වැඩ භාරගත් අලුත් පොලිස්පති

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පති ලෙස අද (14) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයෙකු පත්කිරීමේ තීරණය ගෙන තිබුණු අතර, ඔහුගේ පත්වීම් ලිපිය ඊයේ (13) පස්වරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී භාරදෙන ලදී. මෙම පත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද හිමිව තිබේ.

වෘත්තියේ දීර්ඝ කාලීන පසුබිමක් සහිත නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන සියලුම අවධි ජයගනිමින් පොලිස්පති ධුරයට පත්වූ ශ්‍රී ලංකා පොලිසියේ පළමු පොලිස්පති ලෙස ඉතිහාසයට එකතු විය.

ධුරය භාරගැනීමේ අවස්ථාවේදී, ඔහු ප්‍රකාශ කළේ පොලීසියේ ගෞරවය, ප්‍රෞඩත්වය සහ විනය සුරකිමින් විනයානුකූල පොලීසියක් ගොඩනැගීම තම ප්‍රමුඛ අභිප්‍රාය බවයි. තමාට අට ලෝ දහම හොඳින් හුරු පුරුදු බවත්, පොලිසියේ දැක්ම යථාර්ථ‍යක් කිරීමට සියලු පොලිස් නිලධාරීන්ගෙන් ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වන බවත් නව පොලිස්පතිවරයා සඳහන් කළේය.

කණ්ඩලමේ හැඩකාරයා මරුට !

”කණ්ඩලමේ හැඩකාරයා” නමින් හැඳින්වුණු වන අලියා ඊයේ (අගෝස්තු 13) පස්වරුවේ මියගොස් තිබේ.

ඉදිරි පාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා, කණ්ඩලම වැව් තාවුල්ලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම වන අලියා පසුගිය දිනවල අසාධ්‍ය තත්වයේ පසුවිය.

කණ්ඩලමේ හැඩකාරයා යනු වයස අවුරුදු 25 – 30 අතර පසුවූ දැවැන්තයෙකි. මෙම වන අලියා මීට පෙර ද වෙඩි ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර ලබා සුවවී වනයට මුදාහැර සිටියදී මෙසේ නැවතත් වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබිණි.

පසුගිය මාස කිහිපය තුළ අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන් සිදුවූ වන අලි මරණ ගණනාවක්ම මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබිණි.

01දා සිට සඳුදාට මියුසියම් වහලා

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කොළඹ ජාතික කෞතුකාගාරය හා අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර සැප්තැම්බර් 01දා සිට සෑම සඳුදා දිනකම නඩත්තු කටයුතු සඳහා වසා තැබෙනු ඇතැයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරි ආරච්චි මහත්මියගේ අත්සනින් යුත් නිවේදනයක දැක්වෙන්නේ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින අතුරින් ජාතික නිදහස් දිනය, සිංහල හින්දු අළුත් අවුරුදු නිවාඩු දින 2ක්, කම්කරු දිනය හා වෙසක් පොහෝ දිනය යන දින වලද කෞතුකාගාරය විවෘත නොකරනු ඇති බවයි.

අනෙකුත් දින වලදී පෙ.ව. 9.00 – ප.ව. 6.00 දක්වා කොළඹ ජාතික කෞතුකාගාරය හා ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරය විවෘතව පැවැතෙනු ඇත. අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර විවෘතව තබන වේලාව වන්නේ පෙ.ව. 9.00 – ප.ව. 5.00 දක්වාය.

කෙසේවුවත්, කොළඹ ජාතික කෞතුකාගාරය හා ස්වභාවික විද්‍යා කෞතුකාගාරය නැරැඹීමේ ඒකාබද්ධ ප්‍රවේශ පත්‍රය නිකුත් කරන වේලාව ප.ව. 3.00ටත්, අනෙක් කෞතුකාගාර සඳහා ප්‍රවේශ පත්‍රය නිකුත් කරන වේලාව ප.ව. 4.00ටත් අවසන් වනු ඇත.

අදානිගේ 8.26යි අලුත් එක 4.65යි

මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී (13) පස්වරුවේ පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී රටේ බලශක්ති අවශ්‍යතාව සහ ආර්ථිකයට ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරිණි.

සුළං බලාගාරය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ඇති වී ඇති ගැටලු පිලිබදව සොයා බලා ඒ සඳහා විසදුම් ලබා දීමට අවශ්‍ය ව්‍යුහයක් ඇති කිරීමටද මෙහිදී තීරණය විය. එසේම ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර, මේ වනවිට ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ද තීරණය කරන ලදී.

බලශක්තිය යනු ප්‍රදේශයේ පමණක් නොව රටේ ජාතික සම්පතක් බවත්, විදුලිය ප්‍රශ්නය ගෘහස්ථ විදුලි බිලට පමණක් නොව රටේ නිෂ්පාදන පිරිවැය, විදෙස් ආයෝජන සහ සමස්ත ආර්ථිකය සමඟ බැඳී පවතින බවත් ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාවේදී පෙන්වා දෙනු ලැබීය.

මෙම ව්‍යාපෘති මඟින් ජනතාවගේ ජීවන වෘත්තියට, ආර්ථිකයට හා ජීවිතය පවත්වාගෙන යාම සඳහා වන බලපෑම් සහ ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට රජය ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

රටේ සියලුම සම්පත් මේ රටේ ජනතාවට අයිති බවත් බලශක්තිය යනු එක් ප්‍රදේශයකට සීමා වන දෙයක් නොව සමස්ත රටේම ජනතාවගේ අයිතියක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පමා කිරීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට තිබෙන අවස්ථාව මඟ හැරයාම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධතා දැක්වීම නිසා සිදු වන්නේ ආයෝජකයින්ට, කර්මාන්තකරුවන්ට සහන ලබාදීමට ආණ්ඩුවට නොහැකි වීම බවද සඳහන් කළේය.

එම නිසා සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු පාර්ශ්ව එකඟතාවයන්ට පැමිණිය යුතු බවත් සංවර්ධන ව්‍යාපෘති සිදු කෙරෙන ප්‍රදේශයේ ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විසඳුම් ලබාදීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

මෙහිදී මන්නාරම ප්‍රදේශය නියෝජනය කරමින් පැමිණි ආගමික නායකයින් ඇතුළු ජනතාව කියා සිටියේ ඉල්මනයිට් ව්‍යාපෘතිය සහ සුළං බලාගාර ව්‍යාපෘතිය නිසා පරිසර හානි මෙන්ම ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවය.

පරිසර වාර්තා සහ නිර්දේශ නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳවද එම ජනතාව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුම්වත් කරන ලදී.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මන්නාරම ප්‍රදේශයේ ජනතාවට මුහුණ දෙන ගැටලු සොයා බැලීම සඳහා මෙම ව්‍යාපෘතිය මසකින් කල් දමන බවය.

එම කාලය තුළ ගැටලු සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කියා සිටියේය.

අදානි සමාගම මඟින් විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් 8.26 කට මිලදී ගැනීමට තිබූ අතර එය ලංකාවේ මුදලින් රුපියල් 25කි. නමුත් මෙම සුළං විදුලි ව්‍යාපෘතියේ නිෂ්පාදිත විදුලි ඒකකයේ මිල ඇමරිකානු ඩොලර් 4.65ක් වන අතර එය ශ්‍රී ලංකා රුපියල් 13ක්වේ. විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ සාමාන්‍ය මිල රුපියල් 13ක අවස්ථාවරයකට පවත්වාගෙන යාමට රජය සැලසුම් කර තිබේ.

උතුරේ කෝකිලායි පාලම ප්‍රතිසංස්කරණය කිරීම සහ මන්නාරම නව ජල යෝජනා ව්‍යාපෘතිය සඳහා ලබන අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

සුළං විදුලි බලාගාරය හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වයක් තිබේ නම් ඒ පිළිබඳ වාර්තාවක් සකසා දෙන ලෙස ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මෙහිදී සඳහන් කළේය.

ඉඩම් ගැටලු විසඳීම සඳහා, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ඉඩම් අමාත්‍යංශය සහ පරිසර අමාත්‍යංශය එක්ව උතුරේ ඉඩම් පිළිබඳ වාර්තාවක් සකස් කර යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.

උතුරු පළාත් ආගමික නායකයින්ද, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ යන මහත්වරු සහ උතුරු පළාත නියෝජනය කරන පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මන්නාරම පුරවැසි කමිටු නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

රඳවා ගත් වාහන රැඳවුම් ගාස්තු චීනෙට

තෙවැනි පාර්ශ්ව රටකදී ණයවර ලිපි (Letter of Credit) විවෘත කිරීම මඟින් ආනයන කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට රේගුව චෝදනා කරමින් ආනයනික වාහන 1000ක් පමණ රඳවා තබාගෙන ඇතැයි වාහන ආනයන කරුවෝ චෝදනා කරයි.

වාහන ආනයනකරුවන් පවසන පරිදි, රේගුව විසින් මැයි 27 වැනිදා සිට තෙවැනි පාර්ශ්ව රටකදී ණයවර ලිපි විවෘත කර ඇති වාහන නිදහස් කිරීම අත්හිටුවා ඇත.

මෙම වාහන සඳහා වන ප්‍රමාද ගාස්තු මේ වන විට අතිශය ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර, රජය විසින් තීරණයක් ගන්නා විට එම ගාස්තු පාරිභෝගිකයාට දැරිය නොහැකි වනු ඇතැයි ආනයනකරුවෝ පෙන්වා දෙති.

විශේෂයෙන්, හම්බන්තොට වරායේ රඳවා ඇති වාහන සඳහා අය කෙරෙන ප්‍රමාද ගාස්තු ලැබෙන්නේ ශ්‍රී ලංකා රජයට නොව චීන රජයට බවද ඔවුහු ප්‍රකාශ කරති.

රේගුවේ වාහන සිරවී තිබීම හේතුවෙන් වෙළෙඳපොළේ වාහන සැපයුම පහළ බැස ඇති අතර, එමඟින් වෙළෙඳපොළේ පවතින වාහනවල මිල ඉහළ යෑමේ අවදානමක් පවතී. මෙම තත්ත්වය අවසානයේදී පාරිභෝගිකයාට සෘජුවම බලපාන බව ආනයනකරුවෝ පෙන්වා දෙති.

ආනයනකරුවන් පවසන පරිදි, බොහෝ දෙනා දැනටමත් ණයවර ලිපි සඳහා මුදල් ගෙවා අවසන් කර ඇති අතර, වාහන නිදහස් කිරීම සඳහා විශාල නැව් ගාස්තුද ගෙවා ඇත. මෙම පිරිවැය අවසානයේදී ආනයන පිරිවැයට එකතු වේ.

මෙම ගැටලුවට ප්‍රායෝගික විසඳුමක් ලබා දෙන ලෙස ආනයනකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ගැටලුවට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් බොහෝ පාර්ශ්වයන් මේ වන විට දැඩි අපහසුතාවට පත්ව සිටින බවද ඔවුහු අවධාරණය කරති.

ලුණු කන්ටේනර් 1000ක් රේගුවේ හිරවේ

ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනයෙන් පසුව මෙරටට ලැබුණු සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාද වූ ලුණු කන්ටේනර් 1000ක් පමණ ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබෙන බව ලුණු ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.

රජය මෙරටට ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනය වූ පසුගිය ජූනි 10 වැනිදායින් පසුව මෙරටට පැමිණි ලුණු කන්ටේනර් 400 ක් රේගුවේ සිරවී තිබෙන ලුණු කන්ටේනර් 1000 ට අයත් වන බවත් ඉතිරි 600 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාදවීම හේතුවෙන් සිරවී තිබෙන කන්ටේනර් බවත් අනයනකරුවෝ සඳහන් කළහ.

අවසන් දිනය පසුවී මෙරටට ලැබුණු ලුණු කන්ටේනර් 400 සඳහා රජය සහනයක් ලබා නොදුන් බවත් එම ලුණු තොගය නැවත ප්‍රතිඅපනයනය කරනු ඇති බවත් ආනයනකරුවෝ සඳහන් කළහ. වෙළෙඳපොළේ මේ වනවිට ප්‍රමාණවත් ලුණු තොග තිබෙන බැවින් ඒ වෙනුවෙන් මේ අවස්ථාවේ සහනයක් අපේක්ෂා නොකරන බවත් එම ලුණු තොගය නැවත ප්‍රතිඅපනයනය කරනවාට විරුද්ධතාවක් නොමැති බවත් ආනයනකරුවෝ පැවැසූහ.

නැවත ප්‍රතිඅපනයනය කරන ලුණු කන්ටේනර 400 ප්‍රමාදවී ලැබීමට ආනයනකරුවන් හෝ අපනයනකරුවන් වැරදිකරුවන් නොවන බවත් එම අවස්ථාවේදී පැවැති දේශගුණික තත්වය ඊට හේතුවූ බවත් ඔවූහු පෙන්වා දුන්හ.

ආරංචි මාර්ගවලට අනුව දැනට වාරයේ සිරවී තිබෙන ලුණු බහාලුම් 400 ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණීමේදී ප්‍රමාද වී ඇත්තේ අහිතකර කාලගුණික තත්වයන් නිසාය. ගුජරාට් වරායෙන් නියමිත දිනට නැව්ගත කර ඇතත් අහිතකර කාලගුණික තත්වයන් හේතුවෙන් එම නැව් මෙරටට පැමිණෙන විට ජූනි 10 පසුවී ඇත.

රජය අවසර ලබාදීමට ප්‍රතික්ෂේප කර ඇති ලුණු මෙට්‍රික් ටොන් 10,000 වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියනයක් බවද පැවැසෙයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලැබීම ප්‍රමාදවීම බවත් ඒ හේතුවෙන් ලුණු කන්ටේනර 600 කට ආසන්න ප්‍රමාණයක් මාසයක පමණ කාලයක සිට සිරවී තිබෙන බවත් ඒ පිළිබඳව පසුගියදා සාකච්ඡාවක් පැවැත්වුණු බවත් ආනයනකරුවෝ ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලැබීමට ප්‍රමාද හේතුව තමන් නොදන්නා බවද ඔවූහු පෙන්වා දුන්හ.

කාලගුණික හේතූන් නිසා මෙරට ලුණු නිෂ්පාදනය පසුගිය කාලයේදී පහළ වැටුණු අතර ඒ හේතුවෙන් මාස කීපයකට පෙර මෙරට දැඩි ලුණු හිඟයක් ඇතිවිය. ඒ හේතුවෙන් රජය ලුණු ආනයනයට පනවා තිබූ සීමා ඉවත් කරනු ලැබුවේය. එහිදී ලුණු මෙට්‍රික් ටොන් 150,000 ක් මෙරටට ආනයනය කිරීමට රජය අවසර ලබාදී තිබිණි. ලුණු ආනයනය කිරීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය ජූනි 10 වැනිදායින් අවසන් විය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලැබීම ප්‍රමාදවීම හේතුවෙන් මාසයකට ආසන්න කාලයක සිට ලුණු කන්ටේනර් 600 කට ආසන්න ප්‍රමාණයක් රේගුවේ සිරවී තිබෙන බවට වාර්තා කරුණු සම්බන්ධයෙන් අප පුවත්පත කළ විමසීමකදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රකාශකයකු පවසා සිටියේ ආනයනකරුවන් 45 දෙනකුගේ පමණ මෙරටට ආනයනය කළ ලුණු තොග මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීම හේතුවෙන් එම ලුණු තොග සඳහා අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි.

එම ලුණු තොග ශ්‍රී ලංකාව රේගුව නැවත ප්‍රතිඅපනයනය කරනු ඇති බවත් ප්‍රතිඅපනයනය කරන ලුණු තොගයට කන්ටේනර් කොපමණක් ඇතුළත්වේදැයි ප්‍රකාශ කිරීම අපහසු බවත් ඔහු පැවැසුවේය. ඊට හේතුව නිසි ප්‍රමිතියක් නොමැතිවීම හේතුවෙන් ප්‍රමිතිකරණ සහතික ලබාදීම ප්‍රතික්ෂේප කළ ඇතැම් ආනයනකරුවන් විශාල වශයෙන් මෙරටට ප්‍රමිතියෙන් තොර ලුණු තොග ගෙන්වා තිබීම බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් පසුගිය කාලයේදී මෙරට ඇතිවූ ලුණු හිඟයත් සමග ලුණු ආනයනය අවසර ලබාදීම හේතුවෙන් විශාල වශයෙන් මෙරටට ලුණු ආනයනය කළ බවත් එහිදී ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදුවූ බව ඔහු පැවැසුවේය. එසේම ඇතැම් ලුණු තොග ප්‍රමිතිකරණ සහතික ලබාදීමට පෙර දෙවැනි වරටත් සාම්පල පරික්ෂා කිරීමට සිදුවූ අවස්ථා තිබූ බවත් එවන් අවස්ථාවලදී එම තොග ගෙන්වූ ආනයනකරුවන් නැවත වරක් සාම්පල බාරදීමේදී ප්‍රමාදයන් සිදුවූ බවත් ඔහු ප්‍රකාශ කළේය. තවද අවශ්‍ය කරන ලිපිගොනු බාරදීමේදී ප්‍රමාදයන් සිදුවූ අවස්ථාද තිබූ බව එම ප්‍රකාශකයා පැවැසුවේය.

(ලංකාදීප)

අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්

 

අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් බන්ධනාගාර සෞඛ්‍ය සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා අගෝස්තු 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කළේ, අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි.

මීට පෙර වාර්තා වූයේ:

වෛද්‍ය රණසිංහ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 2024 වසරේදී රැඳවියෙකු රෝහලේ නේවාසිකව තබාගෙන ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් 300,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මතයි. අත්අඩංගුවට ගන්නා විට ඔහු අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටියා

නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා පොලිසියේ නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබෙනවා.

මෙම පත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද හිමිව ඇති අතර, අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් පත්වීම් ලිපිය නව පොලිස්පතිවරයාට භාර දී ඇත.

නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ශ්‍රී ලංකා පොලිසියේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස ඉතිහාසයට එක් වේ.

පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන සියලු තනතුරු පසුකරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු නිලධාරියා වීමද ඔහුගේ සුවිශේෂීත්වයකි.

හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ අත්අඩංගුවට

 

බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (13) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි ඔහුගේ නිවසේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

2024 වර්ෂයේදී බන්ධනාගාරගතව සිටි රැඳවියෙකුට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබා දීම සඳහා රුපියල් 1,500,000 ක මුදලක් ඉල්ලා, ඉන් රුපියල් 300,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහු අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටියේය. සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!

 

විපක්ෂයේ දේශපාලන පක්ෂ එකමුතු කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් හෙට (14) පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාකච්ඡාව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, එය පසුගිය සතියේ ඔහුගේ නිවසේ පැවති සාකච්ඡාවේම දිගුවක් බව වාර්තා වේ.

එහි අරමුණ, ආණ්ඩුවට සෘජුවම අභියෝග කරන සන්ධානයක් පිහිටුවීම නොව, විපක්ෂයේ පක්ෂ අතර පොදු එකමුතුවක් ගොඩනැගීම බව විපක්ෂයේ දේශපාලන නියෝජිතයෝ පැවසූහ.

Add to cart