තුසිත හල්ලොලුව රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අද (අගෝස්තු 19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළ බව වාර්තා වේ.

සිලෝන් ටීවලට ආදරේ ලිතුවේනියාවේ ඩයනා

ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 29 වන සංවත්සරය සනිටුහන් කරන මේ මොහොතේ, ශ්‍රී ලංකාවේ සහ ලිතුවේනියා සම්බන්ධතාවය කාලයත් සමග පරිණත වී ඇති ආකාරය දැකීම සතුටට කරුණක් බවත්, 1996 දී විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවක් ලෙස ආරම්භ වූ දෙය විශ්වාසය, ගෞරවය සහ බෙදාගත් අභිලාෂ මත ගොඩනගා ඇති සැබෑ රාජ්‍ය තාන්ත්‍රික හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය වී ඇති බවත් ලිතුවේනියා තානාපතිනි ඩයනා මෙකැවෙසියන් සඳහන් කරන්නී ය.

ඇය මෙලෙස සඳහන් කරන්නී ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 29 වන සංවත්සරය සමරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකිනි.

එම මාධ්‍ය නිවේදනයේ ලිතුවේනියා තානාපතිනිය වැඩි දුරටත් මෙලෙස සඳහන් කරන්නී ය.

”අපි භූ ගෝලීය වශයෙන් කිලෝමීටර් දහස් ගණනක් දුරින් සිටිය හැකි නමුත්, අපගේ ජනතාව සහයෝගීතාවය, සොබාදහම මූලික කරගත් අන්‍යෝන්‍ය සංචාරක බැඳීම හා ඵලදායී හැකියාවන් හා අවස්ථාවන් නිරන්තරයෙන් බෙදා ගනු ලබන්නේ උණුසුම් සහෝදරත්වයකිනි. ලිතුවේනියානු බිමේ පිහිටි අපගේ නිවෙස්වල අඛණ්ඩව භුක්ති විඳින ලංකා තේ කෙරෙහි අපගේ බෙදාගත් ආදරයේ සිට, අපගේ රටවල් අතර සංචාරකයින්ගේ සහ සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය වන ප්‍රවාහය දක්වා, අපි සෑම වසරක ම එකිනෙකා ගැන වැඩි වැඩියෙන් අවධානය යොමු කරමින්, තව තවත් රාජ්‍ය තාන්ත්‍රික, සාමාජයික, සංස්කෘතික, තාක්ෂණික හා සංචාරක සොයා සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිමු.”

මතු පළ වන්නේ ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 29 වන සංවත්සරය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ පිහිටි ලිතුවේනියා රජයේ කොන්සාල් කාර්යාලය විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

 

තැපැල් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මකයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාව සාර්ථක වුවත්, තැපැල් වෘත්තීය සමිති සිය වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව අද (අගෝස්තු 19) පස්වරුවේ ප්‍රකාශ කළේය.

ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව පැවසීය.

ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ (අගෝස්තු 18) පස්වරුවේ සිට තැපැල් වෘත්තීය සමිති මෙම අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කර ඇති අතර, මේ හේතුවෙන් දිවයින පුරා සියලුම තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වී තිබේ.

තැපැල් හා විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඊ. ජී. සී. නිරෝෂන මහතා මෙසේ පැවසීය: “අමාත්‍යවරයා සමඟ අපට වහාම සාකච්ඡාවක් ලබා දෙන්න. ඒ සාකච්ඡාවෙන් පසු අපි අඛණ්ඩ වැඩවර්ජනය අවසන් කිරීමට සූදානම්. එතෙක් අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රියාත්මකයි.”

ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 26 දක්වා තවදුරටත් රිමාන්ඩ්

 

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන අගෝස්තු 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

මෙම නියෝගය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් නිකුත් කරන ලද්දේ අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවය.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලකට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් ය. 2022 මැයි 9 වැනිදා ඇති වූ අරගලයේදී එම දේපළවලට හානි සිදුවීමෙන් පසු වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබුණද, ඔහු සිය නිල බලය භාවිතා කරමින් අදාළ රජයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් 8,850,000 ක වන්දියක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත. මෙම ක්‍රියාව “දූෂණය” සහ පොදු දේපළ පනත යටතේ වරදක් බවට සැක කෙරේ

රනිල් වික්‍රමසිංහ CIDය හමුවට කැඳවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද දැනුම්දීමට අනුව, හිටපු ජනාධිපතිවරයා අගෝස්තු 22 වන සිකුරාදා පෙරවරු 9ට CIDය හමුවේ පෙනී සිටිය යුතුය.

රාජිතට උසාවියෙන් අද දීපු නියෝගය මෙන්න

 

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව නිකුත් කර තිබූ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව, අද (අගෝස්තු 19) දිනයේදී මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන ලෙස නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෙම මෝසම ඉදිරිපත් කර තිබුණි. මෙම වරෙන්තුව අගෝස්තු 12 වැනිදා නිකුත් කර තිබුණි.

ඇඟිලි සලකුණු අනිවාර්යයි, කැමති නැත්නම් යන්න පුළුවන්

 

අද (අගෝස්තු 19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, තැපැල් වර්ජකයන්ගේ ප්‍රධාන ඉල්ලීම් දෙකක් වන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම සහ අතිකාල දීමනා වැඩි කිරීම ඉටු කිරීමට නොහැකි බවයි.

ඔහු සඳහන් කළේ, මෙම තීරණ දෙක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවත්, තැපැල් සේවකයන්ට සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් එය කළ හැක්කේ මෙම ඉල්ලීම් දෙකට එකඟ වන්නේ නම් පමණක් බවත්ය.

එමෙන්ම, මෙම තීරණ සමඟ ඉදිරියට යාමට කැමති තැපැල් සේවකයන්ට සේවයේ රැඳී සිටිය හැකි බවත්, ඇඟිලි සලකුණු යන්ත්‍රවලට අකමැති පිරිස් සිටිනවා නම්, ඇඟිලි සලකුණු යන්ත්‍ර නොමැති වෙනත් ස්ථානයක ගොස් රැකියාවක් කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දැනට තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති නිසා, ඔවුන්ගේ වැටුප් සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණයක් ගන්නා බව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වර්ජනය නොතකා හැටන් තැපැල් කාර්යාලය ඕපන්

 

රටපුරා ක්‍රියාත්මක වන තැපැල් සේවක වැඩවර්ජනය නොතකා, හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය අද (අගෝස්තු 19) විවෘත කර ඇති බව වාර්තා වේ.

තැපැල් වෘත්තීය සමිති 19ක ඉල්ලීම් මුල් කරගනිමින් ඊයේ (අගෝස්තු 18) ආරම්භ කළ මෙම වැඩවර්ජනය අද දිනයේද ක්‍රියාත්මක වන අතරතුර, හැටන් ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිනිය වන චම්පා ඒකනායක මහත්මිය විසින් මෙම තැපැල් කාර්යාලය විවෘත කර තිබේ.

තැපැල් ස්ථානාධිපතිනිය ප්‍රකාශ කළේ, තමන් කාර්යාලය විවෘත කළද, එහි සේවය කරන නිලධාරීන් සහ සේවකයන් ඊයේ සිට සේවයට වාර්තා නොකර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි. කෙසේ වෙතත්, තම තැපැල් කාර්යාලයට අනුයුක්ත කර ඇති ආදේශක තැපැල්කරුවන් කිහිප දෙනෙකු පමණක් සේවයට වාර්තා කර ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

පොහොර සහනාධාරය ඩිජිටල්කරණයරට අනුමැතිය

 

ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම තීරණය ගනු ලැබුවේ, රජයෙන් ගොවීන්ට ලබා දෙන සහනාධාරය නිසි වේලාවට ලැබෙන බවත්, එම මුදල් සම්පූර්ණයෙන්ම පොහොර මිලදී ගැනීම සඳහාම යොදා ගන්නා බවත් තහවුරු කරගැනීමේ අරමුණින්. ඒ සඳහා QR කේතයක් හෝ ඊට සමාන ඩිජිටල් ක්‍රමවේදයක් භාවිත කිරීමට නියමිතයි.

මේ යටතේ, පොහොර සහනාධාර වැඩසටහන සඳහා සුදුසුකම් ලබන සියලු ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රාදේශීය නිලධාරීන් මඟින් හඳුනාගැනෙනු ඇත. ඉන් පසු, එම ගොවීන්ට සහනාධාරය ලබා දීම සඳහා QR කේතය හෝ වෙනත් සුදුසු ඩිජිටල් යාන්ත්‍රණයක් සකස් කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ආණ්ඩුව මුදල් අච්චු ගහලා නැහැ

 

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බවයි.

අද (අගෝස්තු 19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ට්‍රිලියන 1.2ක මුදලක් වත්මන් ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගසා ඇති බවට ඇතැම් සංවිධාන සිදු කරන ප්‍රකාශ හිතාමතා හෝ නොදැනුවත්භාවය නිසා සිදු කරන ප්‍රකාශ බවයි.

දැනට පවතින නීතිමය තත්ත්වය අනුව ආණ්ඩුවට මුදල් අච්චු ගැසීමට හැකියාවක් හෝ ඉඩක් නොමැති බවත්, එබැවින් එසේ සිදු නොකළ බවත් ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ, මහ බැංකුව විසින් පාලනය කරන සංචිත මුදල් හරහා මුදල් ප්‍රසාරණය වීම සිදු වී ඇති බවත්, මෙය ආණ්ඩුව විසින් මුදල් නෝට්ටු අච්චු ගැසීමක් නොවන බවත්ය. එසේම, මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සමාජය නොමඟ යැවීමක් බවට ඔහු චෝදනා කළේය.

ශ්‍රී ලංකාවේ මේ වන විට සංචිත මුදල් ට්‍රිලියන 1.6ක් වන අතර, පුළුල් මුදල් සැපයුම ට්‍රිලියන 15කට ආසන්න වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පුළුල් මුදල් සැපයුමේ මෙම වර්ධනය සිදු වී ඇත්තේ මහ බැංකුවේ මැදිහත් වීම නිසා මිස, ආණ්ඩුව මුදල් අච්චු ගැසීම නිසා නොවන බව ඔහු අවධාරණය කළේය.

Add to cart