චාමර සම්පත් දසනායක ඇප මත නිදහස් කරයි

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (19) ඇප නියම කර තිබේ. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් මත ඔහු නිදහස් කිරීමට මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා නියෝග කළේය.

පොදු දේපල පණත යටතේ පවරා ඇති නඩුවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මන්ත්‍රීවරයා අද උදෑසන බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා ඇත්තේ, 2016 වර්ෂයේ ඌව පළාත් මහ ඇමැති ලෙස කටයුතු කරමින් සිටියදී, පෙර පාසල් ළමුන් සඳහා පාසල් පොත් බෑග් ලබාදීමට රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙනි.

අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගෙන සමාජ මාධ්‍යයේ සිදු කෙරෙන පලකිරීම් ගැන නීතීඥ සංගමයේ අවධානය..!

අධිකරණ නිලධාරීන් ඉලක්ක කරමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන පළ කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධානය යොමු කර තිබේ.

සංගමය පෙන්වා දෙන්නේ මහජනතාව ඇතැම් අවස්ථාවල අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අහිතකර අදහස් හා සටහන් සමාජ මාධ්‍ය තුළ පළ කරමින් සිටින බවයි.

යුක්තිය පසිඳලීමේදී අධිකරණ නිලධාරීන්ගේ වැදගත් කාර්යභාරය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමේ හා ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ද සංගමය අවධාරණය කරයි. අධිකරණ නිලධාරීන්ගේ හැසිරීම විමර්ශනය කිරීම සඳහා නීතියේ පැහැදිලි ක්‍රියා පටිපාටි ඇති බව ද ඔවුන් පෙන්වා දෙයි.

තවද, ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ අධිකරණ නිලධාරීන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් කිසිදු සත්‍යතාවකින් තොර කරුණු දක්වා ඇති බවත්, එමඟින් අධිකරණයේ බලතල යටතේ පවතින කරුණු සම්බන්ධයෙන් වැරදි මතයක් ඇතිවිය හැකි බවත් සංගමය පෙන්වා දෙයි.

එබැවින්, යම් ප්‍රකාශයක් කිරීමේදී හෝ අදහස් දැක්වීමේදී නීති විරෝධී පීඩනයක් ඇතිවිය හැකි හෝ පරීක්ෂණවලට බාධා ඇතිවිය හැකි ක්‍රියාවලින් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, නීතිඥවරුන් ලෙස ඔවුන්ට පැවරී ඇති රාජකාරි හා නීතිමය රාමුව තුළ පමණක් මහජන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට අවසර ඇති බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් දන්වා සිටී.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනය මෙහි දැක්වේ.news images

ලුණු හිඟයට හේතුව පාරිභෝගිකයා වැඩියෙන් ලුණු මිල දී ගැනීමයි..!

ලුණු හිඟයක් ගැන පාරිභෝගිකයා තුළ ඇති අනියත බිය හේතුවෙන් ඔවුන් වැඩි වැඩියෙන් ලුණු මිලදී ගැනීම, ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ ජනතාව ලුණු පැකට් 10 – 12 රැගෙන ගොස් මාස 5කට 6කට ප්‍රමාණවත් පරිදි ලුණු රැස්කර ඇති බව ය.

වෙළෙදපොල තුළ ලුණු හිගයක් නොමැති බැවින්, අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලුණු මිලදී ගැනීම් සිදුකරන ලෙස ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

දේශබන්දු තෙන්නකෝන් අද විමර්ශන කමිටුව හමුවට…

වැඩ තහනම් කරනු ලැබ සිටින පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

අදාළ කමිටුව පසුගිය සති කිහිපය තුළ දී පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වී මූලික විමර්ශන සිදුකරනු ලැබූ අතර, ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්ට පරීක්ෂණ කමිටුවේ හමුවේ පෙනී සිටින ලෙස නොතීසියක් මඟින් දැනුම්දී ඇත.

දේශබන්දු තෙන්නකෝන් ඒ අනුව පරීක්ෂණ කමිටුව හමුවේ පළමු වරට පෙනී සිටීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙම කමිටුව පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වී පරීක්ෂණ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

මා ජීවත්ව නොසිටිය ද, මාතෘ භූමිය එක සිංහ ධජයක් සෙවණේ පවතීවා!

තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය නිමා කර වසර 16 ක් ගත වන මොහොතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ එහි සාරාංශයයි.

දශක ගණනාවක් පැවති කුරිරු ත්‍රස්තවාදය පරාජය කර, රටේ සියලු පුරවැසියන්ට ආරක්ෂිතව හා සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම සියලු දෙනාගේම සිහිනයක් විය.

යුද්ධය දෙමළ ජනතාවට එරෙහිව නොව ත්‍රස්තවාදයට එරෙහිව සිදු කළ එකකි. රටේ සියලු ජනතාව අපේ ජනතාවයි.

දෙමළ සිවිල් වැසියන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන් හා මිනිස් බෝම්බ බවට පත්ව සිටි අවස්ථාවක, ඔවුන් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සිදු කළ මානුෂීය මෙහෙයුම් අතිශයින්ම විශිෂ්ටයි.

එදා ජීවිත බේරාගත් දෙමළ ජනතාව මේ බවට සාක්ෂි දරනු ඇත.

යුද්ධය අවසන් කිරීමෙන් පසු තමා දණින් වැටී නමස්කාර කළේ රටේ රණවිරු දරුවන්ගේ ජීවිත පූජා කර රැකගත් නිදහස් මාතෘ භූමියටයි.

තමා ජීවත්ව නොසිටින දිනක දී වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරීය රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජයක් සෙවණේ පවතීවා! යන්න තමාගේ එකම ප්‍රාර්ථනයයි.

ගාස්තු වැඩි වුනත් වසර මුල තිබූ විදුලි ගාස්තුවට වඩා අඩුයි..!

2025 දෙවන භාගය සඳහා යෝජිත විදුලි ගාස්තු ගැලපීම් තිබියදීත්, වසරේ ආරම්භයේ පැවති ගාස්තුවලට වඩා අඩු මට්ටමක පවතිනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.

අද නිකුත් කළ නිවේදනයක් මගින් ලංකා විදුලිබල මණ්ඩලය (ලං.වි.ම.) සඳහන්  කළේ, විශ්වාසනීය හා අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, සිය නවතම ගාස්තු යෝජනාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති බවයි. මණ්ඩලය අවධාරණය කළේ, විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීමට අදාළ පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගියද, 2014 සිට 2022 දක්වා විදුලි ගාස්තු නොවෙනස්ව පැවති බවයි.

“එම කාලය තුළ ඉන්ධන මිල, ගල් අඟුරු, අමතර කොටස් සහ නඩත්තු වියදම් ක්‍රමයෙන් ඉහළ ගිය නමුත්, ලං.වි.ම. මිල ඉහළ නැංවීමකින් තොරව විදුලිය සැපයූ අතර මූල්‍යමය බලපෑම දරා ගත්තේය,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

ලං.වි.ම. පවසන පරිදි, මෙම ප්‍රවේශය පුළුල් ණය ගැනීම් සහ සැපයුම්කරුවන්ට ගෙවීම් ප්‍රමාද වීමට හේතු වූ අතර එය මණ්ඩලය දැන් හඳුන්වන්නේ එහි “පාරම්පරික ණය” ලෙසිනි.

යෝජිත ගාස්තු ගැලපීම අත්‍යවශ්‍ය මෙහෙයුම් පිරිවැය ක්‍රමයෙන් අයකර ගැනීමටත්, මෙම පාරම්පරික ණය කළමනාකරණය කිරීමටත්, සැපයුම්කරුවන්ට නියමිත වේලාවට ගෙවීම් සහතික කිරීමටත් අදහස් කරන බව ලං.වි.ම. පැවසීය. දිවයින පුරා අඛණ්ඩ විදුලි සේවා පවත්වාගෙන යාම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය යැයි සැලකේ.

විදුලිය දැරිය හැකි මිලකට තබා ගැනීමට ඇති සිය කැපවීම නැවත තහවුරු කරමින්, පිරිවැය අඩු කිරීමට සහ බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට අඩු වියදම් බලශක්ති ප්‍රභවයන් සහ කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීම් ඇතුළුව දිගුකාලීන අංශ ප්‍රතිසංස්කරණ සඳහා ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බව ලං.වි.ම. පැවසීය.

සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් තිරසාර හා ස්ථාවර විදුලි සැපයුමක් කරා ගමන් කරමින් සිටින හෙයින්, මහජනතාවගේ අඛණ්ඩ සහයෝගය හා සහයෝගීතාවයට ලං.වි.ම. සිය කෘතඥතාව පළ කරයි.

තුසිත හල්ලොලුවට වෙඩි තැබීම ගැන සීසීටීවී විමර්ශනයක්..!

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ගමන් කරමින් සිටි ජීප් රථයට ඊයේ (17) රාත්‍රියේ නාරාහේන්පිට දී එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ නාරාහේන්පිට පොලීසියේ කණ්ඩායම් හතරක් CCTV දර්ශන පරීක්ෂා කරමින් සිටින බව පොලීසිය පවසයි.

පොලිස් ප්‍රකාශකයා පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ජීප් රථය හරස් කර වෙඩි තබා තමන්ව බිය ගන්වා එහි දොරවල් විවෘත කර ඇති බවත්, පසුව පහර දී තමන් සතුව තිබූ ලිපි ගොනුවක් රැගෙන පලා ගිය බවත් හල්ලොලුව පොලිසියට ප්‍රකාශ කර ඇති බවයි.

මෙම සිදුවීමේදී සුළු තුවාල ලැබූ තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතිඥ දිනේෂ් දොඩංගොඩ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ පැමිණි පුද්ගලයින් ජීප් රථයේ ඉදිරිපස වීදුරුවටද යම් ආයුධයකින් පහර දී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි. අද උදෑසන SOCO නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ වැඩිදුර විමර්ශන සිදු කර ඇත.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම සිද්ධියේ ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.

තුසිත හල්ලොලුව 2017 සිට 2019 දක්වා ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ සිටියදී ඔහුගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද සේවය කළේය. මෑතකදී, ජනාධිපති අනුර කුමාර දිසානායක විදේශ රටක මුදල් ආයෝජනයක් කර ඇතැයි ඔහු කළ ප්‍රකාශයක් මතභේදයට තුඩු දුන් අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රකාශයක් ද ලබාගෙන තිබුණි.

ජනතාවගේ විරෝධය හේතුවෙන් රණවිරු සැමරුමට සහභාගී වීමට ජනපති අනුරට සිදුවෙයි.

රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් වාර්ෂිකව පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට (මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිත ය.

ආරම්භයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උත්සවයට සහභාගී නොවන බවට ප්‍රකාශ වීමත් සමඟ ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වූ අතර, එම විරෝධය හමුවේ ජනාධිපතිවරයාගේ සහභාගිත්වය තහවුරු වී තිබේ.

රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බී. කොහොන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, “රටේ ස්වෛරීභාවය, ඒකීයභාවය, අඛණ්ඩතාවය සහ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වැද දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරන, ජාතියේ උත්තමාචාරය, ගෞරවය ඔවුන් වෙත පිළිගන්වන ජාතික රණවිරු දිනය මෙවරත් හෙට මේ මාසේ දහනම වෙනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙනවා. හවස හතරේ සිට හය දක්වා මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේ විරුවන්ට ගෞරව දැක්වීම පිණිස හෙට දිනයේ මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියට අපේ ජනරජයේ ගරු සහ සන්නද්ධ සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමා සහභාගී වීමට නියමිතයි.” යනුවෙනි.

මීට අමතරව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මාර්ෂල් ඔෆ් ලීඩ් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් දි එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද මෙම උත්සවයට සහභාගී වීමට නියමිතය.

ත්‍රස්තවාදය අවසන් කොට රටට සාමය උදා කර දීම සඳහා දිවි කැප කළ, ආබාධිත වූ සියලු රණවිරුවන් සැමරෙන මෙම උත්සවය සඳහා මෙතෙක් පදවිප්‍රාප්ත සියලු ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයින් සහභාගී වීමට කටයුතු කළ හ.

දිවයින පුරා තද වැසි සහ ඇතැම් දිස්ත්‍රික්වල නාය යෑමේ අනතුරු ඇඟවීම්..!

අද (මැයි 18) උදෑසන 9:00 ට නිකුත් වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනය මගින් ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලටත් තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

දිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බැවින් මෙම ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයකින් සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මේ අතර, පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව එම සංවිධානය නිවේදනය කරයි. මෙම අනතුරු ඇඟවීම අද පෙරවරු 10.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා වලංගු වේ.

විජයග්‍රහණයේ 16 වෙනි සැමරුමට වත්මන් රාජ්‍ය නායකයා නෑ?

දසක තුනකට අධික කාලයක් ශ්‍රී ලාංකේය ප්‍රජාව පීඩාවට පත් කරමින් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් බිහි කිරීම සඳහා රජයේ නීත්‍යානුකූල හමුදාව සමග සටන් වැදුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානය පරාජය කොට ශ්‍රී ලාංකේය ජාතිය විජයග්‍රහණය කළ දිනය මින් වසර 16 කට පෙර එළඹියේ ය.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වේ.

යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත ය.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික රණවිරු අනුස්මරණ උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතව තිබේ.

කෙසේවෙතත්, එදා සිට මෙරට රාජ්‍ය නායකත්වයට පත් සියලු දෙනා මෙම විජයග්‍රහණය සැමරීමට කටයුතු කළ නමුත්, දැනට පවතින ආරංචි මාර්ග අනුව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙවර විජයග්‍රහණයේ සැමරුමට සහභාගී නොවන බව දැනගන්නට ලැබේ. කෙසේවෙතත්, මෙම තත්ත්වය වෙනස් වීමට ද ඉඩ තිබේ.

Add to cart