ආපු ගමන් එළියට දාන්න හිටපු භාණ්ඩාගාර ලේකම් දැන් ජනපතිගේ වීරයා

ජාතික ජන බලවේගය (NPP) බලයට පැමිණි විගස “ඇතුලට දානවා” යැයි වහසි බස් දෙඩූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, අද ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රශංසාවට ලක්වීම දේශපාලන කවයන් තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ. “ජාතික බදු සතිය” සමාරම්භක අවස්ථාවේදී ජනාධිපතිවරයා සිරිවර්ධන මහතාගේ සේවය අගය කරමින් කළ ප්‍රකාශය, NPP හි “දෙබිඩි පිළිවෙත සහ නොහැකියාව” පැහැදිලිවම පෙන්වා දෙයි.

NPPය බලයට පැමිණීමට පෙර, මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක් වූ අතර, NPP ආණ්ඩුවක් යටතේ ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි. එහෙත්, අද වන විට පින්තූරය මුළුමනින්ම වෙනස් වී ඇත.

ජනාධිපති අනුර සිය කතාවේදී, “මෑත ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ බදු අඩු රාජ්‍ය බවට අපි පත්වුණා. එය නැවත යම් සාධාරණ බද්දකට අපේ රට පරිවර්තනය කිරීම සඳහා වූ වෙහෙසක් ආයතනික ප්‍රතිසංස්කරණයන්, නීතිමය ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් අපේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉටුකළා, මහින්ද සිරිවර්ධන මැතිතුමා” යනුවෙන් සඳහන් කරමින්, සිරිවර්ධනගේ කාර්යභාරය අතිශයින් අගය කළේය. එපමණක් නොව, මෙම මස අගදී මුදල් ලේකම් ධුරයෙන් විශ්‍රාම ගන්නා සිරිවර්ධන මහතා ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වීමට නියමිත බවත්, ඊට ඔහුට සුබ පැතීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෙම තත්ත්වය ජාතික ජන බලවේගයේ දේශපාලන විචල්‍යතාව සහ ප්‍රායෝගිකත්වය පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරයි. බලයට පැමිණීමට පෙර එක් ස්ථාවරයක සිටි පක්ෂය, බලයට පැමිණි පසු තමන්ම විවේචනය කළ පුද්ගලයන්ගේ සේවය අගය කිරීම, ඔවුන්ගේ ප්‍රතිපත්තිමය ස්ථාවරයන්ගේ දුර්වලතාව සහ ආර්ථික යථාර්ථයන් හමුවේ ඇතිවන අසරණභාවය පෙන්නුම් කරන බව විචාරකයෝ පෙන්වා දෙති.

“ආපු ගමන් ඇතුලට දාන්න හිටපු අය නැතිවම බැරි තත්ත්වයට පත් වීම, මාලිමාවේ දෙබිඩි පිළිවෙත සහ නොහැකියාව විදහා දක්වන්නකි” මෙය මාලිමාවේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් මහජනතාව තුළ සැකයක් ඇති කිරීමට සමත් වී ඇත. මෙය, දේශපාලනඥයන් බලයට පැමිණීමට පෙර කරන ප්‍රකාශයන් සහ බලයට පැමිණි පසු ගන්නා ක්‍රියාමාර්ග අතර ඇති පුළුල් පරතරය පිළිබඳව හොඳම උදාහරණයකි.

ජාතික ජන බලවේගයට සැබවින්ම මහින්ද සිරිවර්ධන වැනි පළපුරුදු නිලධාරීන්ගේ සේවය අත්‍යවශ්‍ය වූයේ නම්, බලයට පැමිණීමට පෙර ඔවුන්ට එරෙහිව දැඩි ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? නැතිනම්, මෙය හුදෙක් බලයට පැමිණීම සඳහා ජනතාව මුලා කිරීමක් පමණක් වූවාද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට සිදුවන්නේ ජාතික ජන බලවේගයට ම ය.

යෝධයන්ගේ දේශය වන තඹුත්තේගමට ‘ඒ’ ශ්‍රේණියේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක්..

තඹුත්තේගම ප්‍රදේශයේ “ඒ” ශ්‍රේණියේ ක්‍රීඩාංගණයක් ඉදිකරන ලෙස තමන් ඉල්ලා ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අනුරාධපුරය කොළඹට දුරින් පිහිටීම හේතුවෙන් ක්‍රීඩා පහසුකම් ප්‍රමාද වී ලැබෙන බව පෙන්වා දෙමිනි.

“ක්‍රිකට් කොළඹ තිබුණට අනුරාධපුරයට ළඟා වූයේ බොහෝම ප්‍රමාද වෙලා”

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුවද තමන් තඹුත්තේගම ක්‍රීඩාංගණය “ඒ” ශ්‍රේණියේ ක්‍රීඩාංගණයක් ලෙස දියුණු කරන ලෙස ඉල්ලා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයට කොළඹට ලැබෙන පහසුකම් හා සමාන පහසුකම් ලැබෙන බවට සහතික වීමට රජය මැදිහත් වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“යෝධයන්ගේ දේශයක් වන අනුරාධපුරයෙන් ක්‍රීඩකයන් යෝධ හයේ පහරවල් එල්ල කරනවා දැකීමට අපට අවශ්‍යයි. ඔවුන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නියෝජනය වනවා දැකීමට අපට අවශ්‍යයි”

කෙහෙළිය ඇතුලට යැවූ එන්නත යළි භාවිතයට

ආන්දෝලනයට තුඩු දුන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ තොගයෙන් කොටසක් නැවත භාවිතයට ගන්නා ලෙස වෛද්‍ය සැපයුම් ඒකකය රෝහල්වලට දැනුම් දී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව චෝදනා කරයි. මෙම ඖෂධය සම්බන්ධයෙන් මීට පෙර ගැටලු මතුවීම හේතුවෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදුවිය.

චෝදනාවට පසුබිම

වෛද්‍ය චමල් සංජීව මෙම චෝදනාව එල්ල කළේ, අඩු මිලට ඖෂධ ගෙන්විය හැකි සැපයුම්කරුවන් ඖෂධ නියාමන අධිකාරිය තුළ ලියාපදිංචි කිරීම ප්‍රමාද කරමින්, මිල වැඩි ලංසු තබන සමාගම්වලින් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේදීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්ථාවරය

කෙසේ වෙතත්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඉමියුනොග්ලොබියුලින් ඖෂධයේ තත්ත්වය පිළිබඳ කිසිදු සැකයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත්, එම ඖෂධය නැවත භාවිත කළ හැකි බවට නිර්දේශ කර ඇති බවත්ය. මෙම ඖෂධයට NMRA විසින් ලියාපදිංචිය ලබා දී ඇත්තේ 2023 වසරේදී බවද ඔවුන් පවසා ඇත.

ගැටලුවේ ආරම්භය සහ විසඳුම

ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත භාවිතයේදී ඇති වූ ආසාත්මිකතා සහ සංකූලතා හේතුවෙන් මුලින්ම මෙම ඖෂධය සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයක් හටගත්තේය. ලැබුණු පැමිණිලි අනුව කරන ලද පර්යේෂණයකින් පසු, ආරක්ෂාව හා අවදානම් ඇගයීම් උපකමිටුව විසින් ඖෂධය භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දෙන ලදී.

නමුත්, පසුව සිදු කරන ලද වැඩිදුර පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම ඖෂධය නිසි ප්‍රමිතියෙන් යුතු බවයි. ඉන්දියාවේ මධ්‍යම ඖෂධ තත්ත්ව පාලන ආයතනය මගින් කරන ලද පර්යේෂණවලින්ද මෙය තහවුරු වී තිබේ. මෙම වාර්තා සැලකිල්ලට ගනිමින්, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂාව සහ අවදානම් ඇගයීම් උපකමිටුව විසින් එම ඖෂධය තවදුරටත් භාවිත කළ හැකි බවට තීරණය කර ඇත.

මේ අනුව, කලින් ප්‍රමිතියෙන් තොර බව පවසමින් භාවිතයෙන් ඉවත් කළ මෙම ඖෂධය දැන් නැවත භාවිතයට ගැනීමට නියමිතය.

සැම ආණ්ඩුවකම ලංගම සභාපති වූ රමාල් ගම්පහ උප නගරාධිපති ධුරයට..!

සෑම ආණ්ඩුවක් යටතේ ම පාහේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති වූ රමාල් සිරිවර්ධන මෙවර ගම්පහ මහා නගර සභාවේ නගරාධිපති ධුරයට පත් වී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි මේ බව සඳහන් කර තිබේ.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව විජිත හේරත් ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ දී, එනම් 2024 ඔක්තෝබර් මාසයේදී රමාල් සිරිවර්ධන ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයට පත්කෙරුණු අතර, 2025 ජනවාරි මාසයේදී ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වූයේ පෞද්ගලික හේතුවක් මත යැයි පවසමිනි.

ලංවිම වෘත්තීය සමිති නායක රංජන් ජයලාල් කඩුවෙල නගරාධිපති ධුරයට!

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් කඩුවෙල නගරාධිපති ලෙස පත් කරනු ලැබ තිබේ. ඔහුගේ අතීත වෘත්තීය සමිති ක්‍රියාකාරකම් සලකා බලන විට සැලකිය යුතු ගැටලු ගණනාවක් මතු කරයි. දීර්ඝ කාලයක් තිස්සේ වෘත්තීය සමිති නායකයෙකු ලෙස ඔහු කටයුතු කළ ආකාරය, නාගරික පරිපාලනය වැනි සංකීර්ණ සහ පුළුල් වගකීම් සහිත තනතුරකට ඔහු කොතරම් දුරට සුදුසුද යන්න පිළිබඳ බරපතල ප්‍රශ්න ඇති කරයි.

රංජන් ජයලාල් සිය වෘත්තීය සමිති ජීවිතය පුරාම රජයේ ප්‍රතිපත්තිවලට දැඩි ලෙස විරෝධය දැක්වූ පුද්ගලයෙකි. ලංකා විදුලිබල මණ්ඩලය “විකුණා දැමීමෙන්” බේරා ගත්තේ තමන් යැයි ඔහු පුරසාරම් දෙඩූ අතර, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයට සහ අනෙකුත් සංවර්ධන කටයුතුවලට බාධා කරමින් කටයුතු කළ බවට චෝදනා ලැබීය. අන් අය සිදු කරන සෑම දෙයකම “වරද පමණක් දකිමින්” “කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම්” වල නිරත වීම ඔහුගේ සුපුරුදු ක්‍රියාමාර්ගය විය.

කෙසේ වෙතත්, දැන් ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක තිලක් සියඹලාපිටිය සභාපතිවරයා යටතේ ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය සිදු කිරීමට සූදානම් වන විට, ඔහු හීන් කෙඳිරියක්වත් නැගුවේ නැත. අනෙක් අතට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ලක්ෂ්මන් නිපුන ආරච්චි වැන්නවුන් වර්ජන මගින් රටේ දියුණුවට බාධා වන බවත්, ඉදිරියේදී ජවිපෙ වෘත්තීය සමිති විසුරුවා හරින බවත් ප්‍රකාශ කිරීම, රංජන් ජයලාල්ගේ අතීත ක්‍රියා කලාපය සහ ඔහුගේ වත්මන් පක්ෂයේ ප්‍රතිපත්ති අතර ඇති ගැඹුරු පරස්පරතාව මතු කරයි. අන් අය බලයේ සිටියදී විවේචනය කළ දේම තමන්ගේම ආණ්ඩුවක් යටතේ සිදු වන විට, වෘත්තීය සමිති පවා විසුරුවා හැරීම ගැන කතා කිරීම ජනතා විමුක්ති පෙරමුණේ තවත් එක් විහිළුවකි.

මෑතකදී ඇති වූ ලංවිම සේවක බෝනස් කප්පාදු කිරීමේ අර්බුදය, රංජන් ජයලාල්ගේ නායකත්වයේ දුර්වලතා සහ දේශපාලන අවස්ථාවාදය මැනවින් පෙන්නුම් කළේය. තමන්ගේ දේශපාලන ව්‍යාපාරය බලයේ සිටින අවස්ථාවක කෙසේ හෝ බෝනස් ලබා දෙන බවට සේවකයන්ට පොරොන්දු වූ ඔහු, එම පොරොන්දුව ඉටු කිරීමට අසමත් විය. මෙම අසමත් වීම හේතුවෙන් සේවකයන්ගේ දැඩි විරෝධයට පවා ඔහුට මුහුණ දීමට සිදු විය.

විශේෂයෙන්, “මාලිමාව මුවාවෙන් පැමිණි නරි” ලෙස ඔහු හැඳින්වූ ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ පිරිස විසින් ලංවිම පාලනය කරන බවට ඔහු කලින් චෝදනා කළද, දැන් තමන්ගේම ආණ්ඩුවක් යටතේ පවා එම “නරි” එලවා දැමීමට හෝ බෝනස් ලබා දීමට ඔහුට අසීරු වී ඇත. මෙම තත්ත්වය, ඔහුගේ වෘත්තීය සමිති නායකත්වය සහ ආණ්ඩුව පිළිබඳව සැලකිය යුතු ප්‍රශ්න මතු කරයි. ලංවිම සේවකයින් ඉදිරියේ තමන් පොරොන්දු වූ දේවල් ඉටු කර ගැනීමට නොහැකි වූ තැන “තමන්ට අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් දෙකම නැති වී” ඇති බවට ඔහු කළ ප්‍රකාශය, තමන්ගේම ආණ්ඩුවක් යටතේ පවා ඔහුට බලපෑමක් කිරීමට නොහැකි බව පෙන්නුම් කරයි. මෙය දුර්වල නායකත්වයක සහ ප්‍රතිපත්තිමය අපැහැදිලිභාවයක ලක්ෂණයකි.

රංජන් ජයලාල්ගේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වල ඉතිහාසය සහ ඔහුගේ වත්මන් ස්ථාවරයේ ඇති පරස්පරතා සලකා බලන විට, ඔහු කඩුවෙල නගරාධිපති ධුරයට කිසිසේත් සුදුස්සෙකු නොවන බව පැහැදිලි ය.

නාගරික සංවර්ධනයට සහ ජනතාවගේ යහපතට බාධා කරමින්, විරෝධතා සහ වර්ජන හරහා කටයුතු කිරීමේ ඉතිහාසයක් ඇති පුද්ගලයෙකුට, නාගරික සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාමට සහ ප්‍රජාවේ අවශ්‍යතා සපුරාලීමට කාර්යක්ෂමව කටයුතු කළ හැකිද යන්න සැක සහිතය.

අතීතයේ දැරූ ප්‍රතිපත්තිමය ස්ථාවරයන් දැන් තමන්ගේම ආණ්ඩුවක් යටතේ වෙනස් කිරීම හෝ නොසලකා හැරීම, ඔහුගේ විශ්වසනීයත්වය පිළිබඳව ප්‍රශ්න මතු කරයි. නාගරික පරිපාලනයේදී ස්ථාවර සහ විශ්වසනීය ප්‍රතිපත්ති අත්‍යවශ්‍ය වේ.

සේවකයන්ට දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත් වීම සහ තමන්ගේම ආණ්ඩුව තුළ පවා බලපෑමක් කිරීමට නොහැකි වීම, ඵලදායී නායකයෙකුට අවශ්‍ය ගුණාංග නොවේ. නගරාධිපතිවරයෙකු ලෙස, ඔහුට නාගරික ගැටලු විසඳීමට සහ ප්‍රජාව මෙහෙයවීමට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය වේ.

බලය ලබා ගැනීම සඳහා “කයිවාරු සහ සංදර්ශන” පමණක් සිදු කළ බවට මහජනතාව තුළ ප්‍රශ්න කිරීම් මතුවීම, මහජන විශ්වාසය කෙරෙහි සෘණාත්මක බලපෑමක් ඇති කරයි. නගරාධිපතිවරයෙකුට ප්‍රජාවේ විශ්වාසය අත්‍යවශ්‍ය වේ.

ජාතික ජන බලවේගය විසින් ප්‍රධාන මැතිවරණ දෙකකදී ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ජයග්‍රහණය කිරීමත් සමගම එම රැල්ලට මෙවැනි ‘දේශපාලන පොල් ලෙලි’ ද ගසා ගෙන ඒම පුදුමයක් නොවේ. රංජන් ජයලාල් වැනි නුසුදුස්සෙකු නගරාධිපති ධුරයට පත් වන්නේ ඒ ඊනියා ජනතා කැමැත්තේ ප්‍රතිඵලයක් වශයෙනි.

කෙසේවෙතත්, කඩුවෙල නාමික පරිපාලකයා ලෙස රංජන් ජයලාල් පත් වන්නේ, ඔහු ජනතා විමුක්ති පෙරමුණේ පැරණිම නායකයකු වීම නිසා ම පමණක් වන අතර, ඔහු රැකගැනීම සඳහා කඩුවෙල නගර සභාවේ පරිපාලනයට ජවිපෙ ‘පැලවත්ත මැදිහත්වීම’ නම් නිසැකව ම සිදු වනු ඇත.

ආණ්ඩුව වට්ටවන වැඩේ කොළඹින් අරඹන්න ටිරාන් මුල පුරයි..?

ජාතික ජන බලවේග ආණ්ඩුව වැට්ටටවීම සඳහා විපක්ෂයේ පිරිසක් එක්ව කටයුතු කරගෙන යන බව වාර්තා වේ. ඒ අනුව, පසුගිය සතියේ රැස් වූ මෙම පිරිසේ නායකත්වය ගෙන තිබුණේ හිටපු අමාත්‍ය ටිරාන් අලස් ය. එහිදී මූලික වශයෙන් සාකච්ඡා වී ඇත්තේ කොළඹ මහා නගර සභාවේ බලය ලබා ගැනීම ඔස්සේ ආණ්ඩුව වැට්ටවීමේ ක්‍රියාන්විතය ආරම්භ කිරීම ය.

මැයි 6 වන දින පැවති පළාත් පාලන මැතිවරණයේ දී ආසන 117 න් 48 ක් දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත් විය. සමගි ජන බලවේගය (SJB) ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායමට ආසන 69 ක් ලබා ගැනීමත් සමග සභාවේ බහුතර බලය සම්බන්ධ ගැටළුවක් පැන නැගිණ.මන්ත්‍රීවරුන් පැවසුවේ ජාතික ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂිකා ව්‍රායි බල්තසාර්ට කොන්දේසි විරහිතව සහාය දක්වන බවයි. කෙසේ වෙතත්, කොපමණ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී හෝ සහයෝගය සඳහා ප්‍රතිඥා දුන්නේද යන්න පැහැදිලි නැත. රැස්වීමට විවිධ කණ්ඩායම් ලැයිස්තු පහක් යටතේ තේරී පත් වූ ස්වාධීන සාමාජිකයින් නව දෙනෙකු ඇතුළත් වේ.

කොළඹ මහා නගර සභාවේ බහුතරය ලබා ගැනීම සඳහා තවමත් විපක්ෂයට අවස්ථාව ඇති බැවින් ටිරාන් අලස්ගේ නායකත්වයෙන් එම ක්‍රියාන්විතයට මුල පිරීම සඳහා මෙය අවස්ථාවක් කරගන්නට සුජීව සේනසිංහ, ලක්ෂ්මන් ෆොන්සේකා ඇතුළු සමගි ජන බලවේගය නියෝජිතයන් ද, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පිරිස ද, මෙහිදී කටයුතු කළ අතර, ඉදිරියේ දී බිමල් රත්නායක ඇමැතිවරයා ඉලක්ක කර ගෙන ඔහුට වැර යොදා පහර දීමට මෙම පිරිස කතිකා කර ගෙන තිබේ.

කෙසේවෙතත්, මෙම හමුවේ සියලු තොරතුරු ඒ මොහොතේදී ම ජනාධිපති කාර්යාලය වෙත වාර්තා වීම ද විශේෂත්වයකි.

අනුරගේ ග්‍රීසියේ ආයෝජනය පසෙක තිබිය දී, රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හල්ලොලුව රිමාන්ඩ්!

2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළවය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වූ තුසිත හල්ලොලුවගේ වාහනයට 2025 මැයි 17 වන දින, නාරාහෙන්පිට ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල විය. මෙම ප්‍රහාරය සිදු කළේ මෝටර්සයිකලයකින් පැමිණි අනන්‍ය නොවූ පුද්ගලයන් දෙදෙනෙකු විසිනි. ප්‍රහාරයේදී තුසිත හල්ලොලුව, ඔහුගේ නීතිඥවරයා සහ තවත් පුද්ගලයෙකු වාහනයේ සිටියහ. ප්‍රහාරයෙන් කිසිවෙකුට තුවාල නොලැබුණු අතර, වාහනයට හානි සිදුවිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. මැයි 24 වන දින, මහරගම ප්‍රදේශයේදී කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මැයි 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

මැයි 28 වන දින, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අතර ප්‍රධාන මෝටර්සයිකල් රියදුරා සහ ප්‍රහාරයට සහාය දුන් තවත් දෙදෙනෙකු සිටී. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ජංගම දුරකථන හතරක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම ප්‍රහාරය, තුසිත හල්ලොලුව විසින් ජනාධිපති අනුර දිසානායක ග්‍රීසියේ නෞකා සමාගමකට ආයෝජනයක් කළ බවට කළ ප‍්‍රකාශයකට පසු සිදුවීමක් ලෙස සැලකේ. මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින්ද විමර්ශනයක් සිදු කරමින් සිටී.

2025 මැයි 2 වන දින, තුසිත හල්ලොලුව ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අවධියේදී ලබාගත් රුපියල් 470,000කට අධික වටිනාකමකින් යුත් පරිගණකයක් සහ ජංගම දුරකථනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අතර, ඔහු රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

ඩේසි ආච්චිගෙ මැණික් මල්ලට මොකද උනේ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන මුදල් විශුද්ධිකරණ නඩුව ජූලි මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වේ.

රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට, යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

මහින්දගේ නිල නිවසේ කතාව යටපත් වුණේ විදෙස් රටවල් දෙකක මැදිහත්වීමෙන්?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචි නිවස සම්බන්ධයෙන් මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු දැඩි අවධානයක් යොමු විය. ආණ්ඩුව විසින් රාජපක්ෂ මහතාට එම නිවසින් ඉවත් වන ලෙසටත්, එසේ නොවුණහොත් අවසන් නිවේදනයක් නිකුත් කරන බවටත් ප්‍රකාශ කර තිබුණි.

ඊට ප්‍රතිචාර දැක්වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, ලිඛිත දැනුම් දීමක් ලැබුණහොත් තමා එම නිවසින් ඉවත් වන බවයි. කෙසේ වෙතත්, වාර්තා වන පරිදි විදේශ රටවල් දෙකක් විසින් රාජපක්ෂ මහතාට එම නිවසේ රැඳී සිටීමට අවසර දෙන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.

පෞද්ගලික ගුවන් විදුලි සේවාවක වැඩසටහනකින් මේ බව අනාවරණය කෙරිණ.


අමාත්‍ය බිමල් රත්නායකට එරෙහිව බහාලුම් 323ක් සම්බන්ධයෙන් CIDයට පැමිණිල්ලක්

රේගු පරීක්‍ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායකට එරෙහිව එල්ල වන චෝදනා පිළිබඳව විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ නලින් සම්පත් කුමාර විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ, ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ඉල්ලමිනි.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ සම්පත් කුමාර කියා සිටියේ, ජනවාරි 18 වන දින මෙම කන්ටේනර් මුදා හැරීමෙන් පසු රට තුළ අපරාධ ඉහළ ගොස් ඇති බවටත්, එම කන්ටේනර්වල මත්ද්‍රව්‍ය සහ ආයුධ අඩංගු වන්නට ඇති බවටත් මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ උදය ගම්මන්පිල සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මන්ත්‍රීවරුන් වන ජයසේකර සහ ගම්මන්පිල මෙම කාරණය සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු සහිතව ප්‍රකාශ කරන්නට ඇති බැවින්, ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන සත්‍යය රටට හෙළි කළ යුතු බවයි.

ඔවුන් මෙම ප්‍රකාශ නිකුත් කර ඇතත්, ඔවුන්ගෙන් කිසිවෙකු කිසිදු විමර්ශන ආයතනයකට විධිමත් පැමිණිලි ඉදිරිපත් කර නොමැති බවද ඔහු සඳහන් කළේය. “ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු සාධාරණ හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි,” යනුවෙන් නීතිඥ නලින් සම්පත් කුමාර අවධාරණය කළේය.

Add to cart