ලක්ෂ්මන්ගේ නඩුව කල්‍ යයි

 

රජයට රුපියල් ලක්ෂ 17කට අධික මුදලක් පාඩු කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහි නඩුව සැප්තැම්බර් මස 7 වැනිදා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (20) නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා හමුවේ අද කැඳවූ මෙම නඩුවේදී, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විසින් අධිචෝදනා පත්‍රයට සංශෝධන එක් කිරීමට අවසර ඉල්ලා සිටි අතර, අධිකරණය ඊට අවසර ලබා දුන්නේය. අනතුරුව, එම නඩුවට අදාළ ලේඛන ඇතුළත් සංයුක්ත තැටියක් විත්තියේ නීතිඥවරුන්ට භාර දෙන ලදී.

මෙම නඩුව ගොනු කර ඇත්තේ 2014 වසරේ නොවැම්බර් 19 වන දින මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් යොදාගෙන පුවත්පත් 11ක අතිරේක පළ කිරීම තුළින් රජයට රුපියල් 1,748,877.76ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙනි. මෙය දූෂණ විරෝධී පනත යටතේ වරදක් බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

මෙහිදී විත්තියේ නීතිඥවරුන් සඳහන් කළේ, ඉදිරියේදී නඩුවට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. අධිකරණය එය නඩු විභාගය ආරම්භයේදී ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.

මෙම නඩුවේ ඉදිරි විභාගය සැප්තැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිතය

දේශබන්දුගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

 

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පත අද (20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා, අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පතිවරයා මෙම අයදුම්පත ගොනු කර තිබුණි. කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

මෙම නඩුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

වසරකට රුපියල් කෝටි 1800ක එළවළු-පලතුරු අපතේ

 

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව එළවළු සහ පලතුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනයේදී අපතේ යන බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සහ කෘෂි විද්වතුන් එක්ව සිදුකළ මෙම අධ්‍යයනයේදී, මෙම නාස්තිය නිසා වසරකට රුපියල් කෝටි 1800ක පමණ ආර්ථික පාඩුවක් සිදුවන බව අනාවරණය විය.

අධ්‍යයනයට අනුව, ගොවි බිමේ සිට වෙළෙඳපොළ දක්වා ප්‍රවාහනය කරන එළවළු සහ පලතුරු අස්වැන්නෙන් සියයට 30-40ක් පමණ නාස්ති වේ. ප්‍රවාහනයේදී සිදුවන නාස්තිය සියයට 10ක් දක්වා අවම කර ගැනීමෙන් රුපියල් බිලියන හයක් පමණ ඉතිරි කරගත හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති. එසේම, මෙම නාස්තිය සියයට 5.7ක් දක්වා අඩු කිරීමේ හැකියාව තිබුණද, ඒ සඳහා ලබාදුන් නිර්දේශ සහ උපදෙස් ගොවීන්, වෙළෙඳුන් සහ අතරමැදියන් විසින් අනුගමනය නොකරන බවද හෙළි වී ඇත.

වසර ගණනාවක් තිස්සේ සිදුකළ පර්යේෂණවලට අනුව, ප්ලාස්ටික් කූඩ සහ තාක්ෂණික ඇසුරුම් භාවිත කිරීමෙන් එළවළු සහ පලතුරු තැලීම් හා පොඩිවීම් අවම කරගත හැකිය. කෙසේ වෙතත්, මෙම නවීන ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු නොකිරීම ආහාර නාස්තියට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව විද්වත්හු පවසති. වරින් වර ගොවීන්, අතරමැදියන් සහ වෙළෙඳුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණද, තවමත් නාස්තිය පහළ ගොස් නොමැත.

මෙම වාර්තාව මඟින්, රටේ ආහාර සුරක්ෂිතතාවයට සහ ආර්ථිකයට සෘජුවම බලපාන මෙම ගැටලුව පිළිබඳව ක්ෂණික විසඳුම් සෙවීමේ අවශ්‍යතාව නැවත වරක් අවධාරණය කර ඇත.

විපක්ෂයේ නායකයෝ අද හදිසියේ රැස්වෙති

 

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අද දහවල් 12:00ට හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

මෙම රැස්වීම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා වේ.

විශ්වාසභංග යෝජනාවට අදාළ කරුණු, ආණ්ඩුවේ ප්‍රතිචාර සහ හෙට දින පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට අපේක්ෂිත කරුණු සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

හිතවත්කම් මත රැකියා ලබානොදෙන බව තෙල් සංස්ථා සභාපති කියයි

 

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) රැකියා පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බවත්, එම බඳවා ගැනීම් සඳහා කිසිදු දේශපාලන හෝ නිලධාරී මැදිහත්වීමකට ඉඩ නොදෙන බවත් එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.

සභාපතිවරයා අවධාරණය කරන්නේ, අයදුම්කරුවන් බඳවා ගැනීමේදී කිසියම් ආකාරයක හඳුනාගැනීමක් මත හෝ මුදල් ලබාදී රැකියාවට පැමිණ ඇති බවට අනාවරණය වුවහොත්, අදාළ පුද්ගලයන් එම රැකියා සඳහා නුසුදුස්සන් බවට පත්වන බවයි. එසේම, රැකියා ලබා දීම හෝ ලබා ගැනීම වෙනුවෙන් මුදල් හුවමාරු කරගත් සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

මෙමඟින්, රටේ ඕනෑම සුදුසුකම් ලත් පුද්ගලයෙකුට කිසිදු බලපෑමකින් තොරව මෙම රැකියා සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමි වේ.

අතීතයේදී මෙම ආයතනවල රැකියා අවස්ථා සඳහා දේශපාලන මැදිහත්වීම් හෝ ඉහළ නිලධාරීන්ගේ හිතවත්කම් මත පුද්ගලයන් පත් කිරීම් සිදුව ඇති බවට මෙන්ම, අල්ලස් ලෙස විශාල මුදල් ලබාගෙන රැකියා ලබා දී ඇති බවටද තොරතුරු වාර්තා වී තිබූ බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, ඉදිරියේදී එවැනි අක්‍රමිකතා කිසිවක් සිදු නොවන බවත්, සුදුසුකම් මත පමණක් රැකියා ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍යයේ අයවැය පූර්ව සාකච්ඡා ඇරඹේ

 

2026 අයවැය සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයන්ට අදාළ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 2025 වසරේ වෙන් කළ අයවැය ප්‍රතිපාදන හා ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කෙරිණි.

සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 41ක් වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම සඳහා ඉදිරි අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන වෙන් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. දැනට පුද්ගලයන් 30,000කට එක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් පවතින අතර, එය 10,000කට එකක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය විය.

ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සහ උපායමාර්ගික සැලැස්මක් ලබන වසරේ එළිදැක්වීමට නියමිත බවද සඳහන් වූ අතර, සෞඛ්‍ය සේවාවේ භෞතික හා මානව සම්පත් නවීන තාක්ෂණයට හා ජනගහන වර්ධනයට අනුකූලව පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. උපකරණ මිලදී ගැනීම් සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම සහ ඖෂධවල ගුණාත්මකභාවය සහතික කිරීමේ ක්‍රමවේදයන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ජාතික රුධිර පාරවිලන සේවය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය වාහන මේ වසරේදීම මිලදී ගැනීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ සැලසුම් පිළිබඳවද අවධානය යොමු වූ අතර, සමාජ ආකල්ප වර්ධනය සඳහා රාජ්‍ය මාධ්‍යයේ වගකීම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා අවශ්‍ය සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් ලබන අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ඔහු සඳහන් කළේය.

තැපැල් සේවාව නවීකරණය කිරීම පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. නවීන තාක්ෂණයට අනුව කුරියර් සේවා වැනි අංග එකතු කරමින් තැපැල් සේවාව නවීන මාදිලියකට ගෙන ඒමේ අවශ්‍යතාව අවධාරණය විය.

පසුගිය අයවැයෙන් සියලු ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, එම මුදල් ව්‍යාපෘති සඳහා නිසි ලෙස යොදවා උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ වැදගත්කම ජනාධිපතිවරයා පැහැදිලි කළේය. සාකච්ඡාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ගුරු සේවයට අලුත් නීති

ඉදිරියේදී ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනවේදී උපාධි ලබා ගත් පුද්ගලයන් ගුරු සේවයට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් ලබා දෙන අධ්‍යාපනවේදී උපාධිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කමිටුවක් මගින් විමර්ශනයක් සිදු කළ බවයි. අදාළ වාර්තාව මේ වනවිට අමාත්‍යාංශයට ලැබී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, දැනටමත් ගුරු සේවයට එක්ව සිටින ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිළිබඳ තොරතුරු රැස්කිරීම ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පුනරුදයේ අලුත් වැඩක් නැව් වලටත් කැසිනෝ

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ නෞකාවල කැසිනෝ පවත්වාගෙන යාම සඳහා ද බලපත්‍ර අයදුම් කිරීමේ අවස්ථාව හිමිවන අතර සූදු නියාමන අධිකාරිය විසින් එය ආර්ථිකයට, සමාජයට, සංචාරක කර්මාන්තයට උචිත නම් පමණක් අවසර ලබාදෙනු ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු කැබිනට් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මන්ත්‍රී ශානක්කියන් – “මෙච්චර කල් ලංකාව තුළ නෞකාවල කැසිනෝවලට ලයිසන් දීලා නෑ. ගොඩබිමේ තියෙන කැසිනෝ තියෙනවා, නෞකාවලට දීලා නෑ. මේ පනතෙන් පස්සේ නෞකාවල කැසිනෝ එකකට අවශ්‍ය නම් පිටරට කොඩියකුත් එක්ක ඇවිල්ලා පර්මිට් එකක් ගන්න පුළුවන්ද , බැරිද ?”

ඇමති අනිල් ජයන්ත – “ඇත්තටම මේ අර්ථකථනය ඇතුළෙ නෞකාවක ඉන්නෙ කියන කාරණය – මෙතන නෞකාව පමණක් නෙවෙයි, මොකද මේ සූදු ඔට්ටු යටතේ අද තාක්ෂණය ක්‍රියාත්මක වෙනකොට විශාල පරිචයක මේක ක්‍රියාත්මක වෙනවා. මේ ලිස්ට් එකේ තියෙනවා සූදි ක්‍රීඩා මොනවද කියලා, ඒ ටිකත් කියවන්න. මෙයින් අදහස් කරන්නේ තෝරාගෙන කාටවත් ලයිසන් දෙනවා කියන එක නෙවෙයි. මේක සූදු ක්‍රීඩාව විශාල පරිචයක තියෙනවා, දැනුත් එය නීතියට යටත් නෑ. දැනට මේ නීතියෙන් ක්‍රියාත්මක වෙන්නෙ බදු එකතු කරගන්න එක විතරයි දෙක තුනක. මෙය නියාමනය කිරීම සඳහා අපි කරන්නෙ ඉල්ලුම් කිරීමක් කළොත් මේ අධිකාරිය විසින් සොයලා බලලා එය උචිත නම් පමණයි. එය ආර්ථිකයට, සමාජයට, සංචාරක කර්මාන්තයට මේ සියල්ලට උචිත නම් පමණයි අවසර දෙන්නෙ. ඒ දුන්නාට පස්සෙ අපි අනිවාර්යයෙන්ම නියාමනය කරනවා.එහෙම නැතිව කිසිම තැනක කියලා නෑ මේකෙ ලයිසන් දීගෙන ඕනෙම තැනක කරන්න යනවායි කියලා එකක්. මොකද මේ වෙනකොට ඔබ දන්නවා ඇති ලෝකයේ විවිධ ස්ථානවල තියෙන කොටස් වෙළඳපොල ඉලක්ක කරගෙන ලංකාවේ ප්‍රධාන ස්ථානය වන ලෝක වෙළඳපොල හරහා සිද්ධ වෙන මේ වගේ නීතියට හසු නොවෙන ෂැඩෝ ෂෙයා මාකට්ස් තියෙනවා. ඒවාටත් අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා. මේකෙන් පෙන්නුම් කරන්නෙ අපි නීතිය මගින් නියාමනය කිරීමක් මිසක් නීතිවිරෝධී සමාජ විරෝධී කටයුතුවලට අවසර දීමක් කිසිවිටෙක කරන්නෙ නෑ”

මන්ත්‍රී ශානක්කියන් – “මම නියාමනය කිරීම ගැන ගැටලුවක් මතු කළේ නෑ. මට වචන දෙකකින් උත්තරයක් දෙන්නකො, මෙච්චර කල් ලංකාව තුළ නෞකාවල කැසිනෝවලට ලයිසන් දීලා නෑ. මේ පනතෙන් පස්සේ පර්මිට් එකක් ගන්න පුළුවන්ද, බැරිද ? ඒක ගැන ඔබතුමා ආයෙත් දිග විග්‍රහයක් කළොත් එහෙම මට ආයෙත් අහන්න වෙනවා, එතකොට මේක විවාදයක් වෙනවා.”

ඇමති අනිල් ජයන්ත – “ඔව්. නෞකා විතරක් නෙවෙයි ඇතුළෙත් එහෙම ලයිසන් නැතිව ඕනෙ තරම් ව්‍යාප්ත වෙනවා. මේකෙ ඉඩකඩක් තියෙනවා ඉල්ලුම් කිරීම සඳහා. දෙනවාද නැද්ද කියන එක අධිකාරිය තීරණය කරන්නෙ මම කිව්ව කාරණා මත”

මෙම සංවාදය ඊයේ ඇතිවුණේ සූදු නියාමන අධිකාරිය පිළිබඳ පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදය අතරතුරදී ය.

විනිසුරුවන් මාරු කිරීම ගැන නාමල්ගෙන් චෝදනාවක්

 

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් රජයේ ඉදිරිපෙළ දේශපාලනඥයන්ට එරෙහි නඩු විභාග කරන විනිසුරුවන් ස්ථාන මාරු කර ඇති බවට බරපතල චෝදනාවක් පාර්ලිමේන්තුවේදී එල්ල කර ඇත.

මේ පිළිබඳව මුළු රටම දැනුවත් බවත්, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට බලධාරීන් වගබලා ගත යුතු බවත් ඔහු අවධාරණය කළේය. අධිකරණයේ ස්වාධීනත්වය නොමැති නම් රටට ආයෝජකයින් නොපැමිණෙන බවත්, රාජ්‍ය ආදායම වැඩි වුවත් මහජනතාවට එහි ප්‍රතිලාභ නොලැබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම, පොලීසිය සහ හමුදාව වත්මන් රජය විසින් දේශපාලනීකරණය කර ඇති බවටද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

සංචාරකයන්ට ගුවන්තොටුපොළේදීම රියදුරු බලපත්‍ර ලබාදීම හේතුවෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ රියදුරන්ට රැකියා අහිමි වී ඇති බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය සරසවි 17ක අනධ්‍යයන සේවකයෝ වර්ජනයේ

 

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක අනධ්‍යයන සේවකයන් අද (අගෝස්තු 20) දින සංකේතාත්මක වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසන පරිදි, මේ හේතුවෙන් පර්යේෂණ, දේශන, සායන ඇතුළු සියලු ශිෂ්‍ය අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේවා මහතා සඳහන් කළේ, 2025 අයවැයෙන් ඇති වූ වැටුප් හා දීමනා කප්පාදු කිරීම් සම්බන්ධ ගැටලුවලට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම තත්ත්වයට විරෝධය පළ කරමින් අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙම එක්දින වර්ජනය කැඳවූ බවයි.

වර්ජනයට හේතු ලෙස දැක්වෙන කරුණු වන්නේ,

2025 අයවැය මඟින් විශ්වවිද්‍යාල සේවකයන් සහ අනෙකුත් රාජ්‍ය සේවකයන් අතර වැටුප් අනුපාතය සියයට 6 දක්වා අඩු කිරීම.

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට ලබා දී තිබූ ‘හිඟහිටි දීමනාව’ සියයට 9කින් කප්පාදු කිරීම.

විශ්වවිද්‍යාල සේවකයන්ට ලබාදුන් සියයට 20ක විශේෂ දීමනාව සහ අතිකාල දීමනා කප්පාදු කිරීමයි.

මෙම ගැටලු ඇතුළත් වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දී මාස දෙකක් ගතවී ඇතත්, අගමැතිවරිය සාකච්ඡා කිරීමට මෙතෙක් අවස්ථාවක් ලබාදී නොමැති බවද දබරේවා මහතා පැවසීය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් විසඳුමක් නොලැබුණහොත්, ඉදිරියේදී අධ්‍යයන, අනධ්‍යයන හා පරිපාලන අංශවල සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවද ඔහු අනතුරු ඇඟවීය.

අද දින විශ්වවිද්‍යාල පද්ධතියට සිදුවන පාඩුව අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව භාරගත යුතු බවද සම සභාපතිවරයා අවධාරණය කළේය.

Add to cart