ජනාධිපතිට එරෙහිව අසත්‍ය ප්‍රකාශයක් කළැයි සීඅයිඩීයට පැමිණිල්ලක්..!

ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් එල්ල කරන ලද බව කියන අපහසකාරී සහ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ඔලුවට එරෙහිව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කළ බව ය.

ජනාධිපති අනුර කුමාරගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත විසින් ඊයේ (04) රාත්‍රියේදී මෙම පැමිණිල්ල ගොනු කර තිබේ. ඒ සඳහා ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ද එක්ව  තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නම යොදා ගනිමින් සිදුකරන ලද ඉහත ප්‍රකාශය හරහා ඔහුගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බව පවසමින් තුසිත හල්ඔලුව යන අයට එරෙහිව සහ එකී ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව  කඩිනම් විමර්ශනයක් සිදුකර නීත්‍යානුකූල පියවර ගන්නා මෙන් මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

මාලිමා මැයි රැලියේ දී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ‘සින්දු’ ඉන්දීය අගමැති මෝදි ප්‍රමුඛ බීජේපියේ පතුරු යවයි..!

පසුගියදා පැවැති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමින් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාර සභික ඒ.ආර්. සින්දු විසින් නරේන්ද්‍ර සිං මෝදි ප්‍රමුඛ ඉන්දීය මධ්‍යම රජයේ පාලක භාරතීය ජනතා පක්ෂය දැඩි ලෙස විවේචනයට ලක් කළේ ය.

විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ පාලක ජාතික ජන බලවේගය සහ ඉන්දීය රජය අතර අතිශය සමීප දේශපාලන සහ ආර්ථික සම්බන්ධයක් ඇතිවෙමින් පවතින වකවානුවක, පාලක පක්ෂයේ මැයි දින රැළියට එක් වෙමින් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය විසින් ඉන්දීය පාලක පක්ෂය විවේචනයට ලක් වීම දැඩි ආන්දෝලනයකට හේතු වී තිබේ.

ජාතික ජන බලවේගයේ මැයි රැලිය අමතමින් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂ නියෝජිතවරිය වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

(සිංහල අනුවර්තනය)

“සහෝදරවරුනි, අපි සියලුම සමාජවාදී රටවල් සහ එම ජනතාව සමඟ අපගේ සහයෝගය ප්‍රකාශ කරන අතර, අධිරාජ්‍යවාදයට එරෙහිව සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන සියලුම ජනතාව සමඟ සහයෝගය ප්‍රකාශ කරමු.ඔබ දන්නා පරිදි, ඉන්දියාව දැනට පාලනය කරනු ලබන්නේ වඩාත්ම නව ලිබරල්  අධිරාජ්‍යවාදී ගැති වාර්ගික බීජේපී පක්ෂය විසිනි. එය කම්කරු පන්තියේ අයිතිවාසිකම්වලටත්, විශ්‍රාමිකයන්ටත්, අපගේ සමාජයේ දුප්පත් හා අවාසි සහගත කොටස්වලටත් ප්‍රහාර එල්ල කරමින් සිටී.  ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා කර ඇත. අපේ රටේ ෆෙඩරල් ස්වභාවය අනතුරේ පවතී. ඉන්දියානු රජය කේරළයේ වාමාංශික පෙරමුණු රජයට එරෙහිව ප්‍රකාශ නොකළ ආර්ථික අවහිරයක් පනවා ඇත. සීපීඑම් නායකත්වය යටතේ ඉන්දියාවේ ධනවාදී ක්‍රමය තුළ පවතින සීමාවන් තුළ ජනතාවාදී විකල්ප ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරයි. එපමණක් නොව, පාලක පක්ෂය සහ එහි මව් සංවිධානය වාර්ගික විෂ පතුරුවමින්, සුළුතරයන් සහ වාමාංශිකයන් ඉලක්ක කරමින් සිටී. අපි රජයේ නව ෆැසිස්ට් ලක්ෂණ පෙන්වා දෙමු. ඔවුන්ගේ ආක්‍රමණශීලී  නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යටතේ, ප්‍රහාරය වැඩි වශයෙන් ඉලක්ක කර ඇත්තේ කම්කරු පන්තියයි.

සංවිධානාත්මක හා අසංවිධානාත්මක අංශවල රැකියා  අන්ත අස්ථාවරත්වයකට සහ අවිනිශ්චිතතාවයට ලක් කරමින් ප්‍රතිව්‍යුහගත කරමින් පවතී. රජය පවතින කම්කරු නීති වෙනුවට කම්කරු නීති හතරක් ගෙනැවිත් ඇති අතර, පැය අටක වැඩ කරන දිනය, අවම වැටුප සහ සමාජ සුරක්ෂිතතාව සහ වඩාත්ම වැදගත් ලෙස සංගම් නිදහස සහ සාමූහික සාකච්ඡා සහ වෘත්තීය සමිති අයිතිවාසිකම් ඇතුළු කම්කරු පන්තියේ සියලුම අයිතිවාසිකම් අහෝසි කර ඇත. මේවා දශක ගණනාවක කැපකිරීම් හා අරගල තුළින් දිනාගත් අයිතිවාසිකම් වන අතර රජය කම්කරු පන්තියට වහල්භාවයට පත් කරමින් සිටී. රජය දැන් සිය අභිප්‍රාය ප්‍රකාශ කර ඇත්තේ රටේ බහුතර වෘත්තීය සමිති කම්කරු පන්තියේ විරෝධය නොතකා මේ නීති ක්‍රියාත්මක කිරීමටයි. මේ හේතුව නිසා, ඉන්දියාවේ කම්කරු පන්තිය, වාමාංශික වෘත්තීය සමිති නායකත්වය දරන ඒකාබද්ධ වෘත්තීය සමිති වේදිකාව යටතේ, ඉන්දියානු වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඇතුළුව, මේ වසරේ මැයි මස 20 වන දින රටපුරා මහා වැඩ වර්ජනයක් සඳහා කැඳවා තිබේ.

මේ වැඩ වර්ජනයට ගොවි සංවිධානවල සහයෝගය ලැබෙන අතර, සාමාන්‍ය ජනතාවගෙන් ද හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතී. අපි මේ  මහා වැඩ වර්ජනය සඳහා සූදානම් වීමේ කාර්යයේ නියැලී සිටින අතර එය ඉන්දියාවේ මෙතෙක් පැවති විශාලතම වැඩ වර්ජනය බවට පත් කිරීමට අපි පොරොන්දු වෙමු. එය කම්කරු පන්තිය මෙහෙයවන ප්‍රතිප්‍රහාරයේ නව අවධියක ආරම්භය වනු ඇත.  මේ ආයතනික වාර්ගික සබඳතාවයට එරෙහිවයි මේ සටන. ඉන්දියාවේ වසරකට වැඩි කාලයක් පැවති ඓතිහාසික ගොවි අරගලයට එරෙහි වීමත්, ගොවි විරෝධී නීති ඉවත් කර ගැනීමට රජයට බල කිරීමත් අපේ රටේ අධිරාජ්‍ය විරෝධී අරගලයේ සන්ධිස්ථානයක් විය.  මේ අරගලය අපේ රටේ වැඩකරන පන්තිවලටත්, ජනතාවටත් ආශ්වාදයක් ලබා දුන්නා පමණක් නොව, පන්ති එකමුතුකම සහ කම්කරු ගොවි එකමුතුකම පිළිබඳ විශ්වාසය නැවත පණ ගැන්වූ අතර, වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව, මේ වේදිකාවලින් මේ වැඩ වර්ජනය හරහා එය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇත.”

අනුර බලයට පත් වූ විගස ඇතිවූ හරිත බල විරෝධය සහ ගල් අඟුරු ඩීසල් ප්‍රේමය ගැන පාඨලී කියයි

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙන්නේ වත්මන් විදුලි බල අර්බුදයට ප්‍රධාන හේතුව හරිත බලශක්තිය කෙරෙහි පවතින විරෝධය සහ ගල් අඟුරු හා ඩීසල් බලාගාර කෙරෙහි ඇති දැඩි ලැදියාව බව ය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇතැම් පුද්ගලයින් විදුලි බල මණ්ඩලයේ ඉහළ තනතුරුවල සිටියදී හරිත බලශක්ති ව්‍යාපෘතිවලට බාධා පමුණුවන බවට කතා පැතිර යන බවයි. එසේම, දැනට ලැබෙන ලාභ පවා ඉදිරියේදී අහිමි වීමේ අවදානමක් පවතින බව ද ඔහු සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ රණවක මහතා කියා සිටියේ, දැනට ක්‍රියාත්මක වන සුළං බලාගාරවලින් බහුතරයක් ස්ථාපිත කර ඇත්තේ තම පාලන සමයේදී බව ය. එය රටට යහපත් බව ද පෙන්වා දෙන හෙතෙම, ඇතැම් බලපෑම් හේතුවෙන් එම බලාගාරවල විදුලි සැපයුම කපා හැරීමට දුරකථන ඇමතුම් ලැබෙන බවට ද චෝදනා කළේය. තමන්ගේ කාර්යාලයට පවා සූර්ය බල විදුලි සැපයුම කපා හරින ලෙස ඉල්ලීම් ලැබුණු බවත්, ලංකා විදුලිබල මණ්ඩලය සමඟ විධිමත් ගිවිසුම් පවා මේ සම්බන්ධයෙන් පවතින බවත් ඔහු අවධාරණය කළේය.

2023 වර්ෂයේදී පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් රොහාන් සෙනෙවිරත්න මහතා පෙන්වා දී ඇත්තේ මෙගාවොට් 2600ක හරිත බලශක්ති ප්‍රමාණයක් කිසිදු අසමතුලිතතාවයකින් තොරව ජාතික විදුලිබල පද්ධතියට එකතු කළ හැකි බවයි. එහෙත් මේ වන විට එකතු වී ඇත්තේ මෙගාවොට් 1300ක් පමණක් බවත්, තවදුරටත් විශාල ප්‍රමාණයක් එකතු කිරීමේ හැකියාව පවතින බවත් රණවක මහතා පෙන්වා දුන්නේය.

වත්මන් විදුලි බල අර්බුදයට වගකිව යුත්තේ අනුර දිසානායක මහතා බලයට පත්වීමෙන් පසුව ඇති වූ හරිත බලශක්ති විරෝධය සහ ගල් අඟුරු හා ඩීසල් කෙරෙහි ඇති ප්‍රේමය බවට පාඨලී චම්පික රණවක මහතා දැඩි ලෙස චෝදනා කළේය. මීට පෙර තමන් ඇතුළු අනෙකුත් ඇමතිවරුන් සිටි සමයේ මෙවැනි ගැටලු කිසිවක් මතු නොවූ බවත්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් අනාගතයේදී රටේ මහජනතාව වගඋත්තර බඳිනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආණ්ඩුව ජුනි මාසයේ විදුලි බිල වැඩි කරන බව ජනපති අනුර ම කියයි

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වීමට පෙර ජනතාවට ලබා දුන් පොරොන්දු අතර, විදුලි ගාස්තු එක හෙලා පහත දැමීම ප්‍රමුඛස්ථානයක් ගත්තේ ය. අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයාව සිටිය දී ඔහු ජනාධිපතිවරණ වේදිකාවේ දී පැහැදිලිව ප්‍රකාශ කළේ ‘ඉතා ම කෙටි කාලයක් තුළ’ විදුලි ගාස්තු සැළකිය යුතු ප්‍රමාණයකින් පහත හෙලන බව ය.

මීට පෙර  විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනා ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමට යොමු කළ නිර්දේශය වූයේ එතැන් සිට ඉදිරි මාස 6 ක කාල සීමාව තුළ විදුලි ගාස්තු වෙනස් නොකර පවත්වාගෙන යාම ය.

කෙසේවෙතත්, 2025 ජනවාරි මාසයේ දී ලංකා විදුලිබල මණ්ඩලය සහ ආණ්ඩුවේ සාවද්‍ය කරුණු දැක්වීම් පිළි නොගනිමින් විදුලි බිල 20% කින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කොට කටයුතු කරන ලදී. ඒ විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා වූ අදහස් ප්‍රකාශ කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලබා දෙන ලද අවස්ථාවේ දී අදහස් සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව මහජන විරෝධය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ නිර්භය ක්‍රියාමාර්ගය හමුවේ අකැමැත්තෙන් වුව ද, විදුලි ගාස්තු අඩු කිරීම සඳහා විදුලි බල මණ්ඩලයට සහ ආණ්ඩුවට සිදු විය. ඉන්පසු ගත වූ මාස 4 ක කාල සීමාව පුරා ඉදිරියේ දී විදුලි ගාස්තු සංශෝධනය කළ යුතු බවත්, විදුලිබල මණ්ඩලය දුවන්නේ පාඩුවට බවත් කියාපාමින් ආණ්ඩුවේ ඇමැතිවරු කන්කෙඳිරි ගෑහ. දැන් ජනාධිපතිවරයා විසින් ම එකී කෙඳිරිගෑම ස්ථිර කොට තිබේ.

ඒ අනුව,

ජුනි මාසයේ පැවැත්වෙන ඊළඟ විදුලි ගාස්තු සංශෝධනයේ දී විදුලි ගාස්තු වැඩි වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබේ.

රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් ඔහු පැවසුවේ ජුනි මාසයෙන් පසු විදුලි ගාස්තු පසුගිය දෙසැම්බර් මාසයේ ගාස්තුවලට වඩා අඩු මට්ටමක පවතින බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) මැයි 15 වන විට සිය යෝජනා ඉදිරිපත් කරන බවත්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සති දෙකක් ඇතුළත ගාස්තු තීරණය කරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.  

 

මැයි රැළියක් සංවිධානය කරන හැකියාව අහිමි වූ දැවැන්ත එජාපය..!

ශ්‍රී ලංකාවේ බලය හෙබවූ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වූ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැයි රැළි සංවිධානය කර ගත නොහැකිව අසරණ විය. ශ්‍රීලනිපය ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයටත්, එජාපය සිරිකොතටත් සීමා විය. දේශපාලන ඉතිහාසයේ දැවැන්තම පක්ෂ දෙකට අත් වූ ඉරණම එසේ ය.

ශ්‍රීලනිපයට කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයට නම් නිදහසට කියන්නට කරුණු තිබේ. එජාප මහලේකම් තලතා අතුකෝරළ ඒ ගැන මෙසේ කියයි.

මැයි 1 වැනි දින රට පුරා පොකට් මීටින් (පොකුරු රැස්වීම්) 8,000ක් සංවිධානය කිරීම සඳහා එක්රැස් වූ පක්ෂයේ පළාත් පාලන අපේක්ෂකයින්ට සහ ඔවුන්ගේ ආධාර කරුවන්ට එක්සත් ජාතික පක්ෂය කෘතඥතාව පළ කර සිටී.

ජනතාව කෙරෙහි අපගේ කැපවීම ඔවුන්ට මතක් කර දෙමින් එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය පෙන්වීමේ බිම් මට්ටමේ රැස්වීම් දහස් ගණනට හැකි විණ.

දේශපාලන පක්ෂයක් සැමරීම සඳහා ජනතාව එක්ක්රැස් කර නගරයට ගෙන ඒමේ සංස්කෘතිය අද අවසන්ය. ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂය පෙන්නුම් කළේ දේශපාලන පක්ෂයක් ලෙස අපගේ පණිවිඩය ගම්වල ජනතාව වෙත ගෙන යාමට අප ප්‍රමුඛත්වය දෙන බවය.

තවද ජාතික ජන බලවේගයේ මැයි දින රැලියේදී ප්‍රතිරාවය වූ ඉන්දීය රාජ්‍ය විරෝධී හැඟීම ද එක්සත් ජාතික පක්ෂය හෙළා දකී.

අපගේ ආර්ථික අර්බුදය පැවති සමයේදී ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් අපගේ ආර්ථික ප්‍රකෘතියට සහාය වූයේ ඉන්දීය රජයයි.

පාලක පක්ෂයේ මැයි දින රැලියේදී ඉන්දීය රජයට එල්ල වූ කර වූ අනවශ්‍ය ප්‍රහාරය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා නිතැනින්ම අනතුරේ හෙලන්නේය.

කම්කරු දිනයේ ජනපතිගෙන් වෘත්තීය සමිතිවලට අනියම් තර්ජනයක්..!

කම්කරුවන්ගේ පක්ෂයක් ලෙස බලය ලබා ගැනීමට පෙර කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය වශයෙන් රූපාන්තරනය වී බලය ලබා ගැනීමෙන් පසුව නිර්ධන පන්ති සංකල්ප සියල්ල අත් හැර සිටිය ද, ජාත්‍යන්තර කම්කරු දිනයේ තම අනන්‍යතාව රැක ගැනීම වෙනුවෙන් හෝ දේශපාලන පිටියේ බලය පෙන්වීම සඳහා හෝ මැයි රැලියක් පැවැත්වීමට කටයුතු කළේ ය.

වෙනදා වෘත්තීය සමිති මෙහෙයවමින් දේශපාලන බල ව්‍යාපෘතිය දියත් කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඊයේ (01) වෘත්තීය සමිති වෙත අනියම් තර්ජනයක් එල්ල කළේ මේ අතරතුර දී ය.

“අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය පරණ ආකල්ප අත්අරින්න. හූණු බිකක් ඉල්ලලා සටන් කරන කාලය අත් හරින්න. මතක තියා ගන්න. හූනු බිකටත් පොර බදින කාලය අවසන් කරන්න, දේශපාලන අධිකාරියක් ඇවිල්ලා තියෙනවා, සියල්ල අත් අරින. අපිට පනත්වලින්, ගැසට්වලින් රෙගුලාසිවලින් ලබා දීලා තියෙන බොහෝ දේ අපි අත් අරිනවා දේශපාලන අධිකාරිය. හැබැයි වෘත්තීය සමිති ව්‍යාපාරය විතරක් හූනු බිජුවක් තරම් හැමදේමත් ඉල්ලන්න එපා. කාලයක් දෙන්න. පාරට බැහැලා අවදි කරන්න ඕන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි අපි.”

සමගි ජන බලවේගය නගර සභා ක්‍රීඩාංගණය මඩ වගුරක් කොට මැයි රැළිය නිමා කරයි

සමගි ජන බලවේගයේ මැයි දින රැලිය පසුගිය (01) වන දින තලවැලේ ලිදුල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කෙසේ වෙතත්, ඊට සහභාගී වූ ආධාරකරුවන් විසින් ක්‍රීඩාංගණය පුරා විවිධ අපද්‍රව්‍ය බැහැර කර තිබූ අතර, නගර සභා කම්කරුවන් විසින් ඒවා ඉවත් කළද, එය නිසි ලෙස සිදු කර නොමැති බව (02) වන දින එම ක්‍රීඩාංගණයට ගිය අයෙකුට දැකගත හැකි විය.

මීට අමතරව, පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් නගර සභා ක්‍රීඩාංගණය මඩ වගුරක් බවට ද පත්ව තිබුණි. එම නිසා ක්‍රීඩාංගණය භාවිතා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව ඇත.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ අවධානය යොමු වී ඇති අතර, ක්‍රීඩාංගණය ඉක්මනින් පිරිසිදු කර ක්‍රීඩා කටයුතු සඳහා සුදුසු තත්ත්වයට පත් කරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ලහිරු හර්ෂණට ජනාධිපතිගේ ෆොටෝ එක අයින් කරන්න කිව්වේ ජනාධිපති මාධ්‍ය ඒකකය ලු..! ඩේලි මිරර් කියයි.

තම සහෝදර පුවත්පතක් වන ලංකාදීප පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියෙකු විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් ඉවත් කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය ඉල්ලා තිබෙන බව ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.

ඡායාරූප මාධ්‍යවේදී ලහිරු හර්ෂණ විසින් ජාතික ජන බලවේගයේ මැයි දින රැළියේ ජනාධිපතිවරයා කථා කරන අවස්ථාවක ගත් ඡායාරූපයක් උඩුගත කර ඇත.

 

එම පුවතේ සබැඳිය: https://www.dailymirror.lk/breaking_news/PMD-seeks-Lankadeepa-journalist-to-remove-Presidents-action-photo/108-307922

සබරෙ සරසවි සිසුවාගේ මරණයට වග කියන්නේ කවුද?

සබරගමුව විශ්වවිද්යාලයේ ශිෂ්යයෙකු සිය දිවි නසාගැනීම සම්බන්ධ පුවත මේ දිනවල දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් නැගෙන බරපතල චෝදනාවක් වන්නේ, මෙය ‘නවක වදය’ හේතුවෙන් සිදු වූවක් බව ය. ලංකාවේ විශ්වවිද්යාල පද්ධතිය තුළ ‘නවක වදය’ හේතුවක් ලෙස කියැවුණු පළමු මරණය මෙය නොවේ. මරණීය ‘නවක වදය’ යන වචන දෙක ඉදිරියෙන් ‘අමානුෂික’ යනුවෙන් විශේෂණයක් යොදවා මේ නවක වදය තුළ ම ‘මානුෂික’ හෝ ‘සුන්දර’ බවක් තිබෙනවා යැයි කියන්නට උත්සාහ කරන පිරිසක් ද සිටී. වසර ගණනාවක පාසල් ජීවිතයේ අවසන සුන්දර තාරුණ්යය මුව විට තිබෙන ලස්සනම ජීවිත අත්දැකීමක් ලෙස සැලකිය හැකි ‘සරසවි දිවිය’ අපායක් කරන පළමු අත්විඳීම මේ කියන ‘නවක වදය’ නම්; මෙය මුලිනුපුටා දැමිය යුතු නොවන්නේ ද?

මේ නවක වදය සම්බන්ධයෙන් කියවෙන නවතම අසුන්දර කතාවයි…!

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු වූ චරිත් දිල්ෂාන් සියදිවි නසාගෙන ඇති අතර, ඔහුගේ දෙමාපියන් සහ ඥාතීන් විසින් ඉදිරිපත් කරන ලද චෝදනා අනුව මෙම ඛේදජනක සිදුවීමට හේතුව අඛණ්ඩව සිදුවූ නවක වදයයි. මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවක වදය සම්බන්ධයෙන් පවතින නොනවතින සහ බරපතල ගැටලු මනාව පෙන්නුම් කරන අතර, නීතිමය තහංචි සහ ආයතනික ප්‍රයත්නයන් නොතකා මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම කනගාටුදායකය. සිසුවාගේ මරණයට හේතු වූ තත්ත්වයන්, සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක ප්‍රතිපත්ති සහ රෙගුලාසි, ආයතනයේ නවක වදයේ ඉතිහාසය සහ ජාතික මට්ටමේ නවක වදයට එරෙහි මුලපිරීම් පිළිබඳව සවිස්තරාත්මක විමර්ශනයක් කිරීම අත්‍යවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල නවක වදය වසර ගණනාවක් තිස්සේ පවතින ගැටලුවක් වන අතර, එය බොහෝ විට විශ්වවිද්‍යාල ‘උප සංස්කෘතිය’ තුළ ගැඹුරින් මුල් බැසගෙන ඇති අතර, ඇතැම් විට ශිෂ්‍ය දේශපාලන ගතිකත්වයන් සමඟ ද බැඳී පවතී. විවිධ පසුබිම්වලින් පැමිණෙන සිසුන් අතර සමාජීය සමානාත්මතාවය සඳහා යාන්ත්‍රණයක් ලෙස මුලින් හඳුන්වා දීමට උත්සාහ කළද, යථාර්ථය නම් බොහෝ විට මින් සිදුවන්නේ කණිෂ්ඨ සිසුන්ට සැලකිය යුතු ශාරීරික හා මානසික හානියක් සිදු කිරීමයි. ශ්‍රී ලංකාවේ නවක වදය නීතියෙන් තහනම් කර තිබියදීත් සහ විශ්වවිද්‍යාල පරිපාලනය විසින් එය පාලනය කිරීමට විවිධ උත්සාහයන් ගෙන තිබියදීත්, මෙම ක්‍රියාව දිගින් දිගටම මතු වන අතර, බොහෝ විට වින්දිතයින්ට බරපතල ප්‍රතිවිපාක ගෙන එයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවූ මෙම සියදිවි නසාගැනීම, යටින් පවතින ගැටලු අවබෝධ කර ගැනීමේ සහ වැළැක්වීම සහ මැදිහත්වීම සඳහා වඩාත් ඵලදායී උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවක් පවතී.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ෂාන්ගේ මරණයට තුඩු දුන් සිදුවීම් පෙළ 2025 අප්‍රේල් මස අග භාගයේදී වේගයෙන් දිගහැරුණි. ඔහු අප්‍රේල් 27 වන දින විශ්වවිද්‍යාලයේ අලුත් අවුරුදු උත්සවයට සහභාගී වූ අතර, ඊළඟ දිනය වන අප්‍රේල් 28 වන දින ගම්පොල, ඉහළගම පිහිටි ඔහුගේ පවුලේ නිවසට පැමිණියේය. ඛේදජනක ලෙස, අප්‍රේල් 29 වන දින සවස් යාමයේදී ඔහු සිය නිවස පිටුපස ගසක එල්ලී මියගොස් ඇත. 

මෙම සියදිවි නසාගැනීමට නවක වදය ප්‍රධාන හේතුව වූ බවට චරිත්ගේ දෙමාපියන් සහ ඥාතීහු දැඩි ලෙස චෝදනා කරති. ඔහු විශ්වවිද්‍යාලයේ දී තමාට මුහුණ දීමට සිදුවූ “භයානක අත්දැකීම්” පිළිබඳව තම මවගේ සහෝදරියට පවසා ඇති බව කියවේ. තවද, ඔහුගේ සමකාලීන සරසවි සගයන්  කිහිප දෙනෙකු ඉදිරිපත් වී ප්‍රකාශ කළේ ඔවුන් මීට පෙර සිදුවූ නවක වදය සම්බන්ධයෙන් සිසුන් කණ්ඩායමකට එරෙහිව  පැමිණිල්ලක් සමනලවැව පොලිස් ස්ථානයට  ඉදිරිපත් කර ඇති බවත්, එම කණ්ඩායමට චරිත් ද ඇතුළත් වූ බවත්ය. මෙම වාර්තා වලින් පෙනී යන්නේ චෝදනා එල්ල වී ඇති අපයෝජනය හුදකලා සිද්ධියක් නොව, අඛණ්ඩව සිදුවූ හිරිහැර කිරීම් පෙලක් බවයි. අලුත් අවුරුදු උත්සව සමයේ දී සිදුවූ නවක වද සිද්ධියක දී චරිත්ට මුහුණ දීමට සිදුවූ දරාගත නොහැකි නින්දාව ඔහුගේ ජීවිතය අවසන් කිරීමට ගත් තීරණයට ක්ෂණික හේතුව වූ බවට ඇතැම් වාර්තා සඳහන් කරයි.

තාක්ෂණ පීඨයේ පළමු සහ දෙවන වසරේ සිසුන්ට කොට කලිසම් ඇඳීම තහනම් කර ඇති බවත්, චරිත් තහනම නොතකා කටයුතු කිරීමෙන් කෝප ගැන්වුනු ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ඔහුව නිරුවත් කර දැඩි ලෙස හිරිහැර කර ඇති බව ද වාර්තා වෙයි. මෙම හිරිහැර කිරීමේ කොටසක් ලෙස ඔහුව ලොකරයක හෝ කබඩ් එකක සිර කර ඇති බව ද වාර්තා විය. තවද, ගම්පොල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ආචාර්ය අමිල ද මෙල් විසින් පවත්වන ලද මරණ පරීක්ෂණයේදී චරිත් විසින් ලියන ලද සියදිවි නසාගැනීමේ සටහනක් ඉදිරිපත් කරන ලදී. මෙම සටහනේ අන්තර්ගතයට අනුව චරිත් නැවත නැවතත් සිදුවූ නවක වදය හේතුවෙන් දැඩි මානසික අවපීඩනයකින් පෙළුණු බව සඳහන් වේ.  

අධ්‍යාපන අමාත්‍යාංශය ද දැඩි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පොලිස් විමර්ශනයෙන් චරිත්ගේ මරණයට හේතුව නවක වදය බව තහවුරු වුවහොත් වගකිව යුතු සියලු පාර්ශවයන්ට නීතියේ උපරිමයෙන් දඬුවම් කරන බවයි. මෙම සිද්ධියට අදාළ තත්වයන් පිළිබඳව පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා විමර්ශන මණ්ඩලයක් පත් කළ බව අමාත්‍යාංශය නිවේදනය කළේය. මණ්ඩලයේ වාර්තාව ලැබුණු පසු විශ්වවිද්‍යාල කළමනාකාරිත්වය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) එක්ව අවශ්‍ය සියලු සුදුසු පියවර ගන්නා බව එහි සඳහන් විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සබරගමුව විශ්වවිද්‍යාල පරිපාලනයෙන් සෘජු නිල ප්‍රකාශයක් ක්ෂණිකව ලබාගත නොහැකි වුවද, ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් පිළිබඳ අමාත්‍යාංශයේ නිවේදනයෙන් විශ්වවිද්‍යාලයේ දායකත්වය ඇඟවෙයි. විශේෂයෙන්ම, මීට පෙර සිදුවූ නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ඊට සම්බන්ධ සිසුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කරන බවයි ,තාක්ෂණ පීඨයේ අත්පොතෙහි ද නවක වදය ඇතුළුව විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දඬුවම් පැනවීමේ උපකුලපතිවරයාගේ බලය දක්වා ඇත.  

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (IUSF) ද චරිත් දිල්ෂාන්ගේ අකල් මරණය පිළිබඳව සිය බලවත් ශෝකය ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කළේය. නවක වදය පිළිබඳ චෝදනා සනාථ වුවහොත් ඊට වගකිව යුතු අයට දැඩි දඬුවම් දිය යුතු බවත්, සිද්ධිය පිළිබඳව සම්පූර්ණ හා අපක්ෂපාතී විමර්ශනයක් කරන ලෙසත් ‘අන්තරය’ ඉල්ලා සිටියි,. එමෙන්ම, ශිෂ්‍ය ව්‍යාපාරය නවක වදය වැනි පසුගාමී සංස්කෘතික භාවිතාවන් අනුමත නොකරන බවත්, එවැනි භාවිතාවන් විශ්වවිද්‍යාලවලින් තුරන් කළ යුතු බවත් අන්තරය අවධාරණය කළේය. ඒ හා සමානව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් සම්මේලනය (FUTA) ද සිසුවාගේ ඛේදජනක මරණය පිළිබඳව අපක්ෂපාතී විමර්ශනයක් කරන ලෙස බලධාරීන්ට ඉල්ලා සිටියේය.  

ශ්‍රී ලංකාවේ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මෙන්ම සබරගමුව විශ්වවිද්‍යාලය ද ශිෂ්‍ය විනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සහ රෙගුලාසි ස්ථාපිත කර ඇති අතර, නවක වදය සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන ද ඇතුළත් වේ. 2019-2020 අධ්‍යයන වර්ෂ සඳහා තාක්ෂණ පීඨයේ අත්පොතෙහි “ශිෂ්‍යයන් සඳහා විනය නීති සංග්‍රහයක්” පැහැදිලිව දක්වා ඇත. මෙම නීති සංග්‍රහය “ඕනෑම ආකාරයක නවක වදය” විනය විරෝධී ක්‍රියාවක් ලෙස පැහැදිලිව ලැයිස්තුගත කරයි. නවක වදයේ යෙදී සිටියදී අසුවන ඕනෑම ශිෂ්‍යයෙකුට කිසිදු විමර්ශනයකින් තොරව විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට යටත් වන බව අත්පොතෙහි සඳහන් වේ. ඊට අමතරව, නවක වදය ඇතුළුව විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශිෂ්‍යයෙකු වැරදිකරු බවට පත්වුවහොත්, විධිමත් විමර්ශනයකින් තොරව සති දෙකක් දක්වා තාවකාලිකව අත්හිටුවීමේ බලය තාක්ෂණ පීඨාධිපතිවරයාට ඇත. එවැනි අත්හිටුවීමක් විශ්වවිද්‍යාල සභාවට වාර්තා කිරීමට ද පීඨාධිපතිවරයා බැඳී සිටී. 

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය දැඩි “ශුන්‍ය නවක වද” ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක වේ. මෙම ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ පීඨ පරිශ්‍රය තුළ සිටින සියලුම සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට මිත්‍රශීලී සහ ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම වන අතර එය පීඨය ආරම්භ කළ දා සිට ක්‍රියාත්මක වේ. “ශුන්‍ය නවක වද” සංකල්පය සිසුන් අතර ගෞරවය සහ ආදරය වර්ධනය කිරීම අවධාරණය කරන අතර, වෛරය සහ ප්‍රචණ්ඩත්වය පැහැදිලිව ප්‍රතික්ෂේප කරයි. මෙම ප්‍රතිපත්තිය පිළිබඳ වෛද්‍ය පීඨයේ වෙබ් පිටුවෙහි 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ නියම කර ඇති දැඩි දඬුවම් පිළිබඳව ද විස්තරාත්මකව දක්වා ඇත. මෙම දඬුවම්වලට වසර දෙකක් දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම්, දඩ සහ විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීම ඇතුළත් විය හැකිය. නවක වදය හේතුවෙන් ලිංගික හිරිහැර හෝ බරපතල තුවාල සිදුවුවහොත්, සිරදඬුවම් කාලය වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි අතර, එවැනි වැරදි සාමාන්‍යයෙන් ඇප ලබාදිය නොහැකි වරදවල් ලෙස සැලකේ. විශ්වවිද්‍යාලය පුරා ක්‍රියාත්මක වන “ශිෂ්‍ය විනය පිළිබඳ පොදු මාර්ගෝපදේශ” පිළිබඳ නිශ්චිත තොරතුරු පර්යේෂණ ද්‍රව්‍යවල පැහැදිලිව දක්වා නොතිබුණද, විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියේ ව්‍යුහය මඟින් ඒවායේ පැවැත්ම සහ සියලුම පීඨ සඳහා අදාළ විය හැකි බවක් පෙන්නුම් කරයි. තවද, සබරගමුව විශ්වවිද්‍යාලයට සමානාත්මතාවය සහ වෙනස් කොට සැලකීම තහනම් කිරීමේ ප්‍රතිපත්තියක් ඇති අතර, සියලුම සිසුන්ගේ අධ්‍යාපන අයිතිය සහතික කිරීම සඳහා නවක වදයට ශුන්‍ය ඉවසීමක් ඇති බව එහි පැහැදිලිව සඳහන් වේ. මෙම ප්‍රතිපත්තිය යටතේ ඕනෑම ආකාරයක වෙනස් කොට සැලකීමක් සම්බන්ධයෙන් පැමිණිලි විභාග කිරීම සඳහා කමිටුවක් ද පිහිටුවා ඇති අතර, එයට නවක වදය ද ඇතුළත් වනු ඇතැයි සිතිය හැකිය.  

චරිත් දිල්ෂාන්ගේ චෝදනා එල්ල වී ඇති සියදිවි නසාගැනීම සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවූ පළමු ශිෂ්‍ය මරණය නොවේ. 2015 වසරේදී අමාලි චතුරිකා නම් නවක සිසුවියක් ද එම ආයතනයේදී නවක වදය හේතුවෙන් සියදිවි නසාගෙන ඇත. මෙම පෙර සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ කාලය ගෙවී ගියද සහ නවක වදයට එරෙහි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුවද, විශ්වවිද්‍යාලය තුළ නවක වදය පිළිබඳ ගැඹුරු සහ කනස්සල්ලට කරුණක් වන ගැටලුවක් ලෙස තවමත් පවතින බව ය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනවල නවක වදය වැළැක්වීම සහ දඬුවම් කිරීම සඳහා පුළුල් නීතිමය සහ ප්‍රතිපත්තිමය රාමුවක් පවතී. මෙම රාමුවේ මූලික පදනම වන්නේ 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා තහනම් කිරීමේ පනතයි. මෙම පනත නවක වදය අපරාධයක් ලෙස පැහැදිලිව නිර්වචනය කරන අතර, ශිෂ්‍යයෙකුට හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ශාරීරික හෝ මානසික හානියක්, බියක් හෝ මානසික වේදනාවක් ඇති කිරීමට හේතු වන හෝ ඉඩ ඇති ඕනෑම ක්‍රියාවක් ඊට ඇතුළත් වේ. නවක වදය සිදුකිරීමට හෝ ඊට සහභාගී වීමට වරදකරුවන් වන පුද්ගලයින්ට වසර දෙකක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ හැකිය. නවක වදය හේතුවෙන් ලිංගික හිරිහැර හෝ බරපතල තුවාල සිදුවුවහොත් දඬුවම් ඊටත් වඩා දැඩි වන අතර, සිරදඬුවම් කාලය වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි ය. එවැනි වැරදි සාමාන්‍යයෙන් ඇප ලබාදිය නොහැකි වරදවල් ලෙස සැලකේ. මෙම පනත යටතේ අපරාධමය බිය ගැන්වීම්, ප්‍රාණ ඇපකරුවන් ගැනීම, වැරදි සහගත ලෙස සිර කිරීම, නීති විරෝධී ලෙස සිර කිරීම සහ අධ්‍යාපන ආයතනයක දේපළ බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ හානි කිරීම වැනි වෙනත් අදාළ වැරදි ද ආවරණය වන අතර, මෙම පනත යටතේ වරදකරුවන් වන සිසුන් සියල්ලටම සිරදඬුවම් සහ දඩ ඇතුළුව සැලකිය යුතු දඬුවම් නියම කළ හැකිය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධීක්ෂණය සහ නියාමනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, නවක වදය තහනම් කිරීමේ පනත ක්‍රියාත්මක කිරීම පහසු කිරීම සඳහා විවිධ මාර්ගෝපදේශ සහ චක්‍රලේඛ නිකුත් කර ඇත. නවක වදය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා UGC විසින් ක්ෂණික ඇමතුම් අංක, විශේෂිත අන්තර්ජාල ද්වාර සහ ජංගම යෙදුම් ඇතුළුව බහුවිධ මාර්ග ද ස්ථාපිත කර ඇත. තවද, නවක වදය සම්බන්ධ පැමිණිලි විභාග කිරීම සහ වින්දිතයින්ට සහාය ලබා දීම සඳහා UGC විසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමානාත්මතාවය සඳහා මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත. විශේෂිත නවක වදයට එරෙහි නීති සම්පාදනයට අමතරව, 2015 අංක 4 දරන අපරාධවලට ගොදුරු වූවන්ට සහ සාක්ෂිකරුවන්ට සහාය සහ ආරක්ෂාව ලබාදීමේ පනත සහ එහි පසුකාලීන සංශෝධන ද නවක වදයට ගොදුරු වූ සිසුන්ගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අදාළ විය හැකි අතර, නීතිමය රාමුව තුළ සහාය සහ ආරක්ෂාව සඳහා විධිවිධාන සපයයි. 

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ට නවක වදය හේතුවෙන් සිදුවන දැඩි හා බහුවිධ මානසික බලපෑම පිළිබඳව පුළුල් පර්යේෂණවලින් අඛණ්ඩව තහවුරු කර ඇත. වින්දිතයින් බොහෝ විට කාංසාව ආබාධ වර්ධනය වීම හෝ උත්සන්න වීම, දැඩි මානසික අවපීඩන තත්වයන්, සැලකිය යුතු ලෙස පිරිහුණු ඍණාත්මක ආත්ම ප්‍රතිරූපයක්, ආත්ම අභිමානය සහ විශ්වාසය අඩු වීම, කෝපය සහ නොසන්සුන්තාවය වැඩි වීම, නැවත නැවතත් බියකරු සිහින දැකීම සහ වඩාත් දරුණු අවස්ථාවලදී භීතිකා ආබාධ, සමාජ භීතිකා සහ උමතු-සම්පීඩන හැසිරීම් වැනි විවිධ මානසික සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙයි. මෙම සායනික තත්වයන්ට අමතරව, නවක වදය සිසුවෙකුගේ සංජානන ක්‍රියාකාරිත්වයට ද දැඩි ලෙස බලපෑ හැකි අතර, අවධානය  අඩු වීම, සමස්ත ඵලදායිතාවය අඩුවීම සහ මතකය හා විනිශ්චය කිරීමේ දුෂ්කරතා ඇති විය හැකිය. ඛේදජනක ලෙස, නොනවතින සහ කුරිරු නවක වදය හේතුවෙන් ඇතිවන අධික මානසික පීඩනය සහ කම්පනය ඇතැම් අවස්ථාවලදී සිසුන් සියදිවි නසාගැනීම පිළිබඳව සිතීමට හෝ උත්සාහ කිරීමට පවා හේතු විය හැකිය.  

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ශිෂ්‍ය සංවිධානයක් වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (IUSF), නවක වදයට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සහ එම ක්‍රියාව පවත්වාගෙන යාමට සහභාගී වීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හේතුවෙන් සැලකිය යුතු විවේචනයට ලක්ව ඇත. ඇතැම් විද්වතුන් සහ ප්‍රතිවාදී ශිෂ්‍ය කණ්ඩායම් චෝදනා කර ඇත්තේ අන්තරය ඓතිහාසිකව නවක සාමාජිකයින් බිය ගැන්වීමට සහ විශ්වවිද්‍යාල තුළ තම දේශපාලන බලපෑම තහවුරු කිරීමට, විශේෂයෙන්ම ජවිපෙ (ජනතා විමුක්ති පෙරමුණ) දේශපාලන බලය පවත්වාගෙන යාමට නවක වදය මෙවලමක් ලෙස භාවිතා කර ඇති බවයි. ශිෂ්‍ය දේශපාලනය සහ නවක වදය අතර මෙම සම්බන්ධය පෙන්නුම් කරන්නේ හුදෙක් ජ්‍යෙෂ්ඨත්වය ඉක්මවා යන ධූරාවලියක් පවත්වාගෙන යාම සඳහා මෙම ක්‍රියාව භාවිතා කළ හැකි බවයි. කෙසේ වෙතත්, චරිත් දිල්ෂාන්ගේ සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් අන්තරය ශෝකය ප්‍රකාශ කරමින් සහ සම්පූර්ණ විමර්ශනයක් ඉල්ලා සිටි අතර, නවක වදය පිළිබඳ චෝදනා සනාථ වුවහොත් වගකිව යුතු අයට දැඩි දඬුවම් දිය යුතු බව ඉල්ලා සිටියි. මෙම ප්‍රසිද්ධ හෙළා දැකීම කැපී පෙනෙන නමුත්, එය ඔවුන්ගේ අතීත ක්‍රියාකාරීත්වයට පටහැනි වන අතර ඔවුන්ගේ අනාගත ක්‍රියාමාර්ග සහ විශ්වවිද්‍යාල සංස්කෘතිය කෙරෙහි ඔවුන්ගේ බලපෑම පිළිබඳව අවධානයෙන් සිටීම වටී. ශිෂ්‍ය සංගම් ඇතැම් විට සියලුම සිසුන්ට නවක වද ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට බල කරන බවට ද චෝදනා එල්ල වී ඇත. 

මැති ඇමතිල ගත් ගිනි අවි ආපසු භාර දී නෑ

සිවිල් වැසියන්ට පෞද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කර ඇති සියලුම ආයුධ ආපසු ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදුකළ දැනුම්දීම මත නිකුත් කරන ලද ගිනි අවි 1,690 න් 30 ක් පමණක් වැලිසර නාවික හමුදා කඳවුරට ආපසු ලබා දී ඇති බවට වාර්තා වේ.මෙම අවි ලබාගත් අය අතර මන්ත්‍රීවරුන් 100කට අධික පිරිසක්ද සිටියි.
විවිධ තර්ජනවලට ලක්වන බව පවසමින් ප්‍රභූවරුන් රට පුරා පිහිටි පොලිස් ස්ථානවලින් පොලිස් වාර්තා ලබාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජනමාධ්‍ය වෙත පවසා ඇත.
විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ පාලනයේ කොටස්කරුවන් වූ ඇතැම් දේශපාලනඥයන් ගිනි අවි 10 බැගින් ලබාගෙන ඇති බව පැවසේ. පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ මෙම ආයුධවලින් සමහරක් අතුරුදන්ව ඇති බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart