හිතවත්කම් මත රැකියා ලබානොදෙන බව තෙල් සංස්ථා සභාපති කියයි

 

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) රැකියා පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බවත්, එම බඳවා ගැනීම් සඳහා කිසිදු දේශපාලන හෝ නිලධාරී මැදිහත්වීමකට ඉඩ නොදෙන බවත් එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.

සභාපතිවරයා අවධාරණය කරන්නේ, අයදුම්කරුවන් බඳවා ගැනීමේදී කිසියම් ආකාරයක හඳුනාගැනීමක් මත හෝ මුදල් ලබාදී රැකියාවට පැමිණ ඇති බවට අනාවරණය වුවහොත්, අදාළ පුද්ගලයන් එම රැකියා සඳහා නුසුදුස්සන් බවට පත්වන බවයි. එසේම, රැකියා ලබා දීම හෝ ලබා ගැනීම වෙනුවෙන් මුදල් හුවමාරු කරගත් සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

මෙමඟින්, රටේ ඕනෑම සුදුසුකම් ලත් පුද්ගලයෙකුට කිසිදු බලපෑමකින් තොරව මෙම රැකියා සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමි වේ.

අතීතයේදී මෙම ආයතනවල රැකියා අවස්ථා සඳහා දේශපාලන මැදිහත්වීම් හෝ ඉහළ නිලධාරීන්ගේ හිතවත්කම් මත පුද්ගලයන් පත් කිරීම් සිදුව ඇති බවට මෙන්ම, අල්ලස් ලෙස විශාල මුදල් ලබාගෙන රැකියා ලබා දී ඇති බවටද තොරතුරු වාර්තා වී තිබූ බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, ඉදිරියේදී එවැනි අක්‍රමිකතා කිසිවක් සිදු නොවන බවත්, සුදුසුකම් මත පමණක් රැකියා ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍යයේ අයවැය පූර්ව සාකච්ඡා ඇරඹේ

 

2026 අයවැය සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයන්ට අදාළ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 2025 වසරේ වෙන් කළ අයවැය ප්‍රතිපාදන හා ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කෙරිණි.

සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 41ක් වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම සඳහා ඉදිරි අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන වෙන් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. දැනට පුද්ගලයන් 30,000කට එක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් පවතින අතර, එය 10,000කට එකක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය විය.

ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සහ උපායමාර්ගික සැලැස්මක් ලබන වසරේ එළිදැක්වීමට නියමිත බවද සඳහන් වූ අතර, සෞඛ්‍ය සේවාවේ භෞතික හා මානව සම්පත් නවීන තාක්ෂණයට හා ජනගහන වර්ධනයට අනුකූලව පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. උපකරණ මිලදී ගැනීම් සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම සහ ඖෂධවල ගුණාත්මකභාවය සහතික කිරීමේ ක්‍රමවේදයන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ජාතික රුධිර පාරවිලන සේවය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය වාහන මේ වසරේදීම මිලදී ගැනීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ සැලසුම් පිළිබඳවද අවධානය යොමු වූ අතර, සමාජ ආකල්ප වර්ධනය සඳහා රාජ්‍ය මාධ්‍යයේ වගකීම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා අවශ්‍ය සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් ලබන අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ඔහු සඳහන් කළේය.

තැපැල් සේවාව නවීකරණය කිරීම පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. නවීන තාක්ෂණයට අනුව කුරියර් සේවා වැනි අංග එකතු කරමින් තැපැල් සේවාව නවීන මාදිලියකට ගෙන ඒමේ අවශ්‍යතාව අවධාරණය විය.

පසුගිය අයවැයෙන් සියලු ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, එම මුදල් ව්‍යාපෘති සඳහා නිසි ලෙස යොදවා උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ වැදගත්කම ජනාධිපතිවරයා පැහැදිලි කළේය. සාකච්ඡාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ගුරු සේවයට අලුත් නීති

ඉදිරියේදී ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනවේදී උපාධි ලබා ගත් පුද්ගලයන් ගුරු සේවයට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් ලබා දෙන අධ්‍යාපනවේදී උපාධිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කමිටුවක් මගින් විමර්ශනයක් සිදු කළ බවයි. අදාළ වාර්තාව මේ වනවිට අමාත්‍යාංශයට ලැබී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, දැනටමත් ගුරු සේවයට එක්ව සිටින ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිළිබඳ තොරතුරු රැස්කිරීම ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පුනරුදයේ අලුත් වැඩක් නැව් වලටත් කැසිනෝ

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ නෞකාවල කැසිනෝ පවත්වාගෙන යාම සඳහා ද බලපත්‍ර අයදුම් කිරීමේ අවස්ථාව හිමිවන අතර සූදු නියාමන අධිකාරිය විසින් එය ආර්ථිකයට, සමාජයට, සංචාරක කර්මාන්තයට උචිත නම් පමණක් අවසර ලබාදෙනු ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු කැබිනට් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මන්ත්‍රී ශානක්කියන් – “මෙච්චර කල් ලංකාව තුළ නෞකාවල කැසිනෝවලට ලයිසන් දීලා නෑ. ගොඩබිමේ තියෙන කැසිනෝ තියෙනවා, නෞකාවලට දීලා නෑ. මේ පනතෙන් පස්සේ නෞකාවල කැසිනෝ එකකට අවශ්‍ය නම් පිටරට කොඩියකුත් එක්ක ඇවිල්ලා පර්මිට් එකක් ගන්න පුළුවන්ද , බැරිද ?”

ඇමති අනිල් ජයන්ත – “ඇත්තටම මේ අර්ථකථනය ඇතුළෙ නෞකාවක ඉන්නෙ කියන කාරණය – මෙතන නෞකාව පමණක් නෙවෙයි, මොකද මේ සූදු ඔට්ටු යටතේ අද තාක්ෂණය ක්‍රියාත්මක වෙනකොට විශාල පරිචයක මේක ක්‍රියාත්මක වෙනවා. මේ ලිස්ට් එකේ තියෙනවා සූදි ක්‍රීඩා මොනවද කියලා, ඒ ටිකත් කියවන්න. මෙයින් අදහස් කරන්නේ තෝරාගෙන කාටවත් ලයිසන් දෙනවා කියන එක නෙවෙයි. මේක සූදු ක්‍රීඩාව විශාල පරිචයක තියෙනවා, දැනුත් එය නීතියට යටත් නෑ. දැනට මේ නීතියෙන් ක්‍රියාත්මක වෙන්නෙ බදු එකතු කරගන්න එක විතරයි දෙක තුනක. මෙය නියාමනය කිරීම සඳහා අපි කරන්නෙ ඉල්ලුම් කිරීමක් කළොත් මේ අධිකාරිය විසින් සොයලා බලලා එය උචිත නම් පමණයි. එය ආර්ථිකයට, සමාජයට, සංචාරක කර්මාන්තයට මේ සියල්ලට උචිත නම් පමණයි අවසර දෙන්නෙ. ඒ දුන්නාට පස්සෙ අපි අනිවාර්යයෙන්ම නියාමනය කරනවා.එහෙම නැතිව කිසිම තැනක කියලා නෑ මේකෙ ලයිසන් දීගෙන ඕනෙම තැනක කරන්න යනවායි කියලා එකක්. මොකද මේ වෙනකොට ඔබ දන්නවා ඇති ලෝකයේ විවිධ ස්ථානවල තියෙන කොටස් වෙළඳපොල ඉලක්ක කරගෙන ලංකාවේ ප්‍රධාන ස්ථානය වන ලෝක වෙළඳපොල හරහා සිද්ධ වෙන මේ වගේ නීතියට හසු නොවෙන ෂැඩෝ ෂෙයා මාකට්ස් තියෙනවා. ඒවාටත් අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා. මේකෙන් පෙන්නුම් කරන්නෙ අපි නීතිය මගින් නියාමනය කිරීමක් මිසක් නීතිවිරෝධී සමාජ විරෝධී කටයුතුවලට අවසර දීමක් කිසිවිටෙක කරන්නෙ නෑ”

මන්ත්‍රී ශානක්කියන් – “මම නියාමනය කිරීම ගැන ගැටලුවක් මතු කළේ නෑ. මට වචන දෙකකින් උත්තරයක් දෙන්නකො, මෙච්චර කල් ලංකාව තුළ නෞකාවල කැසිනෝවලට ලයිසන් දීලා නෑ. මේ පනතෙන් පස්සේ පර්මිට් එකක් ගන්න පුළුවන්ද, බැරිද ? ඒක ගැන ඔබතුමා ආයෙත් දිග විග්‍රහයක් කළොත් එහෙම මට ආයෙත් අහන්න වෙනවා, එතකොට මේක විවාදයක් වෙනවා.”

ඇමති අනිල් ජයන්ත – “ඔව්. නෞකා විතරක් නෙවෙයි ඇතුළෙත් එහෙම ලයිසන් නැතිව ඕනෙ තරම් ව්‍යාප්ත වෙනවා. මේකෙ ඉඩකඩක් තියෙනවා ඉල්ලුම් කිරීම සඳහා. දෙනවාද නැද්ද කියන එක අධිකාරිය තීරණය කරන්නෙ මම කිව්ව කාරණා මත”

මෙම සංවාදය ඊයේ ඇතිවුණේ සූදු නියාමන අධිකාරිය පිළිබඳ පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදය අතරතුරදී ය.

විනිසුරුවන් මාරු කිරීම ගැන නාමල්ගෙන් චෝදනාවක්

 

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් රජයේ ඉදිරිපෙළ දේශපාලනඥයන්ට එරෙහි නඩු විභාග කරන විනිසුරුවන් ස්ථාන මාරු කර ඇති බවට බරපතල චෝදනාවක් පාර්ලිමේන්තුවේදී එල්ල කර ඇත.

මේ පිළිබඳව මුළු රටම දැනුවත් බවත්, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට බලධාරීන් වගබලා ගත යුතු බවත් ඔහු අවධාරණය කළේය. අධිකරණයේ ස්වාධීනත්වය නොමැති නම් රටට ආයෝජකයින් නොපැමිණෙන බවත්, රාජ්‍ය ආදායම වැඩි වුවත් මහජනතාවට එහි ප්‍රතිලාභ නොලැබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම, පොලීසිය සහ හමුදාව වත්මන් රජය විසින් දේශපාලනීකරණය කර ඇති බවටද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

සංචාරකයන්ට ගුවන්තොටුපොළේදීම රියදුරු බලපත්‍ර ලබාදීම හේතුවෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ රියදුරන්ට රැකියා අහිමි වී ඇති බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය සරසවි 17ක අනධ්‍යයන සේවකයෝ වර්ජනයේ

 

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක අනධ්‍යයන සේවකයන් අද (අගෝස්තු 20) දින සංකේතාත්මක වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසන පරිදි, මේ හේතුවෙන් පර්යේෂණ, දේශන, සායන ඇතුළු සියලු ශිෂ්‍ය අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේවා මහතා සඳහන් කළේ, 2025 අයවැයෙන් ඇති වූ වැටුප් හා දීමනා කප්පාදු කිරීම් සම්බන්ධ ගැටලුවලට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම තත්ත්වයට විරෝධය පළ කරමින් අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙම එක්දින වර්ජනය කැඳවූ බවයි.

වර්ජනයට හේතු ලෙස දැක්වෙන කරුණු වන්නේ,

2025 අයවැය මඟින් විශ්වවිද්‍යාල සේවකයන් සහ අනෙකුත් රාජ්‍ය සේවකයන් අතර වැටුප් අනුපාතය සියයට 6 දක්වා අඩු කිරීම.

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට ලබා දී තිබූ ‘හිඟහිටි දීමනාව’ සියයට 9කින් කප්පාදු කිරීම.

විශ්වවිද්‍යාල සේවකයන්ට ලබාදුන් සියයට 20ක විශේෂ දීමනාව සහ අතිකාල දීමනා කප්පාදු කිරීමයි.

මෙම ගැටලු ඇතුළත් වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දී මාස දෙකක් ගතවී ඇතත්, අගමැතිවරිය සාකච්ඡා කිරීමට මෙතෙක් අවස්ථාවක් ලබාදී නොමැති බවද දබරේවා මහතා පැවසීය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් විසඳුමක් නොලැබුණහොත්, ඉදිරියේදී අධ්‍යයන, අනධ්‍යයන හා පරිපාලන අංශවල සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවද ඔහු අනතුරු ඇඟවීය.

අද දින විශ්වවිද්‍යාල පද්ධතියට සිදුවන පාඩුව අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව භාරගත යුතු බවද සම සභාපතිවරයා අවධාරණය කළේය.

හිටපු අමාත්‍ය මනූෂ CIDයට

 

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (20) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන අංශය වෙත පැමිණියේය.

සිදු කෙරෙමින් පවතින පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහුට මීට පෙර දැනුම් දී තිබූ අතර, ඒ අනුව ඔහු එහි පැමිණියේය. මෙම විමර්ශනයට අදාළ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

තැපැල් වර්ජනය තුන්වැනි දිනටත්

 

තැපැල් සේවකයන් විසින් ආරම්භ කරන ලද අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (20) තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් රට පුරා තැපැල් සේවා කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර, මහජනතාවට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇත. වෘත්තීය සමිති පවසන්නේ ඔවුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධ ගැටලුවලට නිසි විසඳුම් ලැබෙන තුරු වර්ජනය දිගටම පවත්වාගෙන යන බවයි.

වර්ජනය අවසන් කිරීමට රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වන නමුත්, තවමත් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බව වෘත්තීය සමිති නායකයෝ පවසති.

දියවන්නා ශ‍්‍රමදානය දැන් හැම තැනම

“පසුගිය කාලය පුරාම තරුණ සම්මේලනයේ කාන්තා නියෝජනය බොහෝම අඩුවෙන් තිබුණේ. මේ වසරේ ඒක වෙනස්වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඇති වුණු එම වෙනස දැන් හැම ක්ෂේත්‍රයකම ඇතිවෙමින් තියෙනවා. ඒ අනුව, ඉතිහාසයේ පළමු වතාවට ජාතික තරුණ සම්මේලනයෙත් කාන්තා නියෝජනය වැඩි වෙලා තියෙනවා” යනුවෙන් අග්‍රාමාත්‍යයතුමිය පැවසුවාය.

අගෝස්තු 19 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති, තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කර තිබූ විශේෂ හමුව සහ විවෘත සාකච්ඡාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළා ය.

අගෝස්තු 12 වැනිදාට යෙදුනු, ජාත්‍යන්තර තරුණ දිනය මුල් කරගනිමින් මෙම හමුව සංවිධානය කර තිබුණි. මෙහිදී තරුණ සම්මේලනයේ නව සාමාජිකයින් හට සුබ පැතූ අග්‍රාමාත්‍යතුමිය,

තාරුණ්‍ය පිළිබඳ ඉතිහාසය සොයා බැලීමේදී ගොඩක් අසන්නට ලැබෙන්නේ තරුණ ප්‍රචණ්ඩත්වය, තරුණ අසහනය සහ තරුණ මරණ පිළිබඳවයි.ඒත් දැන් එම තත්ත්වයෙන් වෙනස් වුණ, තාරුණ්‍ය ගැන ලංකාවට අලුත් කතාවක් අවශ්‍යයි. ඒ සඳහා ඔබට මේ ලැබිලා තියෙන්නෙ සුවිශේෂී අවස්ථාවක් වගේම වගකීමක්” යැයි ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

යාපනයේ පන්සලකට දැඩි විරෝධයක්

යාපනයේ චුන්නාකම් ප්රදේශයේ පිහිටි කදුරුගොඩ විහාරයේ ඉදි කිරීමට සැලසුම් කොට ඇති බෞද්ධ මධ්යස්ථානයට පළාතේ වැසියන්ගෙන් එල්ල වී ඇති විශාලා බලපෑමක් නිසා එහි සමාරම්භක කටයුතු නවතා දැමීමට සිදුව තිබේ.

කදුරුගොඩ විහාරයට යාබදව සිටින පිරිස් එම විහාරස්ථානය සතු ඉඩම් වලින් විශාල ප්රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින අතර එම ස්ථනයේ බෞද්ධ මධ්යස්ථානයක් ඉදි කළහොත් ඔවුන්ට ඉඩම් අහිමි වී යා හැකි බැවින් ඔවුන් මේ බෞද්ධ මධ්යස්ථානය ඉදිකිරීමට එරෙහිව විරෙධය පලකොට තිබේ.

විශාල පිරිසක් යාපනයේ තෙලිප්පලෙයි ප්රාදේශීය සභාව වෙත ගොස් කදුරුගොඩ විහාරාසන්නයේ බෞද්ධ මධ්යස්ථානයක් ඉදි කිරීමේ කාර්යයට අනුමැතිය ලබා නොදෙන ලෙස කළ ඉල්ලීමක් නිසා ප්රාදේශීය සභාවද ජනතවගේ බහට අවනත වී අනුමැතිය ලබා නොදී නිහඩව සිටියි.

මෙම ස්ථානයේ බෞද්ධ මධ්යස්ථානයක් ඉදිකරණු ලබන්නේ දකුණේ සිට යාපනයට ගොස් කදුරුගොඩ විහාරය වන්දනාමාන කිරීමට සහභාගී වන බැතිමතුන්ගේ පහසුව පිණිස වූවත් ප්රාදේශීය සභාව හා ජනතාව ඒ තත්ත්වය පිළිගැනීමට දැඩි අකැමැත්තක් දක්වන අතර ඔවුන් කියා සිටින්නේ බෞද්ධයින් නොමැති පළාතකට බෞද්ධ මධ්යස්ථානයක් අවශ්ය නොවන බවයි.

Add to cart