තිදෙනෙකු තුවාල ලැබූ ඩිෆෙන්ඩර් – බස් රථ අනතුර

හිඟුරක්ගොඩ මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේ දී ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වී තිබේ.

මෙම අනතුරෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ තිදෙනෙකු තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කර තිබෙන අතර, බස් රථයේ ගමන් කළ කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ පොලිසිය අනතුර පිළිබඳ පරීක්ෂණ තවදුරටත් සිදුකරනු ලබයි.

ජෙයරාජ් මැරිලත් කඩ කුළිය අරගෙන

රජ­යෙන් ගත් රුපි­යල් මිලි­යන හතක මූල්‍ය ප්‍රති­පා­දන වැය කර වැලි­හේන ප්‍රදේ­ශයේ ඉදි­කර ඇති කඩ කාමර 42ක් සහිත වෙළෙඳ සංකී­ර්ණ­යෙන් කටාන ප්‍රාදේ­ශීය සභා­වට අය­විය යුතු කඩ කුලිය ජෙය­රාජ් ප්‍රනා­න්දු­පුල්ලේ පද­නම විසින් බල­හ­ත්කා­ර­යෙන් ලබා ගන්නා බව එම ප්‍රාදේ­ශීය සභාවේ ජාතික ජන බල­වේ­ගයේ මන්ත්‍රී ලෙස්ලි ප්‍රනා­න්දු­පුල්ලේ මහතා පැව­සීය.

මේ නිසා සත පහක ආදා­ය­මක් කඩ­කා­ම­ර­ව­ලින් ප්‍රාදේ­ශීය සභා­වට නොලැ­බෙන බව ද හෙතෙම කීවේය.

ප්‍රාදේ­ශීය සභාවේ සභා­ප­තිනි නිෂානි ඉරේසා ජය­කොඩි මහ­ත්මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් අගෝස්තු 15 දා පැවැති මාසික සභා රැස්වී­මේදී ඒ මහතා මේ බව කීවේය.

අගෝස්තු මාස­යට අදා­ළව කටාන ප්‍රාදේ­ශීය සභාවේ මාසික සභා­වට යෝජ­නා­වක් ඉදි­රි­පත් කර­මින් ඒ මහතා පැව­සුවේ වැලි­හේන ශාන්ත කයි­තනු දෙව්මැ­ඳු­රට අයත් ඉඩම් කොට­සක් හත­ළිස් අවු­රුදු බදු පද­නම යටතේ ලබා ගෙන 2007 වසරේ ඔක්තෝ­බර් 28 දා මෙම ගොඩ­නැ­ඟිල්ල විවෘත කර ඇති බවයි.

එදින සිට මේ දක්වා ප්‍රාදේ­ශීය සභා­වට මිලි­යන 21ක පමණ බදු මුද­ලක් අය­වී­මට ඇති බවත් එය නිසි පරිදි අය නොවන බවත් ඒ මහතා කීවේය.

ජෙය­රාජ් ප්‍රනා­න්දු­පුල්ලේ පද­නම මඟින් බල­හ­ත්කා­ර­යෙන් මෙම කඩ­කා­ම­ර­වල කුලිය ලබා ගන්නා බවත් සභා­වට ලැබිය යුතු මුදල තක්සේරු කර ඇත්තේ කඩ කාම­ර­යක කුලිය මස­කට රුපි­යල් 2500ක් ලැබෙන පද­න­මින් බවත් පැව­සු­වේය.

සත්‍ය වශ­යෙන්ම කඩ­ය­කින් වර්ත­මා­නයේ අය කරන කුලිය 7500ක් බැවින් ප්‍රාදේ­ශීය සභා­වට මිලි­යන 63ක් පමණ අය­විය යුතු බව ද මන්ත්‍රී­ව­රයා වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

මෙම කඩ කාමර සිද්ධිය පිළි­බඳ හිටපු රාජ්‍ය ඇමැ­තිනී විශේ­ෂඥ වෛද්‍ය සුද­ර්ශිනී ප්‍රනා­න්දු­පුල්ලේ මහ­ත්මි­ය­ගෙන් විම­සී­මක් කළ අතර දැනට විදේ­ශ­ග­තව සිටින බැවින් ලංකා­වට පැමිණි පසුව කරුණු පැහැ­දිලි කරන බවට වට්ස්අැප් පණි­වු­ඩ­යක් මඟින් දන්වා තිබිණි.

මෙම ගොඩ­නැ­ඟිල්ල පාල­නය සඳහා නීත්‍ය­නු­කූල අයි­තිය ඇත්තේ කටාන ප්‍රාදේ­ශීය සභා­වට බවත් තමන් විසින්ද කඩ කුලී අය­කර ගැනීම හා කඩ ටෙන්ඩර් කිරීම සභාව මඟින් සිදු කළ යුතු බවට කළ යෝජනා සභා සම්මත වුවත් හිටපු සභා­ප­ති­වරු සහ නිල­ධා­රීන් එම තීරණ ක්‍රියා­ත්මක නොකළ බව හිටපු ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­ර­යකු වන ලක්ෂ්මන් ප්‍රනා­න්දු­පුල්ලේ මහතා කියා සිටි­යේය.

මෙම කඩ කාමර සඳහා නීත්‍ය­නු­කූ­ලව අයි­තිය ඇති ප්‍රාදේ­ශීය සභා­වට අය­විය යුතු මුදල් අය­කර ගැනී­මට අවශ්‍ය පිය­වර කඩි­නම් කරන බව කටාන ප්‍රාදේ­ශීය සභාවේ උප සභා­පති අජිත් රොෂාන්ත අප්පු­හාමි මෙහිදී කීවේය.

මේ වන විට ජෙය­රාජ් ප්‍රනා­න්දු­පුල්ලේ අධ්‍යා­පන පද­නම අක්‍රි­යව ඇති අතර එම­ඟින් පව­ත්වා­ගෙන ගිය පෙර පාසල්ද නවතා දමා ඇත.

සතීෂ් ගමගේ යළි රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් කොමිසමේ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතාව නැවත වරක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අද (අගෝස්තු 19) නඩුව කැඳවූ අවස්ථාවේදී, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ සැප්තැම්බර් මස 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුව මෙම තීරණයට එළැඹිණි.

සැකකරුට එල්ල වී ඇති චෝදනාව වන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි සාමාජිකයින් සහ මහජනතාවගෙන් අල්ලස් වශයෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ලබා ගැනීමයි. මෙම මුදල් සැකකරුගේ අනුදැනුම මත වෙනත් පුද්ගලයෙකුගේ බැංකු ගිණුම් තුනක තැන්පත් කර තිබී සොයා ගත් බව අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට වාර්තා කර තිබුණි.

ජාතික සතොස සන්නාමයෙන් සහල් වෙළඳපොළට

 

“ජාතික සතොස” යන වෙළඳ සන්නාමය යටතේ ඇසුරුම් කරන ලද නාඩු සහ සුදු කැකුළු සහල් අද (අගෝස්තු 19) සිට වෙළඳපොළට නිකුත් කෙරේ. පාරිභෝගිකයින්ට මෙම සහල් දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් වලින් මිලදී ගත හැකි බව වාර්තා වේ.

ගුණාත්මක භාණ්ඩ හිඟයකින් තොරව සාධාරණ මිලකට පාරිභෝගිකයින්ට ලබා දීම සහ මෙරට ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි.

මෙම වැඩසටහන ආරම්භ වන්නේ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අයත්, ශ්‍රී ලංකාවේ පැරණිතම සංස්ථාවක් වන “සමූපකාර තොග වෙළඳ සංස්ථාව” නැවත සක්‍රීය කිරීමත් සමඟය.

පසුගිය රජය සමයේ ඈවර කිරීමට නියමිතව තිබූ මෙම ආයතනය, නව රජය බලයට පත්වීමෙන් පසු “ජාතික සමූපකාර තොග වෙළඳ සංස්ථාව” යන නව නාමයෙන් සහ නව මුහුණුවරකින් යළි ආරම්භ කර ඇත

පෑලියගොඩදී වෙඩි තැබීමක්

 

අද (අගෝස්තු 19) උදෑසන, පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.

මෙම වෙඩි තැබීමෙන් පෑලියගොඩ මාළු වෙළඳාමේ නිරත වන පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට රෝහල්ගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

වහපු කඩ අරින්න ජාජබෙන් තර්ජන – මන්ත්‍රී රාසමානික්කම්ගෙන් චෝදනා

 

දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතාට අනුව, අගෝස්තු 18 වන දින උතුරු-නැගෙනහිර ප්‍රදේශවල පැවති හර්තාලය අතරතුර, මඩකලපුව ප්‍රදේශයේ වසා දමා තිබූ කඩ සාප්පු නැවත විවෘත කරන ලෙස බල කරමින් ජාතික ජන බලවේගයේ (ජාජබ) මන්ත්‍රීවරුන් පිරිසක් තර්ජනය කර තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඊට අදාළ වීඩියෝ සාක්ෂි තමන් සතුව ඇති බවයි.

මෙම හර්තාලය ඉතා සාර්ථක වූ බවත්, එය දහවල් 12:00 දක්වා පැවති බවත් රාසමානික්කම් මහතා පැවසීය. මෙම හර්තාලයට ප්‍රධාන හේතුව වූයේ, ආණ්ඩුව බලයට පත්වන විට දෙමළ ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම බව ඔහු පෙන්වා දුන්නේය. හර්තාලයෙන් පසුව පවා ආණ්ඩුවේ කිසිදු නියෝජිතයෙක් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කතා නොකළ බවට ඔහු චෝදනා කළේය.

ආණ්ඩුව දිගින් දිගටම ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන්නේ නම්, හර්තාලයට සීමා නොවී උතුරු-නැගෙනහිර පරිපාලන කටයුතු පවා නැවැත්වීමට ජනතාව සූදානමින් සිටින බව රාසමානික්කම් මහතා කියා සිටියේය.

කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම හර්තාලය ‘එක් දේශපාලන කණ්ඩායමක වුවමනාවකට සිදු කරන කාරණයක්’ ලෙස හැඳින්වීම සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා විවේචනය කළේය. මුලතිව්හි පුද්ගලයන් හතර දෙනකුට හමුදාව යොදවා පහර දීමක් හා තරුණයෙකු මිය යාම පිළිබඳව පැවති මාධ්‍ය හමුවකදී හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි සිදුවීමක් සිදු නොවූ බව ප්‍රකාශ කළ නමුත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊට පරස්පර පිළිතුරක් දුන් බවද ඔහු සිහිපත් කළේය.

අරුණේ නිරෝෂා CIDයට කැඳවයි !

“අරුණ” පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් සිදුකර තිබේ.

ඒ, නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

නාවික හමුදා කණ්ඩායමක් විසින් තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවක් පිළිබඳව උදය ගම්මන්පිල කරන ලද ප්‍රකාශයක් පිළිබඳව අරුණ පුවත්පතේ පළ කෙරුණු පුවතක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක මිනීමැරුම් අංශය හමුවේ පෙනී සිටින නිරෝෂා වාසලට දැනුම් දී ඇති බව සඳහන්.

තැපැල් වැඩවර්ජනය අදත්

අද (අගෝස්තු 19) දිනයේද තැපැල් සේවකයන් සිය දීපව්‍යාප්ත වැඩවර්ජනය දිගටම කරගෙන යන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතාට අනුව, අගෝස්තු 17 වන දින ආරම්භ වූ මෙම වැඩවර්ජනය ඔවුන්ගේ ඉල්ලීම් 19ක් මුල්කරගෙන සිදුවේ. ඔවුන් සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලැබෙන තුරු වැඩවර්ජනය අත්හිටුවන්නේ නැති බවත්, අද දිනයේදී සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සංදේශයක් භාර දීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර, තැපැල්පති රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කළේ, තැපැල් සේවකයන්ගේ බොහෝ ඉල්ලීම් දැනටමත් ලබා දී ඇති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා වැඩවර්ජනය නවත්වන ලෙස තැපැල් වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරන බවයි.

ලොකු දොස්තරලා තුන්දෙනෙක්ට එරෙහිව පරීක්ෂණයක්

 

රත්නපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

පසුගිය අගෝස්තු 14 වන දින මෙම වෛද්‍යවරුන් තිදෙනා තම නිල රාජකාරී වේලාව තුළ පෞද්ගලික රෝහලක ශල්‍යකර්මයකට සහභාගී වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා සඳහන් කළේ, මෙම සිදුවීම මඟින් පොදු චක්‍රලේඛ අංක 02/99 උල්ලංඝනය වී ඇති බවයි.

සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව, හදිසි අවස්ථාවකදී පෞද්ගලික රෝහලක රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට විශේෂඥ වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම්, අදාළ පෞද්ගලික රෝහල විසින් ප්‍රථමයෙන්ම රාජ්‍ය රෝහලේ අධ්‍යක්ෂවරයාට දැනුම් දිය යුතු අතර, අධ්‍යක්ෂවරයාගේ අනුමැතියෙන් පසු පමණක් වෛද්‍යවරයාට එම සේවය සඳහා සහභාගී විය හැකිය. කෙසේ වෙතත්, මෙම සිදුවීමේදී එම ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසා ඇත.

මෙම වෛද්‍යවරුන් රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දීමකින් තොරව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුට පමණක් දැනුම් දී ගොස් ඇති අතර, ඒ සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට බලයක් නොමැති බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දී තිබේ.

මෙම සිද්ධිය වූ දින, නොමේරූ ළදරු ඒකකය භාරව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා සහ පැය 24 පුරා රාජකාරියේ නිරත විය යුතු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාද මේ පිරිසට අයත් බව වාර්තා වේ.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසීමට මාධ්‍ය උත්සාහ කළද, ඒ සඳහා ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

ගතවූ මාස අටට දුම්රිය පීලි පැනීම් 71ක්

මෙම වසරේ (2025) ඊයේ (18දා) දින දක්වා මාර්ගයන්හි සහ දුම්රිය අංගණවල සිදුව ඇති දුම්රිය පීලි පැනීම් ප්‍රමාණය 71ක් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එහිදී පසුගිය වසරේ (2024) එවැනි අවස්ථා 101ක්ද 2023 වසරේ 139ක්ද වාර්තා වී තිබේ.

ඊයේ උදෑසන ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ සමුද්‍රදේවි කාර්යාල ශීඝ්‍රගාමී දුම්රිය ද කොළඹ කොටුව සහ මරදාන අතර පීලිපැනීමකට ලක්විය. මෙම දුමිරිය පසුගිය සෙනසුරාදා දින ද එම ස්ථානයේදීම පීලිපැනීමකට ලක්ව තිබිණි.

Add to cart