සමන් දෙවොලට දේශපාලනය ගෙන ඒමේ මාලිමා උත්සාහය ආයෙත් පරදියි!

 

සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස ඉශාන් සංඛ මහතා වැඩි ඡන්දයෙන් අද දින පත්විය.

පසුගිය සමයේ සිදුවූ යම් හේතූන් නිසා සබරගමු මහා දේවාලයේ බස්නායක නිලමවරයා පත් කිරීමේ කටයුතු ප්‍රමාදයට ලක් විය.එවර දේශපාලන තත්ත්වයකට මුල පිරීමක් ලෙසට ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් වියදම් කළ චන්දරේ නම් ව්‍යාපාරිකයා නව බස්නායක නිළමේ ලෙස පත් කිරීමේ සූදානමක් මතුවිය. එවර බස්නායක නිලමේ තනතුර තමන්ට අවශ්‍ය බවට පවසමින් දේශපාලන බලය ප්‍රයෝජනයට ගනිමින් චන්දරේ නම් පුද්ගලයා ක්‍රියාකළ නමුත් රත්නපුර ජනතාවගේ මතය වූයේ ඔහු එම තනතුරට සුදුස්සෙකු නොවන බවයි.ඒ අනුව ඔහුට රත්නපුර ජනතාවගේ විරෝධය එල්ල විය.ජනතා හඬට සවන් දුන්නාක් මෙන් මාලිමාවට වියදම් කළ චන්දරේ නම් පුද්ගලයාට බස්නායක තනතුර ලබාදීමේ මාලිමාවේ සම්ප්‍රදාය විරෝධී උත්සාහය අධිකරණ තීන්දුවකින් ව්‍යාර්ථ විය.

එලෙසම දේවාලයේ නිලමේ ලෙස දේශපාලන අතකොලුවක් වෙමින් ආණ්ඩුව විසින් පත්කිරීමට උත්සාහ දැරූ චන්ද්‍රකුමාර ජයසිංහ නම් ව්‍යාපාරිකයා නව ඡන්දයෙන් පරාජයට පත්ව තිබේ.
මෙවර නව නිලමේවරයා ලෙස පත්වූ ඉෂාන් සංඛ මාපිටිගම මහතා ඡන්ද 6කින් ඡන්දය දිනා ඇති අතර, මාලිමාවෙන් පත් කිරීමට නියමිත තිබූ චන්ද්‍රකුමාර ජයසිංහ නම් පුද්ගලයාට හිමිව ඇත්තේ ඡන්ද 4ක් පමණි.
තවද චන්ද්‍රකුමාර ජයසිංහගේ ජය වෙනුවෙන් ඇමැති සුනිල් සෙනෙවි ඡන්ද බලය හිමි ප්‍රාදේශීය ලේකම්වරුන්ට කිහිපවරක්ම බලපෑම් කර තිබූ බවත් නමුදු මහ සඟරුවන ඇතුළු ඡන්ද බලය හිමි ප්‍රාදේශීය ලේකම්වරු ඇමති සුනිල් සෙනවිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් වාර්තා විය.ඒ අනුව දේශපාලන බලයෙන් පත්වීමට නියමිතව තිබූ චන්ද්‍රකුමාර ජයසිංහට උරුම වූයේද චන්දරේගේ ඉරණමය.

විශේෂයෙන්ම ආගම රාජ්‍යයට මැදිහත්වීමත්, ආගමට දේශපාලනය මැදිහත් වීමත් සිදු නොවිය යුතු බවත් තම පාලනයකදී එසේ සිදු නොවන බවටත් පාරම් බෑ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව විසින්ම මෙම පිළිකුල් සහගත ක්‍රියාවන් සිදුකිරීම විශේෂත්වයකි.

සබරගමු සමන් දේවාලෙට අලුත් නිලමෙ කෙනෙක්

 

සබරගමු මහ සමන් දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස ඉෂාන් සංඛ මාපිටිගම මහතා අද (20) පැවති නිලවරණයෙන් තේරී පත්ව තිබේ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මෙම ඡන්ද විමසීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ගාමිණී සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නව බස්නායක නිළමේවරයා තෝරා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරු නව දෙනෙකු, බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා සහ උග්ගල් අලුත්නුවර හා අම්මඩුව කුඩා කතරගම දේවාලවල තාවකාලික භාරකරුවන් දෙදෙනා ඇතුළු දොළොස් දෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි විය.

රාජිත සේනාරත්නට නොතීසි

 

කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් හරහා රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 20) නොතීසි නිකුත් කළේය.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගෝස්තු 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මෙම නොතීසිය මගින් නියෝග කර ඇත.

අල්ලස් කොමිසම විසින් සිදු කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් CID අත්අඩංගුවට

 

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘අරගලය’ සිද්ධියකට අදාළ නඩුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික කෞතුකාගාර ආඥාපනත නියාමනයට අනුමැතිය

 

ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. මේ තීරණය ගෙන ඇත්තේ දැනට ක්‍රියාත්මක 1942 අංක 31 දරන පනත නවීකරණය කිරීමේ අරමුණෙනි.

මෙම සංශෝධන හරහා කෞතුක වස්තූන් වඩාත් කාර්යක්ෂමව සංරක්ෂණය කිරීම, ඒවාට හානි කිරීමේ වැරදි සඳහා දඬුවම් නියම කිරීම, සහ නව කෞතුකාගාර පිහිටුවීම සඳහා නියාමන රාමුවක් සැකසීම අපේක්ෂා කෙරේ. එසේම, කෞතුක භාණ්ඩ එකතු කිරීමේදී ඒවා වර්ගීකරණය කිරීම සඳහා නිර්ණායක හඳුන්වා දීම සහ කෞතුකාගාරවල පරිපාලන ව්‍යූහය ශක්තිමත් කිරීමද මෙහිදී අවධානයට ලක්ව ඇත.

මෙම කටයුතු සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් කලින් පත් කර තිබූ අතර, එම කමිටුවේ වාර්තාවේ නිර්දේශ මත පදනම්ව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

දකුණු ආසියානු තරුණ නායකයින් කතානායකවරයා හමුවෙයි

 

දකුණු ආසියානු තරුණ නායකත්ව වැඩසටහනේ (YSALI) නියෝජිත පිරිසක් ඊයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.

අගෝස්තු 17 සිට 21 දක්වා කොළඹදී පැවැත්වෙන දකුණු ආසියානු තරුණ නායකයින්ගේ කලාපීය වැඩමුළුවට සහභාගී වන මෙම පිරිස බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන තරුණ නායකයින් 80 දෙනෙකුගෙන් සමන්විත විය.

පාර්ලිමේන්තු සංචාරය අතරතුර, නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ. එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ-දේශපාලන පරිවර්තනීය ක්‍රියාවලිය සඳහා තරුණ පරපුරේ දායකත්වයේ වැදගත්කම පිළිබඳව කථානායකවරයා පැහැදිලි කළේය.

කථානායකවරයා තවදුරටත් කියා සිටියේ තාක්ෂණය උරුම කරගත් වත්මන් තරුණ පරපුරට ලෝකය වඩාත් යහපත් කිරීම සඳහා විශේෂ කාර්යභාරයක් හිමිවන බවත්, ඒ සඳහා දකුණු ආසියානු තරුණ ප්‍රජාව ලෙස නායකත්වය ලබාදීමේ වගකීම මෙම නියෝජිතයින් සතු බවත්ය.

මෙම හමුවීමේදී තරුණ නියෝජිතයින් ඉදිරිපත් කළ ගැටලුවලට කථානායකවරයා පිළිතුරු දුන් අතර, දකුණු ආසියාව තුළ කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැංවීම සහ සමාජ සංහිඳියාව වර්ධනය කිරීම වැනි කරුණු පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු කෙරේ

 

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ දේශීය හා විදේශීය නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් පසුගිය අඟහරුවාදා (අගෝස්තු 18) නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් මේ බව දැනුම් දී ඇත. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් විදෙස්ගත වීම හේතුවෙන් අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.

අමාත්‍යාංශයේ පුරප්පාඩු සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම සීමා කර ඇති බැවින් මෙම තීරණය ගැනීමට සිදුවූ බවද ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ලක්ෂ්මන්ගේ නඩුව කල්‍ යයි

 

රජයට රුපියල් ලක්ෂ 17කට අධික මුදලක් පාඩු කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහි නඩුව සැප්තැම්බර් මස 7 වැනිදා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (20) නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා හමුවේ අද කැඳවූ මෙම නඩුවේදී, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විසින් අධිචෝදනා පත්‍රයට සංශෝධන එක් කිරීමට අවසර ඉල්ලා සිටි අතර, අධිකරණය ඊට අවසර ලබා දුන්නේය. අනතුරුව, එම නඩුවට අදාළ ලේඛන ඇතුළත් සංයුක්ත තැටියක් විත්තියේ නීතිඥවරුන්ට භාර දෙන ලදී.

මෙම නඩුව ගොනු කර ඇත්තේ 2014 වසරේ නොවැම්බර් 19 වන දින මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් යොදාගෙන පුවත්පත් 11ක අතිරේක පළ කිරීම තුළින් රජයට රුපියල් 1,748,877.76ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙනි. මෙය දූෂණ විරෝධී පනත යටතේ වරදක් බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

මෙහිදී විත්තියේ නීතිඥවරුන් සඳහන් කළේ, ඉදිරියේදී නඩුවට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. අධිකරණය එය නඩු විභාගය ආරම්භයේදී ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.

මෙම නඩුවේ ඉදිරි විභාගය සැප්තැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිතය

දේශබන්දුගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

 

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පත අද (20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා, අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පතිවරයා මෙම අයදුම්පත ගොනු කර තිබුණි. කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

මෙම නඩුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

වසරකට රුපියල් කෝටි 1800ක එළවළු-පලතුරු අපතේ

 

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව එළවළු සහ පලතුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනයේදී අපතේ යන බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සහ කෘෂි විද්වතුන් එක්ව සිදුකළ මෙම අධ්‍යයනයේදී, මෙම නාස්තිය නිසා වසරකට රුපියල් කෝටි 1800ක පමණ ආර්ථික පාඩුවක් සිදුවන බව අනාවරණය විය.

අධ්‍යයනයට අනුව, ගොවි බිමේ සිට වෙළෙඳපොළ දක්වා ප්‍රවාහනය කරන එළවළු සහ පලතුරු අස්වැන්නෙන් සියයට 30-40ක් පමණ නාස්ති වේ. ප්‍රවාහනයේදී සිදුවන නාස්තිය සියයට 10ක් දක්වා අවම කර ගැනීමෙන් රුපියල් බිලියන හයක් පමණ ඉතිරි කරගත හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති. එසේම, මෙම නාස්තිය සියයට 5.7ක් දක්වා අඩු කිරීමේ හැකියාව තිබුණද, ඒ සඳහා ලබාදුන් නිර්දේශ සහ උපදෙස් ගොවීන්, වෙළෙඳුන් සහ අතරමැදියන් විසින් අනුගමනය නොකරන බවද හෙළි වී ඇත.

වසර ගණනාවක් තිස්සේ සිදුකළ පර්යේෂණවලට අනුව, ප්ලාස්ටික් කූඩ සහ තාක්ෂණික ඇසුරුම් භාවිත කිරීමෙන් එළවළු සහ පලතුරු තැලීම් හා පොඩිවීම් අවම කරගත හැකිය. කෙසේ වෙතත්, මෙම නවීන ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු නොකිරීම ආහාර නාස්තියට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව විද්වත්හු පවසති. වරින් වර ගොවීන්, අතරමැදියන් සහ වෙළෙඳුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණද, තවමත් නාස්තිය පහළ ගොස් නොමැත.

මෙම වාර්තාව මඟින්, රටේ ආහාර සුරක්ෂිතතාවයට සහ ආර්ථිකයට සෘජුවම බලපාන මෙම ගැටලුව පිළිබඳව ක්ෂණික විසඳුම් සෙවීමේ අවශ්‍යතාව නැවත වරක් අවධාරණය කර ඇත.

Add to cart