2025 විශාලතම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

 

මෙම වසරේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (අගෝස්තු 12) මධ්‍යම රාත්‍රියේ සිට හෙට උදෑසන දක්වා නැරඹිය හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

“පර්සීස්” ලෙස නම් කර ඇති මෙම උල්කාපාත වර්ෂාවට හේතුව පර්සීස් තාරකා රාශිය ආශ්‍රිතව සිදුවීමයි. එහි ඇති විශේෂත්වය වන්නේ පැයකට උල්කාපාත 100ක් පමණ දැකගත හැකි වීමයි. වීරසේකර මහතා සඳහන් කළේ මෙවැනි විශාල උල්කාපාත ප්‍රමාණයක් දැකගත හැකි වන්නේ ඉතා දුර්ලභ අවස්ථාවලදී බවයි.

මෙම උල්කාපාත වර්ෂාව නැරඹීමට හොඳම කාලය වන්නේ හෙට උදෑසන 5ට පමණ උතුරු දිශාව බැලීම බව ඔහු වැඩිදුරටත් පැවසීය. පර්සියස් තාරකා රාශිය මධ්‍යම රාත්‍රියෙන් පසු ක්ෂිතිජයෙන් මතු වී අලුයම් කාලය දක්වා ඉහළට ගමන් කරන නිසා, උදෑසන 5ට පමණ එය හොඳින්ම දැකගත හැකියි.

කැනඩාවට යන්න කලින් හරිනි හමුවෙන්න ඇවිත්

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් අතිගරු Eric Walsh  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

අග්‍රාමාත්‍යවරිය, තම ධුර කාලය තුළ මහ කොමසාරිස්වරයාගේ දායකත්වය අගය කළ අතර, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහුගේ විවෘතභාවය සහ කැපවීම පිළිබඳ විශේෂයෙන් සඳහන් කළාය. කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අගමැතිනිය වෙත කරුණු පැහැදිලි කළ මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා කැනඩා රජයේ අඛණ්ඩ සහය ලබාදෙන බවද සඳහන් කළේය.

ගුරු සහ පරිපාලන සේවාවන්හි මාරුවීම් සඳහා නව ක්‍රමවේදයක්!

ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී කාරක සභාවේ මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ, විශේෂයෙන්ම උතුරු මැද පළාතට පත් කළ නිලධාරීන් 6 දෙනෙකුගෙන් 5 දෙනෙකුම නැවත ස්ථාන මාරුවීම් ලබාගෙන ඇති බවයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, පත්වීම් ලබාදීමේදී මානුෂීය කරුණු සහ සේවා අවශ්‍යතාව සැලකිල්ලට ගත යුතු බව අගමැතිනිය පෙන්වා දුන්නාය.

මේ වන තෙක් ගුරු සහ පරිපාලන සේවාවන්හි මාරුවීම් සඳහා විධිමත් සැලැස්මක් නොතිබුණු බවත්, මේ වන විට ඒ සඳහා පිළියම් සකස් කරමින් සිටින බවත් ඇය ප්‍රකාශ කළාය. මානුෂීය කරුණු ද සලකා බලා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බව අගමැතිනිය වැඩිදුරටත් පැවසුවාය.

මීට අමතරව, ආබාධිත සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අගමැතිනිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය. එසේම, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත් කරන ලද අනුකාරක සභා 6ක ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

අවුරුදු 32කට පසු අනුර තරුණ සමුළුවක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වසර 32කට පසු මෙරට තුළ ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

ඒ අනුව එම සමුළුව අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බවත්, ඒ සඳහා තරුණ තරුණියන් 6000කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත අතර ඒ සදහා රට පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 14,022 ක සංඛ්‍යාවෙන් ග්‍රාමසේවා වසම් 12,700කට වැඩි ප්‍රමාණයක ‍Youth Club පිහිටුවා අවසන් බවත්, ප්‍රාදේශීය සම්මේලන හා දිස්ත්‍රික් සම්මේලන සියල්ල පවත්වා අවසන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව අද අගෝස්තු 12 වැනිදා පැවැත්වෙන ‍Youth Club ජාතික සම්මේලනයේ දී නව නිලධාරි මණ්ඩලය හඳුන්වා දීමට කටයුතු කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කරයි.

විනය පරීක්ෂණයේ නිවැරදිකරුවන් යළි වැරදිකරුවන් කරලා!

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට එරෙහිව පවත්වන ලද විධිමත් විනය පරීක්ෂණවලින් නිවැරදිකරුවන් බවට පත්වූ සෞඛ්‍ය නිලධාරීන් 19 දෙනෙකු පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (විමර්ශන) තාරකා කරුණාරත්න මහත්මිය විසින් යළි වැරදිකරුවන් බවට නිර්දේශ කර ඇතැයි වෛද්‍ය සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

විධිමත් විනය පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් සහ විශාල මුදලක් වැය වන බව පෙන්වා දෙන වෛද්‍ය චමල් සංජීව, එම පරීක්ෂණවලින් ලබා දෙන තීරණ මෙලෙස වෙනස් කරන්නේ නම්, එම පරීක්ෂණ සඳහා වැය කළ මුදල් අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් අය කර ගැනීමට රජය කටයුතු කළ යුතු බව සඳහන් කරයි.

මීට අදාළව තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසීමකට අනුව, 2025 ජූලි 24 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තාරකා මේධාවී දිසානායක මහත්මිය විසින් නිකුත් කරන ලද ලිපියක් මගින් මෙම තත්ත්වය සනාථ වන බව ඔහු පෙන්වා දෙයි. එම ලිපියට අනුව, විධිමත් විනය පරීක්ෂණවලදී සෞඛ්‍ය සේවකයින් 13 දෙනෙකු නිවැරදිකරුවන් වූ අතර, ඉන් 19 දෙනෙකු පමණ යළි වැරදිකරුවන් බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කර ඇත.

මෙම තත්ත්වය අතිශයින් කණගාටුදායක බවත්, විධිමත් විනය පරීක්ෂණ කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දමන ක්‍රියාවක් බවත් චමල් සංජීව මහතා පෙන්වා දෙයි. එම නිසා, මේ පිළිබඳව වෙනම විමර්ශනයක් පවත්වන ලෙස ඔහු සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.

ගංජා වවන්න ආණ්ඩුවෙන් අවසර

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් රජය විසින් නව ආයෝජන අවස්ථාවක් ලෙස ප්‍රථම වරට විදේශීය ආයෝජකයන්ට දැඩි කොන්දේසි යටතේ නීත්‍යානුකූලව කංසා වගා කිරීමට අවසර ලබා දී තිබේ.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් අධීක්ෂණය කෙරෙන අතර, එහි මූලික අරමුණ වන්නේ කංසා ඇසුරෙන් ඖෂධ නිෂ්පාදනය හා පර්යේෂණ කටයුතු සඳහා පමණක් යොදාගන්නා නිෂ්පාදන අපනයනය කිරීම තුළින් රටට සැලකිය යුතු විදේශ විනිමයක් උපයා ගැනීමයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් 37ක් අතරින් සුදුසුකම් සපුරාලූ විදේශීය ආයෝජකයන් 7 දෙනෙකු තෝරාගෙන ඇති අතර, ඔවුන්ට මූලික වශයෙන් මාස 6ක තාවකාලික බලපත්‍රයක් නිකුත් කර තිබේ. මෙම කාලසීමාව තුළ ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය අනුව ඉදිරියේදී වගා කාලය දීර්ඝ කිරීමට නියමිතය.

ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා එක් ආයෝජකයකු විසින් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක මූලික ආයෝජනයක් සිදු කළ යුතු වන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 2ක බැඳුම්කරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කිරීම අනිවාර්ය වේ.

මෙම තොරතුරු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා විසින් තහවුරු කර ඇත.

මිරිගම ප්‍රදේශයේ පිහිටි අක්කර 64ක භූමි ප්‍රමාණයක් මෙම වගාවන් සඳහා වෙන්කර ඇත. මෙම වගාවන් සිදු කළ යුත්තේ ශ්‍රී ලංකාවේ පවතින නීති රෙගුලාසිවලට අනුකූලව දැඩි ආරක්ෂිත විධිවිධාන යටතේය.

ඒ අනුව, වගා බිම වටා ශක්තිමත් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට අමතරව, විශේෂ කාර්ය බළකායේ (STF) සහ ශ්‍රී ලංකා පොලීසියේ ආරක්ෂාව ලබා ගැනීමද අනිවාර්ය වේ.

මෙම ව්‍යාපෘතිය මගින් වගා කරන කංසා ශ්‍රී ලංකාව තුළ භාවිතයට නොගෙන සම්පූර්ණයෙන්ම අපනයනය කළ යුතු අතර, කංසා ගසේ කිසිදු කොටසක් (ඇට, කොළ, මුල්) බාහිර පරිසරයට මුදා නොහැර විනාශ කිරීමට නීති රෙගුලාසි පනවා ඇත.

මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් ඒකාබද්ධව කටයුතු කරනු ඇත.

වැ.බ ප්‍රියන්ත අද ස්ථීර වෙයි

පොලිස් දෙපාර්තමේන්තුවේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා ව්‍යවස්ථාදායක සභාව විසින් අද දිනයේ පත් කිරීමට නියමිතව ඇති බව එම සභාවේ ආරංචි මාර්ග පවසයි.

ව්‍යවස්ථාදායක සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට රැස්වීමට නියමිතව ඇති අතර එහිදී නව පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් තීරණය ගැනීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යෝජනා කර තිබේ.

1988 වර්ෂයේ දී පොලිස් කොස්තාපල්වරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී ඇති ප්‍රියන්ත වීරසූරිය මහතා 1992 වර්ෂයේදී උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලබා ඇත.

1999 වර්ෂයේදී සහකාර පොලිස් අධිකාරි තරග විභාගයෙන් සමත්වී එම තනතුරට උසස්වීම් ලැබූ වීරසූරිය මහතා, 2007 වර්ෂයේ පොලිස් අධිකාරි ලෙසත් 2012 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙසත් 2016 වර්ෂයේ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් උසස්වීම් ලබා ගත්තේය.

2020 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූ ඒ මහතා 2024 වර්ෂයේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස උසස්වීම් ලැබුවේය.

අදානිගේ වාහන වලට මන්නාරමේදී පොලිස් ගාඩ්

මන්නාරමේ සුළං විදුලි බලාගාර ඉදිකිරීමට අවශ්‍ය යන්ත්‍ර රැගත් වාහන පෙළක් ඊයේ (11) රාත්‍රී මන්නාරම නගරයට පැමිණීමත් සමගම ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් නගරයට එක්වී විරෝධය දක්වා ඇතැයි වාර්තා වේ.

මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් 200 කින් පමණ සමන්විත බල ඇණියක් නගරයට පැමිණ විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

වැසියන් පිරිසක් මහා මාර්ගයේ වැතිර සුළං බලාගාර ඉදිකිරීමට රැගෙන යන යන්ත්‍ර රැගත් වාහනවල ගමන්මග අවුරමින් කටයුතු කර ඇති බවද වාර්තා වේ.

මන්නාරමේ සුළං විදුලි බලාගාර ඉදි කිරීමට එරෙහිව මුලු උතුරු පළාත පුරාම දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතීන අතර ජනතාව පෙන්වා දෙන්නේ එම බලාගාර ඉදි කිරීම නිසා උතුරේ ධීවරයින්ට මත්ස්‍ය සම්පත අහිමි වී යන බවය.

කෘෂිකාර්මික කටයුතු වලටද විශාල බාධාවක් මෙම සුළං බලාගාර නිසා ඇති වන බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන් ඒවායෙහි යන්ත්‍ර භ්‍රමණය වන ශබ්දයට පක්ෂීන් බියට පත්වීම නිසා මන්නාරමේ කුරුලු පාරාදීසයට විශාල බලපෑමක් එල්ල වන බවද ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ඊයේ (11) දිවා භාගයේද විරෝධතාවක් දියත් කර තිබූ අතර තවත් පිරිසක් ඊට පක්ෂවද විරෝධතාවක් දියත් කර තිබිණි.

අද ලෝක අලිඇතුන්ගේ දිනයයි

ලොව පුරා අලිඇතුන් සංරක්ෂණය හා ආරක්ෂාව වෙනුවෙන් ප්‍රකාශයට පත්කළ ‘ලෝක අලිඇතුන්ගේ දිනය’ අදට (අගෝස්තු 12) යෙදී තිබේ.

අප්‍රිකානු සහ ආසියානු වනඅලි සහ හීලෑ අලිඇතුන් රැකබලා ගැනීම, අලි ඇතුන් දඩයම් කිරීම, විකිණීම, අලි වාසස්ථාන ආරක්ෂා කිරීම සහ ගෘහාශ්‍රිත අලිඇතුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය කටයුතු සඳසා අරමුණ කරගනිමින් 2012 වසරේ දී මෙම දිනය ප්‍රකාශයට පත්කරන ලදී.

එතැන් සිට මේ දක්වා වූ කාලය තුළ ලොව රටවල් 100කට අධික සංඛ්‍යාවක් මෙම දිනය පිළිගෙන සැමරීම කරනු ලබයි.සොබාදහම සංරක්‍ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයට අනුව අද වනවිට අප්‍රිකානු අලි ‘අවදානමට ලක්විය හැකි’ ලෙසත් ආසියානු අලි ‘වඳවීමේ තර්ජනයට ලක්ව ඇති’ ලෙසත් රතු ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇත.

වර්තමානය වනවිට අප්‍රිකානු අලිඇතුන් ලක්ෂ 4ක් පමණද, ආසියානු අලිඇතුන් 50,000කට ආසන්න සංඛ්‍යාවක්ද සිටින බවටද ඇස්තමේන්තු කර තිබේ. ඉන් ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වනඅලි ගහනය 7,500ක් බව සඳහන්ය.ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ කතාව දැන් ඇත්තේ ඉතා ඛේදනීය තැනකය. දශක ගණනාවක් තිස්සේ සිට අප මේ ගැන කතා කළද, එම දශක කිහිපයම දිනෙන් දින ගෙවී ගියේ අලින්ට, අලින්ගේ නිජ බිම්වලට, අලින්ගේ සංක්‍රමණික මාර්ගවලට සහ ඔවුන්ගේ වාසභූමිවලට යහපතක් උදාවීමෙන් තොරවය.

අලි-මිනිස් ගැටුම දිනෙන් දින උග්‍රවී වාර්ෂිකව අලි මරණ 450 ක් දක්වා වර්ධනය වීම සුළුවෙන් තැකිය හැකි සංසිද්ධියක් නොවේ.

අලි-ඇතුන් බුරුතු පිටින් මියයන්නේ එසේ ඔවුන් රැකගන්නට සැබෑ සැලසුමක් නැති බැවින් යන්න පරිසරවේදීන්ගේ ප්‍රධාන චෝදනාවයි.

2011 වසරේදී සිදුකරන ලද අවසන් වන අලි සංගණනයට අනුව මෙරට කැලෑ තුළ වෙසෙන වන අලි සංඛ්‍යාව 5879 ක් විය. එනමුත් නව සංගණනයක්ද 2024 වසරේ අගෝස්තු මාසයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන්නට යෙදිණි. එනමුත් එම සංගණන දිනයේදී වර්ෂාව පැවති නිසා සිදුකරන ලද සංගණනය දෝෂ සහිත අසාර්ථක සංගණනයක් බව පරිසරවේදීන්ගේ අදහසයි.

අලින් අතර සුවිශේෂ පිරිස ඇතුන් ය. එය අතිශයෝක්ති කතාවක් නොවේ. සංචාරක ආකර්ෂණය දිනාගත් ඇත් පරපුර නිසා මෙරටට ඩොලර් උපයා ගැනීමේ මඟ විවරවී ඇත.මේ දිනවල බොහෝ අයගේ මාතෘකාව ගල්ගමුව ඇත් පරපුරේ ‘කාවන්තිස්ස’ මහ ඇතු ගැනය. ඒ කාවන්තිස්ස පසුපසද වෙඩික්කරුවෝ හඹා යන බවට පැතිරෙන කතාවක් නිසාය. මීට සති කිහිපයකට පෙර කතා කළේ වෙඩි වැදී වැටී සිට අකාලයේ මියගිය ‘භාතිය’ ගැන ය.. විටෙක ගල්ගමුවේ පූට්ටුවා, සියඹලන්ගමුවේ මහ ඇතා, රේවත, භරණ, චන්ඩි, දීඝදන්තු 1-2, වළගම්බා වැනි ඇත්තු ගැනද අපි විටින් විට කතා කළෙමු. නැතහොත් කුමන දළ පූට්ටුවා, සැන්ඩෝ, ගැමුණු වැනි දකුණේ ඇතුන් ගැන කාලයක් අවධානය යොමු කළෙමු.

එනමුත් මේ ඇතුන්ගෙන් වැඩි දෙනා අද ජීවතුන් අතර නැත.

වන අලින්ට ප්‍රතිකාර කිරීම සදහා ජංගම වෛද්‍ය ඒකකයක් ක්‍රියාත්මක බව, පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, වනජීවි දෙපාර්තමේන්තුවේ අඩුපාඩුවක්ව පවතින භෞතික සම්පත් මිලදී ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි.

පොහොට්ටුවෙන් ජනපතිවරුන්ගේ හිමිකම් කපන පනතට එරෙහිව පෙත්සමක්!

 

1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අවලංගු කිරීමට ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාලක ලේකම් රේණුක දුෂ්‍යන්ත පෙරේරා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ, යෝජිත පනත් කෙටුම්පතේ 1 සිට 4 දක්වා වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති බලය බෙදීමේ මූලධර්මය, ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වන බවයි. එමෙන්ම, මෙම කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4 සහ 12(1) වගන්තිවල සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් ද සෘජුවම උල්ලංඝනය වන බව පෙත්සමෙහි සඳහන්.

එම නිසා, මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම්, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. නීතිඥ අෂොක් කුමාර ගුරුබරන් විසින් නීතිඥ එන්.එස්. වෙල්ගමගේ උපදෙස් මත මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

Add to cart