පාර්ලිමේන්තුවේ යකා නටන සභානායක ගැන විමර්ශනය කරන්නැයි ඉල්ලීමක්

පාර්ලිමේන්තු සැසිවාරවලදී ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරන බවට චෝදනා කරමින් සභානායක බිමල් රත්නායක සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලා සිටීමට නියමිත බව වාර්තා වේ.

“වත්මන් සභානායකවරයා සිය පූර්වගාමීන් විසින් පවත්වාගෙන ගිය හැසිරීමේ ප්‍රමිතිය පවත්වා ගැනීමට අපොහොසත් වී ඇත,” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, කවින්ද ජයවර්ධන, රෝහිණී කවිරත්න සහ චිත්‍රාල් ප්‍රනාන්දු විසින් අත්සන් කරන ලද ලිඛිත ඉල්ලීමක සඳහන් වේ.

මෙම තත්වය උද්ගත වන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අයථා හැසිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට කථානායකවරයා ගත් තීරණයෙන් පසුවය.

මාලිමාව සමග එකතු වී ‘හොරු’ බවෙන් මිදුණු ප්‍රභා ගනේෂන් කණ්ඩායම

කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා  ජාතික ජන බලවේගයට සහාය ලබාදීමට තැපැල් පෙට්ටිය ලකුණින් තරගකළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තීරණය කර තිබේ.

පක්ෂයේ විධායක සභාව මෙම තීරණය ගත් බව පක්ෂ නායක ප්‍රභා ගනේෂන් ප්‍රකාශ කළ අතර, වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ, විපක්ෂ නායකවරයා මෙන්ම ජනාධිපතිවරයා ද තම පක්ෂයට ආරාධනා කර තිබූ බවයි.

කෙසේ නමුත් කොළඹ මහ නගර සභාව තුළ සිටින ජනතාවට සේවය කිරීමට තම පක්ෂයට අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් වත්මන් ආණ්ඩුව සමග එක්ව එම කටයුතු ඉදිරියට සිදුකරගෙන යාමේ සිය සහයෝගය ලබාදීමට තීරණය කළ බව ද, හෙතෙම පැවසීය.

ප්‍රභා ගනේෂන්ගේ පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහාය පල කළ අතර, ප්‍රභා ගනේෂන් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්ගේ සහෝදරයා ද වෙයි. එමෙන්ම ප්‍රභා ගනේෂන් කළක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ද සන්ධානගත වී සිටියේ ය.

“පැලවත්ත අතැඟිලි” රජයේ කටයුතුවලට අත පෙවීමෙන් ආතතියක්..!

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකරගේ ක්‍රියාකලාපය නිසා ආරක්ෂක අමාත්‍යාංශය තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග වාර්තා කරයි. දේශපාලන පක්ෂයක් විසින් ගත යුතු පියවර අමාත්‍යාංශය විසින් ගැනීමට උත්සාහ කිරීම මෙයට හේතුව වී ඇති බව සඳහන් වේ.


LTTE හිතවාදී ගීත වීඩියෝවක් සම්බන්ධ සිද්ධිය

මෑතකදී වාර්තා වූ සිදුවීමක් ලෙස යාපනයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු විසින් නිපදවා යූ ටියුබ් අවකාශයට මුදා හරින ලද LTTE හිතවාදී ගීත වීඩියෝවක් පිළිබඳව අවධානය යොමු වී තිබේ. මෙම වීඩියෝ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ මෙය දේශපාලන පක්ෂයකට අදාළ කාරණයක් බැවින් එය ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යයක් නොවන බවයි. ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ද එම අදහසම දරන බව දැනගන්නට ලැබී තිබේ. දේශපාලන බලපෑම් හමුවේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ද දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති බවත්, ඔහු ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවත් වාර්තා වේ.


වෙනත් අමාත්‍යාංශ සහ ආයතනවල ගැටලු

පැලවත්ත පක්ෂ කාර්යාලයෙන් ආණ්ඩුවේ කටයුතු පාලනය කිරීමට උත්සාහ කිරීම නිසා තවත් අමාත්‍යාංශ සහ ආයතන ගණනාවකම අවුල් සහගත තත්ත්වයක් ඇති වී ඇති බවට තවදුරටත් වාර්තා වේ.

  • ලේක්හවුස් ආයතනය: පාඩු ලබන ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතට කර්තෘ වශයෙන් පත් කර සිටින උදේනි සමන් කුමාර විසින් ගන්නා ලද තීරණයක් පසුදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආපසු හරවනු ලැබිණ. ඔහු විසින් “සිළුමිණ” සාහිත්‍ය අතිරේකය භාරව සිටි සුමුදු චතුරානි නම් මාධ්‍යවේදිනිය රැකියාවෙන් පහ කරනු ලැබුවේ පැලවත්ත තීරණයක් අනුව බව සඳහන්. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ ජූනි 15දාට පෙර ඇය නැවත සේවයේ පිහිටුවන ලෙසයි.

    පසුගිය සති කිහිපය තුළ උදේනි සමන් කුමාර ලිපි ලියමින් සමාජගත කිරීමට උත්සාහ කළ කරුණු කිහිපයක් මෙසේය:

    • විජය කුමාරතුංග මහතා මරා දමන ලද්දේ ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස විසිනි.
    • අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු ඝාතනයට මහින්ද රාජපක්ෂ සම්බන්ධය.
    • අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට ද මහින්ද රාජපක්ෂ සම්බන්ධ විය හැකිය.
  • ජාතික රූපවාහිනිය: ජාතික රූපවාහිනියට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් පත් කරන ලද නිලධාරීන් දෙදෙනෙකු සේවක පිරිස් විසින් හූ කියා පන්නා දැමීම තවත් එවැනි නිදසුනකි.


සමාන්තර පක්ෂ යාන්ත්‍රණයක්?

ආණ්ඩුවේ නිල යාන්ත්‍රණයට සමාන්තරව සිය පක්ෂයේ යාන්ත්‍රණයක් ගොඩනගන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් කරන ලද ප්‍රකාශය දැන් සැබෑ වී ඇති බවට විවිධ වාර්තා ලැබෙමින් තිබේ.

  • පොලිස් බුද්ධි අංශය: වැලිගම W 5 හෝටලයට දේශබන්දුගේ කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කිරීමට පෙර, එම හෝටලයේ වීඩියෝ දර්ශනයක් දේශබන්දු වෙත යැවූ පොලිස් බුද්ධි අංශ ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට පැලවත්ත ප්‍රධානියකු උත්සාහ කර ඇති බව සඳහන්. ඔවුන් දෙදෙනා පාසල් මිතුරන් බවත්, ඔහු එම වීඩියෝව යවා ඇත්තේ ප්‍රහාරයට දින තුනකට පෙර බවත් කියැවේ.

  • ජාතික ප්‍රවාහණ කොමිෂන් සභාව: ජාතික ප්‍රවාහණ කොමිසමේ සභාපති වූ ආචාර්ය දිලීප විතාරණ ඉල්ලා අස්වීමට බලපෑවේද පැලවත්ත දේශපාලන බලපෑම් බව තතුදත් ආරංචි මාර්ග දක්වයි. ඔහු ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකි.


ඉල්ලා අස්වීම් සහ පක්ෂ පාලනය

මේ වන විට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් පත් කරන ලද, ඉන්පසු ඉල්ලා අස් වූ පිරිස දුසිමකට වැඩිය. ඉන් වැඩිම පිරිසක් ඉවත්ව ඇත්තේ බිමල් රත්නායකගේ අමාත්‍යාංශයෙනි.

පාර්ලිමේන්තු මැතිවරණය දක්වා ක්‍රියාකාරී වූ ජාතික ජන බලවේගයේ කමිටු දැන් 88-89 අවධියේ JVP ක්‍රියාකාරීන් විසින් පාලනය කරන්නට පටන් ගෙන තිබෙන බව ප්‍රදේශ ගණනාවකින්ම වාර්තා වේ. පාර්ලිමේන්තුව තුළද ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් දෙවැනි තැනට දමා දෘඩ JVP මැති ඇමතිවරුන් සහ වරියන් ඉදිරියට ගනිමින් සිටීම මෙම මූලෝපායේ කොටසක් ලෙස පෙනී යයි.

ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර වර්ධනය වන විරසකය සමනය කර ගැනීමට නොහැකි වුවහොත් මෙම තත්ත්වය වර්ධනය වී පැලවත්ත පාලනය, පාර්ලිමේන්තු පාලනය ඉක්මවා යනු ඇතැයි දේශපාලන අංශ බිය පළ කරති.

චමින්ද විජේසිරි ආයෙත් ඉල්ලා අස්වෙයි.

බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, එම පක්ෂයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබේ.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අද (23) පෙරවරුවේ පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත භාර දී ඇති බව ද වාර්තා වේ.

අලුතින් පත් වූ පාර්ලිමේන්තුවට චමින්ද විජේසිරි තේරී පත් වුව ද, මින් පෙර පැවැති පාර්ලිමේන්තුවේ දී ඔහු තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය. ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් සමාජය පුරා ප්‍රචලිත වූ අතර, සජිත් ප්‍රේමදාසගේ ඥාතියෙකු වන නයන වාසලතිලකට අසුන ලබා දීම සඳහා ඔහු ඉල්ලා අස්වූ බව එමගින් කියැවිණ.

අම්පිටියේ සුමනරතන හිමි පොලිස් අත්අඩංගුවට පත් වූයේ ඇයි?

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගැනීමට හේතුව

උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය සඳහන් කළේ ය. උහන පොලිසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සමඟ සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළ කරමින් සුමනරතන හිමි පොලිස් ස්ථානය තුළ මෙලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.

දයාසිරිගේ හැසිරීම ගැන සොයා බලන්න කතානායකගෙන් කමිටුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ හැසිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා කථානායකවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. කථානායකවරයා අද (මැයි 23) පාර්ලිමේන්තුව දැනුවත් කරමින් කියා සිටියේ, මැයි 20 වන දින පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී ජයසේකරගේ ක්‍රියාකලාපය පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම කමිටුව පත් කළ බවයි.


කමිටු සාමාජිකත්වය

මෙම පරීක්ෂණ කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර පත් කර ඇත. කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකය. මෙම කමිටුවට අදාළ පැමිණිල්ල විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

දුමින්ද දිසානායක අත්අඩංගුවට

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රන් ආලේපිත මෙම ටී 56 වර්ගයේ ගිනිඅවිය පසුගිය අඟහරුවාදා හමුවිය.
ඒ සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලට අදාළව අනාවරණය කරුණු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ලක්ෂ 59 ක වංචාවකට රිමාන්ඩ් කළ මාලිමා මන්ත්‍රීගේ කතාව

රුපියල් ලක්ෂ 59ක මූල්‍ය වංචාවකට අදාළව, හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට මෙවර තේරී පත්වූ ‘මාලිමා’ පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පෙරේදා (20) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව බණ්ඩාරවෙල පොලිසිය සඳහන් කරයි.


පැමිණිල්ල සහ සිද්ධියේ පසුබිම

පැමිණිලිකරු ද මෙවර පළාත් පාලන මැතිවරණයේදී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට තරග කර පරාජයට පත්වූ ‘මාලිමා’ අපේක්ෂකයෙකු බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා සහ පැමිණිලිකරු අතර ගම්මිරිස් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කාලයක සිට ආරවුලක් පැවති තිබේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයාගෙන් ලැබිය යුතු මුදල් නොලැබීම හේතුවෙන් පැමිණිලිකරු බණ්ඩාරවෙල කොට්ඨාස මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.


අත්අඩංගුවට ගැනීම සහ රිමාන්ඩ් කිරීම

ඒ අනුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සැකකාර මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු අද (21) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

‘හරක් කටා’ට පලායාමට ආධාර කළ බවට සැක හිටපු කොස්තාපල් රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ට පලායාමට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගෙන සිටි හිටපු CID කොස්තාපල් රවිදු සන්ධීප නමැත්තා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියෝග කර තිබේ.


නඩු විභාගය සහ නියෝගය

මෙම නඩුව අද (22) දින කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ මෝසමක් මගින් කැඳවනු ලැබූ අතර එහිදී, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, විත්තිකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග අවසන් වී ඇති බව ය. ඒ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15(2) වගන්තිය ප්‍රකාරව, විත්තිකරු නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

මෙම ඉල්ලීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විරෝධය පළ කර ඇති නමුත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.


ඉදිරි කටයුතු

මෙම නඩුව යළි ලබන 28 වැනිදා කැඳවීමට නියමිත ය.

ලක්මාලි හේමචන්ද්‍ර ආර්ථික සංවර්ධන කාරක සභාවේ සභාපති ධුරයට..

මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර ආර්ථික සංවර්ධන කාරක සභාවේ සභාපතිනිය ලෙස පත් වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර , ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරිය ලෙස පත්කර තිබේ.

මෙම පත්වීම සිදු වූයේ අද (මැයි 22) පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදීයි. එහිදී, මන්ත්‍රී විජේසිරි බස්නායක විසින් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රගේ නම සභාපති ධුරය සඳහා යෝජනා කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභු එම යෝජනාව ස්ථිර කළේ ය.

මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ද සහභාගී වී තිබේ.

Add to cart