පොහොට්ටුවෙන් ජනපතිවරුන්ගේ හිමිකම් කපන පනතට එරෙහිව පෙත්සමක්!

 

1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අවලංගු කිරීමට ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාලක ලේකම් රේණුක දුෂ්‍යන්ත පෙරේරා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ, යෝජිත පනත් කෙටුම්පතේ 1 සිට 4 දක්වා වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති බලය බෙදීමේ මූලධර්මය, ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වන බවයි. එමෙන්ම, මෙම කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4 සහ 12(1) වගන්තිවල සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් ද සෘජුවම උල්ලංඝනය වන බව පෙත්සමෙහි සඳහන්.

එම නිසා, මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම්, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. නීතිඥ අෂොක් කුමාර ගුරුබරන් විසින් නීතිඥ එන්.එස්. වෙල්ගමගේ උපදෙස් මත මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

අධ්‍යාපන ලේකම්ට ඇති වාහන 139ක් අතුරුදන්

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමට ලියාපදිංචි කර තිබූ වාහන එකසිය තිස්නවයක් අතුරුදන්ව ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවකින් හෙළිවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය. හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (11 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

අදාළ වාහන මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොමැති බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි මැදිහත්වීමක් මේ සම්බන්ධයෙන් සිදුකළ යුතු බව හෙතෙම කියා සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ජාතික විගණන කාර්යාලය අධ්‍යාපන අමාතයාංශය සම්බන්ධයෙන් විගණන වාර්තාවක් එළිදක්වලා තියෙනවා. මේකේ තියෙන ප්‍රධාන කාරණයක් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විවෘත විශ්වවිද්‍යාල දුරස්ථ අධ්‍යාප රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවා 2020 සහ 2021, 2022 වසර වලදී රුපියල් මිලියන පන්දාස් දෙසිය දහනවයක් වියදම් කරලා තියනවා. ජාතික අධ්‍යාපන ආයතනය මගින් රුපියල් මිලියන තුන්සිය පනහක් වියදම් කරලා තියෙනවා. සැලසුම් කළ පරිදි ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට අපොහොසත් වෙලා තියෙනවා.2025 මාර්තු 26 වැනිදා වන විටත් මේ සම්බන්ධයෙන් මාර්ග සිතියමක් සිදුකරලා නෑ කියලා විගණන වාර්තාව හඳුනගෙන තියෙනවා. 2024 මැයි මාසය වන විටත් උසස් පෙළ සිසුන් පමණක් නොව සාමන්‍ය පෙළ සිසුන්ද පාසලට පැමිණීම සීමාවෙමින් පවතින තත්ත්වයක් විගණනයට නිරීක්ෂණය වෙලා තියෙනවා. දැන් ටියුෂන් වලින් තමයි ඉගෙන ගන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය ජ්‍යෙෂ්ඨ ද්වීතික මට්ටමේ නිලධාරී පුරප්පාඩු අටසිය අසූවයි, ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු දෙදාස් හාරසිය දහඅටයි.”

චීන රජයේ ප්‍රධානයක් විදිහට ලබාගන්නා ලද සුහුරු පුවරු පන්සීයක් පාසල් පද්ධතිය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකර සුහුරු පුවරු දාහක් මිලදී ගැනීමට පමණක් කටයුතු කරලා තියෙනවා 2024 අගෝස්තු මස 08 වැනිදා.

මූලාශ්‍රය – අරුණ

දුම්රියේ බිලියනයක යකඩ හොරපාරේ

දුම්රිය දෙපාර්තුමේන්තුව භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙටි්‍රක්ටොන් 6,000 ක පමණ විශාල ප්‍රමාණයක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රධාන පෙළේ යකඩ සමාගම් දෙකකට විකිණීමට සූදානම් වන බවට ශ්‍රී ලංකා වානේ සංස්ථාවේ මිලදී ගැනීමේ බලලත් නිලධාරියා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි කර තිබේ.

මෙම යකඩ අළෙවි කිරීමට සම්බන්ධ ප්‍රසම්පාදන කමිටුව හෝ ඇගයිම් කමිටුව අසම්පූර්ණ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැතිව වැරදි ලේඛණ සහිතව දෙපාර්තුමේන්තුවට පාඩු වන මිල ඉදිරිපත් කළ සමාගම්වලට අඩුපාඩු සහිත ලේඛණ යළි නිවැරදි කරගැනීමට අවස්ථාවක් දී තිබෙන බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ.

දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ ප්‍රසම්පාදන අංශ නිලධාරීන් මෙම උත්සහායේ නිරතව සිටින බවත් දුම්රිය දෙපාර්තුමේන්තුව සතු අබලි යකඩ පුද්ගලික අංශය වෙත විකිණීමට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය පසුගිය ජුලි මාසයේදී ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් හරහා ආරම්භ කළ අතර එම ටෙන්ඩර් සදහා ඉදිරිපත් වූ සමාගම් ඉදිරිපත් කළ ලේඛණ පසුගිය මස 23 වැනිදා විවෘත කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.

එහිදි සමාගම් 11 ක් ප්‍රසම්පාදනයට අදාල ලේඛණ සහ ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබුණු අතර ඒ අතරින් සමාගම් දෙකක් ප්‍රසම්පාදනයෙන් ප්‍රතික්ෂේප වන ආකාරයට කර්මාන්ත සංවර්ධණ මණ්ඩලයේ සත්‍ය ලේඛණ සහ මිල ගණන් ඉදිරිපත් කිරීමේදී සියයට 18 ක එකතු කළ අගය මත බදු අගයන් ඉදිරිපත් කර නොමැති බව නිරික්ෂණය වී ඇති බව ද ඔවුහු පවසති.

මෙම තත්වය මත නිවැරදි ලෙස මිල ගණන් සහ ලේඛණ ඉදිරිපත් කර තිබූ සමාගම්වලට අවස්ථාව අහිමි වන අතර රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශමාලාවට අනුව ටෙන්ඩර් විවෘත කළ පසු ටෙන්ඩර් පත්‍රිකාවල හිස්තැන් පිරවීමට ප්‍රසම්පාදන කමිටුවට බලයක් නැති අතර මෙම ටෙන්ඩරය රුපියල් මිලියන 1,000 කට වැඩි වීම මත පෙර සුදුසුකම් නිරීක්‍ෂණය බලධාරීන් අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවත් දුම්රිය වෘත්තිය සමිති පවසයි.

– Lankadeepa

බිලියන 100ක් වෙන් කළත්, ප්‍රගතිය 12% යි

 

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ප්‍රගතිය මේ වසරේ (2025) දී සියයට 12ක් වැනි ඉතා දුර්වල මට්ටමක පවතින බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ආයෝජන අධීක්ෂණ හා ඇගයීමේ කමිටුව සඳහන් කරයි. මෙම අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 100ක ප්‍රාග්ධනයක් වෙන් කර තිබුණත්, ජූනි මස 30 වන විට වැය කර ඇත්තේ රුපියල් මිලියන 12,452 ක් පමණක් බවද එම කමිටුව තහවුරු කරයි.

රාජ්‍ය ආයෝජන මත ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ගැටලු සහ ප්‍රමාදයන් වළක්වා ගනිමින් අපේක්ෂිත ප්‍රතිඵල මහජනතාවට ළඟා කර දීම මෙම කමිටුවේ අරමුණයි.

ඒ අනුව, අමාත්‍යාංශයේ කටයුතු දුර්වල බැවින් ඉදිරි මාසවල වියදම් පුරෝකථනයක් ඉදිරිපත් කරන ලෙස කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත.

මෙම කමිටුවේ සම සභාපතිවරුන් ලෙස උසස් අධ්‍යාපන, අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී.අපෝන්සු කටයුතු කරති.

බොරැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට තවත් 3කට මාංචු!

බොරැල්ල, සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 24, 25 සහ 40 වයස්වල පසුවන බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි. ඔවුන් මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැක කෙරේ.

මීට පෙරද මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔහු මේ වනවිට දින තුනක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටී.

පසුගිය අගෝස්තු 7 වැනිදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදු කළ මෙම වෙඩි තැබීමෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි. ඉන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තිදෙනෙකු තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

රජයේ ගබඩා 12ක් වී නැතිව වේලේ

මෙවර පොළොන්නරුව දිස්ත්‍රීක්කය ඇතුළු මහවැලි බී හා සී කලාපවල යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ රජයේ වී අලෙවි මණ්ඩලය මගින් ආරම්භ කළ ද මෙතෙක් කිසිදු ගබඩාවකට වී ලැබී නොමැති බව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා 12ක් මේ වනවිට විවෘතව තැබෙන අතර ඉකුත් 15 වෙනිදා සිට එම ගබඩා විවෘත කළ බවත්, මෙතෙක් කිසිදු ගොවි සංවිධානයක් හෝ ගොවියකු වී අලෙවි මණ්ඩලයට වී ලබාදී නොමැති බව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමනාකාර නිමල් ඒකනායක සදහන් කරයි.

ගොවීන්ගේ මෙවර යල කන්නයේ අමු සහ වියළි වී මිලදී ගැනීමට රජය මුදල් ප්‍රමාණවත් තරම් වෙන්කර තිබුණද පෞද්ගලික වෙළඳපොලේ තරගකාරී අයුරින් වෙළෙඳුන් වී මිලදී ගැනීමේ කටයුතු සිදු කරන බැවින්, ගොවීන් මණ්ඩලයට වී ලබාදීමට මැලිකමක් දක්වන බවද දිස්ත්‍රික් කළමනාකාරවරයා පවසයි.

මේ වනවිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පෞද්ගලික වෙළඳුන් අමු නාඩු වී කිලෝවක් රුපියල් 98 ත්100 ත් අතර මිලකටත්, වියලි නාඩු කිලෝවක් 125 ත් 130 ත් අතර මිලකට ලබාගන්නා අතර ඔවුන් කුඹුරටම පැමිණ එලෙස වී ලබාගැනීම නිසා තමන් රජයේ සහතික මිලට වී රජයට ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත්, කාලය, ධනය, ප්‍රවාහන වියදම් වැය කරමින් රජයේ ගබඩාවලට වී ලබාදීම විශාල පාඩුවක් බවත් ගොවීහු සඳහන් කරයි.

මෙවර යල කන්නයේ සාර්ථක වී අස්වැන්නක් තිබුනද ප්‍රමාණවත් වී මිලක් නොමැති බව පවන ගොවීන් වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 125 ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන බව පෙන්වා දෙති. වි කිලෝවක් සඳහා අවම තරමේ රුපියල් 150 සහතික මිලක් වත් නියම කරන්නේ නම් ගොවියාට යම් ලාභයක් ලබා ගැනීමට හැකි වන බව පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සි කලාපවල ගොවීහු පවසයි.

ඉෂාර නානායක්කාර මෙරට ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක සභාපතිවරයකු වන ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතා මෙරට ධනවත්ම පුද්ගලයා ලෙස පත්ව ඇති බව Gulf News වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔහුගේ වත්කම ඩොලර් බිලියන 1.6ක් ලෙස ගණන් බලා ඇති අතර, ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති බව සඳහන් වේ.

මේ අතර, ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස මුකේෂ් අම්බානි පෙරමුණේ පසුවන අතර, ඔහුගේ වත්කම ඩොලර් බිලියන 118ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. ඊට අමතරව, දකුණු ආසියාවේ ධනවතුන් අතර පාකිස්තානයේ ෂාහිඩ් ඛාන් (ඩොලර් බිලියන 13.5), බංග්ලාදේශයේ මොසා බින් ෂම්ෂර් (ඩොලර් බිලියන 12), සහ නේපාලයේ බිනෝද් චෞද්‍රි (ඩොලර් බිලියන 1.6) ද ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

හරි සහ වැරදි කමිටුවක් පත්කරන්න

“පහුගිය දවස්වල ලොකු කතාවක් ගියා රොකටි යවපු එකෙන් ලොකු ගාණක් ලංකාව වියදම් කරලා තියනවා, ඒක වංචාවක් කරලා තියනවා, රාජපක්ෂලා ඒකට ගොඩක් වියදම් කරලා ඒකට සල්ලි ගෙව්වා කියලා ආන්දොලණයක් වුනා.

ඊට පස්ස ඒ පිලිබද පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ අහනකොට අගමැතිතුමිය පිලිතුරු දුන්නා ඒකට ලංකාවෙන් සතයක්වත් වියදම් කරලා නැ කියලා. ඒත් ඇමතිවරු කිහිපදෙනෙක් කියනවා ඒකට වියදම් කරලා තියනවා. අගමැතිතුමියගේ පිලිතුර හරි නැහැ කියලා.

දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක වී.රාධා ක්‍රිෂ්ණන් පවසයි. හැටන් නගරයේ පැවැති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කල අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාධා ක්‍රිෂ්නන් මෙසේද ප්‍රකාශ කලා.

අපි දැනගන්න ඕන පාර්ල්මේන්තුවේ ඇත්ත කථාව නැත්නම් ජනතාව පාර්ලිමේන්තුව විශ්වාස කරන්නේ නැ. මිනිස්සු හිතන් ඉන්නේ පාර්ලිමේන්තුවේ කියන සේරම දේවල් ඇත්ත කියලා. වැරදි නැතුව ඒ දේවල් කියනවා කියලා.

හරි කියලා වැරදි කියලා කමිටුවක් පත් කරනවා නම්, අපිට ඒ දේවල් පිලිගන්න බැ කියලා තමයි උත්තර දෙන්න තියෙන්නේ.

ඒ වගේම පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාම කිව්වා වතුකම්කරුවන්ට රු.1700ක් පඩි දෙන්නම් කියලා. අද වෙනකම් ඒ පඩි දීලා නෑ. තවමත් රු. 1350ක් තමයි එයාලට ලැබෙන්නේ. පාර්ලිමේන්තුවේම කිහිප සැරයක් කියලා මිනිසුන්ව නොමග යවන ප්‍රශ්න තමයි කරන්නේ.

ඒක නිසා පාර්ලිමේන්තුව කියන දේවල් හරියට කරන්න ඕන. එවා ඉශ්ට කරන්න ඕන.

හොරු අල්ලනවා කියලා, හොරු අල්ලනවා ආය නිදහස් කරනවා. මේ වගේ සෙල්ලම් වැඩ පාර්ලිමේන්තුවේ කරන්න හොද නැ. පිලිවෙළට වැඩ කරන්න ඕන කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද පාර්ලිමේන්තුව කියන්නේ දේශීය විදේශීය ජනතාව බලන එකක්.

උප පොලිස් පරීක්ෂකවරයෙක් සිය දිවි නසාගෙන!

 

වීරගුල පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසයි.

අද පස්වරු 2:00ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ 56 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇත.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා දින නියම වෙයි!

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සහ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, 2025 උසස් පෙළ විභාගය නොවැම්බර් 10 වන දින සිට දෙසැම්බර් 5 වන දින දක්වා පැවැත්වෙනු ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල්වරිය පවසයි.

එමෙන්ම, 2025 සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 වන දින සිට පෙබරවාරි 26 වන දින දක්වා පැවැත්වීමට නියමිත බවද සඳහන්ය.

Add to cart