ලාල්..! කයිවාරු නැතුව පුළුවන් නම් සුදු අරලිය හෝටලේ ඉවත් කරලා පෙන්වන්න..!

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පෙරේදා (ජූලි 18) ප්‍රකාශ කළ වැව් රක්ෂිත ඉඩම් ආක්‍රමණය කර ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කරන බවට වූ ප්‍රකාශයට මේ වන විට දැඩි අභියෝගයක් එල්ල වී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ (ජ.වි.පෙ.) හිටපු මධ්‍යම කාරක සභිකයෙකු ද, වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉන්ද්‍රානන්ද සිල්වා අමාත්‍යවරයාගේ ප්‍රකාශය “කයිවාරුවක්” ලෙස හඳුන්වමින්, පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ ඉදිකර ඇති ප්‍රකට “සුදු අරලිය” හෝටලය ඉවත් කරන ලෙසට සෘජුවම අභියෝග කර ඇත.

ඉන්ද්‍රානන්ද සිල්වා වැඩිදුරටත් අවධාරණය කළේ, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට අයත් “සුදු අරලිය” හෝටලයේ එළිමහන් පිරිස් රැස් වන ස්ථානයට ජලය පිරුණු වහාම පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් විවෘත වන බවට පැතිර යන කතාව, නිසි වැසි නොමැති වුවද සිදුවන බවයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ගොවීන් පවා පුදුමයට පත්ව සිටින බව ඔහු පෙන්වා දෙයි.

“කයිවාරු නොගසා, ක්‍රියාවෙන් පෙන්වන්න!” යැයි ඉන්ද්‍රානන්ද සිල්වා අමාත්‍යවරයාට අභියෝග කරයි. මෙය වැව් රක්ෂිත ඉඩම් ආක්‍රමණය සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සමාජයේ පවතින උණුසුම් කතිකාව තවදුරටත් අවුලුවාලන සිද්ධියක් බවට පත්ව තිබේ.

නිලන්ත පොලිස් සේවයෙන් පහ කරන්න හේතුව

අවුරුදු ගණනාවක් පුරා මහජන පීඩනයට සහ වින්දිතයන්ගේ පවුල්වල, ආගමික නායකයින්ගේ සහ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නැවත නැවතත් කළ ඉල්ලීම්වලට පසුව, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කර තිබේ.

2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සිදුකළ විනය පරීක්ෂණයකින් පසුව ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇති බව නිලධාරීහු සෙනසුරාදා (ජූලි 19) ප්‍රකාශ කළහ.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ SIS ප්‍රධානියා ලෙස කටයුතු කළ ජයවර්ධන මහතා, රට පුරා පල්ලි සහ හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ලැබී තිබූ ප්‍රධාන බුද්ධි තොරතුරු මත ක්‍රියා කිරීමට අපොහොසත් වී ඇති බවට සොයාගෙන තිබේ. මෙම ප්‍රහාරවලින් 260 කට අධික පිරිසක් මිය ගිය අතර සිය ගණනක් තුවාල ලැබූහ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු පැවසුවේ, “ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයවර්ධන මහතා සේවයෙන් පහ කිරීමට තීරණය කර ඇත්තේ විධිමත් විනය පරීක්ෂණයක සොයාගැනීම් මතයි” යනුවෙනි.

පසුගියදා පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවකින් ද බුද්ධි තොරතුරු බෙදාගැනීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ බරපතල අඩුපාඩු පෙන්වා දෙමින් ජයවර්ධන ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව අපරාධමය සහ විනය ක්‍රියාමාර්ග නිර්දේශ කර තිබුණි.

පොලිස් කොමිෂන් සභාව මෙම කාරණය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අපොහොසත් වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විවේචනය කිරීමෙන් පසු 2024 වසරේ දී ජයවර්ධන මහතා අනිවාර්ය නිවාඩු මත යොදවා තිබුණි. පසුව ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් නිකුත් කිරීමෙන් පසුව විනය පරීක්ෂණය ආරම්භ විය.

ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන්නේ ද යන්න මෙතෙක් පැහැදිලි නැත. නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ජයවර්ධනගේ භූමිකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් තවමත් සමාලෝචනය වෙමින් පවතින බවයි.

දේශීය ඉස්ලාම් අන්තවාදීන් විසින් සිදුකරන ලද 2019 පාස්කු බෝම්බ ප්‍රහාර, ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරවලින් එකක් ලෙස සැලකේ.

අර්ජුන මහේන්ද්‍රන්ට අලුත් රස්සාවක්

2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ “විස්ඩම් ඕක්”‍ නැමති ආයතනයේ ආයෝජන විශේෂඥයකු ලෙස රැකියාවේ නිරතවන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.

යම් යම් ආයතනවල සහ තැනැත්තන්ගේ ආයෝජන පාලනය කිරීම, මූල්‍ය සම්පත් කළමනාකරණය, කොටස් වෙළෙඳපොළ සහ බැඳුම්කර ආයෝජන සම්බන්ධ උපදේශකයකු ලෙස අර්ජුන් සේවය කරන බව මේ සම්බන්ධයෙන් පළ වූ සමාජ මාධ්‍ය ජාලා වාර්තාවල සඳහන්ය.

2016 වසරේ අරඹා ඇති මෙම ආයතනය සිංගප්පූරුවේ සහ හොංකොන් හි සිට ක්‍රියාත්මක වන බව දැක්වේ. දැනට මෙම සමාගම මගින් ඇමෙරිකන් ඩොලර් බිලියන 7 කට වැඩි ආයෝජන මෙහෙයවන බවද වාර්තා වේ.

2016 දී ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්ව සිංගප්පූරුවට ගිය හෙතෙම බැඳුම්කර වංචාවට අදාළ නඩු සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය උත්සාහ කළ ද මේ දක්වා සිංගප්පූරුව ඔහු ශ්‍රී ලංකාවට එවීම ප්‍රතික්ෂේප කිරීම නිසා කිසිදු බාධාවකින් තොරව එරට සේවයේ යෙදී සිටී.

ලෝකයේම පිරිමි හිඟයි

2025 ජූනි මාසයේ නිකුත් කල එක්සත් ජාතීන්ගේ ජනගහන වාර්තාව අනුව බිලියන 7.8 ක් වන ලෝක ජනගහනයෙන් බිලියන 5.6 ක් කාන්තාවන් වන අතර පිරිමි ජනගහනය බිලියන 2.2 ක් පමණි.

ලොව පිරිමි ගහණයෙන් බිලියනයක් විවාහකයන්ය. මිලියන 130 ක් සිරගතව සිටිති. මිලියන 70 ක් මානසික රෝගීන්ය. ඒ අනුව විවාහයට සුදුසු පිරිමින් සංඛ්‍යාව බිලියන එකක් පමණ වන පිරිසකි.

එම බිලියන එකෙන් 50% ක් රැකියා විරහිතයන්ය. 3% ක් සමලිංගිකයන් වන අතර 5% ක් කතෝලික පූජකවරුන්ය. 10% ක් ඥාතීන් වන අතර 32% ක් වයස අවුරුදු 60 ට වැඩිවූවෝ වෙති.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 23,231,193 කි. ඒ අනුව ලොව වැඩිම ජනගහනය සිටින රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 60 වැනි ස්ථානයේය. මෙම ජනගහනයෙන් මිලියන 11.99 ක් ( 51.63%) කාන්තාවන් වන අතර පිරිමින් සංඛ්‍යාව මිලියන 11.24 (48.37%) කි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් 100 කට සිටින පිරිමින් සංඛ්‍යාව 93.698 කි.

එබැවින්, ඕනෑම පිරිමියකු කෙරෙහි කාන්තාවන් තම චෛතසික ස්වභාවය පෙන්වීමේදී ඥානාන්විතව කටයුතු කළ යුතු බවට හා විවාහක සහ තනිකඩ කාන්තාවන් යන දෙපිරිසම පිරිමින්ට ගෞරවයෙන් සැලකිය යුතු බවට එම වාර්තාව අනතුරු අඟවා තිබේ.

කොළඹ සැලැස්ම කොළඹදී සැමරේ

රජය පුළුල් පරාසයක ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි. අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සැලැස්මේ 74 වන සංවත්සරය කොළඹදී පැවැති අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලේය.

පොලිසිය, හමුදා සහ බුද්ධි සේවා අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම, නව නීති හඳුන්වා දීම, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධාන අකර්මන්‍ය කිරීම සඳහා නවීන තාක්‍ෂණය උපයෝගී කර ගැනීම සහ බන්ධනාගාර පද්ධතිය තුළ දූෂණය තුරන් කිරීම සඳහා තීරණාත්මක පියවර ගණනාවක් මේ වන විට රජය ගනිමින් පවතින බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

කොළඹ සැලැස්මේ කවුන්සිලයේ සභාපති, ඇමරිකානු තානාපති ජූලි චුන්ග්, කොළඹ සැලැස්මේ මහලේකම් අතිගරු ආචාර්ය බෙන්ජමින් පී. රේස් යන මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට එක්වූහ.

බන්ධනාගාර හවුස් ෆුල්

බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් ගණන 33,095ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි පවසයි. මෙම ගණනය කිරීම ඉකුත් 17 වෙනිදා සිදුකර ඇති අතර සියළුම බන්ධනාගාර උපරිම සීමාව ඉක්මවා ඇති බව සඳහන්.

වැඩිම රැඳවියන් පිරිසක් රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේයි. එම ගණන 3,557ක් වේ.එහෙත් එම බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි රැඳවියන් ගණන 750ක් බවයි. රැඳවියන් 625ක් රඳවා තැබිය හැකි කොළඹ මැගසින් බන්ධනාගරයේ මේ වන විට රඳවා සිටින රැඳවියන් ගණන 2,985කි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ද රැඳවියන් 2,426ක් රඳවා සිටින අතර, බන්ධනාගාර ආරංචි පැවසුවේ, එහෙත් එම බන්ධනාගාරයේ රැඳවිය හැකි රැඳවියන් ගණන 385ක් බවයි.

බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ , වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රැඳවිය හැකි කාන්තා රැඳවියන් ගණන 220ක් වුවද මේ වන විට කාන්තා රැඳවියන් 561ක් එහි රඳවා සිටින බවයි .

 

සිංගප්පූරුවට සයිබර් ප්‍රහාරයක්!

සිංගප්පූරුවේ රාජ්‍ය ආයතන ඇතුලු ප්‍රධාන පද්ධති විශාල ප්‍රමාණයක් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. විදෙස් මාධ්‍ය උපුටා දක්වන්නේ එරට ජාතික ආරක්ෂාව පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය කේ ෂන්මුගම් මහතා මේ බව සනාථ කල බවයි.

අදාළ සයිබර් ප්‍රහාරය කළ පාර්ශවය UNC 3886 ලෙස හඳුනාගෙන ඇති අතර සිංගප්පූරුවේ ආරක්ෂක, දුරකථන සමාගම්, තාක්ෂණ සංවිධාන ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවල පද්ධති වලට ඉන් බලපෑම් එල්ල වී තිබේ.

මාස 06ට අලි මරණ 225ක්

මේ වසරේ ගතවූ කාලසීමාව තුළ වනඅලි 225ක් මියගොස් ඇති බව පරිසරවේදී නයනක රන්වැල්ල ප්‍රකාශ කරයි. ඊයේ දිනයේත් උතුරු දුම්රිය මාර්ගයේ, ගල්ලෑල්ල දුම්රිය ස්ථානයට ආසන්නයේ සුදු නෙළුම්ගම ප්‍රදේශයේදී කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා සීඝ්‍රගාමි දුම්රියේ වන අලියෙකු ගැටීම හේතුවෙන් වන අලියෙකු ජීවිතක්ෂයට පත්විය.

එම සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බව වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ ප්‍රකාශ කරයි.

ඇමරිකාවේ පිපිරීමක් පොලීසියේ 03ක් මරුට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හී ප්‍රාන්ත ෂෙරීෆ් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පිපිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

වාහන නැවැත්වීමේ ස්ථානයක මෙම පිපිරුම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛද්‍ය සැපයුම් ඒකකයේ වෙබ් අඩවියට අසාධ්‍යයි

වෛද්‍ය සැපයුම් ඒකකයේ වෙබ් අඩවිය අක්‍රීය තත්ත්වයට පත්ව ඇති නිසා ඖෂධයක් ගුණාත්මක භාවයෙන් අඩුවීමක් හෝ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමක් සිදුවූයේ නම් එය දැන ගැනීමට මහජනතාවට ඇති නිදහස අහිමි වී ඇති බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ​වෛද්‍ය චමල් සංජීව පවසයි.

හදිසි හෘදයාබාධ රෝගීන්ට ලබා දෙන ටෙනටෝෆේස් ඖෂධයද විවිධ සංකූලතා මතුවීම නිසා දිවයින පුරා රෝහල් කිහිපයකින් භාවිතයෙන් ඉවත් කොට ඇති බව කී වෛද්‍ය චමල් පවසන්නේ එවැනි තත්වයක් තුල සැපයුම් අංශයේ වෙබ් අඩවිය අක්‍රීය වීම සැක සහිත බවයි.

Add to cart