චීන – ශ්‍රීලංකා රාජතාන්ත්‍රික අවුලක්?

ශ්‍රී ලංකා රේගුව විසින් චීනයේ BYD විදුලි මෝටර් රථ තොගයක් හම්බන්තොට වරායේ රදවා තබා ගැනීමෙන් චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික මතභේදයක් ඇතිවීමේ හැකියාව ඇති බව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂද සිල්වා මහතා පවසයි.

මෙරට පොහොර අර්බුදය පැමිණි සමයේ චීනයෙන් ගෙන එන ලද පොහොර නෞකාවක් මේ ආකාරයෙන්ම ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ බවත් පැවසු ඔහු එය සිංගප්පූරුවේ සමාගමකින් පරීක්‍ෂණ කළ විට වෙනස් වාර්තා පැමිණි බවත් ශ්‍රී ලංකාවේදී පැමිණියේ එම ප්‍රතිඵල නොවන බවත් පෙන්වා දුන් අතර රාජතාන්තික ගැටලුවක් දක්වා මෙය යා නොදී කළමනාකරණය කරගත යුතු බවද අවධාරණය කලා.

 

ඉතිහාසයේ සාර්ථකම නායකයා අනුරයි

මෙරට ඉතිහාසයේ පහළ වූ සාර්ථකම නායකයා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර මහතා සඳහන් කරයි.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී. ජනාධිපතිවරයා රැක ගැනීම සඳහා මීට වැඩි ආරක්ෂාවක් ලබා දුන්නද එකඟතාවය පළ කරන බව සදහන් කල මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසූවේ වත්මන් ජනාධිපති රැක ගැනීමට මොන විදිහේ උපක්‍රමයක් යෙදුවත් එය අසාධාරණ නොවන බවයි.

රොෂෙල් අබේගුණවර්ධන අද අධිකරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන අද මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට නීතිඥයකු සමග පැමිණ භාරවීමෙන් අනතුරුව ඇය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ මෝටර් රථයක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙත ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීමේ සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට අදාළවය.

කටුනායකට නොගිය නාමල්ගේ වරෙන්තුව

පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා මාල­දි­ව­යිනේ සිට ඊයේ (29) උදෑ­සන කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමි­ණි­යේය.

හම්බ­න්තොට අධි­ක­ර­ණය මඟින් ඔහුව අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස පෙරේදා (28) වරෙ­න්තු­වක් නිකුත් කර තිබුණු පසු­බි­මක ඔහු පැමි­ණි­යද බාධා­ව­කින් තොරව ගුව­න්තො­ටු­පො­ළින් පිටව ගියේය.

ඒ කටු­නා­යක ගුව­න්තො­ටු­පළ ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් වෙත හෝ පොලී­සි­යට ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­මට අදාළ වරෙ­න්තුව ලැබී නොති­බුණු බැවිනි.

මාල­දි­ව­යිනේ මාලේ නුවර සිට ඊයේ (29) දින උදෑ­සන 11.30ට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුව­න්යා­න­යෙන් ඔහු පැමිණ තිබිණි.

නාමල් රාජ­පක්ෂ මහ­තාගේ පැමි­ණීම බලා­පො­රො­ත්තු­වෙන් නීති­ඥ­ව­රුන් කිහිප දෙනකු සහ ඔහුගේ ආධා­ර­ක­රු­වෝද කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ සිටි­යහ.

WhatsApp ගැන පොලීසියෙන් පණිවුඩයක්

WhatsApp මෘදුකාංගය මගින් ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවිඩ යොමු කර WhatsApp ගිණුම් වෙත අනවසර ප්‍රවිශ්ඨයකට ලක් කර මුදල් වංචා කිරීම සම්බන්ධ සිද්ධීන් මේ දිනවල වැඩිවෙමින් පවතින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, මෙම වංචාකරුවන් විසින් පරිශීලකතායේ WhatsApp එක්-කාලීන මුරපද (OTP) අංකය රවටා ලබා ගන්නා අතර ඉන් අනතුරුව එම ගිණුමේ භාරකාරත්වය වංචාකරුවන් විසින් ලබාගෙන පරිශිලකයන්ගේ ගිණුමේ සිටින පුද්ගලයින් වෙත ව්‍යාජ පණිවිඩ යොමු කර මුදල් වංචා කිරීම සිදු කරන බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙවැනි වංචාවන් සිදුවිය හැකි බැවින් මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා පොලිසිය ඉල්ලා සිටියි. එබැවින් කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශවයක් වෙත තම අන්තර්ජාල ගිණුම්වල OTP අංකයන් ලබා නොදීමට කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

ලෝකේ ලස්සනම දූපත ශ්‍රී ලංකාව

ලෝක ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන ‘Big 7 Travel’ විසින් 2025 වසර සඳහා ලොව අලංකාරම දූපත ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.

කැරිබියන් දූපත්වල ඉන්දුනීසියාව දක්වාත්, යුරෝපයේ සිට නවසීලන්තය දක්වාත් කෙස ලොවපුරා පැතිරී ඇති දූපත් 50ක් වෙබ් අඩවිය විසින් මෙලෙස ඒවායේ සංචාරක ආකර්ෂණය සහ සුන්දරත්වය අනුව ස්ථානගත කර තිබේ.

ලොව පුරා ගමනාන්ත ඇතුළත් මෙම ලැයිස්තුව, 2025 දී ගවේෂණය කිරීමට ඇති සුවිශේෂී දූපත් අත්දැකීම් සහ ආකර්ෂණීය ස්ථාන අගය කරයි.

වෙබ් අඩවියෙහි දක්වා ඇති ආකාරයට ඉන්දියාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ කඳුළු බිඳුවක හැඩැති දූපතේ රන්වන් වෙරළ තීරයේ සිට ටෙරස් සහිත තේ වතු දක්වා වන සියල්ල තිබෙන අතර, සැතපුම් 833ක් වන වෙරළ තීරය දිගේ දින ගත කිරීම ප්‍රීතිමත් චමත්කාරයක් වන නමුත් ශ්‍රී ලංකාව වෙරළෙන් ඔබ්බට තවත් බොහෝ දේ සංචාරකයන් වෙත ලබා දෙයි.

මෙම වසරේ ශ්‍රේණිගත කිරීම නව ප්‍රවණතා සහිත ගමනාන්ත, දුරස්ථ නිවාඩු නිකේතන සහ ජනප්‍රිය ස්ථාන මිශ්‍රණයක් ඉස්මතු කරයි. මෙම ලැයිස්තුව සකස් කර ඇත්තේ පෙර මාධ්‍ය ප්‍රතිඵල, Big 7 Travel කතුවැකි කණ්ඩායමේ දායකත්වය, සමාජ මාධ්‍යවල ගමනාන්තවල ජනප්‍රියත්වය සහ 2025 දී සංචාරකයන්ගේ අවධානය දිනා ගන්නා ගමනාන්ත මත පදනම් වූ සමුච්චිත ලකුණු අනුවයි.

පිළිවෙලින් එම ලැයිස්තුවේ පළමු දූපත් 10 මෙසේය.
1. Sri Lanka
2. Mo’orea, French Polynesia
3. Socotra, Yemen
4. Madeira
5. The Galapagos, Ecuador
6. Great Exuma, Bahamas
7. Seychelles
8. Achill Island, Ireland
9. Koh Lipe, Thailand
10. Milos, Greece

බොරුවක් කියා පචවී කුට්ටි සමාවගනී

විදේශ රටවලින් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට මුදල් ලැබුණ බවත් ඉන් ඩොලර් බිලියන පහක මුදලක් එවකට විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ නමින් මෝල්ටා රාජ්‍යයේ පවත්වාගෙන යන ගිණුමක තැන්පත් කර ඇති බවටත් තමා ප්‍රකාශ කරනු ලැබුවේ නිසි පරිදි කරුණු තහවුරු කර ගැනීමකින් තොරව බැවින් තමා කළ එම අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාට කොන්දේසි විරහිතව කනගාටුව ප්‍රකාශ කරනා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඊයේ (29දා) කොළඹ දිසා අධිකරණය හමුවේදී පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් 2023.10.13 වැනිදා කළ එම ප්‍රකාශයට ජනමාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදී ඇති බවත් එමගින් සිය කීර්තිනාමයට සිදුවූ හානියට රුපියල් බිලියන 10ක වන්දියක් අය කරදෙන ලෙසත් ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනුකළ නඩුවක් ඊයේ (29දා) කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම ජීවන්දර මහතා ඉදිරියේදී කැඳවූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා එලෙස පැවැසීය.

එම නඩුව ඊයේ (29දා) උදෑසන කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුරාධ සෙනවිරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් සිය සේවාදායකයා හා පැමිණිල්ල අතර ඇති කරගත් එකඟතාවය අනුව පැමිණිල්ලට විවෘත අධිකරණය හමුවේදී කනගාටුව ප්‍රකාශ කර නඩු කටයුත්ත අවසන් කිරීමට සූදානම් බව අධිකරණයට පෙන්වා දුන්නේය. එම කරුණු දැක්වීමට පැමිණිලිකාර අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා විරුද්ධත්වය නොදැක්වූයෙන් එලෙස කනගාටුව ප්‍රකාශ කිරීමට සූදානම් දැයි අතිරේක දිසා විනිසුරුවරයා විත්තිකාර තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් විමසා සිටි අතර ඔහු ඒ බව සනාථ කළේය.

පැලවත්තේ EPF මාස 09කින් ගෙවා නෑ

පැල්වත්ත සීනි සමාගම සේවකයන්ට මාස 9කින් සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවා නැති බවත්, මේ වනවිට එම ආයතනය සේවකයන්ට ගෙවිය යුතු සම්පූර්ණ අර්ථසාධක මුදල රුපියල් ලක්ෂ 3240 ඉක්මවා ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

පැල්වත්ත හා සෙවනගල සීනි සමාගම්වල වර්තමාන අර්බුදය සම්බන්ධව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේබව කියා සිටියේය.

මාස 3ක සේවක අර්ථසාධක අරමුදලේ අධිභාරයක් ලෙස රුපියල් ලක්ෂ 230ක් ගෙවන්න සිදුව ඇති බවද ඔහු කීවේය.

ආයතනය විසින් සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා ඉකුත් වසරේ (2024) අගෝස්තු මාසයේදී ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 5000ක ණයක් ගෙන ඇති බවත්, එම වසරේ නොවැම්බර් මාසයේ රුපියල් ලක්ෂ 10000ක ණයක් මෙන්ම පසුගිය දිනකද තවත් ණයක් ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

පැල්වත්ත සීනි සමාගම විසින් මේ වනවිට ගොවීන්ට රුපියල් ලක්ෂ 3000 ක්ද, සැපයුම්කරුවන්ට රුපියල් ලක්ෂ 4000ක්ද ගෙවීමට ඇති බවද ඔහු කියා සිටියේය.

පැල්වත්ත සමාගමේ සේවකයන් 3795ක් සේවය කරන බවත්, දළ වශයෙන් ගොවීන් 5700කට ආසන්න ප්‍රමාණයක් මේ තුළින් තම ජීවිකාව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

සෙවනගල සමාගමද ගොවීන්ට රුපියල් ලක්ෂ 2050ක් ගෙවීමට ඇති බවත්, රු. ලක්ෂ 150ක සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම් ක්‍රියාත්මක වී නැති මොහොතක සැපයුම්කරුවන්ට රුපියල් ලක්ෂ 1000ක්ද, රජයට වැට් බදු ලෙස රුපියල් ලක්ෂ 4000ක් ගෙවීමට ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

සෙවනගල සීනි සමාගමේ සේවකයන් 1300ක් සේවයේ යෙදී සිටින බවත්, ගොවීන් 3900කට ආසන්න ප්‍රමාණයක් එම සීනි සමාගමට සම්බන්ධවී සිටින බවත්, එම සමාගම විසින් ලංකා බැංකුවට රු. ලක්ෂ 2000ක ණයක්ද ගෙවීමට ඇති බවත් ඔහු කීවේය.

වී කිලෝ එකක් රුපියල් 90යි

පොළොන්නරුව මහවැලි බී කලාපයේ වී කිලෝවක් මිල රුපියල් 90ක් බව ගොවීන් චෝදනා කරයි. රජය වී කිලෝ එකකට සහතික මිලක් නියම නොකිරීම නිසා මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් තමන්ගේ අස්වැන්න අඩුමිලයට කොල්ල කමින් සිටින බවද ගොවීන් පවසයි.

පෙර පැවැති රජයන් සේම වර්තමාන රජයද තමන්ගේ අස්වැන්න අඩු මිළයට මහා පරිමාණ හාල් මෝල් හිමිකරුවන්ට ලබා ගැනීමට ඉඩ සලසා බලා සිටීම අසාධාරණ ක්‍රියාවක් බවත් තමන්ට පොහොර සහනාධාරය ලබාදීමේ සිටම රජය මගින් කලේ අසාධාරණකම් බවද ගොවීන් පවසයි.

නාමල්ට වැඩ වරදී අත්තඩංගුවට ගන්නැයි නියෝග

හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව අත්තඩංගුවට ගැනීම සදහා අද වරෙන්තුවක් නිකුත් කලේය.

2017 වසරේ දී හම්බන්තොට වරාය විදෙස් රටවලට පැවරීමට එරෙහිව පැවති විරෝධතාවකදී අධිකරණ නියෝග නොතකමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුව කැදවූ අවස්ථාවේ අධිකරණයට නොපැමිණීම නිසා මන්ත්‍රීවරයා අත්තඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර ඇති බව පොලීසිය තහවුරු කලහ.

අද උදෑසන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විදෙස් ගතව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සදහන් කල අතර ගුවන් තොටුපල ආරංචි මාර්ග සදහන් කලේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින බලා ගමන්කල ගුවන් යානයේම නාමල් රාජපක්ෂ මහතාද ගමන් කල බවයි.

Add to cart