කෝටි ගණනක රේගු බහාලුම් වංචාවේ චෝදනාව බිමල් රත්නායකට!

වත්මන් ආණ්ඩුව යටතේ මෙරට තුළ සිදුවූ දැවැන්තම මහා පරිමාණ හොරකම ලෙස සැලකෙන රේගු පරීක්ෂාවකින් තොරව බහලුම් 323ක් නිදහස් කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ අමාත්‍ය බිමල් රත්නායක විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (මැයි 25) චෝදනා කළේය. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, එසේ නිදහස් කරන ලද බහාලුම් ප්‍රමාණයට ඉන්පසු සිදුවූයේ කුමක්දැයි කිසිදු සඳහනක් නොමැති බවට ද චෝදනා කළේය. තවදුරටත් අදහස් දැක්වූ ඔහු, මේ සම්බන්ධයෙන් වන තොරතුරු ඉල්ලා සිටින විට ලබා දී ඇත්තේ ඒවා ගෙන්වන ලද රටවල් පිළිබඳ තොරතුරු පමණක් බවත්, ඊට අදාළ කිසිදු රේගු සටහන්කරයක් ලබා දී නොමැති බවත් පැවසීය.

මෙම තොරතුරු ලබා දීමට රේගුව කටයුතු නොකරන ලද බවත්, ඊට හේතුව ලෙස “පුද්ගලිකත්වය හෙළිදරව් වන්නේ යැයි” පදනමක් ඉදිරිපත් කළ බවත් දයාසිරි ජයසේකර වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව, මෙම සිද්ධියට අදාළ සම්පූර්ණ තොරතුරු අධිකරණය හමුවට ගොස් හෝ ලබා ගැනීමට කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අවධාරණය කළේය. මෙම චෝදනා, රටේ රේගු පද්ධතියේ විනිවිදභාවය සහ වත්මන් ආණ්ඩුවේ පාලනය පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කර තිබේ.

හත්වැනි සජබ සංවිධායක, ලිඳුල හිටපු සභාපතිත් ඉල්ලා අස්වෙයි!

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ සම සංවිධායක සහ තලවකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල අනගිපුර සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

ඒ මහතා මෙම නිවේදනය නිකුත් කළේ අද (මැයි 25) පෙරවරුවේ තලවකැලේ පිහිටි සිය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය. තමන් ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වුව ද පක්ෂයෙන් ඉවත් නොවන බව ද ඔහු සඳහන් කරයි.

ඒ අනුව, සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධුරවලින් මේ වන විට ඉල්ලා අස් වී ඇති පිරිස මෙසේ ය.

  1. චමින්ද විජේසිරි – බණ්ඩාරවෙල
  2. රංජිත් අළුවිහාරේ – රත්තොට
  3. වසන්ත අළුවිහාරේ – මාතලේ
  4. චම්පික විජේරත්න – දඹුල්ල
  5. බන්දුල ලාල් බණ්ඩාරිගොඩ – ගාල්ල
  6. අනුර බුද්ධික – හොරොව්පතාන
  7. අශෝක සේපාල අනගිපුර – නුවරඑළිය දිස්ත්‍රික්

ඉෂාරට අරක්කු ව්‍යාපාරයේ ආධිපත්‍යය පවරාදීමේ මාලිමා ඩීල් එක ලිපියකින් ම ඔප්පු වේ!

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින්, ගල්-ඔය වැවිලි (පුද්) සමාගම වෙත නව මත්පැන් බෝතල් කිරීමේ (FL 1) බලපත්‍රයක් නිකුත් කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුමැතිය ලැබී ඇති බව නිවේදනය කිරීමත් සමග, ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරික සබඳතා පිළිබඳ චෝදනා යළිත් කරලියට පැමිණ තිබේ.

රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.එස්. අතුල කුමාර විසින් 2025 මැයි 16 දිනැතිව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපිය මගින්, මෙම බලපත්‍රය නිකුත් කිරීම සඳහා පහත සඳහන් කරුණු දක්වා ඇත:

  • ලිපිය, 2025 මාර්තු 03 දිනැති PED/A/GalOya/1/1(i) දරන අංකයෙන් යොමු කළ ලිපියට අදාළව ලියා ඇත.
  • හිඟුරාන සීනි කර්මාන්තශාලාවේ බෝතල් කිරීමේ බලපත්‍රය දැනටමත් වෙනත් පාර්ශවයකට පවරා ඇති බව දැනුම් දී ඇත.
  • එබැවින්, ගල්-ඔය වැවිලි (පුද්) සමාගමට නව බලපත්‍රයක් නිකුත් කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයා අනුමැතිය ලබා දී ඇත.
  • ගල්-ඔය වැවිලි (පුද්) සමාගමට හැකි ඉක්මනින් නව බෝතල් කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ඉල්ලා ඇත.

මෙම ලිපියේ පිටපත් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ ගල්-ඔය වැවිලි (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වෙත ද යොමු කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ, හිඟුරාන උක් කර්මාන්තශාලාව හරහා සීනි නිෂ්පාදනයට අමතරව ක්‍රියාත්මක වූ, අරක්කු බෝතල් කිරීමේ බලපත්‍රය වෙනත් පාර්ශවයකට පවරා ඇති බැවිනි.

මෙම FL 1 බලපත්‍රය සාමාන්‍ය මත්පැන් අලෙවි බලපත්‍රයක් (FL 3/FL 4) නොව, අරක්කු පෙරීම සඳහා ලබා දෙන බලපත්‍රයකි. මෙය සාමාන්‍යයෙන් නිකුත් කරන බලපත්‍රවලට වඩා බෙහෙවින් මිල අධික බලපත්‍රයක් බව සඳහන් වේ. මෙම බලපත්‍රය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ධනවත් ව්‍යාපාරිකයෙකු වන ඉෂාර නානායක්කාරටය. උඩ කී ගල්-ඔය වැවිලි (පුද්) සමාගම අයත් වන්නේ ඔහුට ය. (ගල්-ඔය ව්‍යාපාරය හරහා නිෂ්පාදනය වූ ‘ගල් අරක්කු’ කලක් ජනප්‍රියව පැවති අරක්කු වර්ගයකි.)

ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව යටතේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට විශේෂ සැලකිලි සහ අතුරු සේවා සපයනු නොලැබෙන බවට වූ ජනතා විශ්වාසය මෙම සිදුවීමත් සමග පළුදු වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ජවිපෙ දිගින් දිගටම ධනපති පංතිය විවේචනය කරමින් සිටින පසුබිමක, මෙවැනි බලපත්‍රයක් ප්‍රධාන පෙළේ ධනවතෙකුට ලබා දීම දැඩි කතාබහට ලක්ව තිබේ.

සමහරු චෝදනා කරන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමා රජය සහ ඉෂාර නානායක්කාර අතර පවතින සමීප සබඳතාව හේතුවෙන් මෙම බලපත්‍රය නිකුත් වී ඇති බවයි. කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් තම පාර්ශවයට ගැනීමට ඉෂාර නානායක්කාර මුදල් ආධාර සපයන බවට ද මීට පෙර චෝදනා එල්ල විය. ජවිපෙට බිලියන ගණන් ස්ථාවර තැන්පතු (FD) තිබුණ ද, ඔවුන් දෛනික දේශපාලන කටයුතු සහ විශේෂ අවස්ථා සඳහා මුදල් සොයා ගන්නේ මෙවැනි “ඩීල්” හෝ “කප්පම්” මගින් බවටද චෝදනා නැගේ. කොළඹ මහ නගර සභා බලය පිහිටුවීමට අරමුදල් සැපයීම වෙනුවෙන් ඉෂාර නානායක්කාරට මෙම FL 1 බලපත්‍රය “කප්පමක්” ලෙස ලබා දුන් බවටද මතයක් පවතී.

මෑතකදී අභාවප්‍රාප්ත වූ හැරී ජයවර්ධන, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග සමග පැවති සමීප මිත්‍රත්වය හේතුවෙන් දිවයිනේ අරක්කු ව්‍යාපාරයේ ආධිපත්‍යය දැරූ අයෙකි. ඔහුගේ දූ දරුවන් විසින් ව්‍යාපාර පවත්වාගෙන ගියද, පෙර තරම් වේගවත්ව ඒවා ක්‍රියාත්මක නොවන බව සඳහන් වේ.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග හැරී ජයවර්ධන වැනි ව්‍යාපාරිකයන් වෙත ලබා දුන් ගජමිතුරු සහන, මේ වන විට ජවිපෙ ප්‍රමුඛ රජය හරහා ධම්මික පෙරේරා (ලංකාවේ සුළං බලශක්තිය පවරා දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත), සහ ඉෂාර නානායක්කාර වැනි ධනපති ව්‍යාපාරිකයින් කරා ද යොමුවෙන බව දේශපාලන විචාරකයෝ කණගාටුවෙන් වුවද පෙන්වා දෙති. ධම්මික පෙරේරා වෙත ලංකාවේ සුළං බලශක්තිය පාවා දී ඇති ආණ්ඩුව, මේ වන විට හැරී ජයවර්ධන සතුව පැවැති අරක්කු ව්‍යාපාරයේ ආධිපත්‍යය තම ගජමිතුරු ඉෂාර නානායක්කාර වෙත පවරා දීමට කටයුතු කරන බව පෙනේ.

මෙම සිදුවීම, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව මහජනතාව තුළ දැඩි කතාබහක් ඇති කර තිබේ.

සමගි ජන බලවේගයේ සයවැනි ආසන සංවිධායකවරයා ද ඉල්ලා අස්වෙයි.!

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා විසින් නායකත්වය දරන පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ පවතින අර්බුදය දිනෙන් දින උඩු දුවමින් තිබේ.

ඒ අනුව, මේ දින තුන තුළ ඉල්ලා අස් වූ ආසන සංවිධායකවරුන් ගණන 6 දක්වා ඉහළ ගොස් තිබේ.

සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධුරවලින් මේ වන විට ඉල්ලා අස් වී ඇති පිරිස මෙසේ ය.

1. චමින්ද විජේසිරි – බණ්ඩාරවෙල
2. රංජිත් අළුවිහාරේ – රත්තොට
3. වසන්ත අළුවිහාරේ – මාතලේ
4. චම්පික විජේරත්න – දඹුල්ල
5. බන්දුල ලාල් බණ්ඩාරිගොඩ – ගාල්ල
6. අනුර බුද්ධික – හොරොව්පතාන

නවසීලන්ත නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් නිල සංචාරයක් සඳහා දිවයිනට

නවසීලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඒ මහතාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් පිළිගනු ලැබීය.

වින්ස්ටන් පීටර්ස් 2025 මැයි මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය. මෙම සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණු කර ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් ඇමති ආරක්ෂාව?

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් ජීවිත තර්ජන ඇති බවට පවසන මන්ත්‍රීවරුන්ට යළිත් වරක් ඇමති ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ අවධානය යොමු වී තිබේ.

තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඇමති ආරක්ෂක නිලධාරීන් ලබා දෙන ලෙස විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලීම් කර තිබුණි. ඒ අනුව පසුගිය සිකුරාදා (මැයි 23) පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු පොලිස් ප්‍රධානීන්ද සහභාගී වී සිටියහ. එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ යෝජනා කෙරෙහි දැඩි අවධානය යොමු කර ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව, ජීවිත තර්ජන ඇති බවට පැවසෙන මන්ත්‍රීවරුන්ට ඇති තර්ජන පිළිබඳ බුද්ධි අංශ යොදවා ආරක්ෂක තක්සේරුවක් ලබා ගැනීමට නියමිතය. එම තක්සේරුවෙන් පසු ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

ඉෂාර නානායක්කාරට දුන් FL 1 බලපත්‍රය: මාලිමාවේ “ඩීල්” දේශපාලනය

පෙර රජයන්ගේ බාර් ලයිසන් නිකුත් කිරීම් දැඩි ලෙස විවේචනය කළ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ආණ්ඩුව, බලයට පත්වීමෙන් පසු එම ක්‍රියාවලියම අනුගමනය කරන බවට චෝදනා එල්ල වී තිබේ. මෑතකදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් විශේෂ FL 1 බලපත්‍රයක් නිකුත් කිරීම මෙම චෝදනාවලට ප්‍රධාන හේතුව වී ඇත.

වාර්තා වන පරිදි, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් නිකුත් කර ඇති මෙම FL 1 බලපත්‍රය සාමාන්‍ය මත්පැන් අලෙවි බලපත්‍රයක් නොව, අරක්කු පෙරීම සඳහා ලබා දෙන බලපත්‍රයකි. මෙය සාමාන්‍යයෙන් නිකුත් කරන FL 3/FL 4 වර්ගයේ බලපත්‍රවලට වඩා බෙහෙවින් මිල අධික බලපත්‍රයක් බව සඳහන් වේ.

මෙම බලපත්‍රය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ධනවත් ව්‍යාපාරිකයෙකු වන ඉෂාර නානායක්කාරටය. ජවිපෙ දිගින් දිගටම ධනපති පංතිය විවේචනය කරමින් සිටින පසුබිමක, මෙවැනි බලපත්‍රයක් ප්‍රධාන පෙළේ ධනවතෙකුට ලබා දීම දැඩි කතාබහට ලක්ව තිබේ. කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් තම පාර්ශවයට ගැනීමට ඉෂාර නානායක්කාර මුදල් ආධාර සපයන බවටද චෝදනා එල්ල වී ඇත. ජවිපෙට බිලියන ගණන් ස්ථාවර තැන්පතු (FD) තිබුණද, ඔවුන් දෛනික දේශපාලන කටයුතු සහ විශේෂ අවස්ථා සඳහා මුදල් සොයා ගන්නේ මෙවැනි “ඩීල්” හෝ “කප්පම්” මගින් බවටද චෝදනා නැගේ. කොළඹ මහ නගර සභා බලය පිහිටුවීමට අරමුදල් සැපයීම වෙනුවෙන් ඉෂාර නානායක්කාරට මෙම FL 1 බලපත්‍රය “කප්පමක්” ලෙස ලබා දුන් බවටද මතයක් පවතී.

ජවිපෙ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මෙවැනි “ඩීල්” කිහිපයක්ම සිදු කර ඇති බවට චෝදනා එල්ල වේ:

  • ශ්‍රී ලංකන් ගුවන් සේවය: ධම්මික පෙරේරාගේ සමීපතමයෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධානියා ලෙස පත් කිරීම.
  • සතොස: දීර්ඝ කාලයක් තිස්සේ ජවිපෙට ස්වේච්ඡාවෙන් “කප්පම්” ගෙවූ බවට චෝදනා ලබන “මන්චි” සමාගමේ ප්‍රධානියාට සතොස භාර දීම.
  • ලුණු: “රයිගම්” රවී ලියනගේට අඩු මිලට ලුණු ආනයනය කර ඉහළ මිලට අලෙවි කිරීමට ඉඩ දීම. ආනයනික ලුණු කිලෝවක් රුපියල් 24 කට ලබාගෙන ජනතාවට රුපියල් 350 කට අලෙවි කරන බවට චෝදනා පවතී.
  • හාල්: ඩඩ්ලි සිරිසේනට හාල් මිල වැඩි කිරීමට ඉඩ දීම.
  • බහාලුම්: බස්නාහිර පළාත් ආණ්ඩුකාර, ව්‍යාපාරික හනීෆාට අයත් නීති විරෝධී බහාලුම් සිය ගණනක් අත යටින් මුදා හැරීම. බහාලුම් 329 ක ලැයිස්තුවක් තවමත් ප්‍රසිද්ධ කර නොමැත.

මෙවර මැතිවරණයේදී පොදු ජනතාව ජවිපෙට ඡන්දය ප්‍රකාශ කළේ ධනපතියන්ට බදු පනවා, සාමාන්‍ය ජනතාව දියුණු කරනු ඇතැයි යන අපේක්ෂාවෙනි. කෙසේ වෙතත්, වත්මන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බව මේ චෝදනා අනුව පැහැදිලි වේ. ආණ්ඩුව මහා පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසක් තවදුරටත් ධනවත් කරමින් සිටීම කණගාටුදායක ය.

මේ සම්බන්ධයෙන් විපක්ෂය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමද කැපී පෙනේ. මැතිවරණ සමයේදී මෙම ධනපතියන්ගේ සහාය ඔවුන්ටද අවශ්‍ය වන බැවින්, විපක්ෂය මේ පිළිබඳව හඬ නොනගන බවට මතයක් පවතී.

මෙම සිදුවීම් මාලිමා රජය පිළිබඳව ජනතාව තුළ තිබූ අපේක්ෂාවන් සහ වත්මන් යථාර්ථය පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරයි. ජවිපෙ, විපක්ෂයේ සිටියදී විවේචනය කළ ක්‍රියාදාමයන්ම බලයට පැමිණි පසු සිදු කරන්නේද යන්න පිළිබඳ දැන් පුළුල් විවාදයක් ඇති වී තිබේ.

‘කෙහෙල්බද්දර පද්මේ’ ට හොර පාස්පෝට් හදා දුන්නැයි දෙදෙනෙකු රිමාන්ඩ්!

කුප්‍රකට පාතාල අපරාධකරුවෙකු ලෙස සැලකෙන කෝරලගමගේ මන්දිනු පද්මසිරි නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ වෙනුවෙන් ව්‍යාජ තොරතුරු සපයා විදේශ ගමන් බලපත්‍ර දෙකක් සාදවා දීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන මැයි 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අත්අඩංගුවට ගත් 32 සහ 51 හැවිරිදි සැකකරුවන්, ‘කෙහෙල්බද්දර පද්මේ’ ගේ ඡායාරූපයක් WhatsApp ඔස්සේ ලබාගෙන එය සංස්කරණය කර, ආගමන විගමන දෙපාර්තමේන්තුවට වංචනික ලෙස ලබා දී ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

මෙම සැකකරුවන් බත්තරමුල්ල සහ කොහුවල ප්‍රදේශවල පිහිටි ඡායාරූපශාලාවල හිමිකරුවන් වන අතර, ඔවුන් ඇහැලියගොඩ සහ මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

‘කෙහෙල්බද්දර පද්මේ’ 2014 දී නිකුත් කරන ලද විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කර 2021 වසරේදී රටින් පිටව ගොස් ඇති අතර, ඔහුගේ එම විදේශ ගමන් බලපත්‍රය 2024 දී කල් ඉකුත් වී ඇත. කෙසේ වෙතත්, ඔහු විදේශගතව සිටියදීම 2024 වසරේදී වංචනික ලෙස සිය ඡායාරූපය සහ තොරතුරු සපයා නව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එසේම, ඔහු 2025 වසරේදී තවත් නම් දෙකකින්, ඔහුගේම ඡායාරූප සහිතව, තවත් විදේශ ගමන් බලපත්‍ර දෙකක්ද ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

රන් ආලේපිත T56 ගිනිඅවිය සම්බන්ධයෙන් දුමින්ද දිසානායක රක්ෂිත බන්ධනාගාරයට

රන් හා රිදී ආලේපිත T56 ගිනිඅවියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන මැයි 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු අද (මැයි 24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත T56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (මැයි 23) අත්අඩංගුවට ගනු ලැබීය.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) මගින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

RMV මහා පරිමාණ අල්ලස් ජාවාරමක් හෙළිවේ: ලක්ෂ 41ක් සමග නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට!

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (මැයි 24) උදෑසන නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සිදුකළ හදිසි වැටලීමකදී, රුපියල් 4,117,340 ක මුදලක් සොයාගෙන තිබේ. මෙම මුදල කාර් පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ කාර්යාලයේ තිබී සොයාගෙන ඇති අතර, එය අල්ලස් වශයෙන් ලබාගත් මුදලක් බවට කොමිෂන් සභාව විශ්වාස කරයි.

අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙම වැටලීම සිදුකරනු ලැබුවේ දූෂණ විරෝධී පනතේ 45 වැනි වගන්තිය ප්‍රකාරව ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත බවයි. රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, රජයේ ඇතැම් ආයතනවල මහා පරිමාණයෙන් සහ සාමූහිකව අල්ලස් ගැනීම් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව ද ඔහු සඳහන් කළේය. සොයාගත් මුදල් අදාළ නිලධාරීන් අතර බෙදාගැනීමට සූදානම් කර තිබූ බවට තොරතුරු ලැබී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විජේසුන්දර ලේකම්ලාගේ ඩිලන්ත නුවන් කුමාර (නියෝජ්‍ය කොමසාරිස්), කින්නන් කුඩා රාළලාගේ ප්‍රදීප් නිශාන්ත පෙරේරා (කළමනාකරණ නිලධාරී) සහ දවටගේ සමන්ත පෙරේරා (කළමනාකරණ සහකාර) යන නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. දූෂණ විරෝධී පනතේ 109 වැනි වගන්තිය ප්‍රකාරව මෙම පුද්ගලයන්ට මුදල් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීමට නොහැකි වී ඇති බැවින්, ඒවා අල්ලස් මුදල් ලෙස සලකනු ලබයි.

අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක වැඩිදුරටත් කියා සිටියේ, මෙය මෙවැනි රාජ්‍ය ආයතනවල සිදුවන එකම අල්ලස් සිද්ධිය නොවන බවත්, තවත් බොහෝ ආයතනවල දූෂණය ව්‍යාප්තව පවතින බවට තොරතුරු ලැබී ඇති බවත්ය. මෙම වැටලීමේ අරමුණ වන්නේ වැරදිකරුවන්ට දඬුවම් දීමට අමතරව, මෙරට දූෂණයේ සහ අල්ලසෙහි බරපතල ස්වභාවය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම බව ද හෙතෙම සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් රාජ්‍ය නිලධාරීන් පිළිබඳ මින් ඉදිරියට දැඩි අවධානයෙන් පසුවන බවත්, වහාම මෙවැනි ක්‍රියාවන් නැවැත්විය යුතු බවටත් ඔවුනට අවවාද කරමින්; අල්ලස් දීම සහ ගැනීම යන දෙකම වරදක් බව පෙන්වා දුන් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, අල්ලස් ලබාදෙන මහජනතාව ද මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව අවධාරණය කළේය.

අත්අඩංගුවට ගත් නිලධාරීන් තිදෙනා අද දිනයේම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Add to cart