වටගලගේ අභද්‍ර ප්‍රකාශයට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයෙන් දැඩි විරෝධය..!

ජනාධිපතිවරයාට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරන පුද්ගලයන්ට එරෙහිව හදිසි නීති රෙගුලාසි යටතේ කටයුතු කරන ලෙස මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) සිය බලවත් විරෝධය පළ කර තිබේ.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට (FOE) එල්ල කරන බරපතල තර්ජනයක් බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දෙසැම්බර් 2 වන දින මාලබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්නගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවක දී නියෝජ්‍ය අමාත්‍ය වටගල මෙම ප්‍රකාශය සිදු කර ඇත.

ඔහු එහිදී කියා සිටියේ, සමාජ මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක් ඔස්සේ, ‘ද්වේශ සහගත චරිත ඝාතන’ ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරියේ කිහිප දෙනෙකු ඉලක්ක කරමින් දියත් කරන බවයි. තවදුරටත්, ‘අසත්‍ය මත – වැරදි නිරූපණයන්’ භෞතිකව, අන්තර්ජාලය ඔස්සේ හෝ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය හරහා සිදුකිරීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

එසේ කරන පුද්ගලයන්ට එරෙහිව, සැකකරුවන් ලෙස නොව විත්තිකරුවන් ලෙස සලකා දැනට පනවා ඇති හදිසි නීතිය යටතේ දැඩි දඬුවම් දිය යුතු බවට ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළ බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) විසින් නිකුත් කරන ලද නිවේදනයේ ප්‍රධාන කරුණු මෙසේය:

⚠️ බලය අනිසි ලෙස භාවිතා කිරීම: ආපදා කළමනාකරණය සඳහා පනවා ඇති බව කියන හදිසි නීතිය, දේශපාලන විවේචන මර්දනය කිරීමට යොදා ගැනීමට දරන ඕනෑම උත්සාහයක් බලය අනිසි ලෙස භාවිතා කිරීමක් වන අතර පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකේ.

🚨 ප්‍රජාතන්ත්‍රවාදයට හානිය: “විවේචනය අපරාධයක් නොවන අතර, බිය නිසා විවේචනයට දඬුවම් දීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට සිදු කළ හැකි බරපතලම හානිය” බව ඔවුන් පෙන්වා දෙයි.

🚫 ප්‍රකාශයේ නිදහසට තර්ජනයක්: නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හිතාමතාම යටපත් කිරීමට දරන අතිශය භයානක උත්සාහයකි.

😔 ස්වයං වාරණය පිළිබඳ කනස්සල්ල: මෙම ප්‍රකාශය නිසා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් – පුරවැසියන් තුළ ඇතිවිය හැකි බිය ගැන්වීම් සහ ස්වයං වාරණය ගැන IMA සංවිධානය දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇත.

ඒ අනුව, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) අවධාරණය කරන්නේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රකාශය කොන්දේසි විරහිතව ඉවත් කරගත යුතු බවත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු හදිසි නීතියෙන් හෝ වෙනත් කිසිදු නීතිමය විධිවිධානයකින් සීමා කිරීමට හෝ යටපත් කිරීමට නොහැකි මූලික මානව අයිතිවාසිකමක් බව රජය පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බවත්ය.

අධිවේගයේ නොමිලේ ගිය කාලය අවසන් කරයි..!

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය සමයේ අධිවේගී මාර්ගවල ක්‍රියාත්මක කළ තාවකාලික ගාස්තු නිදහස් කිරීමේ තීරණය මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් අවසන් කර ඇත.

ඒ අනුව, ඊයේ (දෙසැම්බර් 03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම අධිවේගී මාර්ග සඳහා සම්මත ගාස්තු නැවත අය කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.

ආපදා තත්ත්වය හේතුවෙන් ගමන් පහසුව සඳහා නොවැම්බර් 27 වැනිදා සිට අධිවේගී මාර්ගවල ගාස්තු නිදහස් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. එම සහනය යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය, කටුනායක–කොළඹ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව ඇතුළු සියලුම මාර්ගවල ගාස්තු නොමැතිව ගමන් කිරීමට අවසර ලැබී තිබුණි.

කෙසේ වෙතත්, මාර්ග තත්ත්වයන් යථා තත්ත්වයට පත්ව ඇති බැවින්, ගාස්තු නිදහස් කිරීමේ තීරණය අත්හිටුවා ඇති බවත්, සියලුම වාහන සඳහා අදාළ ගාස්තු ගෙවීම අනිවාර්ය බවත් RDA අවධාරණය කරයි.

රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, අද මධ්‍යම රාත්‍රියෙන් පසු අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී සාමාන්‍ය ගාස්තු ගෙවීමට සූදානම්ව සිටින ලෙසයි.

“තව ටික වෙලාවයි තියෙන්නේ වතුරේ අපි ගහගෙන යන්න, අපි විසිනව දෙනා ම එකට මැරෙමු” ගම්පොල ඛේදවාචකය..!

ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ දෙකකින් සමන්විත ගම්පොළ පොලිස් කොට්ඨාසය තුළ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නාය යාම් හා ගංවතුරින් දෙසැ. 3 වන දා දහවල් 12 පමණ වන විට අවම වශයෙන් මරණ 65ක් සහ පුද්ගලයින් 84 දෙනෙකු අතුරුදන් වී ඇතැයි ආපදා සහන සේවා කමිටුව හා පොලිස් වාර්තා උපුටා දක්වමින් ගම්පොළ බීබීසී වාර්තාකරු සුරංග රාජනායක පවසයි.

ගම්පොළ පොලිස් කොට්ඨාසය ගම්පොළ, නාවලපිටිය, පුස්සැල්ලාව, ගලහ, නවකුරුඳුවත්ත, පුපුරැස්ස සහ ඇත්ගාල යන පොලිස් ස්ථානවලින් සමන්විත වේ.

දොළුව ප්‍රාදේශීය ලේකම් යමුනා දයාරත්න සඳහන් කළේ, ගම්පොළ ප්‍රදේශයේ ස්ථාපිත අවතැන් කඳවුරු 86ක් තුළ පුද්ගලයින් 15,775ක් රැඳී සිටින බවත් ඉන් කඳවුරු 48ක් දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාපනය කර ඇති බව ත් ය.

ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කඳවුරු 38ක් ඇති බව උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුෂි ජයරත්න ප්‍රකාශ කළා ය.

1947 මහා ගංවතුරට පසු ගම්පොළට ඇතිවූ විශාලතම ගංවතුර මෙය වන අතර නගරයේ නිවාසවල හා වෙළෙඳසල්වල සුන්බුන් අතර සිර වූ 36 දෙනකුගේ මළ සිරුරු හමුව ඇති බීබීසී ගම්පොළ වාර්තාකරු පැවසීය. සමස්තයක් ලෙස මළ සිරුරු 60ක් ගම්පොළ රෝහලට දෙසැ. 3 වන දින වන විට රැගෙන විත් තිබුණු බව රෝහල් අධ්‍යක්ෂ ඒ.ඒ.ඩී.සී. ඩයස් සඳහන් කළේ ය.

මිය ගිය පිරිස අතර දරුවන් 10 දෙනෙකු සහ කාන්තාවන් 32 දෙනෙකු වන බව පැවසේ.

ගං වතුර සහ නාය යාම්වලට ගොදුරු වූ ගම්පොළ

මහවැලි ගඟ අවහිර කර ඉදිකර ඇති ගොඩනැගිලි

ගම්පොළ බීබීසී වාර්තාකරු සුරංග රාජනායක සඳහන් කළේ, ගං වතුර මෙන් ම ගස් කඩා වැටීම් හේතුවෙන් එම ප්‍රදේශය තුළ සිදු වූ හානිය ඉහළ ගොස් ඇති බව ය.

මාවතුර – ඉහළ ගම ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් නිවාස 17ක් විනාශ වී එහි සිටි පවුල්වල පුද්ගලයින් 40-50 අතර ගණනක් අතුරුදහන්ව ඇති බව උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා ඒකකය පවසන අතර ඒ අතරින් මළ සිරුරු 15ක් පමණ මේ වන විට සොයා ගෙන තිබේ.

එමෙන් ම, උලපනේ – ගඩොල් බෝක්කුව අසල නාය යාම නිසා මගී ප්‍රවාහන බස් රථ දෙකක් හා තවත් වාහන කිහිපයක් ම අනතුරට ලක්ව තිබුණත් සහන කාණ්ඩායම්වලට එම ස්ථානවලට යාමට නොහැකි වීමෙන් දිනන ගණනාවක් පුරා එහි ඇති සිරුරු ඉවත් කර ගැනීමට නොහැකි වී තිබුණු බව බීබීසී වාර්තාකරු පැවසීය.

පුපුරැස්ස – රජතලාව ප්‍රදේශයේ ගම්මානයක් නාය යාමෙන් පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදන් වී ඇති අතර ඉන් තිදෙනෙකුගේ සිරුරු හමුවී ඇති බවත් ගල්ඔය ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් මරණ 18ක් සහ අතුරුදන් වීම් 5ක් සිදුව ඇති බවත් දොළුව ආපදා සහන නිලධාරී නුවන් ධනුශ්ක සඳහන් කළේ ය.

එසේ ම දොළුව – නව නිල්ලඹ ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් මරණ තුනක් හා අතුරුදන්වීම් 9ක් සහ හුණුගල ප්‍රදේශයෙන් තවත් මරණයක් ද වාර්තා වී තිබිණි.

ගම්පොළ – සිංහපිටිය ජලාශ පාර දෙසට හදිසියේ ගලා ආ ජල පහරකට හසුවූ හත් දෙනෙකු ගසා ගෙන ගොස් තිබූ අතර ඉන් ගම්පොළ, ජිනරාජ පිරිමි මහා විද්‍යාලයේ ගුරුවරියක මියගොස් ඇගේ මළ සිරුර පාසලේ පිට්ටනියේ රැඳී තිබියදී හමුවී තිබිණි.

කෙසේ වෙතත්, ඇයගේ සැමියා හා පුතුන් එම ජල පහරින් දිවි ගලවාගෙන තිබුණු බව බීබීසී වාර්තාකරු පැවසීය.

ගම්පොළ ප්‍රධාන පාලම අසල ජාතික උරුම මධ්‍යස්ථානය හානියට පත්ව තිබූ අයුරු
ගම්පොළ ප්‍රධාන පාලම අසල ජාතික උරුම මධ්‍යස්ථානය හානියට පත්ව තිබූ අයුරු

එසේ ම මාර්ග අවහිරතා හේතුවෙන් දොළුව – පුපුරැස්ස, පිටවල, මුල්ගම, තුන්පෑලවක, උඩුදෙණිය, හුණුගල යන ගම්මානවල සිදුව ඇති නාය යාම් හා අතුරුදන්වීම් පිළිබඳව පරීක්‍ෂා කිරීමට යාමට නොහැකි තත්ත්වයක් ද උදාවී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

ගලහා මාර්ගයේ කෝවිල් හන්දිය ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් නිවාස කිහිපයක් විනාශ වී ඇති අතර එහි සිටි පුද්ගලයින් පස් දෙනෙකුගේ සිරුරු හමුවී තවත් කිහිප දෙනෙකු අතුරුදන් වී තිබේ.

ගලහා මාර්ගයේ කෝවිල් හන්දිය ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් නිවාස කිහිපයක් විනාශ වී ඇති අතර එහි සිටි පුද්ගලයින් පස්දෙනකුගේ සිරුරු හමුවී තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව තිබුණු බව අප වාර්තාකරු පැවසීය.

ඔහු සඳහන් කළේ, පස්වලට යටවී සිටි දරුවෙකු එහි සිටියදී සොයා ගැනුණ ද මුදා ගෙන කෙටි වේලාවකින් ඔහු ජීවිතක්ෂයට පත් වූ බව ය.

ගම්වාසීහු පනහක් පමණ වැළලී ඇති මාවතුර නාය
ගම්වාසීහු පනහක් පමණ වැළලී ඇති මාවතුර නාය

ඊට අමතරව මහනුවර හෝටලයක රැකියාවට ගොස් නිවසට එන විට තම බිරිඳ හා තම දරු තිදෙනා නිවස සමග පස්වලට යට වී තිබුණු බව තවත් පුද්ගලයෙකු සඳහන් කර තිබිණි.

මේ අතර, බොහෝ දෙනෙකු අතුරුදන් වූ තම ඥාතීන් සොයමින් සිටි බව බීබීසී වාර්තාකරු පැවසීය.

මෙවැනි ජීවිත අහිමි වූ සිදුවීම් තවත් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා විය.

මිලිමීටර් 440කට අධික වර්ෂාපතනයක්

ජනතාව නිවෙස්වල ඉහළ මහලට නැග සිටි අයුරු
ජනතාව නිවෙස්වල ඉහළ මහලට නැග සිටි අයුරු

මහවැලි ගඟ පිටාර ගැලීම ගම්පොළ ප්‍රදේශයට දැඩි හානියක් සිදු කළ බීබීසී ගම්පොළ වාර්තාකරු සුරංග රාජනායක සඳහන් කළේ ය.

කොත්මලේ ගාමිණී දිසානායක ජලාශය හා තලවාකැලේ ඉහළ කොත්මලේ ජලාශය ඉදිකිරීමෙන් පසුව ඊට පහළින් තිබූ උලපනේ – ගම්පොළ – ගෙලිඔය – පේරාදෙණිය නගර ගංවතුරෙන් සුරක්ෂිතව පැවතියත් මෙවර නොකඩවා ඇද හැළුණු ධාරාණිනිපාත වර්ෂාව හේතුවෙන් ඒ සියල්ල විපතට පත්ව තිබිණි.

අප වාර්තාකරු සඳහන් කළේ, මිලිමීටර් 440ක ඉක්මවා ලැබුණු වර්ෂාපතනය මහවැලි ගඟ සහ ජලාශ පමණක් නොව ඇළ දොළ මාර්ග මෙන් ම කඳුවලට ද ඔරොත්තු නොදුන් බව ය.

මේ නිසා ම කඳු නාය ගොස් හා ගංගා, ඇළ-දොළ උතුරා ඒවා නගරය සහ ගම්මාන කරා පැමිණියේ සුළු වේලාවකදී බව ඔහු පැවසීය.

‘තව ටික වෙලාවයි තියෙන්නේ වතුරේ අපි ගහගෙන යන්න, අපි විසිනව දෙනා ම එකට මැරෙමු කියලා අපි කතා වුණා’

ගම්පොළ නගරයේ මහවැලි ගඟ අසල තිබූ ගංගාරාම විහාරය කඩා වැටී තිබූ ආකාරය
ගම්පොළ නගරයේ මහවැලි ගඟ අසල තිබූ ගංගාරාම විහාරය කඩා වැටී තිබූ ආකාරය

ගම්පොළ නගරයේ දුම්රියපොළ මෙන් ම බස් නැවතුම්පොළ ද සහ ඒ අවට වීදි ජලයෙන් යටවී තිබුණු අතර ඊට පහළින් පිහිටා ඇති කහටපිටිය – බැබිළ ප්‍රදේශවල අඩි 20-30ත් අතර උසකට ජලයෙන් යටවී තිබුණු බව බීබීසී ගම්පොළ වාර්තාකරු සුරංග රාජනායක සඳහන් කළේ ය.

“හවස හයයි තිහට අපි පල්ලියේ වැඳලා එළියට එනකොට ගමට වතුර ඇවිත් තිබුණා. මගේ ගේ තට්ටු දෙකයි. ගෙදර අපේ ළමයි, ඒ අයගේ දරුවෝ වගේ ම නෑදෑයෝ හිටියා.

මට ඒ අය මතක් උණ නිසා මම වතුරට බැස්සා. මගේ කර උසට වතුර තිබුණත් මම පීනගෙන ගෙදර හොයාගෙන ගියා. උස ප්‍රදේශයකටවත් යන්න වෙලාවක් ගංවතුර අපට ඉතුරු කරලා තිබුණේ නැහැ. හැමතැන ම වතුර පිරිලා. අපි ඔක්කොම විසිනම දෙනෙක් හිටියා,” යැයි ගම්පොළ, කහටපිටිය – බැබිල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හාරිස් තම අත්දැකීම් විස්තර කළේ ය.

“ගෙදර තට්ටු දෙකක් උඩින් තිබුණු කොන්ක්‍රීට් එකට අපි නැග්ගා. පොඩි ළමයි දහ තුනක් අපේ ළඟ. හිටියා මම ලණු ටිකක් හොයා ගත්තා ඔක්කොම ටික එකට ගැට ගහන්න. මොකද තව ටික වෙලාවයි තියෙන්නේ වතුරේ අපි ගහගෙන යන්න. එහෙම ගියොත් අපි විසි නමදෙනා ම එකට මැරෙමු කියලා තමයි අපි කතා වුණේ.

උදවු ඉල්ලන්න කවුරුවත් නෑ. හැමෝම විපතට පත් වෙලා. ඒත් දෙවියො බලලා අපි ඉන්න දිහාට බෝට්ටුවක් ආව නිසා ඒ අය අපි බේරා ගත්තා ඒක හාස්කමක් වගේ දෙයක්,” ඔහු වැඩිදුරටත් පැවසීය.

අප වාර්තාකරු සඳහන් කළේ, ප්‍රදේශයේ දේපළ හානි රැසක් සිදුව තිබුණු බව ය.

ගම්පොළ ජලගැලීම් ගැන මන්ත්‍රී අනුරාධ ජයරත්න පාර්ලිමේන්තුවේදී පැවසුවේ මොනවා ද?

නාය යාම් හා ජල ගැලීම්වලට හසුවූ නිවාස
නාය යාම් හා ජල ගැලීම්වලට හසුවූ නිවාස

මේ අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න බදාදා (දෙසැ. 3) දා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ, ඇති වීමට තිබුණු ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් ගම්පොළ ජනතාවට පූර්ව දැනුම් දීමක් නොකළ බව ය.

“මේ ව්‍යසනයේදී කඳු නාය ගියා, ප්‍රශ්න ඇති වුණා, ගැටලු ඇති වුණා ඒවා පිළිබඳව අපි ආණ්ඩුවට චෝදනා කරන්නේ නැහැ. ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒක එක ස්වභාවික විපතක්, ස්වභාවික හානි. ඒ පිළිබඳව අපිට තර්කයක් නැහැ.

හැබැයි මේ කාරණාව ඇතුළේ ඇතිවුණු ගැටලු ගණනාවක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. පළවෙනි දේ තමයි, රන්ටැඹෙන් එළියට යන වතුර ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩි ම වර්ෂාපතනයකදී ගිහිල්ලා තියෙන්නේ තත්පරයට 3,500යි. හැබැයි මහවැලියෙන් කියනවා මේ 5,800ක් වගේ ප්‍රමාණයකට වැඩි වේවි කියලා. හැබැයි ඇත්තට ම තත්පරයට ඝන මීටර් 7,800ක් රන්ටැඹෙන් එළියට නිකුත් කෙරුණා,” ඔහු පැවසීය.

“මේ කාරණාව දැනගෙන හිටියා නම්, ඇයි අපිට අහිංසක මිනිස්සුන්ට මේ ගැන දැනුවත් කරන්න බැරි වුණේ? අනිත් එක නියෝජ්‍ය කතානායකතුමනි UNDP එකේ 27 වෙනි දා මහවැලියේ තිබුණු රැස්වීම් ටික සියල්ල 26 වෙනි දා අවලංගු කළා. 27 වෙනි දා මෙහෙම ව්‍යසනයක් තියෙනවා කියලා 26 වෙනි දා ඒ සියලු රැස්වීම් ටික අවලංගු කළා.

ඇයි බැරි වුණේ, ගම්පොළ නගරයට ගිහිල්ලා මෙහෙම ගංවතුරක් තියෙනවා කියලා නිවේදනය කරන්න? තත්පරයට මි.මී. 160ක් ආවොත් එහෙම යට වෙනවා. එදා නිල්ලඹ මාපාංකයේ සටහන් වෙනවා මි.මී. 440යි. 440ක වැස්සක් එනවා නම්, 160ට යටවෙන ගම්මානවලට ඇයි දැනුවත් කළේ නැත්තේ?

ඒ විතරක් නෙවෙයි, කතානායකතුමනි. නාවලපිටියට උඩින් තියෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගේජින් ස්ටේෂන් එක. මේ ගේජින් ස්ටේෂන් එකේ මහවැලි ගඟේ එන වතුර ප්‍රමාණය මනිනවා. මේ වතුර ප්‍රමාණය මැනලා මේක ගම්පොළ නගරයට එදා කිව්වා නම්, ඔය මැරෙන්න තිබුණ ගාණෙන් 80%ක් එදා බේරෙනවා. හැබැයි ඒ කිසි ම දෙයක් සංවිධානය වෙලා, ඒවා සන්නිවේදනය කළේ නැහැ ගම්පොළ නගරයේ මිනිස්සුන්ට. එහෙම නම්, අර නාවලපිටියට උඩින් තියෙන ගේජින් ස්ටේෂන් එක සම්පූර්ණයෙන් අකර්මණ්‍යයි.

ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මෙතනදී සිහිපත් කරනවා, ඔය ගම්පොළ නගරයේ මැරිච්ච හැම ජීවිතයක් වෙනුවෙන් ම මේ ආණ්ඩුව හැටියට වග කියන්න ඕනේ කියන එක අපි මේ සභාවේදී කියනවා. ඒක වෙන මොනවත් නිසා නෙවෙයි. ස්වභාවිකව කඳු නාය ගිහින් ප්‍රශ්න ඇති වුණා නම් ඒක තර්කයක් නැහැ. නිකම් අහිංසක මිනිස්සු ටික මරුවා ගම්පොළ නගරයේ හිටපු. කියන්න බැරි වුණා මි.මී. 440ක් වහිනවා 27 වෙනි දා කියලා පණිවිඩේ කිව්වේ නැහැ,” මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාරය

ගම්පොළ නගරය ජලයෙන් යටවීමට සතියකට පෙර දිස්වූ අයුරු
ගම්පොළ නගරය ජලයෙන් යටවීමට සතියකට පෙර දිස්වූ අයුරු

මෙම චෝදනා සම්බන්ධයෙන් විමසීමට බීබීසී සිංහල වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්ජිනේරු අජිත් ගුණසේකර සම්බන්ධ කර ගත්තේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

“ගම්පොළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සම්බන්ධයක් නැහැ. මහවැලිය, කොත්මලේ, පොල්ගොල්ල, වික්ටෝරියා වගේ ජලාශවලින් තමයි ගම්පොළ පැත්තට හානියක් වෙන්නේ. එතකොට ඒවා පාලනය වෙන්නේ මහවැලි අධිකාරියෙන්. මහවැලි ගඟ පිටාර ගලන්නේ අරවා ඇරියා ම. අපි මහවැලි ගඟ ගැන ගංවතුර අනතුරු ඇඟවීම් කරනවා.”

ගංවතුර අනතුරු ඇඟවීම් පිළිබඳව වැඩිදුර දැන ගැනීමට ඔහුගේ උපදෙස් පරිදි බීබීසීය අදාළ අංශයේ අධ්‍යක්ෂවරයා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ නමුත්, එය ලිපිය පළ කරන මොහොත දක්වා ව්‍යර්ථ විය.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා සඳහන් කරන “නාවලපිටියට උඩින් තියෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගේජින් ස්ටේෂන් එක,” ගංවතුරට පෙර ක්‍රියාත්මක තත්ත්වයේ පැවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්ජිනේරු අජිත් ගුණසේකර තහවුරු කළේ ය.

*මුදා ගැනීමේ කටයුතු තවමත් සිදුවන බැවින් වාර්තා වන මරණ සංඛ්‍යාව යාවත්කාලීන විය හැකි බව සලකන්න.

BBC සිංහල

ජනතාවට එළිය දෙන්න ගිහින් ජීවිතයක් නිවී යයි..!

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බිඳවැටුණු විදුලි බල පද්ධතිය යළි යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතුවල නිරතව සිටි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු හෙට්ටිපොල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් ඛේදජනක ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (දෙසැම්බර් 03) දහවල් කාලයේදී බෝවත්ත-වීරපොකුණ ප්‍රදේශයේදී විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කරමින් සිටියදීය.

අනතුරට පත්වූ වහාම සේවකයා වීරපොකුණ මූලික රෝහලට ඇතුළත් කරන ලද අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා එතැන් සිට කුලියාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුලියාපිටිය, හෙට්ටිපොල ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථානයේ සේවය කළ 41 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට හදිසි ආපදා සහනයක්..!

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන සහන මෙහෙයුම් සඳහා සහය දැක්වීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3ක (රුපියල් මිලියන 970කට ආසන්න) හදිසි ආපදා සහන ප්‍රදානයක් අනුමත කර තිබේ.

අයහපත් කාලගුණයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ තායිලන්තය සහ වියට්නාමය යන රටවල් සඳහා ද ආසියානු සංවර්ධන බැංකුව විසින් පිළිවෙලින් ඇමරිකානු ඩොලර් මිලියන 2 බැගින් වන ප්‍රදාන මුදල් අනුමත කර ඇත.

අදාළ රජයන්ගෙන් ලද සහය ඉල්ලීම්වලින් පසුව, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කාන්ඩා (Masato Kanda) මහතා මෙම නිවේදනය සිදු කළේය.

“මෙම විනාශකාරී ගංවතුර හේතුවෙන් සිදුව ඇති දුක් වේදනා ගැන මම දැඩි ලෙස කම්පාවට පත් වෙනවා, ශ්‍රී ලංකාවේ, තායිලන්තයේ සහ වියට්නාමයේ රජයන්ට සහ ජනතාවට සහතික විය හැක්කේ, ජීවිත බේරා ගැනීමට සහ ප්‍රජාවන් නැවත ගොඩනැගීමට උපකාර කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් සහාය ලබා දෙන බවයි. විපතට පත් වූවන්ට රැකවරණය, සැනසීම සහ බලාපොරොත්තුව ගෙන ඒම සඳහා අපි රජයන් සමඟ කඩිනමින් හා සහයෝගයෙන් කටයුතු කරනවා”

මෙම ප්‍රදාන මුදල් ආසියා-පැසිෆික් ආපදා ප්‍රතිචාර අරමුදල (APDRF) වෙතින් ලබා දෙනු ඇත. මෙම අරමුදල, ස්වභාවික උපද්‍රව හේතුවෙන් ඇතිවන ප්‍රධාන ආපදාවලින් පසු වහාම ජීවිතාරක්ෂක කටයුතු සඳහා සංවර්ධනය වෙමින් පවතින සාමාජික රටවලට කඩිනම් ප්‍රදාන ලබා දෙයි.

ගංවතුර හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වී ඇති අතර දේපළ හා යටිතල පහසුකම්වලට ද බරපතළ හානි සිදුව ඇත. මෙම ප්‍රදානය මගින් ශ්‍රී ලංකාවේ හදිසි සහ මානුෂීය මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය සහයෝගයක් ලැබෙනු ඇත.

රංග සිරිලාල්ට EPF හිඟ සහ වන්දි ගෙවන ලෙස රොයිටර්ස්ට අධිකරණයෙන් නියෝග!

ලෝක ප්‍රකට පුවත් ආයතනයක් වන රොයිටර්ස් (Reuters) හි හිටපු ශ්‍රී ලංකා වාර්තාකරු වූ රංග සිරිලාල්ට හිමි විය යුතු රුපියල් 6,217,146 ක සේවක අර්ථසාධක අරමුදල් (EPF) හිඟ මුදල් සහ අලාභ වන්දි ගෙවන ලෙස කම්කරු කොමසාරිස්වරයා දුන් නියෝගයට එරෙහිව Refinitiv Limited (කලින් Reuters) සමාගම ගොනු කළ රීට් පෙත්සමක් ඊයේ (දෙසැම්බර් 02) අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

විශේෂත්වය වන්නේ, සමාගම සිරිලාල් මහතාට රුපියල් 100,000ක වියදමක් (exemplary costs) ගෙවන ලෙස ද අභියාචනාධිකරණය නියෝග කිරීමයි.

🛑 නිදහස් සේවකයෙක් නොවේ: අධිකරණයේ තීන්දුව

අධිකරණය හමුවේ Refinitiv සමාගම තර්ක කළේ සිරිලාල් මහතා ඔවුන්ගේ සේවකයෙකු නොවී නිදහස් සේවකයෙකු (freelancer) ලෙස කටයුතු කළ බවත්, එම මුදල් ගෙවීමට කම්කරු කොමසාරිස්වරයාට බලයක් නොමැති බවත්ය.

කෙසේ වෙතත්, අභියාචනාධිකරණය (විනිසුරු ආචාර්ය ආදිත්‍ය පටබැඳිගේ සහ විනිසුරු ධම්මික ගනේපොල) මෙම තර්කයන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය.

  • ආයතනික අඛණ්ඩතාව: සමාගම් සමූහයක ආයතන දෙකක් අතර සිරිලාල් මහතා මාරු කිරීම ඔහුගේ සේවයේ අඛණ්ඩතාවට බාධාවක් නොවූ බව අධිකරණය පෙන්වා දුන්නේය.

  • වසර 13ක සේවය: 2005 සිට 2018 දක්වා වාර්ෂිකව අලුත් කරන ලද ගිවිසුම් යටතේ සිරිලාල් මහතා මෙම ආයතනය සමඟ කටයුතු කර ඇති අතර, එවැනි දිගුකාලීන, අඛණ්ඩ නියැලීමක් ‘නිදහස් සේවක’ තත්ත්වයට කිසිසේත් නොගැලපෙන බවට අධිකරණය තීරණය කළේය.

  • සේව්‍ය පාලනය: සමාගම් උපකරණ, මාධ්‍ය හැඳුනුම්පත්, අභ්‍යන්තර මුරපද ලබා දීම සහ සංස්කාරක, සන්නිවේදන, ආරක්ෂක සහ දත්ත ආරක්ෂණ ප්‍රතිපත්තිවලට අනුකූල වීමට අවශ්‍ය වීම, සේව්‍ය පාලනයේ “සම්භාව්‍ය දර්ශක” ලෙස අධිකරණය නම් කළේය.

තවද, සිරිලාල් මහතාට බාහිර කටයුතුවලට සීමා පැනවීම සහ ඒ සඳහා අත්තිකාරම් අනුමැතිය අවශ්‍ය කිරීම, “සේවා ගිවිසුමකට වඩා සේවායෝජක-සේවක සම්බන්ධතාවයක පැහැදිලි දර්ශකයක්” බවට අධිකරණය ප්‍රකාශ කළේය.

⌚ වසර 2ක ප්‍රමාදය: ‘කවටකමක්’ ලෙස බැහැර කරයි!

කම්කරු නිලධාරියාගේ නියෝගය 2022 ජනවාරි 28 දින නිකුත් කර තිබියදී, පෙත්සම 2024 සැප්තැම්බර් 11 වන දින ගොනු කිරීමේදී සිදුවූ වසර දෙකකට ආසන්න ප්‍රමාදයට Refinitiv සමාගම දැක්වූ හේතුව ද අධිකරණය විසින් දැඩිව විවේචනයට ලක් කර ඇත.

“එක්සත් රාජධානියෙන් උපදෙස් ලබා ගැනීමට ප්‍රමාද වූ” බවට සමාගම දුන් පැහැදිලි කිරීම, “මුළුමනින්ම ඒත්තු ගැන්විය නොහැකි” බව අධිකරණය පෙන්වා දුන්නේය. ඩිජිටල් යුගයේ, විශේෂයෙන්ම ජාත්‍යන්තරව පිළිගත් මාධ්‍ය ආයතනයක් වන රොයිටර්ස් වෙත උපදෙස් ලබා ගැනීමට වසර දෙකකට වඩා වැඩි කාලයක් ගතවිය නොහැකි බව අධිකරණය ප්‍රකාශ කළේය.

පෙත්සම්කරුගේ මෙම ක්‍රියාව රීට් බල සීමාව අනිසි ලෙස භාවිතා කිරීමක් සහ සිරිලාල් මහතාගේ නීත්‍යානුකූල හිමිකම්වලට අසාධාරණයක් කිරීමක් බවට අභියාචනාධිකරණය අවධාරණය කළේය.

ආපදා සහන මෙහෙයුම්වලට ගුවන් හමුදාවට තිබුණේ හෙලිකොප්ටර් 4ක් පමණයි!

පසුගිය දින කිහිපය පුරා රටට බලපෑ දරුණු ආපදා තත්ත්වය හමුවේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව (SLAF) සතුව ආපදා සහන මෙහෙයුම් සඳහා තිබී ඇත්තේ හෙලිකොප්ටර් යානා හතරක් (4ක්) පමණක් බවට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර විසින් අද (දෙසැම්බර් 03) පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කර තිබේ.

අමාත්‍යවරයා පැවසුවේ ගුවන් හමුදාව සතුව ආපදාවට පත් ජනතාව මුදා ගැනීමට යොදා ගැනීමට තිබී ඇත්තේ Bell 212 වර්ගයේ හෙලිකොප්ටර් දෙකක් (2ක්) සහ Mi-17 වර්ගයේ හෙලිකොප්ටර් දෙකක් (2ක්) පමණක් බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, “අත්‍යවශ්‍ය ගුවන් යානා නොමැතිවීම හේතුවෙනුයි ආණ්ඩුවට සහන කටයුතු සඳහා ජනාධිපති ආරක්ෂක (VIP) හෙලිකොප්ටර් පවා යොදා ගැනීමට සිදුවූයේ” යනුවෙනි.

කෙසේ වෙතත්, හමුදාව ආපදාවට පත් ජනතාව මුදා ගැනීමට තම උපරිමය සිදුකළ බවත්, ආපදාව නොවැම්බර් 26 වනදා ඇති වූ මොහොතේ සිටම හමුදාව ක්‍රියාත්මක වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජනපතිට අපහාස කරන අයට විරුද්ධව හදිසි නීතිය යටතේ ක්‍රියා කරනවා..!

ජනාධිපතිවරයා සහ රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කරන අපහාසාත්මක සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා හදිසි රෙගුලාසි පැනවීමට පොලිසියට උපදෙස් දී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

පොලිස් නිලධාරීන් සමග පැවති හමුවකදී මෙම උපදෙස් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අනතුරු ඇඟවූයේ, ජනාධිපතිවරයාට සහ තෝරාගත් රජයේ චරිත කිහිපයකට එරෙහිව “ඉතාම ද්වේෂ සහගත ප්‍රහාර” අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවයි.

මෙම ප්‍රචාරණ ව්‍යාපාරවලින් බොහොමයක් විදේශයන්හි සිටින පුද්ගලයන්ගෙන් ආරම්භ වන බවත්, මෙම අන්තර්ගතයන් අඛණ්ඩව සංසරණය වීම මහජන ආරක්ෂක පනතේ 5 වන වගන්තිය යටතට වැටෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“මෙය තවත් දිනක් හෝ දෙකක් පැවතියහොත්, ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නියෝග සහ හදිසි රෙගුලාසි මෙම තත්ත්වය පැහැදිලිව ආවරණය කරනවා,” යැයි ඔහු පැවසීය. “කිසිදු පුද්ගලයෙකුට අන්තර්ජාල වේදිකා හෝ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (AI) භාවිතයෙන් අසත්‍ය තොරතුරු පැතිරවීමට, කරුණු විකෘති කිරීමට හෝ තත්ත්වය අඩපණ කරන ප්‍රචාරණ කටයුතුවල නිරත වීමට අවසර නැත.”

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නීති උල්ලංඝනය කිරීම්වලට වසර පහකට වැඩි සිර දඬුවම් ලැබිය හැකි බවත්, ඇතැම් වරදවල් සඳහා වසර දහයක් දක්වා සිර දඬුවම් පැනවිය හැකි බවත්ය. ඒ අනුව, මෙම අපහාසාත්මක සහ නොමඟ යවන සුළු ප්‍රචාරණ සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට උපදෙස් දී තිබේ.

ආපදාවට ලක් වූ සිසු දරුවෙකුට ආණ්ඩුවෙන් විසිපන්දාහක්..!

ගංවතුර හා නායයෑම් හේතුවෙන් විපතට පත් වූ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා එක් දරුවෙකුට රුපියල් 25,000 බැගින් වූ මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, මෙම මුදල ජනාධිපති අරමුදලින් ලබා දීමට තීරණය කර ඇති බවයි. මෙය, ආපදාවෙන් විනාශ වූ හෝ අහිමි වූ පාසල් පොත්පත්, ලිපි ද්‍රව්‍ය සහ අනෙකුත් අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විශාල දිරියක් වනු ඇත.

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පාසල් වසා දැමීමට සිදුවූ අතර, ඊට අමතරව 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ද අතරමගදී කල් දැමීමට රජයට සිදුවිය. මෙමගින් දරුවන්ගේ අධ්‍යාපනයට සිදුව ඇති බලපෑම අවම කිරීම මෙම සහන වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

විපතට පත් දරුවන් සහ පවුල්වලට සහනයක් ලබා දීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් මෙම මුදල ලබා දෙන ආකාරය පිළිබඳ නිශ්චිත යාන්ත්‍රණය සහ මාර්ගෝපදේශ ඉක්මනින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන බලධාරීන් හරහා දැනුම් දෙනු ඇත.

කඩුවෙල – අතුරුගිරිය අධිවේගී පිවිසුම යළි විවෘත කරයි

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම සහ පිටවීම මෙන්ම අතුරුගිරිය පිවිසුම සහ පිටවීම ද අද (03) දින සිට සාමාන්‍ය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබේ.

මෙම පිවිසුම් දෙක වසා දැමීම හේතුවෙන් දින කිහිපයක් තිස්සේ අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ට විශාල අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවිය. මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සහ පොලීසිය ඒකාබද්ධව ජලය බැස යාම සහ මාර්ග පවිත්‍ර කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

කඩුවෙල සහ අතුරුගිරිය පිවිසුම් යළි විවෘත කිරීමත් සමඟ, දක්ෂිණ අධිවේගී මාර්ගය (E01) ඔස්සේ ගමන් ගන්නා මගීන්ට මෙන්ම කොළඹ නගරයට පිවිසෙන රියදුරන්ට ද විශාල සහනයක් ලැබෙනු ඇත.

කෙසේ වෙතත්, අතුරුගිරිය පිවිසුමෙන් මාතර දෙසට වාහන ඇතුළු කරන කොටසේ තවමත් ගංවතුර සම්පූර්ණයෙන්ම බැස ගොස් නොමැති බවට වාර්තා පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. එබැවින් අධිවේගී මාර්ග භාවිතා කරන්නන් දැඩි කල්පනාකාරීව ගමන් කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.

Add to cart