ධම්මික එපා බිමල් ලියුමක් දාලා

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත මුදාහරින ලෙස ඉල්ලමින් ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කැබිනට්ටුවට විශේෂ පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ඊට අදාළව කැබිනට් ලේකම් කාර්යාලය විසින්ම නීතිපතිවරයාගේ උපදෙස් පතන ලද අතර නීතිපතිවරයා ද අදාළ ක්‍රියාමාර්ගය අනුමත කරමින් උපදෙස් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පරිපාලන දුර්වලතා සහ මෙහෙයුම් කටයුතුවලදී දිගින් දිගටම සිදුවන අකාර්යක්ෂමතා හේතුවෙන් නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයකු පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

 

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය බලන්න දිගු පෝලිමක්!

 

දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රධාන ආකර්ෂණයක් වන කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන පිරිස්, ප්‍රවේශපත් ලබාගැනීමේදී දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

විශාල සංචාරක පිරිසක් පැමිණියද, ප්‍රවේශපත් නිකුත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් පැය ගණනාවක් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇත. අගෝස්තු නිවාඩු සමය සහ විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් පැමිණීම නිසා මෙම තත්ත්වය උග්‍ර වී තිබේ.

මෙම ප්‍රමාදය නිසා සතුන් නැරඹීමට ඇති හොඳම අවස්ථා මගහැරෙන බවට සංචාරකයන් සහ මඟ පෙන්වන්නන් චෝදනා කරයි. ප්‍රවේශපත් නිකුත් කිරීමට සීමිත නිලධාරීන් පිරිසක් පමණක් සිටීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බව සඳහන් වේ.

තාක්ෂණය දියුණු මේ යුගයේ මාර්ගගත ක්‍රමවේදයක් (online system) මගින් ප්‍රවේශපත් නිකුත් කිරීමට කටයුතු කර, සංචාරකයන්ට අපහසුවකින් තොරව වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව සලසා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. මෙවැනි ගැටලු නිසා මෙරට සංචාරක කර්මාන්තයට ලැබිය හැකි විදේශ විනිමය අහිමිවන බව ද බොහෝ දෙනාගේ මතයයි.

වසරේ මුල් මාස පහේදී අඩු වයස් දැරියන් 32ක් ගැබ්ගෙන!

 

මෙම වසරේ (2025) මුල් මාස පහක කාලය තුළදී පමණක් ලිංගික අතවරවලට ලක්වූ වයස අවුරුදු 18ට අඩු දැරියන් 32 දෙනකු ගැබ්ගෙන ඇති බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිකුත් කළ වාර්තාවක් මගින් හෙළි කරයි.

මෙම දත්තවලට අනුව, අඩු වයසින් ගැබ් ගැනීම් පසුගිය වසරවලට වඩා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. 2023 වසරේදී මෙවැනි ගැබ් ගැනීම් 11ක් වාර්තා වූ අතර, 2024 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ එම සංඛ්‍යාව 21ක් විය.

මෙම සංඛ්‍යාවලට නීතිවිරෝධී ගබ්සා කිරීම් පිළිබඳ තොරතුරු ඇතුළත් නොවන අතර, වාර්තා වූ සිදුවීම් පමණක් මෙයට ඇතුළත් වේ.

ජාතික ළමාරක්ෂණ අධිකාරියේ වාර්තාවට අනුව, මෙම වසරේ මුල් මාස පහ තුළදී ස්ත්‍රී දූෂණ සිදුවීම් 22ක්, අන්තර්ජාලය ඔස්සේ ඡායාරූප බෙදා හැරීමේ සිදුවීම් 63ක්, ලිංගික අතවර කිරීමට තැත් කිරීම් 216ක් සහ කණ්ඩායම් වශයෙන් දූෂණයට ලක් කිරීම් 85ක් වාර්තා වී තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, ප්‍රමුඛ පෙළේ පාසල් සිසුවියන් අතර පවා අඩු වයසින් ගැබ් ගැනීම සුලබ වී ඇති බවයි. ඔහු මෙයට හේතු ලෙස දක්වන්නේ:

පාසල් පද්ධතිය තුළ නිසි ලිංගික අධ්‍යාපන වැඩසටහන් නොමැති වීම.

ගුරුවරුන්, දෙමාපියන් සහ දරුවන් අතර ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින පරතරය.

කුඩා දැරියන් සහ තරුණියන් මෙවැනි තත්ත්වයන්ට ගොදුරු වන්නේ බොහෝ විට හිතවත් ඥාතීන් හෝ පෙම්වතුන් හරහා බවද ඔහු පවසයි. එවැනි තත්ත්වයන්ට පත්වන දැරියන් රැකබලා ගැනීම සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

ප්‍රවීණ අභ්‍යවකාශගාමී ජිම් ලොවෙල් දිවි ගමනට සමුදෙයි!

ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමීන්ගෙන් අයෙකු ලෙස සැලකෙන, ඇමරිකානු ජාතික ජිම් ලොවෙල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 97 වන වියේ පසුවිය.

1928 වසරේ උපත ලද ජිම් ලොවෙල්, අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයකි.

1968 වසරේ සිදුකළ ඇපලෝ 8 මෙහෙයුම යටතේ සඳ වටා කක්ෂගත වූ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු වූ ඔහු, 1970 වසරේ සිදු වූ ඇපලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.

ඔහු දෙවරක් සඳ වෙත ගමන් කළ පළමු පුද්ගලයා වූ නමුත්, කිසිදු අවස්ථාවක සඳ මතට ගොඩබැස නැත. එසේම, හතර වතාවක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමියා ලෙස ද ඔහු ඉතිහාසයට එක් වී සිටී.

හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවා පුළුල් කෙරේ!

 

හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් රෝහල්වලට පමණක් සීමා නොකර, සියලු ජනතාව කේන්ද්‍ර කර ගනිමින් පුළුල් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (SLCEP) වාර්ෂික අධ්‍යයන සම්මේලනයට කොළඹ ගලධාරි හෝටලයේදී සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“හදිසි ප්‍රතිකාර සේවාවන් අවශ්‍යතාව ඇති සෑම ස්ථානයකටම ව්‍යාප්ත විය යුතුයි. එම සේවා කටයුතු රෝහල්වලදී ලැබෙන නිශ්චිත ප්‍රතිකාර දක්වා බාධාවකින් තොරව ඉදිරියට යා යුතුයි” යනුවෙන් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස, හදිසි ප්‍රතිකාර සේවාවන්හි ව්‍යාප්තිය පිළිබඳව අවධානය යොමු කර ඇති බව ද ඔහු පැවසීය.

බොරැල්ල වෙඩි තැබීමට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට!

 

බොරැල්ල සහස්පුර ක්‍රීඩාංගණයේදී පසුගියදා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (09) පෙරවරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු, බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

මීට පෙර, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ක්‍රීඩාංගණයක සැරසිලි කරමින් සිටි තරුණයින් පිරිසකට වෙඩි තබා පලා ගොස් තිබුණි. මෙම සිද්ධියෙන් තරුණයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර, 28 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත් විය.

තුවාල ලැබූ තවත් තිදෙනෙකු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.

ඇසළ පෙරහැර හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්!

 

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර අද (09) දින සවස 2.16ට යෙදෙන සුබ නැකතින් අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයෙන් පිටත්ව යාමට නියමිතය.

මේ හේතුවෙන්, පෙරහැර ගමන් කරන මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය දැනුම් දෙයි. රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගෙන් විශ්‍රාම වැටුප් කපා හැරීමට විරෝධය!

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ලබන සතියේ සිට දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව තීරණය කර තිබේ.

මෙම තීරණයට එරෙහිව එම එකමුතුව පසුගිය සතියේදී ජාත්‍යන්තර සංවිධාන තුනක් වන ජිනීවා මානව හිමිකම් සංවිධානය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, සහ යුරෝපා පාර්ලිමේන්තු සංගමය වෙත මෙන්ම අසල්වැසි ඉන්දීය රජයට ද පැමිණිලි කර ඇත. තවද, ඔවුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද ලිපියක් යොමු කර තිබේ.

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම්, හිටපු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පවසන්නේ, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවයි. “රජය හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට අත තැබීමෙන් පසු මීළඟට අත තබන්නේ රාජ්‍ය සේවකයන්ටයි” යනුවෙන් ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, විශ්‍රාම වැටුප අහෝසි කළහොත් අධිකරණයට යන බවත්, අතීතයට බලපැවැත්වෙන පරිදි නීති සම්මත කළ නොහැකි බවට ඇති නීතිමය කාරණය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත්ය.

මේ අතර, හිටපු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ද විශ්‍රාම වැටුප අහෝසි කළහොත්, පක්ෂය විසින් ඔවුන්ගෙන් ලබාගත් මන්ත්‍රී වැටුප ඉල්ලා අධිකරණයට යෑමට තීරණය කර ඇත. හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා මේ සම්බන්ධයෙන් දැඩි ලෙස අදහස් දක්වමින් කියා සිටියේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට උත්සාහ කළහොත් මරාගෙන මැරෙන්නට වුවද සූදානම් බවයි.

මෙම ගැටලුව ඇති වූයේ පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මන්ත්‍රී විශ්‍රාම වැටුපද කපා හරින බවට ප්‍රකාශ කිරීමෙන් පසුවය.

හරිනිගේ රොකට් එක මිසයිලයක් වේ

සුප්‍රීම් සැට් චන්ද්‍රිකා සන්නිවේදන ව්‍යාපෘතියෙන් උපයාගත් ආදායම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙත ලබා දුන් දත්තවල නිරවද්‍යතාව පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග වාර්තා කරයි.

ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු විසින් මෙම තොරතුර තහවුරු කර ඇති අතර, අදාළ ව්‍යාපෘතිය පිළිබඳව ආයෝජන මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරියට සපයන ලද දත්ත අසත්‍ය බවත්, ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

2012 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතියෙන් 2015 සිට 2023 දක්වා කාලය තුළ රුපියල් මිලියන 343,909ක ආදායමක් උපයා ඇති බවත්, ඒ සඳහා රජයෙන් කිසිදු මූල්‍ය ආයෝජනයක් සිදු කර නොමැති බවත් අග්‍රාමාත්‍යවරිය පසුගිය අගෝස්තු 6 වැනි දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට පසු දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, අදාළ චන්ද්‍රිකා සන්නිවේදන ව්‍යාපෘතියේ ආදායම් සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරියට වැරදි තොරතුරු සපයා ඇති බවයි.

අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශයේදී දශමස්ථාන වැරදීමකින් මඟ හැරීම නිසා සංඛ්‍යාවන් පිළිබඳ වැරදි අදහසක් ඉදිරිපත් වූවාද යන්න පිළිබඳව මේ වන විට රජය තුළ කසුකුසුවක් පැතිරෙමින් පවතී. මන්ද, අමාත්‍ය සමරසිංහ මහතා පසු දින ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනවලට අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළ සංඛ්‍යාවන්ගේ දශමස්ථාන වෙනස් කිරීමෙන් පසුව කියැවෙන ආකාරය සමාන වීමයි.

නව පොලිස්පති ධූරය පුරවන්න සභාවාරයක් ලබන 12 වෙනිදා!

 

ශ්‍රී ලංකාවේ නව පොලිස්පතිවරයා පත් කිරීම සඳහා වන තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන අඟහරුවාදා (12) නැවත රැස්වීමට නියමිතය.

පොලිස්පති ධුරය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ජනාධිපතිවරයා විසින් දැනටමත් ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇත. මෙම නම සලකා බැලීම සඳහා පසුගිය 7 වැනිදා රැස්වුවද, සාමාජිකයන්ගේ පැමිණීමේ ගැටලුවක් හේතුවෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මීට පෙර, පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවකට අනුව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයා විසින් එම ධුරයෙන් ඉවත් කරන ලදී. ඉන් පසුව, 2024 සැප්තැම්බර් 27 වැනිදා ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පති ලෙස පත් කෙරිණි.

මීට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හය දෙනෙක් පොලිස්පති ධුරය සඳහා ප්‍රයත්නයක නිරත වූ බව ද වාර්තා විය.

Add to cart