කොළඹ ච්‍රායි දරුවන් එක්ක චිත්‍ර අඳියි

කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය, නගරාධිපති නිලනිවස වන සිරිනිවාස හි පෙර පාසැල් දරුවන් වෙනුවෙන් නව වැඩසටහන අද ආරම්භ කරන ලදි. කොළඹ මහනගර සභාව විසින් පවත්වාගෙන යනු ලබන පෙර පාසල් 12 හි දරුදැරියෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම වැඩසටහනට පොත් කියවීම්, චිත්‍ර ඇඳීමේ ක්‍රියාකාරකම්, ගීත සහ ක්‍රීඩා වෙනුවෙන් වේලාවන් ඇතුළත් වූ අතර, නගරාධිපතිනිය සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා දරුවන්ගේ උද්යෝගය සැමරීම සඳහා මෙම වැඩ සටහන සමග එක්විය.

 

පොලීසියේම කොණ්ඩය කපන සැලෝන් රූසිරි

පොලිස් සේවා වනිතා ඒකකය මූලිකත්වයෙන් නවීන රූපලාවන්යාගාරයක් ලෙසින් වැඩිදියුණුකළ ක්ෂේත්ර බලකා මූලස්ථානයේ කොන්ඩා කැපුම් ස්ථානය (Saloon) වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණ.

පොලිස් නිලධාරීන් පමණක් මෙතෙක් කාලයක් සහනදායී මුදලක් වැය කර කොන්ඩය කපා ගත් එම ස්ථානයෙන් මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන් හට , පොලිස් පවුල්වල සාමාජිකයින්ට මෙන්ම ඒ වෙත පැමිණෙන ඔනෑම අයෙකුට සහනදායී මුදලකට සියලුම රූපලාවන්ය කටයුතු කරගත හැකි පරිදි දෛනිකව විවෘත වේ.
වැඩබලන පොලිස්පතිතුමාගේ බිරිඳ වන සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිල්මිණී සමරතුංග මහත්මිය, එම සංගමයේ සාමාජිකාවක් වන සහයක සේවා දිසාව භාර නියෝජ්ය පොලිස්පති එම්.ඩී.ආර්.එස් දමින්ද මහතාගේ බිරිඳ සන්දීපා සෙව්මිණී මහත්මිය සහ පොලිස් ක්ෂේත්ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී කාන්තා ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මීය ඇතුලුව ජ්යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහස් සහ අධීක්ෂණය යටතේ තවදුරටත් මෙම ස්ථානය සාර්ථකව වැඩිදියුනු කිරීමට අවශ්ය කටයුතු තවදුරටත් ඉදිරියට සිදුවනු ඇත.
@Police Media 

අග්නිදිග සරසවියේ විභාග දින නියමයක් නැතිව කල් යයි

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඊයේ අලුයම ඇති වූ ගැටුමත් සමග අද පැවැත්වීමට නියමිතව තිබූ විභාග කටයුතු කල්දමා තිබේ. සරසවි මැදුර බෝයිස්විලා ටූ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුළු වූ තුන්වැනි වසරේ සිසුන් කණ්ඩායමක් එහි සිටි පළමු වසරේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහර දීම හේතුවෙන් පළමු වසරේ සිසුන් 04 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇත.

අදාළ ගැටුම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය සහ විශ්වවිද්‍යාල බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වාර්තාවක් කැඳවා ඇත. ගැටුමට සම්බන්ධ බවට සැකකෙරෙන කිසිවෙකුත් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන නොමැති අතර එකී හේතුවෙන් අද දිනයට පැවැත්වීමට නියමිතව තිබූ විභාග දින නියමයක් නොමැතිව කල් තැබීමට විශ්ව විද්‍යාල බලධාරීන් කටයුතු කොට ඇත.

ශරීරයේ වැඩි යකඩ ඉවත් කරන බෙහෙත ගේන්න අනුමැතිය

රක්තහීනතාවයෙන් පෙළෙන රෝගීන්ගේ හෝ තැලසීමියා රෝගීන්ගේ ශරීරයෙන් අතිරික්ත යකඩ ඉවත් කිරීමට භාවිත කරනු ලබන ඩෙස් ෆෙරි ඔක්ක්සමින් මෙ සිලේට් එන්නත් බීපී මිලිග්‍රෑම් 500 න් වයල් 400,000 ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

ඒ සඳහා ලංසුකරුවන් දෙදෙනෙකු ලංසු ඉදිරිපත් කර තිබේ. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව ප්‍රතිචාරාත්මක එකම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ M/s. ABC Pharma Services (Pvt) Ltd. වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමිම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිවුණි.

හරක් කටාගේ නඩුවක, සාක්ෂි විභාගයට දින

මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ල කෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටාගේ නඩුවට අදාල සාක්ෂි ලබා ගැනීම අද කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ විය.

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටා නැමැති විත්තිකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර නඩු විභාගය මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ පැවැත්වෙන ලදි. නඩුවට අදාල මීළග සාක්ෂි විභාගය සදහා සැප්තැම්බර් මස 01 වනදා දින මෙහිදී නියම කෙරින.

රතු අඬසඳ ව්‍යාපාරයෙන් මන්ත්‍රීන්ට වැඩමුළුවක්

ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරය මගින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කලේ 1936 සිට ශ්‍රී ලංකාවට සේවය කරන ශ්‍රී ලංකා රතු කුරුස සංගමය දුෂ්කර අවස්ථාවන්හිදී රට වෙනුවෙන් පෙනී සිටි බවයි. මැලේරියාව තුරන් කිරීම, සුනාමිය සහ සිවිල් යුද්ධය වැනි විවිධ අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා රතු කුරුස සංගමය විසින් ලබා දුන් සහාය අමතක කළ නොහැකි බව ඔහු පැවසීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ දැනුවත් කිරීමේ ව්‍යාපෘති සහ රුධිර පරිත්‍යාග කඳවුරු ඇතුළු කටයුතු සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ දායකත්වය තමන් අගයන බවයි.

රතු කුරුස සංවිධානයේ සහ රතු අඩසඳ ව්‍යාපාරයේ සාමාජිකයින් තම ජීවිත පරදුවට තබා යුද කලාපවල ජනතාවට ලබා දුන් සහයෝගීතාවයට නියෝජ්‍ය කථානායකවරයා සිය කෘතඥතාව පල කල අතර ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ (SLRCS) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර, ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ (ICRC) ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ හිටපු ප්‍රධානී සෙවරින් චැපාස්, ICRC ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී ඇන්ජලික් ඇපෙයිරොක්ස්, ජාත්‍යන්තර රතුකුරුස සම්මේලනයේ (IFRC) දකුණු ආසියාව සඳහා වන දේශීය පොකුරු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ජෝන් එන්ට්විස්ට්ල්, SLRCS උපදේශක සුසිල් පෙරේරා, SLRCS සන්නිවේදන ප්‍රධානී රුවන්ති ජයසුන්දර, යන මහත්ම මහත්මීහු මෙම වැඩමුළුවේ සම්පත්දායකයන් ලෙස සහභාගී වූහ.

 

ජනපති අනුර සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානීන් හමුවේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ, ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් (Sultan A. Al-Marshad) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

සෞදි සංවර්ධන අරමුදලෙහි ආධාර මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය මෙන්ම නව ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය.

සෞදි සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ අතර, ප්‍රමුඛ රාජ්‍ය සේවා වඩා ශක්තිමත්ව සහ කාර්යක්ෂමව සිදු කරගෙන යාමේදී වැදගත් වන ඩිජිටල්කරණය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට එම අරමුදල මෙහිදී එකඟ විය.

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති ඛලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) යන මහත්වරු, සෞදි සංවර්ධන අරමුදලේ ආසියානු මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් සවුද් අයිද් ආර්. අල්ෂම්මාරි (Saud Ayid R. Alshammari) ඇතුළු එම අරමුදලේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

@ජනාධිපති මාධ්‍ය අංශය

 

 

නාමල් ගව ශුක්‍රාණු ගෙන්වීමට සැරසේ රිලා සංගණනයෙන් පසු අලුත්ම වැඩේ

රටේ ඩොලර් සංචිත ආරක්ෂා කරනු වස් මෙරටට ගැලපෙන ගවයින් බිහිකිරීම සදහා ලිංග නිර්ණය කරනු ලැබූ ගව ශුක්‍රාණු ආනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේජාතික පශු සම්පත් සැලැස්ම එළිදැක්වීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ගවයින් ආනයනය කිරීමට කටයුතු කළ අතර එම ව්‍යාපෘතිය අසාර්ථක වූ හෙයින් මෙලෙස ගව ශුක්‍රාණු ආනයනය කිරීමට තීරනය කල බවද අමාත්‍යවරයා ප්‍රකාශ කල අතර උසස් තත්ත්වයෙන් යුත් ගවයින් තෝරාගෙන ඔවුන්ගේ ශුක්‍රාණු පමණක් මෙරටට ගෙන්වන බවද අනාවරණය කලේය.

“ සිරසර ශිල්ප 2025 ’’ හෙට ඇරඹේ

බන්ධනාගාරගත නේවාසිකයින්ගේ කුසලතා, හැකියාවන් ජාතික තලයට ගෙන ඒම අරමුණු කර ගනිමින් “ සිරසර ශිල්ප 2025 ’’ කුසලතා ප්‍රදර්ශනය මෙම මස 15, 16 සහ 17 යන දිනවලදී පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය වන කාලසීමාව තුළදී ඔවුන් සතුව පවතින දක්ෂතාවයන් අනුව කෘෂි අංශය, කොසු ඉදල් අංශය, වඩු අංශය, කම්මල් අංශය,සබන් අංශය, බේකරි අංශය, බ්ලොක් ගල් අංශය, විවින් අංශය, මැහුම් අංශය සහ පාවහන් අංශය ඇතුළු විවිධ අංශ සදහා යොමු කරන අතර, එහිදී ඔවුන් සකස් කරනු ලබන භාණ්ඩ සහ නිර්මාණ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සංවිධායකයින් පවසයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ සහ ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට (15) දින පෙරවරු 9.00 ට ප්‍රදර්ශනය ආරම්භ වේ.

පාසැල් සිසුන්ට වතුර බොන්න සීමාවක් ! වැඩිපුර බිව්වොත් ගෙවන්න වෙයි

එක් මසකට පාසැල් සිසු සිසුවියන් පරිභෝජනය කල හැක්කේ එක් සිසුවෙකුට වතුර ලීටර 400ක් බවත් ඉන් වැඩිපුර පරිභෝජනය සිදුකරන්නේ නම් එම පිරිවැය පාසැල දැරිය යුතු බවත් සදහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් චක්‍රලේඛයක් නිකුත් කොට ඇත.

පාසල්වල පිහිටි විදුහල්පති නිවාස ගුරු නිවාසවල ජල බිල්පත් ඒවායේ පදිංචිකරුවන් විසින් ගෙවිය යුතු බවත් මෙම චක්‍රලේඛයේ සදහන් කොට ඇති අතර තවද ජල තටාක සහ වෙනත් අවශ්‍යතා සඳහා ජල සැපයුම සම්බන්ධතා ලබාගෙන ඇත්නම් ඒවායේ බිල්පත් පාසල මගින් ගෙවිය යුතු යැයිද අවධාරණය කොට ඇත.

ඒ අනුව පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ගුරු මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ එක් පුද්ගලයකුට දිනකට ජලය ලීටර් විස්සක් වැය වෙතැයි ගණනය කොට දින විස්සක් සඳහා එනම් මසකට ලීටර් 400 ක් සදහා පමණක් රජයේ මුදලින් බිල්පත් ගෙවන බවද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ

Add to cart