රනිල් බලන්න මහින්දත් එයි

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රඳවා සිටින බන්ධනාගාර රෝහල වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) පැමිණියේය. ඒ, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීම සඳහාය.

මීට පෙර, අද උදෑසන 9.30ට පමණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද හිටපු ජනාධිපතිවරයා බැලීම සඳහා මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබුණි.

ජනාධිපති ධුරය දැරූ සමයේදී රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. පසුව, වෛද්‍ය උපදෙස් මත ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලදී.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට පත් වූ පළමු අවස්ථාව මෙය වන බැවින්, මෙම සිදුවීම රට තුළ සහ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ

ඊයේ දිනයට මරණ 6ක්

 

ඊයේ (අගෝස්තු 22) දිනය තුළ වාර්තා වූ මරණ හයක් සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ. මෙම මරණ හයෙන් එකක් සැකකටයුතු ලෙස සිදුවූ ඝාතනයක් වන අතර, ඉතිරි මරණ පහ රිය අනතුරු සහ ස්වාභාවික හේතූන් මත සිදුවූ ඒවා බව පොලීසිය පවසයි.

මාන්කුලම් පොලිස් වසමේ, පාලප්පානි ප්‍රදේශයේ 70 හැවිරිදි කාන්තාවක් ඇයගේ නිවස තුළදී සැකකටයුතු ලෙස මියගොස් සිටියදී හමුවී ඇත. ඇයගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල ඇති අතර, ඇය පැළඳ සිටි රන් ආභරණ අතුරුදහන් වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙය ඝාතනයක් බවට පොලීසිය සැක කරන අතර, මාන්කුලම් පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

කහටගස්දිගිලිය පොලිස් වසමේ, මැකිච්චාව වැව් පිටිය ප්‍රදේශයේදී 53 හැවිරිදි පුද්ගලයෙකු අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත. ඔහු වැව් පිටියේ සිටි ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.

කටුගස්තොට, සියඹලාතැන්න හන්දිය අසලදී යතුරුපැදියක් විදුලි පහන් කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 18 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදිය පාලනය කරගත නොහැකි වී ඇති බවට අනාවරණය වී ඇත.

දෙහිඕවිට, තැඹිලියාන ප්‍රදේශයේදී කොළඹ-හැටන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක බැටරි කාමරයේ දොරක් විවෘත වී මාර්ගයේ රැඳී සිටි 59 හැවිරිදි පුද්ගලයෙකුගේ ගැටීමෙන් ඔහු මියගොස් ඇත. අනතුර සිදුකළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

පැල්මඩුල්ල, පාතකඩ හන්දිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයේ ගමන් කළ ගවයෙකුගේ ගැටී පෙරළීමෙන් අනතුරුව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 63 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහියංගනය, ගොනගල හන්දිය අසලදී කැබ් රථයක් යතුරුපැදියක ගැටීමෙන් 37 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත. කැබ් රථයේ රියදුරුද අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම මරණ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ.

ගල් අඟුරු ටෙන්ඩරේ අවුල ගැන හොයන්න පෙරටුගාමීන්ගෙන් ඉල්ලීමක්

 

ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (FLSP) අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අවධාරණය කළේය. ඔහු සඳහන් කළේ, අදාළ සභාපතිවරයා තනතුරින් ඉල්ලා අස්වීමෙන් පමණක් වගකීමෙන් නිදහස් විය නොහැකි බවයි.

ඊයේ (22) නුගේගොඩදී මාධ්‍ය අමතමින් ජයගොඩ මහතා කියා සිටියේ, ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී බරපතල අක්‍රමිකතාවක් සිදුවී ඇති බවයි. ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව ටෙන්ඩර් අයදුම්පත් සඳහා සති හයක කාලයක් ලබා දිය යුතු වුවත්, රජය සති තුනක් වැනි කෙටි කාලයක් ලබා දීමෙන් කලින් තෝරාගත් පාර්ශවයන්ට අසාධාරණ වාසියක් ලබා දී ඇති බවට ඔහු චෝදනා කළේය.

“මෙය හදිසි අවස්ථාවක් නිසා සිදු වූ බව රජය පවසන නමුත්, එම හදිසි අවස්ථාව කුමක්දැයි පැහැදිලි කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත,” ඔහු පැවසීය. සාමාන්‍යයෙන් පෙබරවාරි-මාර්තු මාසවලදී නිකුත් කරන ගල් අඟුරු ටෙන්ඩරය අගෝස්තු දක්වා ප්‍රමාද කිරීම නිසා පළමු ගල් අඟුරු නැව්ගත කිරීම නොවැම්බර් මාසය වන විට ලැබීමට ඉඩ ඇති බවත්, එය රටට දැඩි ගල් අඟුරු හිඟයක් ඇති කළ හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය. මෙම ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉහළ මිලකට ගල් අඟුරු මිලදී ගැනීමට සිදුවනු ඇති බවත්, එහි බර අවසානයේ විදුලි පාරිභෝගිකයන් මත පැටවෙනු ඇති බවත් ජයගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය. ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබුණහොත් විදුලි කප්පාදුවක් ද සිදුවිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම ප්‍රමාදය පෞද්ගලික ඩීසල් බලාගාර ක්‍රියාකරුවන්ට වාසිදායක වන බවට ද ඔහු සැක පළ කළේය. එසේම, මෙම ටෙන්ඩරය ව්‍යාපාරික රුවන් ප්‍රනාන්දුට සම්බන්ධ “පැනකාපේ” නම් සමාගමක් වෙත යොමු කෙරෙමින් තිබෙන බවට ද ඔහු චෝදනා කළේය. රජය විසින් මීට පෙර හිල්ටන් සභාපති ලෙස පත් කරන ලද ප්‍රනාන්දු, මතභේදාත්මක “මේලින්” සමාගම සමඟ ද සම්බන්ධ වී ඇති බව ඔහු සඳහන් කළේය.

“මෙය දූෂණයක් පමණක් නොව දේශපාලන ආචාර ධර්ම පාවාදීමක් ද වේ,” ජයගොඩ මහතා චෝදනා කළේය. “රජය ජනතාවගේ අවශ්‍යතාවලට වඩා එක් පුද්ගලයෙකුගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙමින් රටේ සමස්ත විදුලි පද්ධතියම අවදානමට ලක් කරයි. බලධාරීන් වහාම මෙම ගැටලුව පැහැදිලි කළ යුතුය.” යනුවෙන් ජයගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.

රනිල් බලන්න සජිත් වැලිකඩ එයි

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණියේය. ඒ, ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහාය.

සිංගප්පූරුවේ අධ්‍යයන චාරිකාවක නිරතව සිටි විපක්ෂ නායකවරයා, මෙම සිදුවීමත් සමඟ අද අලුයම නැවත දිවයිනට පැමිණි බව වාර්තා වේ. හිටපු ජනාධිපතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ ප්‍රථම අවස්ථාව මෙය වන බැවින්, මෙම සිදුවීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති ධුරය දරන සමයේදී රජයේ මුදල් අවභාවිත කරමින් පෞද්ගලික විදෙස් සංචාරයක් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම විය. වෛද්‍ය උපදෙස් මත ඔහු මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

තැපැල් වර්ජනය 6 වන දිනටත්

 

තැපැල් සේවකයන් විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය අද (23) වන දිනටත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු වන චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගසා තිබූ තැපැල් මලු අනීතික ලෙස රැගෙන යාම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.

මෙම වර්ජනය හය වන දිනටත් ක්‍රියාත්මක වන බැවින් තැපැල් සේවාවන් තවදුරටත් අඩාල වී තිබේ. මෙම ගැටලුවට විසඳුමක් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇත

අකිල විරාජ්ව අල්ලස් කොමිසමට කැඳවයි

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ තිබේ.

වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයෙකු ලෙස සිටින සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ අලුත්වැඩියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබේ.

අදාළ කාලය තුළ එක්සත් ජාතික පක්ෂය මහලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කටයුතු කර ඇති අතර, ඒ අනුවයි ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් කොමිසම කටයුතු කර තිබේ.

තැපැල් වර්ජනයට ස්ටාලින්ලා එක්වෙයි

ආණ්ඩුව විසින් තැපැල් සේවක වෘත්තිය ක්‍රියාමාර්ගයට ගන්නා මර්දනීය ක්‍රියාමාර්ග අත්හිටවූයේ නැතිනම් සියලු වෘත්තිය සමිති එක්ව තැපැල් සේවකයන්ගේ ආරක්ෂා වෙනුවෙන් පෙරට එන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එම සංගමවෙය් ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසුවේ වර්ජනයේ යෙදෙන තැපැල් සේවකයන්ගේ වැටුප් නතර කරන බවට ආණ්ඩුව ලිපියක් නිකුත් කර ඇති බවත් එය පැහැදිලිවම වෘත්තීය අයිතිවාසිකම් මර්ධනයක් බවත්ය.

මෙයාකාරයෙන් මර්ධනීය ක්‍රියා පිළිවෙත් අනුගමනය කළ නායකයන්ට ගෙදර යන්නට සිදුවූ ආකාරයද සිහිපත් කරගත යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

තැපැල් සේවක වර්ජනය සම්බන්ධයෙන් කොළඹදී පැවති ඒකාබද්ධ වෘත්තීය සමයති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

STF එක්ක තරගෙට වෙඩි තියපු සැකකරුවෙක් මරුට

සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදි පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවු වෙඩි හුවමාරුවකදි එක් සැකකරුවෙකු මියගොස් තිබේ.

වෙඩි වැදිමෙන් තුවාල ලැබු මෙම පුද්ගලයා රෝහල් ගත කිරිමේදි මියගොස් තිබෙන අතර, මෙම වෙඩි හුමවාරුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුද තුවාල ලබා සූරියවැව රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වෙයි.

2025 වසරට අලුත් කලාප 07ක්

නව අයෝජන කලාප 7 ක් මේ වසරේදී පිහිටුවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

එහි සභාපති අර්ජුන හේරත් මහතා සඳහන් කළේ, උතුරු පළාතේ ආයෝජන කලාප 03ක් මෙන්ම වයඹ, නැගෙනහිර හා දකුණු පළාත් වල එක් ආයෝජන කලාපය බැගින් පිහිටුවන බවයි.

මේ සමග ප්‍රාදේශීය වශයෙන් ආයෝජන ගලා යාම වේගවත් වී ඒ ආශ්‍රිතව නව රැකියා අවස්ථා රැසක් බිහිවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අනුව, උතුරු පළාතේ කන්කසන්තුරෙයි හි අක්කර 300ක විශාලත්වයෙන් යුත් ආයෝජන කලාපයේ ඇගලුම් හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය.

අක්කර 200 ක විශාලත්වයෙන් යුත් පරන්තන් ආයෝජන කලාපයේ රසායානික නිෂ්පාදන කම්හල් පිහිටුවීමට නියමිත වන අතර, අක්කර 200ක් විශාල මාන්කුලම් ආයෝජන කලාපයේ කෘෂිකාර්මික හා ධීවර නිෂ්පාදන එකතු කළ අගය මත අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

අර්ජුන හේරත් මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ඉරණවිල ආයෝජන කලාපයේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති පිහිටුවන බවයි.
තවද, මඩලකපුව එරාවුර් හි පිහිටුවන ආයෝජන කලාප තුළ ඇගලුම් නිෂ්පාදනට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටදී නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලා පිහිටුවීමට නියමිතය.

මේ අතර, හම්බන්තොට ආයෝජන කලාපය තුළ ඖෂධ නිෂ්පාදන සමාගම් පිහිටුවීමට නියමිතයි.

රහස් මැණික් ගැරිල්ලෙන් පහක් අත්අඩංගුවට

බගවන්තලාව පොලිස් වසමේ මාඑළිය රක්ෂිතය තුළ බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ (21) පොලිසිය
විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ හා බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ මැණික් ගැරීම සඳහා භාවිතා කළ උපකරණද පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස් වයස අවුරුදු 35 සිට 56 අතර පුද්ගලයින් වන අතර, ඔවුන් බගවන්තලාව සහ නෝර්වුඩ් ප්‍රදේශවල පදිංචිකරුවන් බව සොයාගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියි.

Add to cart