ආයේත් හිරේ ගිය රාජිත

අල්ලස් කොමිසම හමුවට අද (03) පෙරවරුවේ පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, පැය පහක පමණ කාලයක් ගතවීමෙන් පසු නැවතත් බන්ධනාගාරයට රැගෙන ගිය බව වාර්තා වේ.

අදාල නියෝගය යටතේ, රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතාගේ විධි විධාන අනුවය. මහෙස්ත්‍රාත්තුමා පසුගිය අගෝස්තු 29 වැනිදා නියම කළේ, බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයා අද උදේ 9ට කොමිසම හමුවට රැගෙන එන ලෙසය.

ඒ අනුව, අල්ලස් කොමිසම වෙත රැගෙන ගිය රාජිත සේනාරත්න මහතාගෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කරගැනීම සිදු වූ අතර, එම ප්‍රකාශය අවසන් කිරීමෙන් පසු ඔහු නැවතත් බන්ධනාගාරයට යොමු කරන ලදී.

 

රටේ සෞඛ්‍යයට නව යෝජනා කිහිපයක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නව යුගයකට ගෙන යාමට අදාළ සාකච්ඡාවක් 2025 සැප්තැම්බර් 2 වනදා සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හන්සක විජයමුනිගේ නායකත්වයෙන් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අරුන ජයසේකර, මධ්‍යස්ථ ශ්‍රේණිය පිහිටුවීමේ කමිටුවේ සභාපති වෛද්‍ය සෙනෙත් ගජසින්හ සහ ලේඛම් වෛද්‍ය ශ්‍රියානි අබේවික්‍රම ඇතුළු වෛද්‍ය නියෝජිතයින් සහභාගි වූහ.

මෙහි ප්‍රධාන ගැටළු ලෙස ඉදිරිපත් වූයේ බෝ නොවන රෝග වේගයෙන් ඉහළ යාම, විශේෂඥ වෛද්‍ය හිගය,පවුල් වෛද්‍ය සේවාව පිළිබඳ අක්‍රමවත් තත්ත්වය ආදී ගැටළු ඉදිරිපත් විය.

මෙම ගැටළු සියල්ලටම වෛද්‍ය අතරමැදි ශ්‍රේණියක් බිහි කිරීම යථාර්ථවාදී විසඳුමක් බව වෛද්‍ය නියෝජිතයින් අවධාරණය කළහ.

අමාත්‍යාංශය යෝජනා කර ඇති නව වෙනස්කම් ලෙස, සෑම පවුලකටම පවුල් වෛද්‍යවරයෙක්,ග්‍රාමිය රෝහල්වලට විශේෂඥ වෛද්‍යවරයෙක්, සවස 4.00 න් පසු ශල්‍යකර්ම සිදු කර පොරොත්තු ලැයිස්තු අඩු කිරීම ආදී යෝජනා ඉදිරිපත් විය.

මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමටත් අතරමැදි ශ්‍රේණියක් පිහිටුවීම අත්‍යවශ්‍ය යැයි විශේෂඥයින් දක්වූහ.

එසේම වර්තමානයේ පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලා සඳහා රජය වැය කරන ලක්ෂ 25 – 37 අතර මුදල් ජනතාවට සෘජු ප්‍රතිලාභ ගෙන නොදෙන බවත්, මෙවැනි පැහැදිළි කෙරිණි.

වෛද්‍යවරුන්ට වඩා සෘජුව ප්‍රතිලාභ ලැබිය යුත්තේ ජනතාව බවත්, අවසානයේ ප්‍රතිකාර ලබාගන්නා විශේෂ පුහුණුවක් ඇති වෛද්‍යවරයෙකු නොමැතිව නාස්ති වනුයේ රෝගීන් බවත් සාකච්ඡාවේදී අවධාරණය විය.

තවද මෙම සාකච්ඡාවේ ඉදිරිපත් වූ තවත් යෝජනා කිහිපයක් වූයේ, Medical Tourism නමින් විදේශිකයන්ට මුදල් ගෙවා ලංකාව තුළ ප්‍රතිකාර ලබාගැනීමේ ක්‍රමය දියුණු කිරීම, ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ට විදෙස් රටවල සේවය කිරීමට රාජතාන්ත්‍රික හුවමාරු ක්‍රමය සකස් කිරීම ආදියද විය.

මෙය හරහා අනාගතයේ ඇතිවිය හැකි වෛද්‍ය රැකියා අහිමිවීම්වලටත් විසඳුමක් සැලසෙනු ඇතැයි විශේෂඥයින් විශ්වාස කරයි.

අවසානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම යෝජනා සදහා තුටුදායක ප්‍රතිචාර ලබාදුන් බවත්, සමහර යෝජනා ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

කෑගල්ල -රඹුක්කන බස් රථ ධාවනයට ඒකාබද්ධ කාලසටහනක්

කෑගල්ල-රඹුක්කන (681) මාර්ගයේ බස් රථ ධාවනය ඒකාබද්ධ කාලසටහනකට අනුව සිදු කිරීම ආරම්භ කර ඇත.
මීට පෙර පෙර විනාඩි 45ක් වූ ගමන් කාලයද විනාඩි 40ක් දක්වා අඩු කර ඇත.

 

මාලිමා ආණ්ඩුව මහ පාරේ නඩු තීන්දු දෙනවා

ජාතික ජන බලවේගය නීතිය අතට ගනිමින් අනෙකුත් දේශපාලන පක්ෂවලට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ තර්ජන එල්ල කිරීම දැඩි සේ හෙලා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කලක් ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට ජාතික ජන බලවේගයේ හිරිහැරවලට මුහුණ දෙන අතර, ඒ අනුව ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් ඊයේ උදෑසන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදී එය අත්පත් කර ගෙන ඇතැයි ඔහු පැවසීය.

ජාතික ජන බලවේගය පොරොන්දු වූ නව ක්‍රමවේදය මෙය නම් එමඟින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සැබවින්ම අවදානමට ලක්ව ඇති බවත්, පැරණි ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් නිර්මාණය වීමේ බිය සමාජය තුළ ඇති වී නීතිය හා සාමය දැඩි අවදානමට ලක්වන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

හරක් හොරකමේ ගිය සජබ මන්ත‍්‍රී අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේ සමගි ජන බලවේගය පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වන ටර්නි සමන්, කන්තලේ සහ සේරුනුවර ප්‍රදේශවලින් මී ගවයන් හය දෙනෙකු සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, සැප්තැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුතූර් මහෙස්ත්‍රාත් තස්ලිමා මොහොමඩ් ෆවුසාන් මහත්මිය නියෝග කළාය.

සැකකාර ටර්නි සමන් මහතා සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද වේ.

ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කන්තලේ ප්‍රාදේශීය සභාවේ පක්ෂ කණ්ඩායම් නායකයා ලෙස පත්වීමෙන් පසු සභාපති ධුරය ලබාගැනීම සඳහා දැඩි උත්සාහයක් ගෙන තිබෙන බවට වාර්තා වේ.

ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස ද සේවය කරනු ලබයි.

Tourism හදන්න අලුත් කාර්ය සාධක බලකායක්

 

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ රටේ ආර්ථිකයට සෘජු ආදායමක් ලබා ගැනීමේ අරමුණින් නව කාර්ය සාධක බලකායක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

මෙම කාර්ය සාධක බලකායේ පළමු සැසිය ඊයේ (සැප්තැම්බර් 02) ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම බලකාය මඟින් සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට, සංචාරකයන් සහ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීමට සහ රාජ්‍ය ආයතන ඒකාබද්ධ රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරියේදී පැමිණෙන සංචාරක සමය සාර්ථක කර ගැනීම සඳහා සියලු රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කර ඉදිරි සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.

හොර බඩු අල්ලන්න යන්ත්‍ර දෙකක් කටුනායකට

ශ්‍රී ලංකා රේගුවට අයත් කටුනායක ගුවන්තොටුපළ පර්යන්තයට රුපියල් කෝටි පහක පමණ වටිනාකමකින් යුත් අති නවීන පරිලෝකන යන්ත්‍ර දෙකක් එක්කර ඇතැයි වාර්තා වෙයි.

මෙම යන්ත්‍රවල විශේෂත්වය වන්නේ 2D තාක්ෂණය මත පදනම්ව පරිලෝකන ක්‍රියාවලිය සිදු කිරීමය. එමඟින් නීතිවිරෝධී ද්‍රව්‍ය හඳුනාගැනීමේ හැකියාව ඉහළ නංවී ඇති බව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ තිළිණි පීරිස් පැවසීය.

ඇතැම් විට රට තුළට රහසින් ගෙන ආ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, සිගරට් ඇතුළු භාණ්ඩ පරිලෝකනයට මෙම නව යන්ත්‍ර ප්‍රධාන අවධානය යොමු කරන බවද සදහන් කරයි.

දැනටමත් රේගු නිලධාරීන්ට මෙය භාවිතා කිරීමේ පුහුණු වැඩමුළු ලබාදී ඇති අතර, අනාගතයේ තවදුරටත් පුහුණු සැසි පවත්වා නව තාක්ෂණය සම්පූර්ණයෙන් යොදාගැනීමට සැලසුම් කර ඇති බවද රේගු බලධාරීන් තහවුරු කර තිබේ.

 

අද හයිලෙවල් මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

අද (3) පස්වරු 2.00 සිට රාත්‍රී 7.00 දක්වා කොළඹ හයිලෙවල් මාර්ගයේ රථවාහන සැලැස්මට විශේෂ වෙනස්කම් සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මෙය සිදුකරන්නේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත 159 වැනි ජාතික පොලිස් දින සැමරුම් උත්සව හේතුවෙනි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වේ.

එය සම්බන්ධයෙන් තුම්මුල්ල මංසන්ධියෙන් තිඹිරිගස්යාය මංසන්ධිය දක්වා කලාපය තුළ විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන අතර, උත්සව කාලය තුළ බර වාහන එම මාර්ග භාවිතා කිරීමට සීමා කර තිබේ.

පොලිසිය පැවැසුවේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය ඉදිරිපිට කොළඹින් පිටවන මංතීරුවේ ඇති බස් නැවතුම එම කාලය තුළ හැව්ලොක් පාර ෆොන්සේකා පාර හන්දිය දක්වා රැගෙන යන බවයි.

මාළිගාවත්තේ වෙඩි තැබීමක්

කොළඹ මාලිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රන් මිල තවත් ඉහළට

 

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යෑමත් සමඟ මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය පවසයි.

සංගමයේ ලේකම් රාමන් බාලසුබ්‍රමනියම් මහතා සඳහන් කළේ, ඊයේ (සැප්තැම්බර් 02) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 285,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක් රුපියල් 263,000ක් ලෙසත් අලෙවි වූ බවයි.

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 3,531 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙරට රන් මිල තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති බවටද ඔහු අනතුරු අඟවයි.

Add to cart