ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල සැප්තැම්බර් 20ට පෙර!

 

අද (10) පැවති 2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 20 වන දිනට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී පැවති මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 307,951ක් පෙනී සිටියහ.

ජනපති ලබන මාසේ ඇමරිකාවෙන් ජපානයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේ සහ ජපානයේ නිල සංචාර දෙකක නිරත වීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපතිවරයා සැප්තැම්බර් 25 වන දින ඇමරිකාව බලා පිටත්ව යන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමටයි. සැප්තැම්බර් 24 වන දින පැවැත්වෙන මෙම සැසිවාරයේදී රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිවරයා පැහැදිලි කිරීමට නියමිතය. මෙම සංචාරය අතරතුර, ඔහු ලෝක නායකයින් කිහිප දෙනෙකු ද හමුවීමට අපේක්ෂා කරයි.

ඇමරිකා සංචාරය අවසන් කර, ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වන දින නිව්යෝක් සිට ජපානයේ ඔසාකා නගරයට පැමිණෙනු ඇත. ජපාන අග්‍රාමාත්‍ය ෂීගේරු ඉෂිබා මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කෙරේ. සැප්තැම්බර් 29 වන දින ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වන ජනාධිපතිවරයා, සැප්තැම්බර් 30 වන දින ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුවීමට ද නියමිතය.

මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණු වනුයේ ශ්‍රී ලාංකිකයන් සඳහා ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීම සහ දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමයි. මෙම සංචාරය අතරතුර ජපානයේ පැවැත්වෙන 2025 එක්ස්පෝ ප්‍රදර්ශනයට ද ජනාධිපතිවරයා සහභාගී වන අතර, එහිදී පැවැත්වෙන ශ්‍රී ලංකා දින සැමරුම සඳහා ද එක්වීමට නියමිතය. මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය, වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් සහභාගී වනු ඇත. මීට අමතරව, ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ද හමුවීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

ලන්ඩනයේ පැලස්තීන ක්‍රියාකාරී රැලියකින් 474ක් අත්අඩංගුවට!

බ්‍රිතාන්‍යය තුළ තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති ‘පැලස්ටයින් ඇක්ෂන් ගෘෘප්’ (Palestine Action Group) නම් සංවිධානයට සහාය පළ කරමින් ලන්ඩනයේ පැවති රැලියකට සහභාගී වූ 474කට අධික පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බ්‍රිතාන්‍ය නීතියට අනුව, මෙම සංවිධානයේ සාමාජිකත්වය හෝ එයට සහාය දැක්වීම අපරාධමය වරදක් වන අතර, නීතිය උල්ලංඝනය කරන්නන්ට වසර 14ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකිය.

පොලීසියට අනුව, පසුගිය වසර 10 තුළ ලන්ඩන් පොලීසිය එක් දිනක් තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත් අවස්ථාව මෙයයි.

මන්ත්‍රීන් 499කට පෙන්ෂන් නැතිවෙන ලකුණු!

 

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත වුවහොත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 499 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමි වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම පනත් කෙටුම්පත මගින් විශ්‍රාම වැටුප් අහිමි වන පිරිස අතරට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු ද ඇතුළත් බව වාර්තා වේ.

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් දිගු කලක සිට සමාජය තුළ විවේචන පැවති අතර, මෙම පනත් කෙටුම්පත ඒ සඳහා යෝජිත විසඳුමක් ලෙස සැලකේ.

යූත් එකේ ප්‍රශ්න ගැන රනිල් කළ ප්‍රකාශය!

 

යෞවන සමාජ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, වර්තමානයේ උද්ගතව ඇති ගැටලු පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් එම ව්‍යාපාරය දේශපාලනීකරණය නොකරන ලෙස ඉල්ලා සිටී. අමාත්‍යවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

මීට වසර 40කට පමණ පෙර තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව යෞවන සමාජ ආරම්භ කළ බව සිහිපත් කළ වික්‍රමසිංහ මහතා, එහි මූලික අරමුණ වූයේ ගමේ තරුණ තරුණියන්ට තම දක්ෂතා සහ හැකියාවන් දියුණු කර ගැනීමට අවස්ථාව සැලසීම බවයි. මෙම ව්‍යාපාරය සාර්ථක වී ඇති බවත්, එහි සාමාජිකයන් බොහෝ දෙනෙක් දේශපාලනය හා ව්‍යාපාර ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට පිවිස ඇති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ සංශෝධන හේතුවෙන් විශාල ගැටලුවක් මතුව ඇති බවත්, මේ වන විටත් ඒ සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වෙන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය. විරෝධතාකරුවන් පවසන්නේ, මෙම සංශෝධන මගින් යෞවන සමාජ දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන බවයි.

මෙම ගැටලුව දුරදිග යෑමට පෙර විසඳාගත යුතු බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, උද්ඝෝෂණවල නිරත වන හිටපු නිලධාරීන් සහ වත්මන් දිස්ත්‍රික් නියෝජිතයන් සමඟ සාකච්ඡා කර සියලු දෙනාටම එකඟ විය හැකි විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. මෙම ගැටලුව විසඳා නොගතහොත් එය දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වී, අවසානයේ යෞවන සමාජ ව්‍යාපාරයම විනාශ වී යනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.

“මේ රටේ යෞවන සමාජ දේශපාලනය සඳහා යොදා නොගන්නා බව අප සියලු දෙනාම දැනගත යුතුයි,” යනුවෙන් ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිවරයා, තමාගේ එකම අරමුණ යෞවන සමාජ ව්‍යාපාරය ආරක්ෂා කිරීම බව පැවසීය.

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය තෙදින සංචාරය නිමා කරයි!

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය ඇතුළු දූත පිරිස අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියහ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව යාමට පෙර ඇය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

මෙම සාකච්ඡාවලදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙන දෙන ක්ෂේත්‍ර පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු විය.

ඇය සිය සංචාරය අතරතුර, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ඕස්ට්‍රේලියාවේ සහාය ඇතිව ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කළ අතර, දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට ද එක් විය.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ මහතා ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

වලස් කටා පනින්න හදලා!

 

අත්අඩංගුවේ පසුවන තිළිණ සම්පත් නොහොත් ‘වලස් කටා’ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී බරපතල තුවාල ලබා ඇත.

දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරු, ඊයේ (9) රාත්‍රී 9:15ට පමණ වැසිකිළි යාමට අවසර ඉල්ලා තිබේ. එහිදී අත්අඩංගුවලින් නිදහස් කර නිලධාරීන් සිව් දෙනෙකු සමඟ වැසිකිළිය වෙත යන අතරතුර ඔහු නිලධාරීන්ට පහර දී තුන්වන මහලෙන් බිමට පැන ඇත.

පොලිසිය සඳහන් කළේ, මෙම සිද්ධියෙන් ඔහුගේ දෙපා කැඩී ගොස් ඇති බවත්, එක් අතක් වැලමිට ප්‍රදේශයෙන් බිඳී ගොස් ඇති බවත්ය.

දැනට ‘වලස් කටා’ කොළඹ ජාතික රෝහලේ දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

විභාග කොමසාරිස්ගෙන් දෙමාපියන්ට ඉල්ලීමක්!

 

අද (10) ආරම්භ වූ 2025 ශිෂ්‍යත්ව විභාගයෙන් පසු දරුවන්ගෙන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දුන් ආකාරය සම්බන්ධයෙන් විමසීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය දෙමාපියන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය පැවසුවේ, ශිෂ්‍යත්ව විභාගය යනු එක් විභාගයක් පමණක් වන බැවින්, එය පදනම් කරගෙන දරුවන් පීඩනයට පත් කිරීමෙන් ඔවුන්ගේ ළමා කාලය විනාශ නොකරන ලෙසයි.

“දරුවන්ගේ හැකියාව වෙනස්. ඒ නිසා දරුවන් සංසන්දනය කරමින්, අද විභාගයට ලිව්වේ මොනවාද කියා සොයා බලා, වැරදි පිළිතුරු දී ඇත්නම් බැනීමට හෝ දඬුවම් කිරීමට යන්න එපා,” යනුවෙන් ඇය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියාය.

විභාගයට මුහුණ දෙන සිසුන්ගේ හැකියාව අනුව පිළිතුරු සපයන බවත්, එම පිළිතුරු වැරදි වුවද, එය ඒ මොහොතේ දරුවාගේ හැකියාව පෙන්නුම් කරන බවත් ඇය අවධාරණය කළාය. “ළමා කාලය ආපසු ලබා ගත නොහැකි දෙයක්. මේ නිසා දරුවන්ගේ ළමා කාලය සතුටින් ගත කිරීමට ඉඩ දෙන්න,” යනුවෙන්ද විභාග කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී අයදුම්කරුවන් 307,951ක් පෙනී සිටින අතර, එයට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 901ක් සහ බ්‍රේල් මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටින දරුවන් 12 දෙනෙකු ද ඇතුළත් බව ඇය කියා සිටියාය.

ලබන වසරේදී පොලීසියේ 6000කට උසස්වීම් දෙනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

පොලිස් දෙපාර්තමේන්තුවේ 6,000කට අධික නිලධාරීන් පිරිසකට ලබන වසරේදී උසස්වීම් ලබා දෙන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ මහියංගනය පොලිස් කොට්ඨාසයේ, දිවුලපැලැස්ස පොලිස් ස්ථානය සඳහා ඉදිකළ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

එමෙන්ම, පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා නීති විරෝධී ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන් 310 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට එක්වූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන්ගේ සහ මහජනතාවගේ ගැටලු දැනුම් දීම සඳහා විශේෂිත WhatsApp දුරකතන අංකයක් ලබන සතියේදී හඳුන්වා දීමට නියමිත බවයි.

ඊසි කෑෂ් වලින් හෙරොයින් බෙදූ සැකකරුට කළුතරදී මාංචු!

 

ඩුබායි සිට ක්‍රියාත්මක වන ප්‍රධාන සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකුගේ ගෝලයෙකු රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා හෙරොයින් සමඟ කළුතරදී අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර අපරාධ කොට්ඨාසයේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මෙම පුද්ගලයා ඊසි කෑෂ් ක්‍රමය භාවිත කරමින් කළුතර, මතුගම, පානදුර, පයාගල සහ බේරුවල ඇතුළු ප්‍රදේශ රැසකට තොග වශයෙන් හෙරොයින් බෙදා හැර ඇති බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වන කළුතර, පළාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ගමන් කළ ත්‍රිරෝද රථය සහ ජාවාරම සඳහා භාවිත කළ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

Add to cart