ප්‍රතිසංස්කරණය කළ කුරුඳුවත්ත පොලිස් ගොඩනැගිල්ල ජනතා අයිතියට

 

වසර 102ක් පැරණි කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද පරිපාලන ගොඩනැගිල්ල අද උදෑසන විවෘත කෙරිණි. රුපියල් මිලියන 70ක් වැය කරමින් අංගසම්පූර්ණව නවීකරණය කරන ලද මෙම ගොඩනැගිල්ල, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.

මෙම ගොඩනැගිල්ල 1923 වසරේදී ඔබේසේකර පවුල විසින් ශ්‍රී ලංකා පොලීසියට පරිත්‍යාග කර ඇති අතර, එම පවුලේ සාමාජිකාවක් වන සොන්ඩ්‍රාල් හිරන්ති ඔබේසේකර මහත්මියද මෙම අවස්ථාවට සහභාගි වීම විශේෂත්වයකි.

නවීකරණය කරන ලද ගොඩනැගිල්ල තුළ නවීන අවි ගබඩාවක්ද ස්ථාපිත කර තිබේ.

මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා, කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එල්.ඒ. සූරියබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීහු රැසක් සහභාගී වූහ.

ඇල්ලේ අනතුරට අදාළ ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට

 

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සිදුවූ දරුණු බස් අනතුරට අදාළ ජීප් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අනතුරෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 18 දෙනෙකු තුවාල ලැබූහ.

පොලිසිය පැවසුවේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් කරමින් සිටියදී, ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයකට පෙරළී ඇති බවයි. ඊයේ (සැප්තැම්බර් 04) රාත්‍රී 9:00ට පමණ මෙම ඛේදවාචකය සිදුවිය.

අත්අඩංගුවට ගත් ජීප් රියදුරාගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින අතර, අනතුරට හේතුව පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මෙම මාරක අනතුරින් මියගිය සහ තුවාල ලැබූවන් අතර තංගල්ල නගර සභාවේ සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සිටින බව මීට පෙර වාර්තා විය.

ප්‍රපාතයට වැටුණු බස් රිය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

 

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ඊයේ (සැප්තැම්බර් 04) රාත්‍රියේදී ප්‍රපාතයකට පෙරළී අනතුරට පත් වූ බස් රථය ගොඩ ගැනීමේ මෙහෙයුම් අද උදෑසන ආරම්භ විය.

යුද හමුදා කණ්ඩායම්වල සහාය ඇතිව මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන බව වාර්තා වේ. බස් රථය සහ එහි ගමන් ගත් මගීන්ගේ බඩු මුට්ටුද ගොඩ ගැනීමට කටයුතු කරන බව බලධාරීහු පවසති.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතින අතර, අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැත. මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව සහ තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව නිල වශයෙන් තවමත් තොරතුරු නිකුත් කර නොමැත.

සිද්ධිය වූ ස්ථානයේ තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින අතර, මාර්ගය විවෘත කිරීමට කටයුතු කරමින් සිටින බව පොලිසිය පවසයි.

මෙවැනි අනතුරු අවම කර ගැනීම සඳහා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවට ප්‍රවාහන බලධාරීන් අවධාරණය කරයි.

ADB එකෙන් ඩොලර් මිලියන 106ක්

ශ්‍රී ලංකාවේ ද්විතීයික සෞඛ්‍යය සේවා ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 106.9ක මූල්‍ය පහසුකමක් ලබාදීමට තීරණය කර තිබේ. මෙම ණය පහසුකමින් ඩොලර් මිලියන 100ක් ඒකාබද්ධ සෞඛ්‍යය සේවා සහ විශ්ව සෞඛ්‍ය ආවරණ සඳහා පාලනය ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ ණය මුදලක් ලෙස ලබාදෙයි. වසංගත වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර භාර අරමුදලෙන් ඩොලර් මිලියන 6.9ක මුදලක් ලබාදෙන්නේ ආපසු නොගෙවන ප්‍රදානයක් ලෙසිනි.

ශ්‍රී ලංකාවේ ද්විතීයික සුව කිරීමේ සත්කාර සේවා ශක්තිමත් කිරීම, බෝවන රෝග වැළැක්වීම සහ පාලනය වැඩිදියුණු කිරීම සහ සෞඛ්‍ය සේවා අංශයේ පාලනය සහ කළමනාකරණ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) මෙම මුදල ලබා දෙයි. “සියලු දෙනාටම සෞඛ්‍යය සේවා සඳහා ප්‍රවේශය සහ ගුණාත්මකභාවය සහතික කිරීමේදී ශ්‍රී ලංකාව ආකර්ෂණීය ජයග්‍රහණ ලබා ඇත.” ADBහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ පැවසීය. “නමුත් ආයු කාලය ඉහළ යෑම සහ ජීවන රටා වෙනස් වීමත් සමඟ, වැඩිහිටි සෞඛ්‍යය සේවා අවශ්‍යතා සහ බෝ නොවන රෝග වැඩි වෙමින් පවතී. එවැනි ජනවිකාස සහ රෝග රටා වෙනස්කම් සඳහා වැඩිදියුණු කළ නඩු කළමනාකරණ ධාරිතාවක් සහිත රෝගී කේන්ද්‍රීය ප්‍රතිකාර සහ සත්කාර සේවා ඵලදායී ලෙස සැපයීම සඳහා වඩාත් ශක්තිමත් ද්විතීයික සත්කාරයක් අවශ්‍ය වේ යැයි ද ඔහු පැවසීය.

මෙම ප්‍රතිඵල පාදක ණය දීමේ වැඩසටහන, රෝහල් සංවර්ධනයට සහාය වීමෙන් රට පුරා ද්විතීයික සත්කාර සේවාවන්හි ගුණාත්මකභාවය, ධාරිතාව සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශුද්ධවූ නබිතුමන්ගේ ජන්ම දිනය සැමරේ

ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය සමරමින් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වලට එක්ව සිටියි.

ස්වකීය ජීවිතය පුරා මිනිසත් බව වෙනුවෙන් නබි තුමන් කළ කැපිකිරීම් අපිරිමිතය.

අනෝන්‍ය අවබෝධය සහෝදරත්වය එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය නබිතුමන්ගේ මූලික ඉගැන්වීම්වල හරය වේ.

මානව සමාජය ගුණ නැන බෙලෙන් හා අවිහිංසාවාදයෙන් පුරවාලිය යුතු බවයි එතුමන්ගේ දර්ශනය විය.

සමාජයේ ඇති නැති පරතරය සහ දුරස්බව මුලිනුපුටා දමා සමානාත්මතාව මිනිස් හදවත්හි රෝපණය කිරීමට අරගලයක් දියත් කළ නබිනායකතුමන්ගේ ආදර්ශය, සමාජමය අභියෝග ජය ගනිමින් සමනාත්මතාවෙන් සපිරි, නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්‍රයත්නයේදී නොනිමෙන ආලෝකයක් සපයන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

රවීට එරෙහි නඩුවක් අත්හිටුවයි

 

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයක් තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (4) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

2023 වසරේදී බීමත්ව රිය පදවා අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ සෙනෙවිරත්න මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

තමාට එරෙහි නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ඉල්ලා සෙනෙවිරත්න මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත. මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරු මඩුල්ල විසින් අභියාචනාධිකරණයේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.

මාලිමාවේ ජනප්‍රියත්වය පහළට..!

‘රටට හෙටක්’ සංවිධානය විසින් සිදු කරන ලද නවතම මත විමසුම මාලාවක් හරහා ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් අනාවරණය වී තිබෙනවා. දේශපාලන විශ්ලේෂක අශෝක අබේගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම දත්ත, මීට පෙර පැවති මැතිවරණ ප්‍රතිඵල සමඟ සංසන්දනය කිරීමෙන් පැහැදිලි චිත්‍රයක් ලබාගත හැකිය.


 

මත විමසුම්වල නිරවද්‍යතාවය

 

මෙම සංවිධානය මීට පෙර සිදු කළ මත විමසුම්වල ප්‍රතිඵල, සත්‍ය මැතිවරණ ප්‍රතිඵල සමඟ සසඳා බැලීමේදී එහි නිරවද්‍යතාවය තහවුරු වී තිබෙනවා.

  • පළාත් පාලන ඡන්දය (2025): ‘රටට හෙටක්’ සංවිධානයේ මත විමසුම් අනාවැකියට අනුව, මාලිමාවට 42%ක්ද, සජබට 23%ක්ද, පොහොට්ටුවට 9%ක්ද හිමි වූ අතර, සත්‍ය මැතිවරණ ප්‍රතිඵලවලදී මෙම සංඛ්‍යා පිළිවෙලින් 43%, 22%, සහ 9%ක් ලෙස සටහන් වුණා. මෙය මත විමසුම් සහ සත්‍ය ප්‍රතිඵල අතර ඇත්තේ 1%ක පමණ සුළු වෙනසකි.
  • ජනාධිපතිවරණය (2024): 2023 දී සිදු කරන ලද ජනාධිපතිවරණ මත විමසුමට අනුව මාලිමාවේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට ඡන්ද ලක්ෂ 57ක්ද, සජිත් ප්‍රේමදාසට ලක්ෂ 38ක්ද, රනිල් වික්‍රමසිංහට ලක්ෂ 22ක්ද, සහ පොහොට්ටුවට ලක්ෂ 12ක්ද හිමි වන බවට අනාවැකි පල වුණා. සත්‍ය ජනාධිපතිවරණ ප්‍රතිඵලවලදී අනුර කුමාරට ලක්ෂ 56ක්ද, සජිත් ප්‍රේමදාසට ලක්ෂ 44ක්ද, රනිල් වික්‍රමසිංහට ලක්ෂ 26ක්ද, පොහොට්ටුවට ලක්ෂ 7ක්ද හිමි වුණා. මෙම දත්තයන්ට අනුව මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව මත විමසුම් අනාවැකියට ඉතා සමීපයි.

 

රනිල් අත්අඩංගුවට ගැනීමෙන් ඇති වූ බලපෑම

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත් වීමෙන් පසු සිදු කරන ලද නවතම මත විමසුම්වල ප්‍රතිඵල අනුව, මාලිමාවේ (ජාතික ජන බලවේගය) ජනප්‍රියත්වය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව පෙනී යයි.

  • මත විමසුමේ ප්‍රතිඵල අනුව, මාලිමාවට 21%ක් (ඡන්ද 3,000,000), සජබට 11%ක් (ඡන්ද 1,500,000), සහ පොහොට්ටුවට 9%ක් (ඡන්ද 1,200,000) හිමි වී තිබෙනවා.

මෙම සිදුවීම මාලිමාවේ ජනප්‍රියත්වයට අවාසිදායක ලෙස බලපා ඇති බව මෙම මත විමසුම පෙන්වා දෙන අතර, විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් වලට මෙය වාසියක් වී ඇත්දැයි පැහැදිලි නැතත්, මාලිමාවේ ඡන්ද ප්‍රතිශතය 21% දක්වා පහළ වැටී තිබීම සැලකිය යුතු කරුණක්.


 

මාලිමාවේ ඡන්ද ප්‍රතිශතවල වෙනස්වීම්

 

මෑතකාලීන මැතිවරණ සහ මත විමසුම්වලදී මාලිමාවට හිමි වූ ඡන්ද සංඛ්‍යාවන්හි වෙනස්වීම් පිළිබඳ විශ්ලේෂණයක් පහත දැක්වේ.

  • ජනාධිපතිවරණය 2024 (සැප්තැම්බර්): 5,634,915 (42%)
  • මහමැතිවරණය 2024 (නොවැම්බර්): 6,863,186 (62%)
  • පළාත් පාලන මැතිවරණය 2025 (මැයි): 4,503,930 (42%)
  • මත විමසුම 2025 (අගෝස්තු): 3,000,000 (21%)

මහමැතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව ඉහළ ගියත්, පසුව පැවති පළාත් පාලන මැතිවරණයේදී යළි පහත වැටී තිබෙනවා. නවතම මත විමසුම් ප්‍රතිඵලවලින් පෙනී යන්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වය විශාල ලෙස පහළ ගොස් ඇති බවයි.

ලංකා-ඉතාලි දේශපාලන උපදේශන සමාරම්භක සැසිය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර දේශපාලන උපදේශන සමාරම්භක සැසිය සාර්ථකව අවසන් වූ බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අද (සැප්තැම්බර් 04) ප්‍රකාශ කළේය. ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩි මහත්මියගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්විණි.

නව ගිවිසුමකින් ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කෙරේ
වසර හතළිහකට වඩා පැරණි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස, දෙරට අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සාකච්ඡාවේදී දෙරට අතර වාණිජ හා ආයෝජන, සංචාරක කටයුතු, අධ්‍යාපන සහ සංස්කෘතික හුවමාරු, බලශක්ති, කෘෂිකාර්මික ක්ෂේත්‍ර, ඉතාලි රියදුරු බලපත්‍ර සම්බන්ධ එකඟතාව, ගුවන් ගමන් සේවා, නාවික කටයුතු සහ පාරම්පරික උරුම සංරක්ෂණය වැනි විවිධ ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු වී ඇත.

මෙම සාකච්ඡා වටය ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර හවුල්කාරිත්වය සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කරන සාර්ථක පියවරක් වූ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වියත්පුරේ නිවාස ගත් මන්ත්‍රීන් ගැන තීරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේදී ලබා දී ඇති සහන ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2022-05-09 දින රට තුළ ඇති වූ කලබලකාරී කත්ත්වය මත නිවාස අහිමි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරීය මඟින් ඉදිකරන ලද වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101 ක් කුලී පදනම මත එක් වසරක කාලයක් සඳහා ලබා දීමට 2022-07-04 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

ඉන් අනතුරුව, එම නිවාස සහනදායී ක්‍රම වේදයක් යටතේ මිල දී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන ලෙස එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 15.5ක අවම වටිනාකමකට සහ රුපියල් මිලියන 22ක උපරිම වටිනාකමකට සාමාන්‍ය ජනතාව වෙත විකුණනු ලබන එම නිවාස ඒකකයක්, අවම වටිනාකම රුපියල් මිලියන 13.34 ක් ලෙස සහ උපරිම වටිනාකම රුපියල් මිලියන 18.21 ක් ලෙස අඩු කර සහනදායි ක්‍රමවේදය යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීමටත්, විකුණුම් මිලෙන් 25% මුදලක් පළමුව අය කරගෙන ඉතිරි මුදල වසර 15ක කාලයක් තුළ වාර්ෂිකව 10%ක පොළී අනුපාතයක් යටතේ ඔවුන්ගෙන් අය කර ගැනීමටත් 2024 07- 15 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

එම ක්‍රම වේදය යටතේ නිවාස මිල දී ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙකු 2024-12-31 දින වන විට විකුණුම් මිලෙන් 25% ක මුදලක් තැන්පත් කර තිබේ. එහෙත්, මෙම සහනදායී ක්‍රම වේදය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 92.126 ක පමණ පාඩුවක් විඳීමට සිදු වී ඇති අතර, දරන ලද පිරිවැය ආවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

එබැවින්, ඉහත පරිදි අනුමත කර ඇති සහනදායි ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත්, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනා එකඟ වන්නේ නම් සාමාන්‍ය මහජනතාවට එම නිවාස ලබා ගැනීම සඳහා වන ක්‍රමවේදය සහ එම මිල ගණන් යටතේ ඔවුන්ට ද නිවාස මිල දී ගැනීමට අවස්ථාව ලබා දීමටත් නාගරික සංවර්ධන, ඉදිකිරීම සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

පාතාල කල්ලි නායකයෙකු වන ‘බැකෝ සමන්’ නමැත්තාගේ බිරිඳ වන ෂාධිකා ලක්ෂානි නමැති කාන්තාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ලබන සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 04) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී තිබේ.

Add to cart