GovPay සමඟ තවත් රාජ්‍ය ආයතන 50ක්!

 

සැප්තැම්බර් මාසයේ සිට තවත් රාජ්‍ය ආයතන 50ක් GovPay ඩිජිටල් ගෙවීම් පද්ධතියට එක් කිරීමට පියවර ගෙන ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

මේ අනුව, සැප්තැම්බර් මාසය වන විට GovPay පද්ධතියට සම්බන්ධ වන මුළු රාජ්‍ය ආයතන සංඛ්‍යාව 100ක් දක්වා ඉහළ යනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත, එළඹෙන සැප්තැම්බර් මාසය “ඩිජිටල් ආර්ථික මාසය” ලෙස නම් කර තිබේ. රට ඩිජිටල් ආර්ථිකයක් කරා යොමු කිරීමේ අරමුණින්, මෙම මාසය තුළ ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සඳහන් කළේය.

තොරතුරු කොමිසමේ නව සභාපති ලෙස දයා ලංකාපුර!

රජය විසින් තොරතුරු කොමිසමේ නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා පත් කර තිබේ. ඔහු හෙට (අගෝස්තු 11) දින සිය නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.

රත්ගම දේවපතිරාජ විදුහලේ ආදි සිසුවෙකු වන ලංකාපුර මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. දශක හයකට අධික කාලයක් පුරා මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කර ඇති ඔහු, ‘ඇත්ත’ පුවත්පතේ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළේය. ඉන් අනතුරුව, ‘දිවයින’ ඇතුළු පුවත්පත් ගණනාවක ඉහළ තනතුරු දරමින් ඔහු විශාල අත්දැකීම් සම්භාරයක් ලබා ගත්තේය.

වර්තමානයේ ‘රතු ඉර’ පුවත්පතේ ප්‍රවෘත්ති කතෘවරයා ලෙස කටයුතු කරන ලංකාපුර මහතා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකු වන අතර, ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකු ද වේ.

ගම්පහට හෙට පැය 10ක ජල කප්පාදුවක්!

 

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (11) දින පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

මෙම ජල කප්පාදුව හෙට පෙරවරු 10:00 සිට පස්වරු 8:00 දක්වා ක්‍රියාත්මක වනු ඇත.

ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ, නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා වූ සම්ප්‍රේෂණ නළය පිරිසිදු කිරීම සහ විෂබීජහරණය කිරීම මෙම ජල කප්පාදුවට හේතුවයි.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ:

රණ්පොකුණගම, බටලීය, අත්තනගල්ල, පස්යාල, නිට්ටඹුව යන කලාපයන්ට අමතරව නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, ඌරාපොල, දික්කන්ද, මිවිටිගම්මන, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවල, කලල්පිටිය සහ ඇල්ලමුල්ල යන ප්‍රදේශවලටද ජල සැපයුම විසන්ධි වනු ඇත.

සෑම පළාතකම අපරාධ කොට්ඨාස පිහිටුවයි!

 

රට පුරා අපරාධ මැඩලීමේ මෙහෙයුම්වලට සමගාමීව සෑම පළාතකම අපරාධ කොට්ඨාසයක් පිහිටුවා ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

මෙම නව අපරාධ කොට්ඨාස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම, පොලිස් නිලධාරීන්ගෙන් ජනතාවට සිදුවන වැරදි පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

වනෝද්‍යාන ටිකට් ඔන්ලයින් හරහා!

 

වනෝද්‍යාන නැරඹීම සඳහා අවශ්‍ය ප්‍රවේශපත් අද (10) සිට අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම ආරම්භ කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රවේශපත් ලබා ගත හැකිය.

මෙම ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ, ඊයේ (9) කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි සංචාරකයින්ට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු වීමෙන් ඇති වූ අපහසුතා වළක්වාලීමේ අරමුණෙනි.

ශිෂ්‍යත්ව විභාගය අද!

 

2025 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ආරම්භ වේ.

විභාගය පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත අතර, අයදුම්කරුවන් 307,951ක් මේ සඳහා පෙනී සිටීමට නියමිතයි. විභාග මධ්‍යස්ථාන සූදානම් කිරීමේ සහ දුම් ගැන්වීමේ කටයුතු ඊයේ (9) අවසන් කෙරිණි.

විභාගයේදී පළමුව දෙවන ප්‍රශ්න පත්‍රය ලබා දෙන අතර, එය පෙ.ව. 10.45ට අවසන් වීමට නියමිතයි. ඉන්පසුව පැය භාගයක විවේක කාලයක් ලැබෙන අතර, පළමු ප්‍රශ්න පත්‍රය පෙ.ව. 11.15ට ආරම්භ වී ප.ව. 12.15ට අවසන් වීමට නියමිතය. ඒ අනුව, සම්පූර්ණ විභාගය ප.ව. 12.15ට අවසන් වේ.

යෞවන සමාජ අර්බුදය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක් අද!

 

හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට සූදානම් වේ. ඔහුගේ ප්‍රකාශය වත්මන් යෞවන සමාජ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස, වික්‍රමසිංහ මහතා මෙම ආයතනයේ මුල් අරමුණු සහ තම පාලන කාලය තුළ යෞවන සමාජ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙන්යාවේ බසයක් පෙරළීමෙන් 25 ක් මරුට!

 

නිරිතදිග කෙන්යාවේදී සිදුවූ බිහිසුණු බස් රථ අනතුරකින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් මෙම බස් රථය, බටහිර කකාමේගා නගරයේ සිට කිසුමු නගරය දක්වා ධාවනය වෙමින් තිබියදී රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය අය අතර වයස අවුරුදු 10ක දැරියක් ද සිටින බව වාර්තා වේ.

ලොස් ඇන්ජලීස් හි කැනියොන් ගින්නෙන් පදිංචිකරුවන් පීඩා!

 

එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ වයඹ දෙසින් ඇති වූ දරුණු ලැව් ගින්නක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

“කැනියොන් ගින්න” ලෙස නම් කර ඇති මෙම ලැව් ගින්න පසුගිය බ්‍රහස්පතින්දා දහවල් වෙන්දුරා සහ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තවල මායිම් ආශ්‍රිතව ඇවිළී ගොස් තිබේ. ඊයේ (08) වන විට එය අක්කර 5,400ක පමණ ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වී ඇති බව වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 400කට අධික පිරිසක් දැඩි මෙහෙයුම් දියත් කර ඇති අතර, මේ වන විට එයින් 28%ක් පමණ පාලනය කිරීමට හැකි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත්, අධික උණුසුම් හා වියළි කාලගුණය හේතුවෙන් ගිනි නිවීමේ කටයුතු සංකීර්ණ වී ඇති බව බලධාරීහු පෙන්වා දෙති. ගින්න තවමත් සක්‍රීයව පවතින අතර, එය කැස්ටයික් දෙසට නැගෙනහිරට පැතිර යන බව සඳහන් වේ.

ඉදිරි දිනවලදී උෂ්ණත්වය 100°F (37.7°C) දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින්, අවට පදිංචිකරුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස දන්වා ඇත.

කැලිෆෝනියාවේ ලැව් ගිනි බහුලව ඇතිවන අතර, මේ වසරේ ජනවාරි මාසයේදී ලොස් ඇන්ජලීස් ආශ්‍රිතව ඇති වූ ගින්නකින් පුද්ගලයන් 31 දෙනෙකු මිය ගොස්, දහස් ගණනක් ගොඩනැගිලි විනාශ විය.

පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 907ක් අත්අඩංගුවට!

 

දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුමේදී අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් 17ක් සහ වරෙන්තුකරුවන් 343ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ අරමුණින්, ආරක්ෂක නිලධාරීන් 6,129කට අධික සංඛ්‍යාවක් යොදාගෙන මෙම මෙහෙයුම දියත් කර ඇත.

එහිදී, පුද්ගලයන් 27,388ක්, වාහන 9,758ක් සහ යතුරුපැදි 7,509ක් පරීක්ෂාවට ලක් කර තිබේ. නීති විරෝධී ගිනි අවි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම මෙහෙයුමේදී බීමත් රියදුරන් 58ක් අත්අඩංගුවට ගත් අතර, අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි 2,992ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇත.

මීට අමතරව, බූස්ස බන්ධනාගාරයේ සිදු කළ විශේෂ සෝදිසියකදී හෙරොයින් මිලිග්‍රෑම් 11ක් සොයාගෙන තිබේ.

අගෝස්තු 8 වැනිදා තුළදී පමණක් මුළු දිවයිනෙන්ම හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 547ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 726යි මිලිග්‍රෑම් 107ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

Add to cart