කළුතර ප්‍රාදේශීය සභාවේ කෝටි විසි ලක්ෂයක සේවක වැටුප් වංචාවක්!

 

කළුතර ප්‍රාදේශීය සභාවේ සේවක වැටුප්වලින් වසර හතරක පමණ කාලයක් තිස්සේ රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාව මත හිටපු කාර්ය භාර නිලධාරිනියක් සහ රියදුරෙක් අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 45ක් වන කළුතර, බෝඹුවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර, සැකකාර රියදුරු වයස අවුරුදු 54ක් වන වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කළුතර ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දහම් පාසල් විභාග ජාතික සුදුසුකම් බවට පත් කිරීමට පියවර!

 

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග ජාතික සුදුසුකම් ලෙස පිළිගැනීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි. ඒ සඳහා අධ්‍යාපන කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

මෙම පියවර ගනු ලබන්නේ දහම් පාසල් අධ්‍යාපනය සඳහා සිසුන් වැඩි වශයෙන් යොමු කිරීමේ අරමුණිනි. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඇතැම් ආයතනවල රැකියා සඳහා බඳවා ගැනීමේදී මෙම විභාග සහතිකවලට නිසි පිළිගැනීමක් නොලැබීම නිසා සිසුන්ගේ දහම් පාසල් අධ්‍යාපනය කෙරෙහි ඇති උනන්දුව අඩුවී ඇති බවයි.

දැනට මෙරට පාසල් 10,096ක සිසුන් ලක්ෂ 40කට අධික සංඛ්‍යාවක් සිටියත්, දහම් පාසල් 10,647ක් පැවතියද, දහම් පාසල් අධ්‍යාපනය ලබන්නේ සිසුන් ලක්ෂ 18ක් පමණි. මේ අනුව, සිසුන් ලක්ෂ 22ක් පමණ දහම් පාසල් අධ්‍යාපනයට යොමු වී නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ලෝක ආදිවාසී දිනය අද යි

ලෝක ආදිවාසී දිනය අදට යෙදී තිබේ.

1982 වසරේදී ජිනීවාහි පැවති ආදිවාසී ජනතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේදී සෑම වසරකම අද දිනය ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කෙරුණි.

ලෝකයේ රටවල් 90ක් පුරා ආදිවාසී ජනතාව මිලියන 476ක් ජීවත් වන බවට ඇස්තමේන්තු කර තිබේ.

ඔවුන් ලෝක ජනගහනයෙන් සියයට 6 කටත් වඩා අඩු ප්‍රමාණයක් වන නමුත් අවම වශයෙන් දුප්පත්ම අයගෙන් සියයට 15ක් නියෝජනය කරයි.

මෙම පිරිස ලෝකයේ ඇස්තමේන්තුගත භාෂා 7,000න් අති බහුතරයක් කතා කරන අතර විවිධ සංස්කෘතීන් 5,000ක් නියෝජනය කරන බවයි ජගත් සංවිධානය පවසයි.

ජනප්‍රිය අංක සඳහා ඉහළ ඉල්ලුමක්!

 

වාහන ආනයනය වැඩිවීමත් සමඟම වාහන ලියාපදිංචියේදී ජනප්‍රිය අංක ලබාගැනීම සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. දැනට, රුපියල් ලක්ෂ දහයක් ගෙවා ලබාගත හැකි “සුපිරි අංක” පමණක් ඉතිරිව ඇති බව වාර්තා වේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතාට අනුව, බොහෝ පිරිස් සාමාන්‍ය අනුපිළිවෙළට නොමිලේ ලැබෙන අංක වෙනුවට, මුදල් ගෙවා තමන් කැමති ජයග්‍රාහී හෝ ආකර්ෂණීය අංක ලබා ගැනීමට පෙළඹී සිටිති.

මේ සඳහා විවිධ අංක කාණ්ඩවලට ගෙවිය යුතු මුදල් මෙසේය:

1 සිට 999 දක්වා: රුපියල් ලක්ෂ 1

1000 සිට 1999 දක්වා: රුපියල් ලක්ෂ 2

2000 සිට 2999 දක්වා: රුපියල් ලක්ෂ 3

3000 සිට 3999 දක්වා: රුපියල් ලක්ෂ 4

4000 සිට 4999 දක්වා: රුපියල් ලක්ෂ 5

5000 සිට 9999 දක්වා: රුපියල් ලක්ෂ 10

ජනප්‍රිය අංක සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. පසුගිය දිනකදී පමණක් මුළු ආදායම රුපියල් කෝටි දහයක් වූ බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ජීඑල් නැවත දේශපාලන වැඩක

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් ඔහුගේ නාරාහේන්පිට කිරුළ පාරේ නිවසේදී දේශපාලන පක්ෂ 17ක පමණ නායකයන් සහ නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ.

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා කලාපය, වර්තමාන දේශපාලන සහ ආර්ථික තත්ත්වය සහ ඇමෙරිකානු බදු අයකිරීම් ඇතුළු කරුණු ගණනාවක් පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ඊට සහභාගි වූ හිටපු මන්ත්‍රීවරයෙක් පැවසීය.

වර්තමාන තත්වය හමුවේ ඉදිරි දේශපාලන කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාවට රවුෆ් හකීම්, මිලින්ද මොරගොඩ, ජීවන් තොණ්ඩවන්, කබීර් හෂීම්, මනෝ ගනේෂන්, රමේෂ් පතිරණ, ෂෙහාන් සේමසිංහ ඇතුළු හිටපු සහ දැනට පාර්ලිමේන්තු සිටින මන්ත්‍රීවරු පිරිසක් ද සහභාගිව සිටි බව වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ ද පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් වෙන්ව ගිය හිටපු මැති ඇමති පිරිසක් සමග සාකච්ඡා පැවැත්විය.

(මුලාශ්‍රය – lankadeepa)

පොලීසියත් පනී රතනත් පනී

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සොයා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් රාජගිරියේ සඳහම් සෙවනට ගොස් ඇති අතර අදාළ අවස්ථාවේදී අතුරලියේ රතන හිමියන් එම ස්ථානයේ නොසිටි අතර උන්වහන්සේගේ ජංගම දුරකථනයද ක්‍රියාවිරහිත කර ඇති බව සැලවේ.

2020 වසරේ අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලියකියවිලිවලට අත්සන් ගෙන, පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සම්බන්ධ සිද්ධියක් පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු කටුවන, කිරිමානගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහු මීට පෙර කටුවන නන්දසීහ හිමි නමින් පැවිදිව සිටි අයෙකු බවයි. මෙම පැහැරගැනීම සිදුකර ඇත්තේ ඔහු සහ අනෙක් සැකකරු විසිනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී, සිද්ධිය සිදුවූ අවස්ථාවේදී අතුරලියේ රතන හිමියන් සහ සැකකරුවන් අතර අසාමාන්‍ය ලෙස දුරකථන සම්බන්ධතා පැවැත්වී ඇති බව අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ සේවයෙන් පහකළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කැඳවීමට නියමිත බවද වාර්තා වේ.

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙකු 2024 ජනවාරි 22 වන දින බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුම අසලදී වෙඩි තැබීමකින් ඝාතනය වූ අතර, එය පාතාල කණ්ඩායම් අතර ගැටුමක් මත සිදුවූවක් බව පසුව අනාවරණය විය.

පහේ ශිෂ්‍යත්වය හෙට

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වේ. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2787කදී පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සිංහල මාධ්‍ය අයැදුම්කරුවන් දෙලක්‍ෂ තිස්එක්දහස් හයසිය තිස්අටක්(231,638) සහ දෙමළ මාධ්‍ය අයැදුම්කරුවන් හැත්තෑහයදහස් තුන්සිය දහතුන් දෙනකු (76,313) වශයෙන් මුළු අයැදුම්කරුවන් තුන්ලක්‍ෂ හත්දහස් නවසිය පනස්නව දෙනකු (307,959) පෙනී සිටීමට නියමිතයි.

සිසුන් පෙරවරු 8.30 වනවිට විභාග ශාලාවලට පැමිණිය යුතු බව ද දෙවැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට පෙරවරු 10.45 දක්වා ද, පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා ද පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් න්දිකා කුමාරි ලියනගේ පවසයි.

Ceylon Tea Liquor ලෙසින්

ශ්රී ලංකාවේ පළමු වරට Ceylon Tea Liquor නමින් තේ සාරයෙන් නිෂ්පාදිත මත්පැන් වර්ග 04ක් ළඟදීම වෙළඳපොල වෙත නිකුත් කිරීමට සැරසේ.
මෙම නව නිෂ්පාදන පෙළ ACTION AVF (පුද්ගලික) සමාගම විසින් නිෂ්පාදනය කර ඇති අතර අදාළ නිෂ්පාදන බලපත්රය ශ්රී ලංකා සුරාබදු නියෝග අනුකූලව නීත්යානුකූලව ලබාගෙන ඇති බව පැවසේ.
මෙම නවෝත්පාදන පෙළට,
01.Ceylon Tea Whisky
02. Ceylon Tea Gin
03. Ceylon Tea Vodka
04. Ceylon Tea Arrack යනාදී වර්ග 04ක් අන්තර්ගතය.
Pure Ceylon Tea සාරය යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන මෙම සියලුම නිෂ්පාදන සිදුවන්නේ කළුතර දිස්ත්රික්කයේ පිහිටි කර්මාන්ත ශාලාවකදී ය.
අදාළ නිෂ්පාදන තුල Ceylon Tea හි රැඳි සුවඳ හා ශක්තිය රඳවා ගනිමින් නිපදවෙන අතර දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ තුළ ශ්රී ලාංකේය තේ රසය නවමු අත්දැකීමක් ලෙස රැගෙන යාම අරමුණ වී තිබේ.

බය නැතිව කරන්න නැත්තම් අමාරුයි

ගෝලීය ආර්ථිකය වඩ වඩාත් තරගකාරී වෙමින් පවතින බැවින් අභීත ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ව්‍යුහාත්මක වෙනස්කම් නොකිරීමෙන් ශ්‍රී ලංකා ආර්ථිකය පසුබෑමකට පත්වීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකන් තානාපති ජුලී චන්ග් අනතුරු ඇඟවූවාය.

ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, වෙළෙඳපොළ විවිධාංගීකරණය, තීරු බදු නොවන බාධක අඩු කිරීම, රජය සතු ව්‍යාපාරවල අකාර්යක්ෂමතාව නැති කිරීම, මානව ප්‍රාග්ධනය සහ ඵලදායිතාව වැඩි කිරීම යන ප්‍රතිසංස්කරණ විය යුතු බව ඇය අවධාරණය කළා ය.

ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවට තරග කිරීමට සහ සමෘද්ධිමත් වීමට නම් එම ක්ෂේත්‍රවල ව්‍යුහාත්මක වෙනස්කම් අත්‍යවශ්‍ය වනු ඇති බවත් ඇය පැවැසුවාය. ලංකා වාණිජ මණ්ඩලයේ (Ceylon chamber of commerce) ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද ව්‍යාපාරික කවුන්සිලයේ 9 වන වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ඇය මෙම අදහස් පළ කළා ය.

මහනුවර දළදා මංගල්‍යය අද

කන්ද උ‍ඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද(08) රාත්‍රි වීදි සංචාරය කෙරේ.ඒ දින 9 ක් පුරා පැවති ඇසළ පෙරහර මංගල්‍යයේ කූඨප්‍රාප්තිය සටහන් කරමින් ය.

පෙරහැර නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් රැසක් මෙන්ම බෞද්ධ සැදැවතුන්ද මේ වනවිටත් මහනුවර නගරයට පැමිණෙමින් සිටියි.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන්ද විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.

Add to cart