තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය අවසන් කරයි

 

අඛණ්ඩව දින 6ක් පුරා පැවති තැපැල් වැඩ වර්ජනය, විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අද (24) පස්වරු 4.00 සිට අවසන් කිරීමට තැපැල් සේවකයෝ එකඟ වූහ. අමාත්‍යවරයා මේ බව මාධ්‍යයට ප්‍රකාශ කළේය.

සාකච්ඡාවේදී, වෘත්තීය සමිති ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීම් දෙකක් සම්බන්ධයෙන් රජය සාකච්ඡා කිරීමට සූදානම් නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළ අතර, ඉතිරි ඉල්ලීම් 17 සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එකඟතාව පළ කළේය.

“වැඩ වර්ජනය කළ සියලුම තැපැල් සේවකයින් දින 6ක් පුරා සිදුවූ පාඩුව පියවීමට සහ ගොඩගැසී ඇති ලිපි හා පාර්සල් කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරනු ඇතැයි” තමා බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගල් අඟුරු ටෙන්ඩරය ඉදිරියට ගෙනයනවා බලශක්ති අමාත්‍යාංශය කියයි

 

මතභේදයට තුඩු දී ඇති නොරොච්චෝල ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු නොකරන බව බලශක්ති අමාත්‍යාංශය ඊයේ (23) නිවේදනය කළා. අමාත්‍යාංශය පැවසුවේ මෙම ටෙන්ඩරය සැලසුම් කළ පරිදිම ඉදිරියට ගෙන යන බවයි.

මෙම මතභේදය පැන නැඟුණේ මෙට්‍රික් ටොන් මිලියන 2.25ක ගල් අඟුරු මිලදී ගැනීමට අදාළවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පසුගිය සතියේ චෝදනා කළේ, මෙම ටෙන්ඩරය මගින් නිශ්චිත සැපයුම්කරුවකුට අසාධාරණ වාසියක් ලබා දීමට කටයුතු කර ඇති බවයි.

චානක මහතා පෙන්වා දුන්නේ, ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව ටෙන්ඩර් අයදුම්පත් සඳහා සති හයක කාලයක් අවශ්‍ය වුවත්, මේ සඳහා ලබා දී ඇත්තේ සති තුනක කාලයක් පමණක් බවයි.

සාමාන්‍යයෙන් පෙබරවාරි-මාර්තු මාසවලදී ටෙන්ඩර් නිකුත් කළද, මෙවර අගෝස්තු මාසයේදී එය නිකුත් කිරීමේ ප්‍රමාදය නිසා නොවැම්බර් මාසයේදී ගල් අඟුරු නැව්ගත කිරීම ආරම්භ වීමට ඉඩ ඇති බවත්, එයින් ගල් අඟුරු හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත්, මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අවධාරණය කළේ, ක්‍රියාපටිපාටියේ කිසිදු අක්‍රමිකතාවක් නොමැති නිසා ටෙන්ඩරය අවලංගු කිරීමට කිසිදු හේතුවක් නොමැති බවයි.

2024/25 ටෙන්ඩරය අවස්ථා ගණනාවකදී දීර්ඝ කිරීමෙන් පසු පසුගිය වසරේ ජූලි 8 වනදා නිල වශයෙන් අවසන් කෙරුණු අතර, ජූලි මාසයේදී මෙම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ටෙන්ඩර් කමිටුවක් පත් කරන ලදී.

රනිල්ට එළියට එන්න දෙන්න එපා..! පෙරටුගාමීන් කියයි

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව “නයාට ගහලා පොල්ල වරද්දා ගත්තොත් නයා ආයෙත් දෂ්ට කරනවා,රනිල්ට 26 එළියට එන්න දෙන්නෙපා” යනුවෙන් අද නිට්ටඹුවේදී ප්‍රකාශ කළේය.

පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ඇතැම් කොටස්වලින් පවා එල්ල වූ පීඩනය නොතකා, වික්‍රමසිංහට එරෙහිව පියවර ගැනීමට රජය ක්‍රියා කළ බවයි.

ඒ සම්බන්ධයෙන් රජයට ප්‍රශංසා කළ නාගමුව මහතා, වික්‍රමසිංහට එරෙහිව තවදුරටත් පියවර ගැනීමේදී තම පක්ෂය රජයට සහාය දෙන බව ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රනිල්ගෙ අතීතය බටලන්ද වධකාගාරය වැනි චෝදනා සමඟ බැඳී ඇති බවත් ඔහු භයානක පුද්ගලයෙක් බවත්ය

පොලිසියේ 51 දෙනෙකුට උසස්වීම්

 

පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 51 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරී (ASP) ධුරය දක්වා උසස් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, තරග විභාගයකින් පසුව මෙම උසස්වීම් ලබා දුන් බවයි. එම උසස්වීම් 2025 මාර්තු 25 වන දා සිට බලපැවැත්වෙනවා.

මෙම පිරිසට උප පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රේණිවල සේවය කළ නිලධාරීන් සහ නිලධාරිනියන් ඇතුළත්.

උසස්වීම් ලැබූ පිරිස අතර කාන්තා පොලිස් නිලධාරිනියන් තිදෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

රනිල් වෙනුවෙන් කුණු බඩු එකතුවෙලා

රනිල් වික්‍රමසිංහ දින 4කට රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ සිද්ධියත් සමඟ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ, පරාජය කරන ලද විපක්ෂයේ කුණු කොටන් සියලු දෙනා එකතු වී සිටින අතර ඔවුන් තවදුරටත් ප්‍රතික්ෂේප කළ යුතු බව ජන අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ මහතා පැවසුවේය.

බටලන්ද වාර්තාව, පාස්කු ප්‍රහාරය මෙන්ම මහ බැංකු කොල්ලය යන සිද්ධි හමුවේද රනිල් වික්‍රමසිංහට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන අතර ඒවාට අදාළවද ඔහුව අත්අඩංගුවට ගත යුතුව ඇති බවත් එය ඉටුවනතුරුද බලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

”රනිල් වික්‍රමසිංහ උසාවියට ඉදිරිපත් කරන වෙලාවේ විපක්ෂයේ බොහෝ අය ආවා. කුණු බඩු ටික ඔක්කොම එකතු වුණා. නාමල් රාජපක්ෂ රිලා නැටුම නැටුවා. සජිත් ප්‍රේමදාස ගහන්න ඕන බයිලා ඔක්කොම ගැහුවා රනිල් වික්‍රමසිංහට විරුද්ධව. මේ තමයි සාම්ප්‍රදායික විපක්ෂය. මේ තමයි ඔබ පරාද කරපු දේශපාලන කල්ලි. රනිල්ගේ නම තියෙනවා බටලන්ද වාර්තාවේ. රනිල් ගැන තියෙනවා පාස්කු වාර්තාවේ. ඒ වගේම රනිල් ගැන තියෙනවා මහ බැංකු කොල්ලයේ. මෙන්න මේ තුනට රනිල් නිශ්චිතවම අත්අඩංගුවට ගන්න ඕනේ. අපි බලන් ඉන්නවා ආණ්ඩුව මේක කරනකල්. රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්ත එකේ තව විශේෂත්වයක් තමයි රනිල් වික්‍රමසිංහ උසාවියට ඉදිරිපත් කරන වෙලාවේ විපක්ෂයේ බොහෝ අය ආවා. රනිල් එපා කියල පලු යනකල් බැනපු, රැස්වීම්වල කියපු, රනිල්ට විරුද්ධව ජිනීවා යනවා කියපු, ඒවගේම රනිල් මහ බැංකුව කැඩුවා, රනිල්ව හිරේ දානකම් නින්ද යන්නේ නෑ කියපු කුණු බඩු ටික ඔක්කොම එකතු වෙනවා. ඒ වගේම දැන් පෝලිමට යනවා රනිල් වික්‍රමසිංහව බලන්න බන්ධනාගාර රෝහලට. අපි ජනතාවට කියන්නේ මේ තමයි සම්ප්‍රදායික විපක්ෂය. මේ තමයි ඔබ පරද කරපු දේශපාලන කල්ලි. මේ තමයි ඔබ එපා කියල එළවලා දාපු පරාජිත දේශපාලන කල්ලි. එතකොට මේ අයගේ ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ. වැඩපිළිවෙල වෙනසක් නැහැ. ඔක්කොම එක පාරේ. දැන් ඔක්කොම එක වල්ලේ පොල් ටික, කුණු ටික එකට එකතුවෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ වැඩපිලිවෙලත් එක්කම ඔවුන් පරාද කරන්න ඕනේ කියන යෝජනාව අපි කරනවා. මේ කුණු කොටන් ටික පරාජය කරලම දාන්න. ප්‍රතික්ෂේප කරලම දාන්න.” යනුවෙන් වසන්ත මුදලිගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (23) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රනිල්ගේ ආරක්ෂාවට අවි සහිතව 08ක්

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් අට දෙනකු අවි සහිතව යොදවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙයට අමතරව රෝහල අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු වෛද්‍ය නිර්දේශ මත ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය.

ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් වූ පසු නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහලට රැගෙන යෑමට නියමිතව ඇතැයි බන්ධනාගාර ප්‍රධානියෙක් පැවසීය.

නව විමර්ශන අංශයක් ස්ථාපිත කිරීමට පොලීසිය සූදානම්

 

ශ්‍රී ලංකා පොලීසිය, අපරාධවලින් උපයාගත් දේපළ විමර්ශනය කිරීම සඳහා නව විමර්ශන අංශයක් ස්ථාපිත කිරීමට සූදානම් වෙයි.

බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා පැවසුවේ, පාර්ලිමේන්තුවේදී සම්මත වූ “අපරාධයකින් උත්පාදිත දේපළ සම්බන්ධ පනතට” අනුව මෙම නව අංශය පිහිටුවන බවයි.

ඊයේ (23) පැවති විශේෂ පොලිස් මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ විය. මෙම නව අංශය “PCID හෙවත් අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශන කොට්ඨාශය” ලෙස නම් කර තිබේ. පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් දිනයට සමගාමීව මෙය ආරම්භ කිරීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, පොලීසිය මේ වන විට සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සංවිධානාත්මක අපරාධකරුවන් සතුව තිබූ රුපියල් බිලියන 4.5ක් වටිනා දේපළ සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

එම දේපළ අතරට ගොඩනැගිලි, නිවාස, වාහන, ඉඩම්, ස්වර්ණාභරණ, බෝට්ටු සහ රුපියල් මිලියන 57ක මුදල් ඇතුළත් වේ. මෙම දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ තහනම් කර ඇති බවද පැවසේ.

ඇමති වසන්ත නඩුව ගැන මහේස්ත්‍රාත්වරියගෙන් පොලිසියට චෝදනා

 

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සම්බන්ධ නඩුවේ විමර්ශන කටයුතු අවසන් කිරීමටත් පෙර නීතිපතිවරයා වෙත අසම්පූර්ණ නඩු සාරාංශ යැවීම සම්බන්ධයෙන් කොළඹ වංචා කාර්යාංශයේ නිලධාරීන්ට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කර තිබේ.

අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ, ජාතික කම්කරු ආයතනයට අයත් ගොඩනැගිල්ලක් රුපියල් මිලියන 3.6කට වංචනික ලෙස බදු දීම සම්බන්ධයෙනි. එහිදී ඔහු ඇතුළු පිරිසක් ‘ජාතික කම්කරු කොංග්‍රසය’ නම් වෘත්තීය සමිතියේ නිලධාරීන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිට ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

අසම්පූර්ණ ගොනුවක් යැවීමට ඇති හදිසිය කුමක්දැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරිය, මෙවැනි ක්‍රියා හේතුවෙන් නඩුව තවදුරටත් ප්‍රමාද වීමට ඉඩ ඇති බව පෙන්වා දුන්නාය. විමර්ශන සම්පූර්ණ කිරීමෙන් පසු පමණක් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස ඇය පොලිසියට උපදෙස් දුන්නාය.

මෙම සිද්ධියට අදාළව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගෙන් අගෝස්තු 21 වන දින ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගෙන් සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතාගෙන් ද ප්‍රකාශ ලබාගෙන තිබේ.

අධිකරණයේදී අදහස් දක්වමින් අමාත්‍ය සමරසිංහ මහතා සඳහන් කර ඇත්තේ, වෘත්තීය සමිතියේ මහා සභා රැස්වීමේදී ගත් තීරණයකට අනුව තමා ගොඩනැගිල්ලේ බදු ගෙවන්නා ලෙස කටයුතු කළ බවත්, එම මුදල් සමිතියේ අවශ්‍යතා සඳහා යොදාගත් බවත්ය.

නඩුවේ නීතිඥවරයෙකු වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා චෝදනා කළේ, විමර්ශනය ප්‍රමාද කිරීමේ අරමුණින් නීති උපදෙස් සඳහා ගොනුව නීතිපති වෙත යොමු කර ඇති බවයි. සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය මීට පෙර නියෝග කර තිබුණද පොලීසිය වෙනත් ස්ථාවරයකට යාමට උත්සාහ කරන බවද ඔහු සඳහන් කළේය.

මෙම නඩුවේ නියෝගය සැප්තැම්බර් 26 වන දිනට කල් තැබූ මහේස්ත්‍රාත්වරිය, තමා වෙනත් අධිකරණයකට මාරුවීමට නියමිත බැවින්, භාර ගන්නා මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබා දෙන බව ප්‍රකාශ කළාය. මෙම නඩුව සම්බන්ධයෙන් තමාට කිසිදු පීඩනයක් එල්ල වී නොමැති බවද ඇය අවධාරණය කළාය.

තැපැල් වර්ජනය අවසන් කිරීමට සාකච්ඡා අද

 

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පෙරවරු 9ට පැවැත්වීමට නියමිතව තිබේ. මෙම සාකච්ඡාවට වර්ජනයේ නිරත සියලුම තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

තැපැල් සේවකයින් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17 වන දා ආරම්භ කළ මෙම වර්ජනය අදට හත්වන දිනටත් ක්‍රියාත්මක වේ. වර්ජනය හේතුවෙන් දිවයින පුරා තැපැල් සේවා කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර, මහජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවෙන් වර්ජනයට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, අද දිනයේ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

මේ අතර, ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පවසන්නේ, වර්ජනයට එක්ව සිටි සාමාජිකයින් රැසක් මේ වන විට නැවත සේවයට වාර්තා කර ඇති බැවින්, හෙට දිනය වන විට තැපැල් සේවා කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

චන්ද්‍රිකා රනිල් වෙනුවෙන් හඬ අවදි කරයි

 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මේ වනවිට අත්අඩංගුවට පත්ව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නිලනිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

එහි දක්වා ඇත්තේ,
“විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති අවස්ථාවක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම වටා ඇති විශේෂිත තත්වයන්, අපේ රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ඇති කරයි. අප දකින්නේ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වල සාරය කෙරෙහිම ගණනය කරන ලද ප්‍රහාරයකි. මෙහි ප්‍රතිවිපාක පුද්ගලයෙකුගේ හෝ ඕනෑම දේශපාලන කණ්ඩායමක ඉරණම ඉක්මවා යන අතර සමස්තයක් ලෙස අපගේ සමාජයේ අයිතිවාසිකම් සඳහා අනතුරක් ඇතුළත් වේ.

සියලුම දේශපාලන නායකයින් විරුද්ධ වීමට බැඳී සිටින මෙම මුලපිරීම් වලට මගේ නොබිඳිය හැකි විරෝධය ප්‍රකාශ කිරීමට මම මුළු හදින්ම එක් වෙමි” ලෙසටයි

Add to cart