බස් 40කට බිමල්ගෙන් AI

රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි.

කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මුල් අදියර යටතේ අදාළ තාක්ෂණික යන්ත්‍ර 40ක් බස්රථවල සවිකිරීමට නියමිත බවය.

“AI තාක්ෂණය භාවිත කරලා රියදුරන්ට විඩාව එනවා නම්, නිදිමතයි නම්, ඒ අයගේ ඇස් පියවෙනවා නම් සහ රියදුරු රැකියාව කරන අතරතුර නොකළ යුතු වෙනත් දේවල් කරනවා නම්, ඒවා පිළිබඳව AI වලින්ම රියදුරු මහත්තරුන්ට සිස්ටම් එකෙන් මතක් කරනවා. ලංකාවේ මේ වගේ සමාගම් අවුරුදු ගානක් පුරා භාවිත කරලා තියෙනවා. නමුත් ලංකාවේ පොදු ප්‍රවාහනයට විශේෂයෙන්ම ලංගම සහ පෞද්ගලික බස්වල මිලියන ගණන් ජනතාව ගෙනියන ඒවට යෙදවිලා නෑ. ඒ නිසා අපි ඒ අය එක්ක කතා කරලාම ඒ අය කැමැත්තෙන් ඉදිරිපත් වුණා ඔවුන් සතු පරිපාලන දැනුම හා තාක්ෂණය හා උපකරණ ලබාදෙන්න. ඒ උපකරණ 40ක් ලබාදෙනවා බස් 40කට ලබාදෙනවා ලංගම සහ පෞද්ගලික දෙකටම”

මිග් ගැන නැවත උදයංගගෙන් අසයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සහ ඔහුගේ බිරිඳ, මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ප්‍රශ්න කර ඇත.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ පරීක්ෂණ ගොනු යළි විවෘත කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා, රුසියාව සහ යුක්රේනය යන රටවල සහය ලබා ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව සඳහන් වේ.

සුප්‍රීම් සැට් ඉස්ප්‍රීං සැට් වෙයි

ඉස්ප්‍රින්සැට් ආයතනය සම්බන්ධයෙන් සත්‍යය ඉදිරියේදී එලියට එනු ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්දා සුරවීර මහතා සඳහන් කරයි.

එම චන්ද‍්‍රිකාව ගුවන්ගත්ත කිරීම සඳහා ඩොලර් මිලියන දොළොස්දහසක මුදලක් වියදම් වී ඇති බවද හෙතෙම කියා සිටී.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු සිදුවෙමින් ඇති බවත් ඒ අනුව ඉදිරියේදී සත්‍ය එළිදරව් වනු ඇති බව පැවසූ එනිසා කලබල වීමේ උවමනාවක් නැතැයි ද ඔහු කියා සිටියේය.

වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

නඩු කටයුත්තක් පවතින ඉඩමක විදුලි රැහැන් වෙනස් කිරීමට කොට්ටහච්චිගෙන් බලපෑම්

 

පානදුර දිසා අධිකරණයේ නඩු කටයුත්තක් පවතින ඉඩමක විදුලි රැහැන් සම්බන්ධයෙන් ගැටලුවක් 2019 වසරේ සිට පැවත එන අතර, එම ඉඩමේ නඩු කටයුත්ත අවසන් වන තෙක් විදුලි රැහැන් ඉවත් කිරීම නොකළ යුතු බවට 2024 වසරේදී පානදුර ප්‍රාදේශීය ලේකම්වරිය ලිඛිතව දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව, පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චිගේ බලපෑම් මත, පානදුර ප්‍රාදේශීය ලේකම් සහ විදුලි අධිකාරි විසින් මෙම නඩු කටයුතු පවතින ඉඩම තුළ විදුලි රැහැන් වෙනස් කිරීමට බලහත්කාරයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ල වී ඇත.

වාර්තා වන පරිදි, මන්ත්‍රීවරිය විසින් අදාළ රාජ්‍ය නිලධාරීන්ට දැඩි ලෙස බලපෑම් කර ඇති බව පැවසේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් විමසීම් කිරීමට මේ වන විටත් උත්සාහ කරමින් සිටින නමුත්, ඔවුන්ගේ ප්‍රතිචාර තවමත් ලැබී නොමැත.

 

රාවණාගේ දඬුමොණර ආණ්ඩුව ගොඩගනී ?

රාවණා රජු ස්ථාන 25ක සඟවා ඇතැයි කියන ගුවන් යානා 19ක් ගොඩ ගැනීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ අංශය සූදානම් වෙයි.

දැනට සොයාගෙන ඇති මෙම ස්ථාන 25 සම්බන්ධයෙන් තොරතුරු රැසක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ අංශය විසින් තහවුරු කරගෙන ඇති අතර මෙම ගුවන් යානා රාවණා රජු විසින් නිෂ්පාදනය කරන ලද ඒවා බවත් එම යානා රසදිය සහ වෙනත් රසායනික ද්‍රව්‍ය යොදාගෙන ගුවන් ගතකර ඇති බවත් සිදු කරනු ලැබූ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි එම අංශය කියයි.

මෙම ගුවන් යානා එකල කුරුණෑගල, වාරියපොල, සීගිරිය. දඹුල්ල, බදුල්ල, මහියංගනය, හම්බන්තොට යන පළාත්වල ගල්ගුහා තුළ සහ පොළොව අභ්‍යන්තරයේ සඟවා ඇති බවට තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට මෙම පරීක්ෂණ අංශය සමත් වී ඇත.

මෙහිදී රාවණා රජුගේ ගුවන් යානා පාලනය කිරීම සඳහා වෙනම පුද්ගලයකු ද සිටි බවට තොරතුරු අනාවරණය කර ගැනීමට එම පරීක්ෂණ අංශය සමත් වී ඇතැයි පැවැසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ, සංවර්ධන හා සැලසුම් අංශයේ කළමනාකරු නුරංග අධිකාරි මහතා සඳහන් කළේ මෙම ගුවන් යානා සඟවා ඇති ස්ථාන පිළිබඳව නිශ්චිතවම තහවුරු කර ගැනීමට හැකියාව පවතින්නේ කාබන් පරීක්ෂණයක් මගින් පමණක් බවය.

එහෙත් ඒ සඳහා විශාල මුදලක් වැය වනු ඇති බවත් එක් කාබන් පරීක්ෂණයක් කිරීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් වැය වන බවත් එය මෙරට දී සිදු කිරීමට තරම් තාක්ෂණික හැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

එම කාබන් පරීක්ෂණය සිදුකිරීම සඳහා යොදාගනු ලබන තාක්ෂණය ඇත්තේ ඇමෙරිකාවේ පමණක් බවද ඔහු කීවේය.

රාවණා රජුගේ මෙම ගුවන් යානා සොයා ගැනීමේ ව්‍යාපෘතියක් 2020 වසරේදී ආරම්භ කෙරුණු නමුත් ඒ සඳහා එවකට පැවති රජය අවශ්‍ය තරම් මූල්‍ය ප්‍රතිපාදන නොදීම නිසා එම ව්‍යාපෘතිය අතරමගදී නැවැත්වීමට සිදුවී තිබේ.

හරිනි සොයා ඉන්දියාව ගෙදරටම

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ්-ජා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

නායකත්වය සහ සැලසුම් කිරීම සඳහා වන පුහුණු වැඩසටහන් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබේ.

දෙමළ මාධ්‍ය සඳහා පවතින ගුරු හිඟයට විසඳුම් සෙවීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙන යාම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

Ella Weekend Express දුම්රිය ලබන සෙනසුරාදා සිට!

 

සංචාරක කර්මාන්තය දිරිගැන්වීම සහ මගී සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා “Ella Weekend Express” නමින් නව දුම්රියක් ලබන සෙනසුරාදා (අගෝස්තු 16) සිට ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය අත්විඳීමට දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේද ඉහළ ඉල්ලුමක් පවතින බැවින් මෙම නව සේවාව ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අගෝස්තු 16 වැනිදා සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 5.30ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා මෙම දුම්රිය ගමන් ආරම්භ කරනු ඇත. ආපසු ගමන් කිරීම සඳහා, අගෝස්තු 17 වැනිදා සිට සෑම ඉරිදා දිනකම පස්වරු 1.45ට බදුල්ලෙන් පිටත්ව කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතය.

2025 විශාලතම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

 

මෙම වසරේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (අගෝස්තු 12) මධ්‍යම රාත්‍රියේ සිට හෙට උදෑසන දක්වා නැරඹිය හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

“පර්සීස්” ලෙස නම් කර ඇති මෙම උල්කාපාත වර්ෂාවට හේතුව පර්සීස් තාරකා රාශිය ආශ්‍රිතව සිදුවීමයි. එහි ඇති විශේෂත්වය වන්නේ පැයකට උල්කාපාත 100ක් පමණ දැකගත හැකි වීමයි. වීරසේකර මහතා සඳහන් කළේ මෙවැනි විශාල උල්කාපාත ප්‍රමාණයක් දැකගත හැකි වන්නේ ඉතා දුර්ලභ අවස්ථාවලදී බවයි.

මෙම උල්කාපාත වර්ෂාව නැරඹීමට හොඳම කාලය වන්නේ හෙට උදෑසන 5ට පමණ උතුරු දිශාව බැලීම බව ඔහු වැඩිදුරටත් පැවසීය. පර්සියස් තාරකා රාශිය මධ්‍යම රාත්‍රියෙන් පසු ක්ෂිතිජයෙන් මතු වී අලුයම් කාලය දක්වා ඉහළට ගමන් කරන නිසා, උදෑසන 5ට පමණ එය හොඳින්ම දැකගත හැකියි.

කැනඩාවට යන්න කලින් හරිනි හමුවෙන්න ඇවිත්

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් අතිගරු Eric Walsh  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

අග්‍රාමාත්‍යවරිය, තම ධුර කාලය තුළ මහ කොමසාරිස්වරයාගේ දායකත්වය අගය කළ අතර, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහුගේ විවෘතභාවය සහ කැපවීම පිළිබඳ විශේෂයෙන් සඳහන් කළාය. කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අගමැතිනිය වෙත කරුණු පැහැදිලි කළ මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා කැනඩා රජයේ අඛණ්ඩ සහය ලබාදෙන බවද සඳහන් කළේය.

ගුරු සහ පරිපාලන සේවාවන්හි මාරුවීම් සඳහා නව ක්‍රමවේදයක්!

ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී කාරක සභාවේ මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ, විශේෂයෙන්ම උතුරු මැද පළාතට පත් කළ නිලධාරීන් 6 දෙනෙකුගෙන් 5 දෙනෙකුම නැවත ස්ථාන මාරුවීම් ලබාගෙන ඇති බවයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, පත්වීම් ලබාදීමේදී මානුෂීය කරුණු සහ සේවා අවශ්‍යතාව සැලකිල්ලට ගත යුතු බව අගමැතිනිය පෙන්වා දුන්නාය.

මේ වන තෙක් ගුරු සහ පරිපාලන සේවාවන්හි මාරුවීම් සඳහා විධිමත් සැලැස්මක් නොතිබුණු බවත්, මේ වන විට ඒ සඳහා පිළියම් සකස් කරමින් සිටින බවත් ඇය ප්‍රකාශ කළාය. මානුෂීය කරුණු ද සලකා බලා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බව අගමැතිනිය වැඩිදුරටත් පැවසුවාය.

මීට අමතරව, ආබාධිත සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අගමැතිනිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය. එසේම, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත් කරන ලද අනුකාරක සභා 6ක ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

Add to cart