ගීතාට IMF එක එපාම වෙයි

IMF හී පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස එක්වීමේ අරමුණින්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඊයේ (21) ඒ බව නිවේදනය කර ඇත.

රජයේ රෝහල් ගණනාවකට පිළිකාවකින් අසාධ්‍යයි

මහරගම අපේක්ෂා, මහනුවර ජාතික රෝහල, ගාල්ල, යාපනය හා මඩකළපුව රෝහල්වල ඇති පිළිකා ප්‍රතිකාර සඳහා භාවිතා කරන ලිනියර් ඇක්සලරේටර් යන්ත්‍ර අක්‍රීය තත්ත්වයකට පත්ව ඇතැයි අනාවරණය වෙයි.

මෙයට ප්‍රධානම හේතුව වී ඇත්තේ මේවා සඳහා සේවා හා නඩත්තු ගිවිසුම් නොමැතිවීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් හා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන් අතර කාලයක් තිස්සේ සිදුවූ කඹ ඇදීම්ය. මෙම යන්ත්‍ර සඳහා වසර පහක වගකීම් කාලයක් තිබුණු අතර මෙම කාලය ඉක්මවා වසර කිහිපයක් ගත වුවද, මෙම යන්ත්‍ර වගකීම් කාලයෙන් පසුව අමාත්‍යාංශය භාර ගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් මෙම තත්ත්වය පැනනැඟී ඇත. තවමත් මෙම යන්ත්‍ර සඳහා සේවා හා නඩත්තු ගිවිසුම් අත්සන් කිරීම සඳහා කල් වරමින් සිටින අතර නඩත්තු කටයුතු නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමෙන් යන්ත්‍රවල බරපතළ ගැටලු ඇතිවී ඇත. මේ නිසා පිළිකා රෝගීන්ට දැඩි අපහසුතාවයකට මුහුණ දීමට සිදුවී ඇත.

ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ තවත් යල්පැනගිය විකිරණ ප්‍රතිකාර වන කොබෝල්ට් 60 යන්ත්‍ර 08ක් මගින් තවමත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමයි. මෙම යන්ත්‍ර බොහෝ ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා සුදුසු නොවන අතර ඉන් කිහිපයක් දැනටමත් පූර්ණ වශයෙන් අක්‍රිය වී ඇත. ඒ එම යන්ත්‍රවල ප්‍රතික්‍රීයක අවසන් වීම නිසාය. මේනිසා ඌව පළාතේ සහ උතුරු මැද පළාතේ විකිරණ ප්‍රතිකාර සඳහා කිසිම පහසුකමක් නොමැති වීමෙන් එම රෝගීන්ට ප්‍රතිකාර සඳහා වෙනත් පළාත්වලට යෑමට සිදුවී ඇත. මෙම යන්ත්‍ර වෙනුවට නව යන්ත්‍ර සැපයීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ දැඩි අකාර්යක්ෂමතාවය නිසා වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතී.

මෙම රජය බලයට පැමිණීමෙන් පසුව, දැනට ක්‍රියාත්මක යන්ත්‍ර උත්ශ්‍රේණිගත කිරීම සඳහා ගිවිසුම් අත්සන් කොට ඇත්තේ 2025 ජනවාරි මස වුවත් මේ දක්වා එහි කිසිම ප්‍රගතියක් නොමැත.

මූලාශ්‍රය : දිවයින පුවත්පත

සුහුරු කාණුව අරන් නදීශා පරිසර අමාත්‍යාංශයට

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය World Intellectual Property Organization (WIPO) විසින් පිරිනැමෙන 2025 “ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මාන”උළෙලේ (WIPO Global Awards 2025) “පාරිසරික අංශය” සඳහා වන සම්මානය දිනා ගැනීමට සමත් වූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අතර හමුවක් අද සිදුවිය. ඒ පරිසර අමාත්‍යාංශයේදීයි.

ඇය විසින් නිපදවන ලද මෙම සුහුරු කාණුව මගින් නගර ආශ්‍රිතව පවතින විවෘත කාණු තුළ ප්ලාස්ටික් සහ පොලිතින් සිර වීමෙන් නිතර ජල ගැලීම් ඇතිවීම වැළැක්වීම සඳහා සාර්ථක විසඳුම් ලබා දී ඇත. විශේෂයෙන් පොලිතින් සහ ප්ලාස්ටික් සිරවීම හේතුවෙන් නගර ආශ්‍රිතව ඇති විවෘත කාණුවල එම අපද්‍රව්‍ය සිරවීමෙන් නිතර ජල ගැලීම්වලට ලක්ව තදබදයට ලක්වෙන අතර පොලිතින් සහ ප්ලාස්ටික් පෙරීමට ලක්කර වර්ෂාවෙන් ලැබෙන වර්ෂා ජලය දෙවැනි තට්ටුවකින් ගලා යාම මෛ සුහුරු කාණු පද්ධතිය හරහා සිදුවන අතර ලොව පළමු තට්ටු දෙකේ ස්මාර්ට් කාණුව ලෙස මෙය හඳුනා ගනු ලබයි.

නදීශා මහත්මිය විසින් ඉදිරියේ දී පරිසර අමාත්‍යංශය සමඟ මෙම නිෂ්පාදනයට අදාළ ප්‍රායෝගික භාවිතයන් සිදු කිරීමට සිය කැමැත්ත පළ කළ අතර පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය සඳහා පරිසර අමාත්‍යංශය විසින් සිදු කරනු ලබන වැඩසටහන් සඳහා ඇයගේ දායකත්වය ලබා දීම පිළිබඳ මෙම හමුවේ දී වැඩිදුරටත් කරුණු සාකච්ඡා කෙරිණ.

 

රත්තරංගේ දුවට බෑණට රට ගමන් තහනමක්

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබේ.

ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුවය.

මේව ආතල් කාන්තගේ සුන්දර කතානේ (VIDEO)

වැව් අයිනේ තියෙන හොටෙල් ඔක්කොම අයින් කරනවා කියලා අමාත්‍ය ලාල් කාන්ත කියනවා පුළුවන්නම් ඩඩ්ලි සිරිසේනගේ අරලිය හොටෙල් එක අයින් කරලා පෙන්නන්න බොරුවට රෑ ගානේ හොටෙල්වල ඒ අයත් එක ඉඳලා දවල්ට මාධ්‍යයට ඇවිල්ල මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසයි.

අද දින ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

සිරිමාවෝට අදට අවුරුදු 65යි

1960 ජූලි 21 වැනිදා ලොව ප්‍රථම අගමැතිනිය ලෙස ලොව සමස්ත කාන්තා පරපුරට මෙන්ම ශ්‍රී ලංකාවටද අභිමානයක් අත්කර දෙමින් සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක මැතිනිය පත්වූයේ අද වැනි දවසකය.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවැති ශ්‍රී ලංකාවට ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දෙමින් ස්වාධීන රාජ්‍යයක් බවට පත්කිරීමේ ප්‍රමුඛතම කාර්ය සඳහා නායකත්වය ලබා දුන්නේ ද සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක මැතිනියයි.

කාන්තාව පිළිබඳ ලෝක දේශපාලනයේ එතෙක් පැවති සම්ප්‍රදායික පදනම බිඳ දමා කාන්තාවන්ටද රාජ්‍ය නායකත්වය තුළ දස්කම් පාන්නට හැකි බව මුල්වරට ලොවට කියා දීමට එතුමිය සමත්විය.

සමාජවාදයට නැඹුරු ජාතිකවාදී දේශපාලන ප්‍රතිපත්තිය මත කටයුතු කළ මැතිනිය යටත්විජිතවාදී පාලනය විසින් හඳුන්වා දුන් යැපුම් ආර්ථිකය වෙනුවට දේශීය නිෂ්පාදනය පදනම් කරගත් ජාතික ආර්ථිකයක් සඳහා පදනම දැමීමට කටයුතු කළාය.

බද්ධ අඩුකරගන්න ට්‍රම්ප් ගෙන් තෙල් ගන්න යයි

අමෙරිකා එක්සත් ජනපදයේ US West Texas Intermediate (WTI) මෙරට බොරතෙල් මිලදී ගැනීමේදී ටෙන්ඩර් ක්‍රියාවලියට ඇතුලත් කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කරනු ලබන්නේ ගල්ෆ් කලාපය තුළිනි. ඊට අමතරව අමෙරිකාවේ ලියාපදිංචි වී ඇති බොරතෙල් සඳහා ද මින් ඉදිරියට ටෙන්ඩර් ක්‍රියාවලියට එක්වීමට අවස්ථාවට මේ වනවිට සාකච්ජා කරන බව එම ආර\ම්චිමාර්ග සඳහන් කරයි. එලෙස සිදුකරනු ලබන්නේ අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින වෙළෙඳ හිඟය අඩු කිරීමේ උත්සාහයක් ලෙසිනි.

ඡන්දය නොදැම්මොත් දඩ ගහනවා

මැතිවරණයකදී රටේ ලියාපදිංචි ජන්දදායකයන්ට ජන්දය භාවිත කිරීම අනිවාර්ය කරමින් ඡන්දය භාවිත නොකරන්නන්ට එරෙහිව දඩයක් නියම කිරීමට ඉදිරියට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ 2026 – 2029 කාලය සඳහා උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් අදහස් විමසීමට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ශ්ව කණ්ඩායම් සමග දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී පැැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඉදිරියට තවත් අවුරුදු තුන හතරක් යනකල්ම රටේ ඡන්දයක් නොපැවැත්වෙන බවද හෙතෙම මෙහිදී ප්‍රකාශ කරන ලදි. මෙහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

අපේ දෙපාර්තමේන්තුවේ දැක්ම, සිහිනය තමයි මේ රටේ සර්වජන ජන්ද බලය සුරැකීම. ඒ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට නම් මේ තියෙන කාලය ප්‍රයෝජනයට අරගෙන ඒ සඳහා අවශ්‍ය උපාය මාර්ගික සැලැස්මක් සකස් කළ යුතුයි. අප මේ විදිහට ඔබ හමුවෙලා කරන්නේ ඊට අවශ්‍ය අදහස් ලබා ගැනීමයි. ‍‍

අපිට මේ රටේ ඉදිරි මැතිවරණ සඳහා නව නීති රීති සකස් කිරීම අවශ්‍යයි. මේ සඳහා මැතිවරණ කොමිසම විදිහට අපි වැඩි බරක් දරනවා. ඒ අනුව මැතිවරණ නීති සකස් කිරීමට සහ වෙනස් කිරීමට තියෙන හොඳම කාලය තමයි මේක. මේ ආණ්ඩුවට තුනෙන් දෙකක පැහැදිලි බලයක් තියෙනවා. ඒ නිසා මේ නීති සම්මත කර ගැනීම පහසුයි. මැතිවරණයක් යනු සම්පූර්ණයෙන්ම නීතිමය ක්‍රියාවලියක්. මේ නිසා අනිවාර්යයෙන්ම මැතිවරණ සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ ගෙන ආ යුතුයි. නීතියක් නැතිව මැතිවරණයක් පවත්වන්න බැහැ. අපි මේවනවිට රජයට යෝජනා 42 ක් භාර දීලා තියෙනවා. ඒ සියල්ලම නීතිමය කරුණු.

අස්ගිරි අනුනාහිමියෝ අපවත් වෙති

අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදසිස් නායක ස්වාමින් වහන්සේ අභාවප්‍රාත්ත වූහ. අපවත්වන විට උන්වහන්සේ 67 වෙනි වියෙහි පසුවූහ.

වයඹ ඇත්කඳ රාජමහා විහාරාධිපති ලෙස වැඩ විසූ උන්වහන්සේ අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස රාජකාරී කොට ඇත. ආදාහන පූජෝත්සවය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

ස්ටාලින්ගෙන් දැවැන්ත විරෝධතා මාලාවක්!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා නොකළහොත් දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අනතුරු අඟවයි.

ස්ටාලින් පෙන්වා දෙන්නේ රජය ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වසර කිහිපයකට පෙර ආචාර්ය උපාලි සේදුරයන් විසින් නිර්දේශ කරන ලද එකක් බවත්, කිසිදු පාර්ශ්වයක අදහස් විමසීමකින් තොරව එය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය පිළිගත නොහැකි බවත්ය.

ලබන වසරේදී 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ප්‍රතිසංස්කරණ සඳහා ගුරු පුහුණු වැඩසටහන් හෝ ජාතික අධ්‍යාපන ආයතනය දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවද ඔහු සඳහන් කළේය.

ස්ටාලින් අවධාරණය කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් විභාග ගැටලු, ළමුන් ඇතුළත් කිරීමේ ප්‍රශ්න, විශ්වවිද්‍යාල ප්‍රවේශයේ තරගකාරීත්වය සහ කුසලතා සංවර්ධනය වැනි ප්‍රධාන ගැටලු පහකට විසඳුම් ලබාදිය යුතු බවයි. එසේ නොවුවහොත් විශ්වවිද්‍යාල, පාසල්, ගුරු-දෙමව්පියන් සහ වෘත්තීය සමිති ඇතුළු සියලු පාර්ශ්ව එක්ව දැවැන්ත විරෝධතා දියත් කිරීමට සිදුවන බවද ඔහු අනතුරු ඇඟවීය.

Add to cart