙ අපේ මිනිස්සු කොයි තරම් බංකොලොත්ද!!!

ඕගොල්ලො තාමත් හිතන්නෙ වංචා දූෂණ කියන්නෙ දේශපාලකයින් හඹා යාම කියල…ඕගොල්ලො තාමත් හිතන්නෙ රට බංකොලොත් වෙලා තියෙන්නෙ ආර්ථිකයෙන් කියලා…ඕගොල්ලො තාමත් හිතන්නෙ මිලියන 22ක් පුරවැසියන් ඉන්න 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්න රටක අකර්මණ්‍යතාවයට වෘත්තිකයාගෙ වගවීමක් නෑ කියලා…

දින 7ක විශේෂ මෙහෙයුමෙන් පද්මෙලව ඇල්ලූ හැටි

අත්අඩංගුවට පත් වූ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමවලින් හඳුන්වා ගන්නා අපරාධ කල්ලි සාමාජිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දුනීසියානු බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ඒ අනුව, ඔවුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා, නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.

මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා දින 07 ක පමණ මෙහෙයුමක් සිදු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීමට රජය කැපවෙනවා – ජනපති

දේශීය සෙරමික් කර්මාන්තය මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳ අදහස් හා යෝජනා විමසීමට ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) පස්වරුවේ පැවැත්වුණා.

මෙහිදී කර්මාන්තශාලා හිමියන් හා දේශීය ව්‍යාපාරිකයින් එක්වූ අතර, අපනයන ආදායම වැඩි කිරීම, දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීම සහ නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු විය.

විශේෂයෙන් ටයිල්, නානකාමර උපකරණ සහ සනීපාරක්ෂක භාණ්ඩ ආදිය ඇතුළු සෙරමික් නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ආරක්ෂා කිරීම පිළිබඳ තීරනාත්මක සංවාද පැවැත්වුණා.

ජනපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, ගුණාත්මක හා ප්‍රමිතියෙන් යුත් දේශීය සෙරමික් නිෂ්පාදන ජනතාවට සාධාරණ මිලකට ලබාදීම සඳහා රජය ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බවයි.

කෙහෙල්බද්දර පද්මේ සමග මාට්ටු වුණු සැකකරුවන්ගේ නම් ලැයිස්තුව හෙළි වේ.

‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සාලින්ද’ ඇතුළු ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් හය දෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පැවසීය.

ශ්‍රී ලංකා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ කණ්ඩායමක් සහ ඉන්දුනීසියානු පොලිසිය විසින් ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අත්අඩංගුවටගත් පිරිස අතරට කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වාගන්නා අපරාධ කල්ලි සාමාජිකයින් සිටින බව පොලීසිය පැවසුවේය.

ඊට අමතරව, බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ සහ තුන් හැවිරිදි දරුවෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

රනිල් නිසා විපක්ෂය පළල් වෙයි..!

ලංකාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ එකමුතුවක්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්අඩංගුවට ගැනීමෙන් පසු එක්ව ඉදිරියට යාමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මෙහි මූලික අරමුණ වන්නේ අභ්‍යන්තර ගැටුම් සහ අන්‍යෝන්‍ය තරඟකාරී අවශ්‍යතා පසෙකලා අනාගතයේදී මැතිවරණ සන්ධානයක් පිහිටුවා ගැනීමයි.

රනිල් වික්‍රමසිංහට ඇප ලබා ගැනීම සඳහා එක්ව කටයුතු කළ සමගි ජන බලවේගය (SJB), එක්සත් ජාතික පක්ෂය (UNP), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP), සහ මහජන සන්ධානය (PA) යන ප්‍රධාන පක්ෂවලට අමතරව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, සහ ලංකා කම්කරු කොංග්‍රසය (CWC) ද මෙම එකමුතුවට එක්ව තිබේ.

හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය අරමුදල් විදේශ සංචාරයක් සඳහා අයුතු ලෙස භාවිතා කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු, මෙම පක්ෂ එකමුතුව රජයේ ක්‍රියා කලාපය ‘දේශපාලන පළිගැනීමක්’ ලෙස හඳුන්වා දී එයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

මෙම සාකච්ඡාවලට සහභාගි වූ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසා ඇත්තේ, රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල විරෝධතාවයේ නිරත වූවන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමට රජය දරන උත්සාහය සොයා බැලීම සඳහා නීතිඥ කමිටුවක් පත් කළ බවයි. කෙසේ වෙතත්, පෙර දින සාකච්ඡාවලදී මැතිවරණ සන්ධානයක් පිහිටුවීම පිළිබඳව කිසිවක් සාකච්ඡා නොකළ බවද ඔහු පැවසීය. “ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව අපි එකට සිටිය යුතුයි,”

මෙම රැස්වීමට මහජන සන්ධානය නියෝජනය කරමින් සහභාගි වූ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසා ඇත්තේ, වහාම මැතිවරණ සන්ධානයක් පිහිටුවීම පිළිබඳව අවධානය යොමු නොවූ බවත්, වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී අභියෝගවලට මුහුණ දීම පිළිබඳව සාකච්ඡා කළ බවත්ය. කෙසේ වෙතත්, අනාගතයේදී අවශ්‍යතාව මතුවුවහොත් එවැනි සන්ධානයක් පිහිටුවීමේ හැකියාවක් ඇති බව ඔහු ප්‍රතික්ෂේප කළේ නැත.

සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු වන හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ, මැතිවරණ සන්ධානයකට අදාළ කරුණු මීට පෙර අවස්ථාවකදී සාකච්ඡා කළ බවත්, නමුත් පෙර දින සාකච්ඡාවේදී ඊට අදාළව කතා නොකළ බවත්ය. කෙසේ වෙතත්, නව පක්ෂ සහ කණ්ඩායම් ආරාධනා කරමින් සන්ධානය පුළුල් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව නායකයින් සාකච්ඡා කළ බව ඔහු පැවසීය.

අතීතයේදී ද, මේ වසර මුල පැවති පළාත් පාලන මැතිවරණයට පෙර මෙවැනි මැතිවරණ සන්ධාන පිහිටුවීමට උත්සාහ දරා තිබුණත්, පොදු නායකයෙකුට එකඟ වීම සහ වගකීම් බෙදා ගැනීම වැනි අභ්‍යන්තර අභියෝග නිසා එය අසාර්ථක විය.

රජය ප්‍රකාශ කර ඇත්තේ, ලබන වසරේ දී පළාත් සභා මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා බව ය.

Add to cart