ජනාධිපති අත්සනින් මහාධිකරණ විනිසුරුවරු 18ක් පත්කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙකු පත්කර තිබේ.

අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී භාර දුන් අතර, පත්කිරීම් සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (2) වන අනු ව්‍යවස්ථාවට අනුවය.

මෙහිදී විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකුටත් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියකටත් මහාධිකරණ විනිසුරුවරු ලෙස පත්කිරීම් ලබා දී ඇත.

නව මහාධිකරණ විනිසුරුවරුන්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ

1. එස්.එස්.කේ. විතාන – දිසා විනිසුරු
2. ඒ.එම්.අයි.එස්. අත්තනායක – දිසා විනිසුරු
3. ඒ.එම්.එම්. රියාල් – දිසා විනිසුරු
4. ඩී.පී. මුදුන්කොටුව – දිසා විනිසුරු
5. එස්.බී.එච්.එම්.එස්. හේරත් – අතිරේක දිසා විනිසුරු
6. ජේ. කජනිදීපාලන් – දිසා විනිසුරු
7. ඩී.එම්.ඩී.සී. බණ්ඩාර – අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
8. එච්.එම්.බී.ආර්. විජේරත්න – අතිරේක දිසා විනිසුරු
9. ඩී.එම්.ඒ. සෙනෙවිරත්න – අතිරේක දිසා විනිසුරු
10. ඒ.ඒ. ආනන්දරාජා – මහේස්ත්‍රාත්
11. ජී.එන්. පෙරේරා – දිසා විනිසුරු
12. ඒ. ජුඩේසන් – දිසා විනිසුරු
13. ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග – දිසා විනිසුරු
14. ආර්.බී.එම්.ඩී.ආර්. වැලිගොඩපිටිය – දිසා විනිසුරු
15. කේ.ඩී.එන්.වී. ලංකාපුර – මහේස්ත්‍රාත්
16. ඩී.එම්.ආර්.ඩී. දිසානායක – දිසා විනිසුරු
17. එම්.අයි.එම්. රිස්වි – දිසා විනිසුරු
18. ඒ. ජයලක්ෂි ද සිල්වා – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

මෙම පත්වීම් හරහා ශ්‍රී ලංකා මහාධිකරණයේ නව පරපුරක් අධිකරණ පද්ධතියට එකතු වී ඇති අතර, ඔවුන් ඉදිරියේදී නීතිය හා සාධාරණය පිළිබඳව විශාල වගකීමක් භාරගනු ඇත.

ලංවිම අද සිට අකුරට

විදුලිබල සංශෝධිත පනතෙහි ප්‍රතිපාදනයන්ට අනුකූල නොවන අයුරින් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදුකිරීමට එරෙහිව ඉන්ජිනේරුවන් ඇතුළු විදුලි සේවකයන් අද (සැප්. 4) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසීමට තීරණය කර ඇත.

ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදිව කර සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් 24ක් පදනම් කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට මණ්ඩලයේ සියලු වෘත්තීය සංගම් තීරණය කර තිබෙන බව ඉන්ජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක රාමනායක පැවසීය.

පළමු අදියර යටතේ මෙම මස 15 වන දා දක්වා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවීමටත් ඊට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් දෙවැනි අදියරේ ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය ක්‍රියා මාර්ගයකට යෑමට බලාපොරොත්තු වන බවත් එම ක්‍රියාමාර්ග කුමක්ද යන්න පිළිබඳව දැනුම් දෙන බවත් සඳහන් කළේ ය.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමේදී විදුලිය බිඳ වැටීමි යථා තත්ත්වයට පත්කිරීමේදී යම් යම් ප්‍රමාදයන් ඇති විය හැකි බවත් පැවැසූ ඒ මහතා තම වෘත්තීය ක්‍රියාමාර්ගය ඇරඹුවේ මහජනතාව අපහසුතාවට පත්කිරීමට නොව වෘත්තීය සංගම් කෙරෙන ඉල්ලීම්වලට සාධනීය මැදිහත්වීමක් ලබා ගැනීමට බවත් එම සාධනීය මැදිහත්වීම කළ හැක්කේ ජනාධිපතිවරයාට බවත් සඳහන් කළේ ය.

ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් මෙය විසඳෙයි කියන බලාපොරොත්තුව තිබෙන බවත් මැදිහත්ව ගැටලුව විසඳන තෙක් තම වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයන බවත් ඉන්ජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජිකයා පැවසීය.

ලංවිම වෘත්තීය සමිති සහයෝගීතාවයෙන් යුතුව ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට අවස්ථා කිහිපයකදී ම වාචිකව එකඟතාව පළ කර ඇති නමුත් ඒ ඇති කරගත් එකඟතාවන් කඩ කරමින් සංශෝධිත පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝණය කරමින් මේ වන විට අදාළ ප්‍රතිව්‍යුහගත කරණ ක්‍රියාවලිය සිදු වෙමින් පවතින බවත් වෘත්තීය සංගම් නියෝජිතයෝ පැවැසූහ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත 2024 පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු පනත ක්‍රියාත්මක කරවීමට පෙර ආණ්ඩු මාරුවීම සිදු වී ඉන්පසු බලයට පත් වූ වත්මන් ආණ්ඩුව කලින්ට වඩා ජනතා හිතවාදී අයුරින් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බව සඳහන් කළ බවත් පරාක්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ප්‍රතිව්‍යුහගත කරණයෙන් පසු ඇති කෙරෙන සමාගම් ව්‍යුහය, සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරන බවට ප්‍රකාශ කර තිබුණත් සේවකයන් සමාගම් වලට අනුයුක්තකිරීමේ ලිපි නිකුත් කිරීමට ආරම්භ වූ පසු ප්‍රශ්නය ඔඩු දිවීමට පටන්ගත් බවත් හෙතෙම පැවැසීය.

මේ ලිපි ලැබීමෙන් පසු සේවකයන් සියලු දෙනා එම ලිපිවල අඩුපාඩු පෙන්වාදී ලිපි නිවැරදි කර දෙන ලෙස ඉල්ලා සිටියත් බලශක්ති අමාත්‍යාංශයෙන් එම ඉල්ලීම සම්පුර්ණ නොවීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සියලු විදුලි වෘත්තීය සංගම් තීරණය කළ බව පැවසීය.

විදුලිබල මණ්ඩලය නිවැරදිව ප්‍රතිව්‍යුහගතකරණයක් වෙනුවෙන් විදුලි වෘත්තීය සංගම් පෙනී සිටි බවත් එම ප්‍රතිව්‍යුහගතකරණයේ වාසිය ජනතාවට ලැබිය යුතු නමුත් එවැනි දෙයක් මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළින් දැනට පෙනෙන්නට නැතැයි තාක්ෂණික ඉන්ජිනේරු හා අධිකාරි සංගමයේ සම ලේකම් නාලක බාලසූරිය පැවසීය.

නීතිඥ දිනේෂ් දොඩම්ගොඩට අත්අඩංගුවට ගැනීම වළකන වාරණයක්

තුසිත හල්ලොලු‍ව සම්බන්ධ වෙඩි තැබීම හා පහරදීමේ සිද්ධියට සහාය දුන්නා යන චෝදනාවන් මත දොඩම්ගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාමින්, කොළඹ අපරාධ කොට්ඨාසය වෙත 14 දිනක වාරණ නියෝගයක් නිකුත් කර ඇත්තේ විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත කේ. ප්‍රනාන්දු යුගලයයි.

පෙත්සමේදී දොඩම්ගොඩ මහතා අවධාරණය කළේ තම ජංගම දුරකථනය පරීක්ෂා කරත්, තමන්ට එරෙහිව කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් හමු වී නැති බවය. නීතිඥවරයෙකු ලෙස තම රාජකාරි ඉටු කිරීමේදී තුසිත හල්ලොලු‍ව වෘත්තීය සේවාවන් පමණක් ලබා දී ඇති බවද ඔහු එම පෙත්සම මගින් තවදුරටත් අධිකරණයට පෙන්වා දී තිබේ.

ගුවන් තැපෑලෙන් එවූ කෝටි 31ට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ගුවන් තැපෑල ඔස්සේ මෙරටට එවූ රුපියල් කෝටි 31කට වැඩි වටිනාකමින් යුත් කොකේන් 1.445 kg, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

සීදුවේ පෞද්ගලික ගුදමකදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති බවද සදහන් වේ.

ආයේත් හිරේ ගිය රාජිත

අල්ලස් කොමිසම හමුවට අද (03) පෙරවරුවේ පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, පැය පහක පමණ කාලයක් ගතවීමෙන් පසු නැවතත් බන්ධනාගාරයට රැගෙන ගිය බව වාර්තා වේ.

අදාල නියෝගය යටතේ, රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතාගේ විධි විධාන අනුවය. මහෙස්ත්‍රාත්තුමා පසුගිය අගෝස්තු 29 වැනිදා නියම කළේ, බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයා අද උදේ 9ට කොමිසම හමුවට රැගෙන එන ලෙසය.

ඒ අනුව, අල්ලස් කොමිසම වෙත රැගෙන ගිය රාජිත සේනාරත්න මහතාගෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කරගැනීම සිදු වූ අතර, එම ප්‍රකාශය අවසන් කිරීමෙන් පසු ඔහු නැවතත් බන්ධනාගාරයට යොමු කරන ලදී.

 

රටේ සෞඛ්‍යයට නව යෝජනා කිහිපයක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නව යුගයකට ගෙන යාමට අදාළ සාකච්ඡාවක් 2025 සැප්තැම්බර් 2 වනදා සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හන්සක විජයමුනිගේ නායකත්වයෙන් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අරුන ජයසේකර, මධ්‍යස්ථ ශ්‍රේණිය පිහිටුවීමේ කමිටුවේ සභාපති වෛද්‍ය සෙනෙත් ගජසින්හ සහ ලේඛම් වෛද්‍ය ශ්‍රියානි අබේවික්‍රම ඇතුළු වෛද්‍ය නියෝජිතයින් සහභාගි වූහ.

මෙහි ප්‍රධාන ගැටළු ලෙස ඉදිරිපත් වූයේ බෝ නොවන රෝග වේගයෙන් ඉහළ යාම, විශේෂඥ වෛද්‍ය හිගය,පවුල් වෛද්‍ය සේවාව පිළිබඳ අක්‍රමවත් තත්ත්වය ආදී ගැටළු ඉදිරිපත් විය.

මෙම ගැටළු සියල්ලටම වෛද්‍ය අතරමැදි ශ්‍රේණියක් බිහි කිරීම යථාර්ථවාදී විසඳුමක් බව වෛද්‍ය නියෝජිතයින් අවධාරණය කළහ.

අමාත්‍යාංශය යෝජනා කර ඇති නව වෙනස්කම් ලෙස, සෑම පවුලකටම පවුල් වෛද්‍යවරයෙක්,ග්‍රාමිය රෝහල්වලට විශේෂඥ වෛද්‍යවරයෙක්, සවස 4.00 න් පසු ශල්‍යකර්ම සිදු කර පොරොත්තු ලැයිස්තු අඩු කිරීම ආදී යෝජනා ඉදිරිපත් විය.

මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමටත් අතරමැදි ශ්‍රේණියක් පිහිටුවීම අත්‍යවශ්‍ය යැයි විශේෂඥයින් දක්වූහ.

එසේම වර්තමානයේ පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලා සඳහා රජය වැය කරන ලක්ෂ 25 – 37 අතර මුදල් ජනතාවට සෘජු ප්‍රතිලාභ ගෙන නොදෙන බවත්, මෙවැනි පැහැදිළි කෙරිණි.

වෛද්‍යවරුන්ට වඩා සෘජුව ප්‍රතිලාභ ලැබිය යුත්තේ ජනතාව බවත්, අවසානයේ ප්‍රතිකාර ලබාගන්නා විශේෂ පුහුණුවක් ඇති වෛද්‍යවරයෙකු නොමැතිව නාස්ති වනුයේ රෝගීන් බවත් සාකච්ඡාවේදී අවධාරණය විය.

තවද මෙම සාකච්ඡාවේ ඉදිරිපත් වූ තවත් යෝජනා කිහිපයක් වූයේ, Medical Tourism නමින් විදේශිකයන්ට මුදල් ගෙවා ලංකාව තුළ ප්‍රතිකාර ලබාගැනීමේ ක්‍රමය දියුණු කිරීම, ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ට විදෙස් රටවල සේවය කිරීමට රාජතාන්ත්‍රික හුවමාරු ක්‍රමය සකස් කිරීම ආදියද විය.

මෙය හරහා අනාගතයේ ඇතිවිය හැකි වෛද්‍ය රැකියා අහිමිවීම්වලටත් විසඳුමක් සැලසෙනු ඇතැයි විශේෂඥයින් විශ්වාස කරයි.

අවසානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම යෝජනා සදහා තුටුදායක ප්‍රතිචාර ලබාදුන් බවත්, සමහර යෝජනා ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

කෑගල්ල -රඹුක්කන බස් රථ ධාවනයට ඒකාබද්ධ කාලසටහනක්

කෑගල්ල-රඹුක්කන (681) මාර්ගයේ බස් රථ ධාවනය ඒකාබද්ධ කාලසටහනකට අනුව සිදු කිරීම ආරම්භ කර ඇත.
මීට පෙර පෙර විනාඩි 45ක් වූ ගමන් කාලයද විනාඩි 40ක් දක්වා අඩු කර ඇත.

 

මාලිමා ආණ්ඩුව මහ පාරේ නඩු තීන්දු දෙනවා

ජාතික ජන බලවේගය නීතිය අතට ගනිමින් අනෙකුත් දේශපාලන පක්ෂවලට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ තර්ජන එල්ල කිරීම දැඩි සේ හෙලා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කලක් ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට ජාතික ජන බලවේගයේ හිරිහැරවලට මුහුණ දෙන අතර, ඒ අනුව ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් ඊයේ උදෑසන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදී එය අත්පත් කර ගෙන ඇතැයි ඔහු පැවසීය.

ජාතික ජන බලවේගය පොරොන්දු වූ නව ක්‍රමවේදය මෙය නම් එමඟින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සැබවින්ම අවදානමට ලක්ව ඇති බවත්, පැරණි ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් නිර්මාණය වීමේ බිය සමාජය තුළ ඇති වී නීතිය හා සාමය දැඩි අවදානමට ලක්වන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

හරක් හොරකමේ ගිය සජබ මන්ත‍්‍රී අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේ සමගි ජන බලවේගය පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වන ටර්නි සමන්, කන්තලේ සහ සේරුනුවර ප්‍රදේශවලින් මී ගවයන් හය දෙනෙකු සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, සැප්තැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුතූර් මහෙස්ත්‍රාත් තස්ලිමා මොහොමඩ් ෆවුසාන් මහත්මිය නියෝග කළාය.

සැකකාර ටර්නි සමන් මහතා සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද වේ.

ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කන්තලේ ප්‍රාදේශීය සභාවේ පක්ෂ කණ්ඩායම් නායකයා ලෙස පත්වීමෙන් පසු සභාපති ධුරය ලබාගැනීම සඳහා දැඩි උත්සාහයක් ගෙන තිබෙන බවට වාර්තා වේ.

ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස ද සේවය කරනු ලබයි.

Add to cart