රාජිත සේනාරත්නට එරෙහි නඩුවකට අදාළ අධිකරණ නියෝගයක්!

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් අගෝස්තු 29 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

2014 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී මෙම විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බවත්, ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ අනුව අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට මහාධිකරණ විනිසුරුවරයා අවසර ලබාදුන් අතර, එම නඩුව නැවත අගෝස්තු 29 වැනිදා කැඳවන ලෙස නියෝග කර තිබේ.

ජවිපෙ නැත්නම් අපිට කවදාවත් පාර්ලිමේන්තු යන්න වෙන්නෙ නෑ. මට තනිවම කිසිවක් කරගන්න බෑ! තවත් මාලිමා ඇමැතිවරයෙකු සංවේදී වෙයි

තමන් වැනි පුද්ගලයින්ට තනිවම කිසිවක් කරගත නොහැකි බවත්, තමන් නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණ නොතිබෙන්නට කිසිදාක තමන්ට ප්‍රාදේශීය සභාවක්, පාර්ලිමේන්තුවක් නියෝජනය කිරීමට නොලැබෙන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වන නියෝජ්‍ය ඇමැතිවරයා;

“ඉතිහාසයක් පුරා අඩ සියවසකට වැඩි කාලයක් මේ රටේ අනේකවිධ දුක් විඳින මිනිසුන් සිය ජීවිත මේ මහපොළවට පූජා කරා ඒ වගේ ම දහඩිය කඳුළු තම ශ්‍රමය මේ මහ පොළොවට පුදා හල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්නවා ඒ මිනිසුන් අද මෙතන නිරූපණය වෙන්නෑ මේ මහජන නියෝජිත සභාව ඇතුලේ නිරූපණය වෙන්නෙත් නෑ හැබැයි ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යයන්ගේ කැපවීම් වල ජයග්‍රහණයක් තමයි අපි ඉස්සරහ තියෙන්නේ. ඒක අපි නිහතමානී ව පිළිගන්නවා.

අද මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් වුනාට මට තනිවම කිසිවක් එහෙම කරන්න බෑ. අපේ මන්ත්‍රීවරු පද්මිණී සහෝදරයා එහෙම කරන්න බෑ. අපි උපන් පන්තිය තනිව සටන් කරලා ජයග්‍රහණය කරන්න බෑ. අපි ඒක දන්නවා. අපි ඉපදුණේ පහළ පන්තියේ මිනිස්සු. අපේ අම්මලාට තාත්තලාට රදල ය ධනපති පන්තිය නෑ. ඒ වලව් දේශපාලනය ඇතුළේ මහා ජයග්‍රහණ හිමි අවුරුදු හැත්තෑ ගණනක් තිබුනට අපි එවැනි පන්තිය කියපුහම මිනිස්සු නෙමෙයි. අපිට කවම කවරදාකවත් මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් මේ ප්‍රාදේශීය සභාවත් නියෝජනය කරන්න හම්බෙන්නෙ නෑ, අපි නියෝජනය කරපු දේශපාලන ව්‍යාපාරය නො තිබෙන්න. මේ හිඟුරක්ගොඩ නගරයේ පොළේ කරපු අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට මේ රටේ පාර්ලිමේන්තුවක් නියෝජනය කරන්න දරුවෙක් හදන්න බෑ. නිර්ධන පන්තිය ඇතුළේ. ඒක නිර්මාණය කළේ ජනතා විමුක්ති පෙරමුණ, ඒකට අපේ ගෞරවය තියෙනවා.

අපි වගේ මිනිසුන් මෙතෙන්ට නිර්මාණය කළේ දස දහස් ගණන් මිනිසුන් සිය ජීවිත කුසුම මේ මහපොළොවට දායාද කරලා. ඒ නිසා මේ මන්ත්‍රීවරුන්ට වගකීමක් තියෙනවා. ඒ මිනිස්සු ප්‍රාර්ථනා කරපු, ඒ මිනිසුන් සිය ජීවිත කුසුමෙන් ප්‍රාර්තනා කරපු ඒ මාහැඟි සමාජය නිර්මාණය කරන එක. ඒ නිසා වංචාව, දූෂණය, අක්‍රමිකතාව නැති මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුන ඒ වගේම ඒවා සරල කරුණු. මේකේ හොඳම ප්‍රාදේශීය සභාව කරන එක, මේකේ පාරවල් ටික ඔක්කොම හදන එක මේකේ තියෙන හැම ලයිට් කණුවකටම විදුලි බල්බ් එකක් වැටෙනවා නම් ඒවා මහා සුළු කරුණු, මේකේ තියෙන බරපතලම සමාජ කරුණ තමයි, මේ රටේ සමස්ත ධනය මේ රටේ ජීවත් වෙන සෑම ජන කොටසකට ම සර්ව සාධාරණ ලෙස බෙදී යන සමාජයක් නිර්මාණය කිරීම. ඒක අපිට තව ගොඩක් දුරයි. ඒක අපිට ගොඩක් දුරයි. එහෙම එකක් කරන්න තරම් තව මේ සමාජය පුළුල් දැනුමකින් වෙලා නෑ. ඒ නිසා මේ මන්ත්‍රී මණ්ඩලයත් අපි කාගෙත් වගකීම තමයි අන්න ඒ මහා සමාජ පරිවර්තනය කිරීම වෙනුවෙන් ආදර්ශයන් සපයන එක. ඒ වෙනුවෙන් වැඩ කරන එක. ඒ වෙනුවෙන් සමාජ වෙනස් කිරීම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් කාර්යභාරය අපේ යුගය අවසන් කරනවා.”

සියළු පුරාජේරු මැද ආණ්ඩුව අකර්මන්‍යයි! ජනාධිපති බංගලාවලට කරන්නේ කුමක්දැයි තීරණය කරගන්නත් බෑ!

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය බලයට පත් වීමට ප්‍රථම ජනාධිපතිවරයාගේ පහසුකම් කප්පාදුව සම්බන්ධයෙන් විශාල දේශපාලනික ප්‍රචාරයක් ගෙන ගිය අතර, මේ වන විට වත්මන් ජනාධිපතිවරයාගේ වියදම් කප්පාදු කොට ඇති බව පවසන නමුත්, කළින් ජනාධිපතිවරුන් විසින් භුක්ති විඳින ලද ආරක්ෂාව සහ වරප්‍රසාද බොහොමයක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ද භුක්ති විඳින බව පෙනෙන්නට තිබේ.

කෙසේවෙතත්, රට වටා පවතින ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් ද, ජාතික ජන බලවේගය පොරොන්දු වූ ආකාරයේ ‘විප්ලවීය වෙනස්කම්’ සිදු කිරීමට මේ වන තෙක් ආණ්ඩුවට හැකියාවක් ලැබී නැත.

ඒ අනුව, ජනාධිපති බංගලාවල නඩත්තුව බාරව සිටින රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාගේ අදහස වී ඇත්තේ මෙම ජනාධිපති මන්දිර, පෞද්ගලික අංශය වෙත කුළී හෝ බදු පදනම මත ලබා දී හෝටල් වැනි ව්‍යාපාර සඳහා යෙදවීමට ඉඩ සැලසීම යෝග්‍ය බව ය. නමුත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම ඇතුළු ක්‍රියාවලිය ඉටු කිරීමේ වගකීම භාර ගැනීමට කිසිදු රාජ්‍ය නිලධාරියෙකු ඉදිරිපත් නොවන අතර, ඔවුන් ඒ සඳහා මැලිකමක් දැක්වීම කරණ කොට ගෙන මෙම බංගලා සියල්ල මේ වන විට වසා දමා කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා තත්ත්වයට පත් වී තිබේ. ආණ්ඩුවේ නිලධාරීන් පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් වර්තමානයේ දැඩි පීඩනයට ලක්වීම නිසා, ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩු යටතේ තමන්ටද නීතිමය ගැටලුවලට සහ දඬුවම්වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි බියට පත්ව සිටිති. මෙය ඔවුන් එවැනි ක්‍රියාවලීන් සඳහා මැදිහත් වීමෙන් වැළකීමට හේතුව වී තිබේ.

ජනාධිපති මන්දිර මෙන් ම රජයේ අමාත්‍යාංශවලට අයත් නිවාස රට පුරා 60 කට වැඩි සංඛ්‍යාවක් පිහිටා ඇති අතර, ඉන් බොහොමයක් ද මේ වන විට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත හැර දැමීම හේතුවෙන් විනාශ මුඛයට ඇද වැටී අවසානය. රටා ප්‍රශ්නවලට පුරාජේරුවෙන් උත්තර දෙන ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව මේ වන විට අකර්මන්‍ය වී ඇත්තේ මේ ආකාරයෙනි.

රුපියල් ලක්ෂ 80ක වංචා චෝදනාව; රඹුක්වැල්ල පියපුතු ඇප මත නිදහස්!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල අද (ජූනි 03) බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබුණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගොනු කර තිබූ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණේය. ඔහු අමාත්‍ය ධුරය දරන සමයේදී නාමිකව පුද්ගලයින් පහළොස් දෙනෙකු තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කරගෙන, ඔවුන්ට හිමි වැටුප්, දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80කට අධික පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබුණි.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී විසින් කෙහෙළිය රඹුක්වැල්ල සහ රමිත් රඹුක්වැල්ල යන දෙදෙනාම ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.

කොළඹ නගරාධිපති ධුරය දිලිත්ගේ සර්ව ජන බලයට?

විපක්ෂය විසින් කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුරය සඳහා සර්වජන බලය පක්ෂයේ කොළඹ මහනගර සභා මන්ත්‍රී මොහිදීන් රිෆ්කි බදුර්දීන් නම් කිරීමට නියමිත බව වාර්තා වේ.

රිෆ්කි බදුර්දීන්ගේ නම කොළඹ මහනගර සභාවේ තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් පත්‍රයේ පළ වී ඇත.

බදුර්දීන් මහතා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු මෙන්ම ව්‍යවසායකයෙකි.

සජබයෙන් ඉවත් වී නැවතත් ආපු තලවකැලේ සභාපතිට වුනු අලුත්ම ඇබැද්දිය

ලිඳුල-තලවකැලේ නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු සභාපතිවරයා රජයට රුපියල් මිලියන 2.38 ක මූල්‍ය අලාභයක් සිදු කළ බවට චෝදනා කෙරෙන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අල්ලස් කොමිෂන් සභාවට අනුව, ඔහු නගර සභාවේ සභාපති ලෙස කටයුතු කළ කාලය තුළ සිදුවූ අක්‍රමිකතා සහ දුර්වල කළමනාකරණය හේතුවෙන් මෙම පාඩුව සිදුවී තිබේ. මහජන මුදල් අවභාවිත කර ඇති බවට විමර්ශන මගින් අනාවරණය වී ඇති අතර, ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

පසුගියදා අශෝක සේපාල සමගි ජන බලවේගයෙන් ඉවත් වී නැවතත් දින කිහිපයකින් සජබය හා එක් වීමට කටයුතු කළ සංවිධායකවරුන්ගෙන් කෙනෙකි.

මුල් කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකුව සිට ඉන් නාමයෝජනා නොලැබීම හේතුවෙන් ස්වාධීනව තරග කර, ලිඳුල-තලවකැලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් පත් වූ පුද්ගලයෙකු වන ඔහු ඉන්පසු ඔහු එක්සත් ජාතික පක්ෂයටත් එකතු වූ අතර, පසුව සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු බවට පත් විය.

තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාරයට; වෙඩි ප්‍රහාර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවේ

කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2017 සිට 2019 දක්වා කාලය තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව ජුනි මස 4 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම රක්ෂිත බන්ධනාගාරගත කිරීම සිදු කර ඇත්තේ, ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩුවකට අදාළවය.

මීට පෙර, තුසිත හල්ලොලුව ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අවධියේදී ලබාගත් රුපියල් 470,000කට අධික වටිනාකමකින් යුත් පරිගණකයක් සහ ජංගම දුරකථනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර අද (02) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණ.

වෙඩි ප්‍රහාර සිද්ධිය සහ විමර්ශන:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කළ තුසිත හල්ලොලුවගේ වාහනයට 2025 මැයි 17 වන දින, නාරාහෙන්පිට ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල විය. මෙම ප්‍රහාරය සිදු කළේ මෝටර්සයිකලයකින් පැමිණි හඳුනානොගත් පුද්ගලයන් දෙදෙනෙකු විසිනි. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී තුසිත හල්ලොලුව, ඔහුගේ නීතිඥවරයා සහ තවත් පුද්ගලයෙකු වාහනයේ සිටි නමුත්, කිසිවෙකුට තුවාල සිදු නොවූ අතර, වාහනයට පමණක් හානි සිදුවිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මැයි 24 වන දින, මහරගම ප්‍රදේශයේ දී කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන මැයි 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය. එසේම, මැයි 28 වන දින, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර ප්‍රධාන මෝටර්සයිකල් රියදුරා සහ ප්‍රහාරයට සහාය දුන් තවත් දෙදෙනෙකුද සිටී. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ජංගම දුරකථන හතරක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම ප්‍රහාරය, තුසිත හල්ලොලුව විසින් ජනාධිපති අනුර දිසානායක ග්‍රීසියේ නෞකා සමාගමකට ආයෝජනයක් කළ බවට කළ ප‍්‍රකාශයකට පසු සිදුවීමක් ලෙස සැලකේ. මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින්ද විමර්ශනයක් සිදු කරමින් සිටී.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ නඩු කටයුතු ජුනි මස 4 වැනිදා අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.

මීළඟට රවී කරුණානායකද? අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේපයි!

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ. මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට එරෙහිව අල්ලස් චෝදනා ඉදිරියට ගෙන යාම සඳහා ලබා දුන් අතුරු නියෝගයකට අභියෝග කිරීමේ අයිතියක් ඔහුට නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබ ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේ, අභියාචනා කිරීමේ අයිතිය නීතිය මගින් පැහැදිලිව ලබා දිය යුතු බවයි.

රුපියල් මිලියන 11කට අධික මුදලක් වටිනා කුලී ගෙවීම් සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් කරුණානායකට සහ ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් චෝදනා ගොනු කර තිබුණි. මෙම සිද්ධිය 2016 පෙබරවාරි සහ සැප්තැම්බර් මාස අතර කාලය තුළ සිදුවූ බවට චෝදනා එල්ල වේ.

චූදිතයන් තර්ක කර තිබුණේ, ව්‍යවස්ථාවේ ඇති නිර්වචනවල ගැටුම් හේතුවෙන් කැබිනට් අමාත්‍යවරයෙකුට අල්ලස් පනත යටතේ නඩු පැවරිය නොහැකි බවයි. මහාධිකරණය මෙම විරෝධය ප්‍රතික්ෂේප කළ අතර, එම තීන්දුවට එරෙහිව රවී කරුණානායක අභියාචනයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කළේය.

කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, චූදිතයාට අභියාචනයක් ඉදිරිපත් කළ හැක්කේ වරදකරු කිරීමෙන් පසුව පමණක් මිස අතුරු නියෝගවලට එරෙහිව නොවන බවයි. තවද, පෙර අභියාචනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පාර්ශවයක් ලෙස නම් කිරීමට අපොහොසත් වීම නීත්‍යානුකූලව දෝෂ සහිත බව ද අධිකරණය සඳහන් කළේය.

ඒ අනුව, අභියාචනය නිෂ්ප්‍රභ කරන ලද අතර, නීතිමය වියදම් ලෙස රුපියල් 100,000ක් ගෙවන ලෙස ද රවී කරුණානායකට නියෝග කර ඇත. මෙම තීන්දුවත් සමග, හිටපු මුදල් අමාත්‍යවරයාට එරෙහි අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වූ මෙම නඩු කටයුතු තවදුරටත් ඉදිරියට පවතිනු ඇත.

ආපු ගමන් එළියට දාන්න හිටපු භාණ්ඩාගාර ලේකම් දැන් ජනපතිගේ වීරයා

ජාතික ජන බලවේගය (NPP) බලයට පැමිණි විගස “ඇතුලට දානවා” යැයි වහසි බස් දෙඩූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, අද ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රශංසාවට ලක්වීම දේශපාලන කවයන් තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ. “ජාතික බදු සතිය” සමාරම්භක අවස්ථාවේදී ජනාධිපතිවරයා සිරිවර්ධන මහතාගේ සේවය අගය කරමින් කළ ප්‍රකාශය, NPP හි “දෙබිඩි පිළිවෙත සහ නොහැකියාව” පැහැදිලිවම පෙන්වා දෙයි.

NPPය බලයට පැමිණීමට පෙර, මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක් වූ අතර, NPP ආණ්ඩුවක් යටතේ ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි. එහෙත්, අද වන විට පින්තූරය මුළුමනින්ම වෙනස් වී ඇත.

ජනාධිපති අනුර සිය කතාවේදී, “මෑත ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ බදු අඩු රාජ්‍ය බවට අපි පත්වුණා. එය නැවත යම් සාධාරණ බද්දකට අපේ රට පරිවර්තනය කිරීම සඳහා වූ වෙහෙසක් ආයතනික ප්‍රතිසංස්කරණයන්, නීතිමය ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් අපේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉටුකළා, මහින්ද සිරිවර්ධන මැතිතුමා” යනුවෙන් සඳහන් කරමින්, සිරිවර්ධනගේ කාර්යභාරය අතිශයින් අගය කළේය. එපමණක් නොව, මෙම මස අගදී මුදල් ලේකම් ධුරයෙන් විශ්‍රාම ගන්නා සිරිවර්ධන මහතා ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වීමට නියමිත බවත්, ඊට ඔහුට සුබ පැතීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෙම තත්ත්වය ජාතික ජන බලවේගයේ දේශපාලන විචල්‍යතාව සහ ප්‍රායෝගිකත්වය පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරයි. බලයට පැමිණීමට පෙර එක් ස්ථාවරයක සිටි පක්ෂය, බලයට පැමිණි පසු තමන්ම විවේචනය කළ පුද්ගලයන්ගේ සේවය අගය කිරීම, ඔවුන්ගේ ප්‍රතිපත්තිමය ස්ථාවරයන්ගේ දුර්වලතාව සහ ආර්ථික යථාර්ථයන් හමුවේ ඇතිවන අසරණභාවය පෙන්නුම් කරන බව විචාරකයෝ පෙන්වා දෙති.

“ආපු ගමන් ඇතුලට දාන්න හිටපු අය නැතිවම බැරි තත්ත්වයට පත් වීම, මාලිමාවේ දෙබිඩි පිළිවෙත සහ නොහැකියාව විදහා දක්වන්නකි” මෙය මාලිමාවේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් මහජනතාව තුළ සැකයක් ඇති කිරීමට සමත් වී ඇත. මෙය, දේශපාලනඥයන් බලයට පැමිණීමට පෙර කරන ප්‍රකාශයන් සහ බලයට පැමිණි පසු ගන්නා ක්‍රියාමාර්ග අතර ඇති පුළුල් පරතරය පිළිබඳව හොඳම උදාහරණයකි.

ජාතික ජන බලවේගයට සැබවින්ම මහින්ද සිරිවර්ධන වැනි පළපුරුදු නිලධාරීන්ගේ සේවය අත්‍යවශ්‍ය වූයේ නම්, බලයට පැමිණීමට පෙර ඔවුන්ට එරෙහිව දැඩි ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? නැතිනම්, මෙය හුදෙක් බලයට පැමිණීම සඳහා ජනතාව මුලා කිරීමක් පමණක් වූවාද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට සිදුවන්නේ ජාතික ජන බලවේගයට ම ය.

යෝධයන්ගේ දේශය වන තඹුත්තේගමට ‘ඒ’ ශ්‍රේණියේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක්..

තඹුත්තේගම ප්‍රදේශයේ “ඒ” ශ්‍රේණියේ ක්‍රීඩාංගණයක් ඉදිකරන ලෙස තමන් ඉල්ලා ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අනුරාධපුරය කොළඹට දුරින් පිහිටීම හේතුවෙන් ක්‍රීඩා පහසුකම් ප්‍රමාද වී ලැබෙන බව පෙන්වා දෙමිනි.

“ක්‍රිකට් කොළඹ තිබුණට අනුරාධපුරයට ළඟා වූයේ බොහෝම ප්‍රමාද වෙලා”

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුවද තමන් තඹුත්තේගම ක්‍රීඩාංගණය “ඒ” ශ්‍රේණියේ ක්‍රීඩාංගණයක් ලෙස දියුණු කරන ලෙස ඉල්ලා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයට කොළඹට ලැබෙන පහසුකම් හා සමාන පහසුකම් ලැබෙන බවට සහතික වීමට රජය මැදිහත් වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“යෝධයන්ගේ දේශයක් වන අනුරාධපුරයෙන් ක්‍රීඩකයන් යෝධ හයේ පහරවල් එල්ල කරනවා දැකීමට අපට අවශ්‍යයි. ඔවුන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නියෝජනය වනවා දැකීමට අපට අවශ්‍යයි”

Add to cart