කෙහෙල්බද්දර පද්මේ සමග මාට්ටු වුණු සැකකරුවන්ගේ නම් ලැයිස්තුව හෙළි වේ.

‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සාලින්ද’ ඇතුළු ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් හය දෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පැවසීය.

ශ්‍රී ලංකා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ කණ්ඩායමක් සහ ඉන්දුනීසියානු පොලිසිය විසින් ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අත්අඩංගුවටගත් පිරිස අතරට කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වාගන්නා අපරාධ කල්ලි සාමාජිකයින් සිටින බව පොලීසිය පැවසුවේය.

ඊට අමතරව, බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ සහ තුන් හැවිරිදි දරුවෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

රනිල් නිසා විපක්ෂය පළල් වෙයි..!

ලංකාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ එකමුතුවක්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්අඩංගුවට ගැනීමෙන් පසු එක්ව ඉදිරියට යාමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මෙහි මූලික අරමුණ වන්නේ අභ්‍යන්තර ගැටුම් සහ අන්‍යෝන්‍ය තරඟකාරී අවශ්‍යතා පසෙකලා අනාගතයේදී මැතිවරණ සන්ධානයක් පිහිටුවා ගැනීමයි.

රනිල් වික්‍රමසිංහට ඇප ලබා ගැනීම සඳහා එක්ව කටයුතු කළ සමගි ජන බලවේගය (SJB), එක්සත් ජාතික පක්ෂය (UNP), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP), සහ මහජන සන්ධානය (PA) යන ප්‍රධාන පක්ෂවලට අමතරව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, සහ ලංකා කම්කරු කොංග්‍රසය (CWC) ද මෙම එකමුතුවට එක්ව තිබේ.

හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය අරමුදල් විදේශ සංචාරයක් සඳහා අයුතු ලෙස භාවිතා කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු, මෙම පක්ෂ එකමුතුව රජයේ ක්‍රියා කලාපය ‘දේශපාලන පළිගැනීමක්’ ලෙස හඳුන්වා දී එයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

මෙම සාකච්ඡාවලට සහභාගි වූ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසා ඇත්තේ, රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල විරෝධතාවයේ නිරත වූවන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමට රජය දරන උත්සාහය සොයා බැලීම සඳහා නීතිඥ කමිටුවක් පත් කළ බවයි. කෙසේ වෙතත්, පෙර දින සාකච්ඡාවලදී මැතිවරණ සන්ධානයක් පිහිටුවීම පිළිබඳව කිසිවක් සාකච්ඡා නොකළ බවද ඔහු පැවසීය. “ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව අපි එකට සිටිය යුතුයි,”

මෙම රැස්වීමට මහජන සන්ධානය නියෝජනය කරමින් සහභාගි වූ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසා ඇත්තේ, වහාම මැතිවරණ සන්ධානයක් පිහිටුවීම පිළිබඳව අවධානය යොමු නොවූ බවත්, වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී අභියෝගවලට මුහුණ දීම පිළිබඳව සාකච්ඡා කළ බවත්ය. කෙසේ වෙතත්, අනාගතයේදී අවශ්‍යතාව මතුවුවහොත් එවැනි සන්ධානයක් පිහිටුවීමේ හැකියාවක් ඇති බව ඔහු ප්‍රතික්ෂේප කළේ නැත.

සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු වන හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ, මැතිවරණ සන්ධානයකට අදාළ කරුණු මීට පෙර අවස්ථාවකදී සාකච්ඡා කළ බවත්, නමුත් පෙර දින සාකච්ඡාවේදී ඊට අදාළව කතා නොකළ බවත්ය. කෙසේ වෙතත්, නව පක්ෂ සහ කණ්ඩායම් ආරාධනා කරමින් සන්ධානය පුළුල් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව නායකයින් සාකච්ඡා කළ බව ඔහු පැවසීය.

අතීතයේදී ද, මේ වසර මුල පැවති පළාත් පාලන මැතිවරණයට පෙර මෙවැනි මැතිවරණ සන්ධාන පිහිටුවීමට උත්සාහ දරා තිබුණත්, පොදු නායකයෙකුට එකඟ වීම සහ වගකීම් බෙදා ගැනීම වැනි අභ්‍යන්තර අභියෝග නිසා එය අසාර්ථක විය.

රජය ප්‍රකාශ කර ඇත්තේ, ලබන වසරේ දී පළාත් සභා මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා බව ය.

පොලිස් පොතේ පිටු ඉරා කටේ දමාගත් තරුණයාට ඇප

මහව මූලස්ථාන පොලිසියට පැමිණ ප්‍රකාශ ලබා දීමට යද්දී පොලිස් සටහන් පොතේ පිටු දෙකක් ඉරා කටේ දැමූ බවට චෝදනා එල්ලවූ පුද්ගලයෙක් මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ඊයේ (27) ඇප මත මුදා හැරුණි.

මෙම සැකකරු මහව පොල්කටුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුට රජයේ දේපළවලට හානි කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පොලිසිය සදහන් කළේ, මෙම පුද්ගලයා තමාට අපහාස කළේ යැයි පවසමින් පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව පැමිණිල්ලක් දා තිබූ බවයි. එහෙත් පළමු වරට පොලිසියට පැමිණිල්ල විමර්ශනය කරන අවස්ථාවේදී සැකකරු නොපැමිණීමත් සමග අනෙක් පාර්ශවයගෙන් ප්‍රකාශ ලබා අවවාද කරමින් එම පැමිණිල්ල අවසන් කර ඇත.

කෙසේ වෙතත්, පසුව නැවත පොලිසියට පැමිණ තම පැමිණිල්ල යළි විභාග කළ යුතු යැයි දැක්වූ සැකකරු පොලිස් පොත බලන ලෙස ඉල්ලීමත් සමග එහි පිටු දෙකක් ඉරා කටේ දැමූ බවයි වාර්තා වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලතුංග මහතාගේ උපදෙස් මත, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බි.එම්. බණ්ඩාර හා පොලිස් සැරයන් අශෝක (35989) මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතියි.

පොලීසියට ගහපු කළුතර මන්ත්‍රීට වැඩ වරදියි

කළුතර නාගරික මන්ත්‍රී ධනුක හෙට්ටිආරච්චි පොලීසිය මගින් අත්තඩංගුවට ගෙන ඇත.

ඒ පසුගිය 26 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පොලිසි නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙනි.

අත්තඩංගුවට පත් සැකකරු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ වන විට ඔහු කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරේ

 

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ පෙන්ශන් එක ගැන බයක් නෑ

යෝජිත ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත් කෙටුම්පත මගින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් අයිතිය ඉවත්කිරීමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ වෙනුවට සිදුකෙරෙන්නේ, 1986 අංක 4 දරන ජනාධිපති අයිතිවාසිකම් පනත යටතේ හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට ලබා දී ඇති අතිරේක වරප්‍රසාද අඩු කිරීම පමණක් බව ද එහිදී පෙන්වා දී ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ, යෝජිත ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති විශේෂ පෙත්සම් හත විභාගයට ගත් අවස්ථාවේදීය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් විභාග කෙරේ.

වැලිකඩ බන්ධනාගාරයේ ඉඩම රනිල්ගේ පරම්පරාවට අයිතිව තිබූ එකක්

වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම රනිල් වික්‍රමසිංහ මහතාගේ පරම්පරාවට අයත්ව තිබුණු ඉඩමක් බවත් ඵහි පත්තිරු තමන් සතු බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කරයි.

අද මල්පාර කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට ඵක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දැක්වු වජිර අබේවර්ධන

”පසුගිය සතිය ශ්‍රී ලංකාවට ඓතිහාසික කළු පැල්ලමක් එල්ල වූ කාල පරිච්ඡේදයක් හැටියටයි අප හඳුනාගෙන තිබෙන්නේ. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම මතක් කරන්න කැමැතියි ඊයේ දිනයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරලා ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ පණිවුඩයක් නිකුත් කරලා තිබුනා. ඒ පණිවුඩයේ මෙසේ කියනවා.”

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව විසින් එහි කලක් එහි උපසභාපති වරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය දැඩි කණස්සල්ල පලකොට තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්වය සීඝ්‍ර පිරිහීමක් දක්නට ලැබිනි. එබැවින් නිසි අධීක්ෂණයක් යටතේ ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව බන්ධනාගර රැඳවුමෙන් නිදහස් කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා“.
ඒ වගේම මම දැක්කා රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන රෝගී තත්ත්වයන් පිළිබඳව සමාජ මාධ්‍යවල නොයෙක් අය විවිධ අදහස් ප්‍රකාශයට පත් කරනවා.
මං හිතන්නෙ එතුමාගේ ජීවිතය එතුමා කළමනාකාරීත්වය කරගෙන තිබෙන්නේම යම්කිසි රටාවකට. එතකොට ඒ රටාව සමහර ව්‍යායාම තුළින් වෙන්න පුලුවන්, නියමිත වෙලාවට ආහාර ගන්නවා වෙන්න පුලුවන්. දවල් 12.30 ට මල් පාරේ වැඩ කරනවා වෙන්න පුලුවන්, පැය 2 ක් ආපසු විවේක ගන්නවා වෙන්න පුලුවන්. නැවත ආපසු 03 ට පටන් අරන් රෑ 10 ට වැඩ අවසන් කරනවා වෙන්න පුලුවන්. මෙන්න මේ ආකාරයට තමයි එතුමා එදිනෙදා වැඩකටයුතු වල නිරත වුණේ. මේ අවස්ථාවේදී එතුමාගේ ඒ රටාවට බරපතල පීඩනයක් දීලා එතුමාගේ සෞඛ්‍ය තත්වය පිරිහීමට ලක් කළා.
ඒ වගේම තවත් සුවිශේෂී කරුණක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්න අරගෙන ගියෙත් එතුමාගේ පරම්පරාවට, එහෙමත් නැතිනම් එතුමාගේ මිත්තණියට අයිතිව තිබුණු අක්කර 43 ක වැලිකඩ බන්ධනාගාර භූමියට.
ඉතින් මේ ස්ථානයට අයිතිකරුවන් වෙන්නෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුලු ඒ පවුලේ සාමාජිකයන්. එතකොට ඒකත් දෛවෝපගත අවාසනාවන්ත අවස්ථාවක්.”

”වැලිකඩ බන්ධනාගාරය පිහිටි පත්තිරු සටහන් මගේ ලඟ තිබෙනවා, එයින් පිටපතක් මාධ්‍යයට ලබා දෙන්නම්. එතකොට මාධ්‍යයටත් ශ්‍රී ලාංකික මහජනතාවටත් දැනගන්න පුලුවන් එවැනි පරපුරක සාමාජිකයෙකුට සිදුවූ මහා ඛේදජනක හැසිරීමක් හැටියටයි මා මේ අවස්තාව දකින්නේ.” අවසන් වශයෙන් එකක් කියන්න කැමතියි,
ඇත්තටම ශ්‍රී ලාංකික සමස්ත දේශපාලන පක්ෂ, සියලු බලවේග, සමස්ත නීතීඥ ප්‍රජාව, සියලුම වෛද්‍ය කණ්ඩායම් එතුමා වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම අවසානයේ එතුමාට ඇප තැබීම සඳහා වෛද්‍යවරුන් නිවාඩු දාලා උසාවි භූමියෙන් වතුර එකක් හෝ නොබී රැඳී සිටියා, අපියි එතුමාට ඇප වලට අත්සන් කරන්නෙ කියලා. වෛද්‍යවරුන්මයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ඇප අත්සන් කළේ. ඒ නිසා ඒ වෙනුවෙන් කැපවුන සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට අපේ පක්ෂයේ ගෞරවයත්, ස්තූතියත් මේ අවස්ථාවේදී අපි රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පුද කර සිටිනවා.”

හිටපු නාවික හමුදාපති රිමාන්ඩ්

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අද (27) සිට ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබයි.

ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී.පී.ජේ ප්‍රනාන්දු සිදුකළ නියෝගය පරිදියි.

නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස නිශාන්ත උළුගේතැන්න කටයුතු කරන සමයේ 2010 අගෝස්තු 26 හෝ ඊට ආසන්න දිනකදි අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නවතා සිටි පුද්ගලයකුගේ දෑස් බැඳ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමක ඔහුට විරුද්ධව ඇති චෝදනාවයි.

ඒ සම්බන්ද නඩුවකට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පසුගිය ජූලි 28 පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

ජූලි 30 වනදා පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී පී ජේ ප්‍රනාන්දු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 27 දින නැවත නඩුව කැඳවන බවත් එදිනට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාරයට නියෝග කර තිබුණි.

ඒ අනුව අද (27) හිටපු නාවික හමුදාපති වරයා ඇතුළු තවත් සැකකරුවන් 11 දෙනෙකු අධිකරණය හමුවේ පෙනි සිටියහ.

මෙහිදි විත්තිය වෙනුවෙන් කරුණු දැක්වු ජනාධිපති නිතිඥ මහේෂ් රුක්ෂාන් ඇතුළු කණ්ඩායමේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේත් කරුණු කෙරෙහි අවධානය යොමුකල මහේස්ත්‍රාත් පී.පී.ජේ ප්‍රනාන්දු දැනට ඇප මත මුදාහැර සිටින 1 සිට 9 දක්වා වු සැකකරුවන් හැර 10 සහ 11 වන සැකකරුවන් සැප්තැම්බර් 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියෝග කලේය.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මෙම නඩුවේ 11 වන සැකකරු වේ.

 

 

ජනපති, අගමැතිනිය සහ කැබිනට් මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශව ඉදිරිපත් කළ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියම කරන ලදී.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවා තිබූ මෙම නඩුවේදී, නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ට මෙතෙක් නොතීසි නොලැබී ඇති බවයි.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් විසින් ඉල්ලා සිටියේ, මෙම නඩුව ඉක්මනින් සලකා බැලීමට දිනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව, අගමැති හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ ජනාධිපතිවරයා ඇතුළු 31 දෙනෙකුට නැවත නොතීසි නිකුත් කරන ලෙස නියෝග කරන ලදි.

පෙත්සම්කරුවන්ගේ අදහස් අනුව, ඉන්දියාව සමග ඇති ඩිජිටල් හැඳුනුම්පත් ගිවිසුමෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඉන්දියාවට බාර දෙනු ලබන අතර, එය ජාතික ආරක්ෂාව, ආර්ථිකය හා ස්වෛරීභාවයට බරපතළ බලපෑම් කළ හැකි ය. එවැනි කටයුතුවලට අදාළ කැබිනට් තීන්දුවලට මහජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කර නොතිබුණ බවද ඔවුන් පෙන්වා දී තිබුණි.

ඉහත කරුණු පදනම් කරගෙන, ඉන්දියාව සමග ඇති කරගත් ගිවිසුම සහ එයට අදාළ කැබිනට් තීන්දු අහෝසි කිරීමට සහ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම වැළැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලීම් කර තිබෙයි.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු, අධිකරණය ඔහුට ඇප නියම කළේය.

රු. ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් යටතේ ඔහු නිදහස් කරන ලද අතර, විදෙස් ගමන් තහනමක්ද අදාළ අධිකරණය මගින් නියම කර තිබේ.

 

රනිල්ගේ රෝග විනිශ්චයත් එජාපයෙන්ම ද ?

 

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වර්තමාන සෞඛ්‍ය තත්වය සළකා බලා ඊයේ දින නිකුත් කරන ලද වෛද්‍ය මණ්ඩල විනිශ්චයකට අනුව ඔහුට ඇප ලබාදීම සිදු කෙරිණි.

අදාළ විනිශ්චය සඳහා සම්බන්ධ වූ වෛද්‍ය මණ්ඩලයේ සිටින වෛද්‍යවරයෙකු වූයේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ය. මෙහි දී විශේෂ අවධානයට ලක්වන්නේ ඔහුගේ දේශපාලනයයි. වෛද්‍ය බෙල්ලන මහතා එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසන සංවිධායකයෙකු ලෙසද මේ වනවිට කටයුතු කරයි.

මෙම තත්ත්වය යටතේ, එජාපයේ හිටපු නායකයකු වන රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීම සඳහා වෛද්‍ය නිර්දේශය දේශපාලන බලපෑමකට ලක්වී තිබේද? යන්න ගැටලුවකි.

Add to cart