ලුතිනන් කොයාන්ට ඇමරිකානු SEAL ලාංඡනය

ඇමරිකානු නාවුක සීල් (US NAVY SEAL) පුහුණු වැඩසටහන සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයට (Special Boat Squadron) අයත් ලුතිනන් කොයාන් චමිත් සමත්ව තිබේ.

ඇමරිකානු නාවික හමුදාව යටතේ ලොව දරුණුතම හමුදා පුහුණු වැඩසටහන් වලින් එකක් ලෙස සැලකෙන මාස 14ක් පුරා පැවති දැඩි පුහුණුවකින් අනතුරුවයි ලුතිනන් චමත්ට SEAL ලාංඡනය පිරිනැමුනේ.

අගමැති මෝදි ගාන්ධිව පසුකරයි

ඉන්දීය ඉතිහාසයේ දෙවැනි දීර්ඝම කාලයක් අගමැති ධුරය දැරූ අගමැතිවරයා බවට වත්මන් අගමැති නරේන්ද්‍ර සිං මෝදි ඊයේ පත්විය. ඒ 1966 වසරේ ජනවාරි 24 වැනිදා සිට 1977 වසරේ මාර්තු 24 වැනිදා දක්වා වූ කාලයේ දී එක දිගට දින 4077ක් (වසර 15කුත් දින 350ක් ) අගමැති ධුරය දැරූ ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරියගේ ධූර කාලසීමාව පසුකර යමිනි.

ඊයේ දිනය වන විට මෝදි අග්‍රාමාත්‍යවරයා දින 4078ක් එක දිගට අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිට ඇත. 2014 වසරේ මැයි 26 වැනිදා සිට එකදිගට මේ දක්වා ඉන්දීය අගමැතිවරයා වශයෙන් කටයුතු කරන අතර ඔහු 2014, 2019 හා 2024 වසරවල පැවති ඉන්දීය මහා මැතිවරණවලදී අගමැති ධුරයට තේරී පත්ව තිබේ.

ඉන්දියාවේ මෙතෙක් වැඩිම දින ගණනක් අගමැති ධුරය දරා ඇත්තේ එරට ප්‍රථම අගමැතිවරයා වන ශ්‍රී ජවහල්ලාල් නේරු තුමා විසින් වන අතර ඔහු විසින් එකදිගට වසර 16කුත් දින 286ක කාලයක් එම ධුරයේ කටයුතු කර තිබේ.

වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගතකරන්නේ ඔහුගේ තෙවැනි ධූර කාලයයි.

කාම්බෝජය සටන් විරාමයක් ඉල්ලයි

තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ පවතින යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය කොන්දේසි විරහිතව තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා තිබේ.එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා උපුටා දක්වමින් ආසියානු මාධ්‍ය සදහන් කරන්නේ යුද ගැටුම්වලට සාමකාමී විසඳුමක් කාම්බෝජය බලාපොරොත්තු වන බවයි.

කාම්බෝජයේ ඉල්ලීමට තායිලන්තය මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැත.

ඔවුන් මේ වනවිටත් කාම්බෝජයට මායිම්ව ඇති දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත්කර ඇත. පසුගිය දින දෙකක් පුරා පැවැති මෙම යුද ගැටුම් හේතුවෙන් දෙරටේම අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තවත් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වී සිටියි.

 

 

ජනපති Zoom හරහා ඇමරිකාව අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා අතර මාර්ගගත සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙරටට පනවා ඇති තීරුබදු අඩු කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.

වසන්ත,මහින්ද,රන්ජන්ට අධිකරණ නියෝගයක්

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර උද්ධෘත ගොනු කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා අද (ජූලි 25) කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළාය.

ඒ මෙම නඩුවට අදාල නීතිකෘත්‍ය අද කැදවූ අවස්ථාවේදීයි.

පොදු සමාව අවභාවිතකල පුද්ගලයා අවුරුදු 07ක් හිරේ

ජනාධිපති පොදු සමාව යටතේ අනීතිකව අනුරාධපුර බන්ධනාගාරයෙන් මුදාහැරි ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නැමැත්තාට බරපතළ වැඩ සහිතව වසර 07ක සිරදඬුවමක් නියම කර තිබේ.

අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා විසින් අද(25දා) මෙම නියෝගය ලබා දුන්නේය.

ජනසම්මතවාදී ව්‍යාවස්ථාවකට රජයේ අවධානය

මෙරට බිහි නොවූ ජනසම්මතවාදී ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාකශය මඟින් පොරොන්දු වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන දින වකවානු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී. පෙරේරා මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

නව රජය බලයට පත් වීමෙන් පසු සම්මත වූ සහ සංශෝධනය වූ නවඅනපනත් ගණන 08කි. එසේම තවත් සැලකියයුතු අනපනත් සංඛ්‍යාවක් කෙටුම්පත්කරමින් පවතින බවද ඇය පැවසුවාය. ඒ අනුව විධිමත්ව සහ ක්‍රමානුකූලව අත්‍යාවශ්‍ය නීති සහ අනපනත් සංශෝධනය කරමින් නව නීති කෙටුම්පත් කරමින් කඩිනම් විසඳුම් ලබා දිය යුතු ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කර ඇත. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සුදුසු පරිදි සිදුකරන බවද ඇය පැවසුවාය.ඒ සඳහා මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

රාජිතගේ අපේක්ෂිත ඇප අගෝස්තු 07 කැඳවයි

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ගොනුකල පෙත්සම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිෂ්ප්‍රභා කරමින් ලබාදුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරයා කොළඹ මහාධිකරණය වෙත ගොනුකල ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමට අද තීරණය කෙරිණ.

අගෝස්තු මස 07 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අදාළ පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස නම් කර තිබූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නොතිසි නිකුත් කරන ලෙස අධිකරණය දැනුම් දෙනු ලැබීය.

ආයෝජන ගැන හොයන්න ජපානයෙන් දූතයින් එයි

ශ්‍රී ලංකාව තුළ ජපන් ආයෝජන පුළුල් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි ජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ජපානයේ වෙළෙඳ ,වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

මෙරට තුළ ආයෝජන ක්ෂේත්‍රයේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කළ ජපන් දූත පිරිස ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටද නියමිතය.

පී.දයාරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු සෞඛ්‍ය, පෝෂණ සහ සුබසාධන අමාත්‍ය පී. දයාරත්න ජීවිතක්ෂයට පත්ව තිබේ.එක්සත් ජාතික පක්ෂය (UNP) නියෝජනය කළ දයාරත්න අමාත්‍යවරයා මියයන විට 89 වෙනි වියෙහි පසුවිය.

1936 ඔක්තෝබර් 1 උපත ලබා ඇති ඔහු ඔහු 1977 මහ මැතිවරණයෙන් අම්පාර ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, 1994, 2000, 2001, 2004 සහ 2010 වසරවලදී ද නැවත තේරී පත් වුණා.

Add to cart