රනිල්ගේ සම්බන්ධීකරණ අධ්‍යක්ෂ හල්ලොලුවට පහරදීම ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයාට පහරදී ලිපිගොනුවක් පැහැරගැනීමේ සිද්ධිය: රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් මත සිදු වූවක් බවට අනාවරණය වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ගමන් ගත් සුඛෝභෝගී ජීප් රථයට වෙඩි තබා, ඔහුට සහ නීතිඥවරයාට පහරදී ලිපිගොනුවක් පැහැර ගෙන පලා ගිය බව කියන සිද්ධිය රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ බවට අත්අඩංගුවට ගත් යතුරුපැදිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇතැයි කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදියේ පැදිකරු ඇතුළු තිදෙනකු පෙරේදා (මැයි 27) වත්තල හුණුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වන විට කාන්තාවක් ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා අතර යතුරුපැදිය සැපයූ පුද්ගලයා සහ පැදිකරුට නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයන් ද වන බව පොලිසිය වැඩිදුරටත් කියා සිටී.

අත්අඩංගුවට ගත් යතුරුපැදිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “චමිල” නමැත්තෙකුගේ උපදෙස් මත තමන් යතුරුපැදිය පදවාගෙන පැමිණි බවත්, වෙඩික්කරු තමන් වෙත උපදෙස් ලබා දී තිබුණේ තුසිත හල්ලොලුව මහතා සතුව ලිපිගොනුවක් ඇති බවත්, ඔහු වෙඩි තබන අවස්ථාවේදී එය පැහැරගන්නා ලෙසත්ය.

කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

කැලී බල්තසාර් කොළඹ නගරාධිපති වන බවට ලාල් කාන්තගෙන් සහතිකයක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තට අනුව, ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්වනු ඇත.

මහනුවරදී මාධ්‍ය අමතමින් අමාත්‍ය ලාල් කාන්ත කියා සිටියේ, තමන් දැනටමත් කොළඹ මහ නගර සභාවේ බලය ස්ථාපිත කර ඇති  බව ය. නගරාධිපතිවරිය පත් කිරීම ද අවසන් කර ඇති බව හෙතෙම සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, අවශ්‍ය විධිවිධාන සහ නිල නිවේදනය පමණක් නිකුත් කිරීමට ඉතිරිව ඇති බවයි.

මේ අතර, ජාතික ජන බලවේගය (NPP) අනෙකුත් දේශපාලන කණ්ඩායම් සමඟ එක්වී සිය ව්‍යාප්තිය අඛණ්ඩව සිදුකරන බව අමාත්‍ය ලාල් කාන්ත සඳහන් කළේය.

ඔහු කියා සිටියේ, ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය විවිධ කණ්ඩායම් සමඟ කටයුතු කළ බැවින්, පළාත් පාලන මැතිවරණය ද ඊට වෙනස් නොවන බවයි.

අමාත්‍ය ලාල් කාන්තට අනුව, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා අවශ්‍ය තැන්වලදී ජාතික ජන බලවේගය අනෙකුත් කණ්ඩායම් සමඟ කටයුතු කරනු ඇත.

ඔහු පැවසුවේ, බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගෙන ඇති තැන්වල බලය පිහිටුවීම ජාතික ජන බලවේගයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව ය.

කෙසේවෙතත්, රාජපක්ෂලා සමග දේශපාලනය කළ ප්‍රභා ගනේෂන්ගේ පක්ෂය වැනි කණ්ඩායම් මෙන්ම දූෂිත පිරිසක් ද ජාතික ජන බලවේගය සමග එකතු වී බලය පිහිටුවා ඇති බව අභ්‍යන්තර දේශපාලනයේ දී පෙනී යයි.

රත්‍රං ආලේපිත T56 සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක යළි මැගසින්වලට

වැල්ලවත්ත මහල් නිවාස සංකීරණයකදී රත්‍රං ආලේපිත T56 ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඊට පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙසේවෙතත් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබූ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර වෛද්‍යවරුන් ලබා දුන් නිර්දේශ මත, යළි මැගසින් බන්ධනාගාරය වෙත මාරු කර තිබේ.
වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් බැවින් තවදුරටත් හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර රෝහ​ලේ තබාගෙන ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නොමැති බවයි.

 

පාර්ලිමේන්තුවේ දී මාලිනී විවේචනය කිරීම ගැන ඇසූ විට ඇමැති නලින්ද ගොළු වෙයි!

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන දිවංගත සිනමා නිළි මාලනී ෆොන්සේකාට ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 5.5 ක් ලබා දීම සම්බන්ධයෙන් මීට පෙර තමා සිදු කළ විවේචනය පිළිබඳ තවමත් කනගාටු වන්නේද යන්න පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.

මෙම අවස්ථාවේදී ඒ පිළිබඳව අදහස් දැක්වීම සුදුසු නොවන බව ඔහු පැවසීය. “ඒ ගැන මෙතන කතා කරන්න මම අදහස් කරන්නේ නැහැ” ඔහු කීවේය.

තම ප්‍රකාශ සම්බන්ධයෙන් කනගාටු වීමට නොහැකි වී ඇත්දැයි මාධ්‍යවේදීන් දිගින් දිගටම විමසූ විට, ඔහු කියා සිටියේ,

“මම අරමුදලෙන් ප්‍රතිලාභ ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව පමණයි හෙළි කළේ. මම රුපියල් බිලියන 1කට අධික මුදලක් නිකුත් කිරීම ගැන සඳහන් කළා. ඒ ලැයිස්තුවේ කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න, දි.මු. ජයරත්න ඇතුළු ප්‍රතිලාභ ලැබූ අයගේ නම් සඳහන් කළා”

මාලනී ෆොන්සේකා රෝහල්ගතව සිටි අවස්ථාවේ පවා කනස්සල්ලට පත්ව සිටියදීත්, තම ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව ගැනීමට ඔහු අකමැති ඇයි දැයි විමසූ විට, ඔහු මෙසේ පැවසීය:

“මම ඉදිරිපත් කළේ වාර්තාවක් පමණයි. මගේ ප්‍රකාශ පසුගිය දින කිහිපය තුළ බොහෝ දුරට විකෘති කර වාර්තා කර තිබුණා. මම ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව ඉදිරිපත් කළා. කලාකරුවන්ට පවා ප්‍රතිලාභ ලැබී තිබෙනවා. මම ඒවා හෙළි කළේ නැහැ”

පිල්ලෙයාන්ට ඇප දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව කියයි‍. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බෑ කියයි.

දැනට සිය රැඳවුම් භාරයේ සිටින, හිටපු අමාත්යවරයකු වන සිවනේසතුරෙයි චන්ද්රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ට ඇප ලබාදෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) එකඟත්වය දක්වා නොමැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපට වාර්තා වේ.
පිල්ලෙයාන් දිගටම රැඳවුම් භාරයේ තබාගැනීමට අවශ්ය පමණට සාක්ෂි තමන් සතු බවටත්, ඔහුට ඇප දීම ඉදිරි විමර්ශනවලට බාධාවක් බවටත් CIDය විසින් වැඩිදුර කරුණු දැක්වීමෙන් අනතුරුව, ඇප ලබාදීමේ ස්ථාවරය වෙනස් කරගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බව ද වාර්තා වේ.

පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට

ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමෙන් තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට පිල්ලෙයාන් විසින් පසුගිය දා ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අතර, මෙම පෙත්සම ජුනි 17 වැනිදා සලකා බැලීමට ශ්රේෂ්ඨාධිකරණය පසුගිය දා තීරණය කළේ ය.
මේ තත්ත්වය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, කාන්තා ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල, CID විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන සහ තවත් කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියක කැඳවූ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක විසින් දැනුම්දී ඇත්තේ, පිල්ලෙයාන්ට ඇප ලබාදෙන්නට කටයුතු කරන ලෙස ය.
මේ දැනුම්දීමට එකඟත්වය පළකරන්නට නොකැමැති වූ CID නිලධාරීන්, මේ සම්බන්ධයෙන් සිය උසස් නිලධාරීන් වෙත කරුණු දක්වා ඇති අතර, ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය සමග සිදුකළ සාකච්ඡාවකින් පසු මෙම ඇප ලබාදීමේ තීරණය වෙනස් කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.
පිල්ලෙයාන්ට එරෙහිව දැනටමත් CIDය සිදුකර ඇති විමර්ශනවල ප්රගතිය හා ඒ ඔස්සේ ලැබී ඇති සාක්ෂි මෙන්ම ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ද සලකාබැලීමෙන් අනතුරුව ලක්මාලී කරුණානායක විසින් ලබාදුන් ඇප ලබාදීමේ උපදෙස අනුව කටයුතු කිරීමේ අවශ්යතාවක් නොමැති බව සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය CIDයට දැනුම්දී තිබේ.

මනුෂ්ය ඝාතන 30කට පිල්ලෙයාන්ගේ නම ඈඳිලා

දැනට හෙළිදරව් වී ඇති තොරතුරුවලට අනුව මනුෂ්ය ඝාතන 30කට අධික සංඛ්යාවක් සම්බන්ධයෙන් පිල්ලෙයාන් වෙත චෝදනා එල්ලවන තත්ත්වයක් උද්ගතව ඇතැයි CID ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර, මේ අපරාධවලින් අති බහුතරය නැගෙනහිර පළාත කේන්ද්ර කරගනිමින් සිදුකර ඇති ඒවා වේ.
මේ සියලු අපරාධ සම්බන්ධයෙන් කොළඹ ප්රධාන කාර්යාලයේ සිට විමර්ශන මෙහෙයවීමේ දුෂ්කරතාව අවබෝධ කරගනිමින්, විශේෂ CID විමර්ශන කණ්ඩායමක් මඩකලපුව ආශ්රිතව ස්ථානගතක කර විමර්ශන වේගවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සලකා බැලෙමින් පවතින බව ද දැනගන්නට ඇත.
2006 වසරේ දී එවකට නැගෙනහිර විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය රවීන්ද්රනාත් සුබ්රමනියම් කොළඹ දී පැහැරගෙන‌ ගොස් සෙවණපිටිය ප්රදේශයේ දී මරාදැමීම සම්බන්ධයෙන් මේ වනවිටත් ඇසින් දුටු සාක්ෂිකරුවන් 4දෙනකු සිටින බව ද CID ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මහාචාර්ය සුබ්රමනියම් ඝාතනයට අමතරව, මඩකලපුව දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම හා අම්පාර දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අරියනායගම් චන්ද්රනේරු ඇතුළු පිරිසක් ඝාතනය කිරීම ද දැනට පිල්ලෙයාන්ගේ නම ඇඳෙන මනුෂ්ය ඝාතන 30කට අධික සංඛ්යාවට ඇතුළත් ය.
මේ අනුව පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට තමන් අත ඇති තරම් සාක්ෂි සහ විමර්ශන තොරතුරු ඇති බව CID ස්ථාවරය වී තිබේ.

රටේ ආන්දෝලනයක් ඇති කළ සැකකරුවකුට ඇප දෙන්නැයි කීවේ ඇයි?

පිල්ලෙයාන්ට ඇප ලබාදෙන්නැයි CIDයට දැනුම් දීමේ දී නියෝජ්ය සොලිසිටර් ජනරාල් ලක්මාලී කරුණානායක සිය තනි මතයට කටයුතු කර ඇතිද යන සැකය මේ අනුව මතුවෙමින් පවතී.
පසුගිය අපේල් 08 වැනිදා ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම රටතුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීමක් විය. හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ ප්රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ ලවා තමන්ගේ පෞද්ගලික ජංගම දුරකතනයෙන් පිල්ලෙයාන් හා සම්බන්ධ වීමට දැරූ උත්සාහය උණුසුම් දේශපාලන වාදයකට තුඩුදුන්නේ ය. වසර 15ක් තිස්සේ රනිල් වික්රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස රාජකාරි කළ ආරියවංශ එම තනතුරෙන් ඉවත්කර වහාම ක්රියාත්මක වන පරිදි කන්කසන්තුරේ පොලිස් කොට්ඨාශයට මාරුකර යැවීමට මේ සිද්ධිය හේතු වූ අතර, දුරකතන ඇමතුම් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් වැඩිදුර CID විමර්ශනයක් සිදුවෙමින් පවතී.
පිල්ලෙයාන් වෙනුවෙන් තාවකාලික නීතීඥයා ලෙස පෙනීසිටිමින් උදය ගම්මන්පිල විසින් රඟදක්වන ලද නාටකය ද රටතුළ විශාල ආන්දෝලනයක් ඇතිකළේ ය.
මේ ආකාරයේ මහජන ළැදියාවට උපරිමයෙන් පාත්ර වූ රැඳවියකු සම්බන්ධයෙන් හදිසියේ ඇප ලබාදීමක් වැනි තීරණයකට යාමේ දී, සිය දෙපාර්තමේන්තුවේ ම ඉහළ නිලධාරීන්ගේ මතය හෝ නොවිමසා කටයුතු කිරීමට නියෝජ්ය සොලිසටර් ජනරාල්වරිය කටයුතු කළාද යන්න ක්ෂේත්රයේ දැඩි කතාබහට ලක්වී තිබේ.
ලක්මාලී කරුණානායක ගේ ඇපදීමේ තීරණය බෙහෙවින් ගැටලු සහගත බව විෂයය සම්බන්ධයෙන් ප්රාමාණිකයන් ගේ අදහස යි.

අපකීර්තිමත් ත්රස්ත පනත

පිල්ලෙයාන් කෙබඳු පරිමාණයේ අපරාධ සිදුකර තිබුණත්, ඔහු සම්බන්ධයෙන් ක්රියාත්මක විය යුත්තේ රටේ සාමාන්ය නීතිය බව අපගේ පෞද්ගලික ස්ථාවරය යි. බලයට ඒමට පෙර ජාතික ජනබලවේගයේ පවා කර්කශ විවේචනයට ලක්වූ අපකීර්තිමත් ත්රස්තවාදය වැළැක්විමේ පනත යටතේ පිල්ලෙයාන්ට එරෙහිව ක්රියාකිරීම සම්බන්ධයෙන් අප එක හෙළා විරුද්ධ බව මෙහිදී ද ප්රකාශ කර සිටින අතර, එම මර්දනකාරී පනත වහාම අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කළ බව ද ප්රකාශ කර සිටිමු.
-සනත් බාලසූරිය-

මර්වින්ට තවත් ලෙඩක්. අල්ලස් කොමිසමෙන් අධි චෝදනා

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබේ. ඔහු කම්කරු හා රාජ්‍ය සම්බන්ධතා අමාත්‍ය ධූරය දරන සමයේ දී රුපියල් මිලියන 153කට අධික වටිනාකමකින් යුත් දේපළ හා මුදල් නීති විරෝධී ලෙස උපයා ගත් බවට මෙසේ චෝදනා එල්ල වී තිබෙන බව සඳහන් වේ.

අල්ලස් පනතේ 23(1)(a) වගන්තිය යටතේ නීති විරෝධී ලෙස වත්කම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනු කර ඇත. අධි චෝදනා පත්‍රයට නීති විරෝධී ධනය උපයා ගැනීම සම්බන්ධ ප්‍රධාන චෝදනා තුනක් ඇතුළත් වේ.

අල්ලස් කොමිසමට අනුව, මෙම චෝදනා අතරට කොළඹ 7 ප්‍රදේශයේ රුපියල් මිලියන 70ක් වටිනා ඉඩමක් මිලදී ගැනීම, කඩවත දළුපිටිය ප්‍රදේශයේ රුපියල් මිලියන 30කට අධික වටිනාකමකින් යුත් දේපළක් අත්පත් කර ගැනීම, සහ ඔහුගේ පුත් මාලක සිල්වා වෙනුවෙන් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් මිලදී ගැනීම් ද ඇතුළත් වේ.

මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට සහ රුසියාවට..! ජවිපෙ ආණ්ඩුවෙනුත් රටේ සම්පත් බිල්ලට දෙයි?

ආන්දෝලනාත්මක ව්‍යාපෘතියක් ලෙස කතාබහට ලක්වූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කළමනාකරණය වසර 30ක කාලයක් සඳහා ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd. සහ රුසියාවේ Airports of Regions Management Company හෝ එහි අනුබද්ධිත සමාගමකට පැවරීමට කැබිනට් අනුමැතිය ලැබීම, රටේ ස්වෛරීත්වය සහ ආර්ථික අනාගතය පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරයි. මෙලෙස රටේ  යටිතල පහසුකම් විදේශිකයන්ට පැවරීම, “සුදු අලියෙකු” නඩත්තු කිරීමට නොහැකි බවට රජය දෙන පිළිතුරක්ද, නැතහොත් තවත් එක් දේශපාලන ක්‍රියාවක්ද යන සැකය මතු වේ.

2023 ජනවාරි 09 වන දින පැවති කැබිනට් රැස්වීමකින් අනතුරුව, මත්තල ගුවන්තොටුපළේ පහසුකම් ප්‍රයෝජනයට ගැනීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් EOI කැඳවීම සිදුවිය. EOI සඳහා ආයතන 05ක් ලංසු ඉදිරිපත් කළ බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම තෝරාගැනීමේ ක්‍රියාවලිය කෙතරම් විනිවිදභාවයකින් සිදුවූවක්ද යන්න පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් මෙතෙක් ලැබී නොමැත.

වසර 30ක දීර්ඝ කාලයක් සඳහා මෙවන් වැදගත් ආයතනයක් විදේශීය සමාගම් දෙකකට පැවරීමෙන්, ශ්‍රී ලංකාවට ලැබෙන සැබෑ ආර්ථික ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබඳව පැහැදිලි චිත්‍රයක් නොමැත. ගුවන්තොටුපළක් යනු හුදෙක් ගුවන් ගමන් සඳහා පමණක් නොව, රටක ආර්ථික, සංචාරක සහ ආරක්ෂක අංශයන්ට සෘජුවම සම්බන්ධ වන වැදගත් ස්ථානයකි. එවන් ස්ථානයක කළමනාකරණය විදේශිකයන්ට පැවරීමෙන්, දිගුකාලීනව රටේ ආරක්ෂාවට සහ ආර්ථිකයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් සිදුවී ඇති බවක් පෙනෙන්නට නැත.

“සුදු අලියෙකු” නඩත්තු කිරීමට නොහැකිවීම, දේශපාලනඥයන්ට තමන්ගේ අකාර්යක්ෂමතාව වසා ගැනීමට හොඳම නිදහසට කරුණක් වී ඇත. එහෙත්, මෙම ගුවන්තොටුපළ ගොඩනැගීමට වැය කළ මහජන මුදල් පිළිබඳව කිසිදු තැකීමක් නොකර, එය මෙලෙස පහසුවෙන් විදේශිකයන්ට භාරදීම සාධාරණීකරණය කළ හැකිද?

මෙම තීරණය, ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ව්‍යාපෘති සහ ජාතික සම්පත් කළමනාකරණය පිළිබඳව බරපතල සැක සංකා ඇති කරයි. රටේ දේපල මෙලෙස විදේශිකයන්ට පැවරීම, කෙටිකාලීන ගැටලුවලට දෙන ලංසුකරණ විසඳුමක්ද, නැතහොත් රටේ ස්වෛරීත්වය ක්‍රමයෙන් අහිමිවීමේ ආරම්භයක්ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත.

විශේෂයෙන්ම, රටේ ජාතික සම්පත් විදේශිකයින් වෙත විකිණීම හෝ පවරාදීම සම්බන්ධයෙන් තමන් ආණ්ඩු නොකරන සමයේ දැඩි විවේචනාත්මක අයුරින් කතා කළ, සටන් කළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවකින් මෙවන් තීරණයක් ක්‍රියාත්මක කිරීම දෛවයේ සරදමක් වැනි ය.

අමාලි රඹුක්වැල්ලගේ බැංකු ගනුදෙනු නිසා සම්බන්ධීකරණ ලේකම් අල්ලස් දැලේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක නමැත්නා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුව ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරුට අයත් මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමක් පවතින බවත් එය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල විසින් භාවිතා කර ඇති බවත්ය.
මෙම ගිණුමට අමාත්‍යාංශ අරමුදල් බැරවී ඇති අතර ඒවා සැකකරුගේ අනු දැනුම මත අමාත්‍යවරයාගේ දියණිය විසින් භාවිතා කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

අදාළ බැංකු ගිණුම තම සේවාදායකයාට හිමි වුවද එය භාවිතා කළේ අමාත්‍යවරයාගේ දියණිය බවත් එම ගිණුමට පෞද්ගලික පාර්ශවයන්ගෙන් මුදල් බැර වී තිබෙන බව, විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පිළිගෙන ඇත. නමුත් අමාත්‍යංශ අරමුදල් ඊට බැරවී නොමැති බව නීතිඥවරයා පවසයි.
අදාළ ගනුදෙනු සිදුවී තිබෙන්නේ තම සේවාදායකයාගේ අනුදැනුමකින් තොරව වන අතර ඔහු ස්වේච්ඡාවෙන්ම අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දී ඇති නිසා ඔහු ඇපමත මුදාහරින ලෙසත්, විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ කරුණු දක්වන ලදී.

විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති හෙයින් සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි නිසා විමර්ශන නිලධාරීන් සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලීමක් කර ඇත. එම ඉල්ලිම නිසා කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ආහාර මිල ඉහළට – මන්ත්‍රීවරුන්ට අඩු මිලට එතනින්ම ආහාර

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා ආහාර මිල ගණන් 2025 ජුනි 1 වන දින සිට වැඩි කිරීමට පාර්ලිමේන්තු සභා කාරක සභාව තීරණය කර ඇති අතර, ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මසකට රු. 4,000 ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මසකට රු. 2,500 ක් අය කිරීමට තීරණය කර ඇති බව, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තීරණය ගනු ලැබුවේ 2025 මැයි 23 වන දින කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු සභා කාරක සභා රැස්වීමකිනි. මෙම රැස්වීමේ අරමුණ වූයේ 2025 මැයි 21 වන දින ආහාර මිල ගණන් සම්බන්ධයෙන් ගනු ලැබූ පෙර තීරණයක් සමාලෝචනය කිරීමයි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ආපනශාලාවෙන් ආහාර මිලදී ගන්නා මන්ත්‍රීවරුන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති සහ අගමැති ආරක්ෂක නිලධාරීන් සහ මාධ්‍යවේදීන්ගේ රියදුරන් සඳහා වත්මන් ආහාර මිල ගණන් නොවෙනස්ව පවතින බව ද කමිටුව තීරණය කළේය.

මෙම අනුපාත සංශෝධන සෑම වසර තුනකට වරක් සිදු වන අතර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම් සහ ආහාර පිරිවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ මත පදනම් වේ.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ආපනශාලාවෙන් ආහාර මිලදී ගන්නා මන්ත්‍රීවරුන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති සහ අගමැති ආරක්ෂක නිලධාරීන් සහ මාධ්‍යවේදීන්ගේ රියදුරන් සඳහා වත්මන් ආහාර මිල ගණන් නොවෙනස්ව පවතින බව ද කමිටුව තීරණය කිරීම විශේෂ තත්ත්වයකි. මින් පෙර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල දීමනා කපා හැරීම සඳහා ද, කටයුතු කෙරෙන අතර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා පමණක් ආහාර මිල ගණන් ඉහළ දැමීම සඳහා හේතුවක් තවම දක්වා නැත.

විශේෂයෙන් ම ජනාධිපතිවරයාගේ සෘජු නායකත්වය යටතේ මුදල් අමාත්‍යාංශය පවතින බැවින් මේ තත්ත්වය වඩාත් සැලකිය යුතුය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව රෙගුලාසි නිසා බිලියන ගනණක පාඩුවක් ?

 

රජය, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා රජයේ උසස් පෙළ විභාගය සමත් සිසුන් ඇතුළත් කරගන්නා අතර ඒ සඳහා නව රෙගුලාසි කිහිපයක් අලුතින් හදුන්වා දී ඇත. මෙකී රෙගුලාසි මත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සඳහා විදේශ හා කැඩට් නිලධාරීන් පමණක් ඇතුළත් කර ගැනීමට තීරණය කර ඇත.

මේ නව රෙගුලාසි නිසා සුදුසුකම් ලත් විශාල දේශීය සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල‍යට අහිමි වන අතර විශ්ව විද්‍යාල ගාස්තු තුළින් උපයා ගන්න බිලියන 2 ක පමණ ආදායම ද විශ්ව විද්‍යාලයට අහිමි වේ.

ඒ අනුව මෙම වසරේ උසස් පෙළ සුදුසුකම් ලත් දේශිය සිසුන් KDU විශ්වවිද්‍යාල‍යට බඳවා නොගන්නා බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. ඒ බව KDU නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ

කෙසේවෙතත් රජය තුළ සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පීඩනය රජයේ හදිසි තීරණයට හේතු වී ඇති බව විශ්වාස කෙරේ.

Add to cart