“දක්ෂතා තිබුණට මොළයක් නැහැ! පරාද වුණාම ලැජ්ජාවක් නැහැ!” අර්ජුනගෙන් ටීම් එකට දෝස්මුරයක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග වත්මන් ජාතික ක්‍රිකට් කණ්ඩායම දැඩි ලෙස විවේචනයට ලක් කරමින් කියා සිටින්නේ, වත්මන් ක්‍රීඩකයන්ට දක්ෂතා තිබුණත්, බුද්ධිමත්ව ක්‍රීඩා කිරීමට තරම් මොළයක් නොමැති බවත්, පරාජය නිහතමානීව පිළිගැනීමට තරම් ලැජ්ජාවක් නොමැති බවත්ය.

ශිෂ්‍ය කණ්ඩායමක් සමඟ පැවති උත්සවයකදී අදහස් දැක්වූ අර්ජුන රණතුංග පැවසුවේ, වත්මන් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා අවශ්‍ය විනය හා මානසිකත්වය නොමැති බවයි.

“ඉගෙන ගන්න අයට බෝලෙට මුහුණ දෙන්නෙ කොහොමද, බෝල කරන්නෙ කොහොමද, කැච් එකක් ගන්නෙ කොහොමද කියලා විනිශ්චය කරන්න මොළයක් තියෙනවා,”

රණතුංග මහතා ක්‍රීඩකයන්ට පමණක් නොව ක්‍රිකට් පරිපාලනයට ද දොස් පැවරීය. නිලධාරීන්ගේ වැරදි ක්‍රීඩකයන්ට බලපාන බව ඔහු කියා සිටියේය.

“දෙමව්පියන් වැරදි කරනවා නම්, දරුවෙකුට ඇඟිල්ල දික් කරන්න අපට බැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් වලටත් ඒ ප්‍රශ්නයම අදාළයි. මම මේ ගැන අවුරුදු ගණනාවක් තිස්සේ කියනවා,”

වත්මන් සංචිතය 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායම සමඟ සංසන්දනය කරමින් අර්ජුන වැඩිදුරටත් කියා සිටියේ, වත්මන් ක්‍රීඩකයන්ට වැඩි දක්ෂතාවක් තිබුණද, ඔවුන්ට විනය, කැපවීම සහ පරාජය වූ විට ලැජ්ජාශීලී හැඟීමක් අවශ්‍ය බවයි.

“මම මැච් එකක් පැරදුණාම ඇඳුම් කාමරයෙන් එළියට ආවෙත් නැහැ. අද හැමදේම කරන්නෙ සල්ලිවලට,”

අර්ජුන රණතුංග තරුණ සිසුන්ට උපදෙස් දුන්නේ මුදල් ඉපැයීම සඳහා පමණක් ක්‍රිකට් පසුපස නොයන ලෙසයි. “ක්‍රීඩකයන් අවුරුදු 10ත් 12ත් අතර හොඳ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවධානය යොමු කළහොත්, මුදල් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක තමයි හරි ක්‍රමය,” ඔහු තවදුරටත් පැවසීය.

 

අද හවස රාවල්පින්ඩි වල ශ්‍රී ලංකා – පකිස්තාන සටනක්

සංචා­රක ශ්‍රී ලංකා පිල හා පාකි­ස්තා­නය අතර පළමු එක්දින තර­ගය ශ්‍රී ලංකා වේලා­වෙන් අද පස්වරු 3ට රාව­ල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වෙයි. ශ්‍රී ලංකාව හා පාකි­ස්තා­නය අතර රාව­ල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී එක්දින තර­ග­යක් පැවැ­ත්වෙන්නේ වසර 30කට පසුව වීම විශේ­ෂ­ත්ව­යකි.

අව­සන් වරට ශ්‍රී ලංකාව හා පාකි­ස්තා­නය 1995 ඔක්තෝ­බර් 30 වැනිදා අර්ජුන රණ­තුං­ගගේ හා රමීස් රාජාගේ නාය­ක­ත්ව­යෙන් රාව­ල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී එක්දින තර­ග­යක් පවත්වා ඇති අතර, එයින් ශ්‍රී ලංකා පිල කඩුලු 4ක ජයක් ලබා ගත්තේය.

රාව­ල්පින්ඩි පාකි­ස්තා­නයේ අග­නු­වර වන ඉස්ලා­මා­බාද්ට යාබ­දව පිහිටා ඇති අතර, එය උතුරු පන්ජා­බයේ ප්‍රධාන වාණිජ හා කාර්මික මධ්‍ය­ස්ථා­නය ලෙස සල­කනු ලබන අතර, පාකි­ස්තා­නයේ සිවු­වන වැඩිම ජන­ග­හ­න­යක් සහිත නග­රය ද වේ.

වසර 1992 සිට මේ දක්වා මෙම ක්‍රීඩාං­ග­ණ­යේදී එක්දින තරග 27ක් පවත්වා ඇති අතර, එයින් පාකි­ස්තා­නය තරග 16ක් ජය­ගෙන ප්‍රති­වාදී කණ්ඩා­යම් තරග 10ක් හා එක් තර­ග­යක් සම තත්ත්ව­යෙන් නිමා­වට පත්ව තිබේ. ශ්‍රී ලංකාව රාව­ල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී එක්දින තරග 3කට සහ­භා­ගිවී තරග දෙකක් ජය­ගෙන ඇත. මෙහි පැවති පෙර තර­ග­ව­ලින් 80%කට ආසන්න ප්‍රමා­ණ­යක් පළ­මුව පන්දු යවන කණ්ඩා­යම් ජය­ග්‍ර­හ­ණය කර ඇති බැවින්, කාසියේ වාසිය තීර­ණා­ත්මක කාර්ය­භා­ර­යක් ඉටු කළ හැකිය.

ශ්‍රී ලංකා පිල අව­සන් වරට සහ­භාගි වූ එක්දින තර­ගා­ව­ලි­යේදී 2-0ක් ලෙස සිම්බාබ්වේ පරදා සිටින අතර, පාකි­ස්තා­නය මෙයට දින තුන­කට පෙර දකුණු අප්‍රි­කාව 2-1කින් පරා­ජය කොට සිටී. එබැ­වින් දෙපි­ලම ජය­ග්‍රාහී මන­ස­කින් යුතුව තරග 3කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය ආරම්භ කරනු ඇත.

පාකි­ස්තා­නය පෙර තර­ගා­ව­ලි­යට වඩා ඔවුන්ගේ සංචි­තයේ එක් වෙන­සක් සිදු­කර ඇති අතර, දකු­ණත් පිති­කරු හසන් නවාස් ශ්‍රී ලංකා­වට එරෙහි සංචි­ත­යෙන් නිද­හස් කර ඇත. 23 හැවි­රිදි හසන් නවාස්ට එරට ප්‍රමු­ඛ­තම පළමු පෙළ තර­ගා­ව­ලිය වන ක්වායිඩ්-ඊ-අසාම් කුස­ලා­න­යට සහ­භාගී වන ලෙස දැනුම්දී ඇත. හසන් වෙනු­වට පාකි­ස්තාන එක්දින සංචි­ත­යට ආදේ­ශ­ක­යෙකු නම් කර නොමැති අතර, වමත් පිති­කරු ෆකාර් සමාන් ශ්‍රී ලංකා­වට එරෙහි විස්සයි20 තුන්කොන් තර­ගා­ව­ලි‍යට එක් කර ඇත.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩා­ය­මට වනිඳු හස­රංග යළි එක්කර ඇති අතර, ළහිරු උදාර, කමිල් මිශාර, ප්‍රමෝද් මධු­ශාන් සහ එෂාන් මාලිංග පිළි­බ­ඳව තේරීම් කමි­ටුව විශ්වාස තබා තිබේ. එක්දින කණ්ඩා­ය­මට ඇතු­ළත්ව සිටි නුව­නිඳු ප්‍රනාන්දු, නිශාන් මදුෂ්ක, මිලාන් රත්නා­යක සහ දුනිත් වෙල්ලා­ලගේ පාකි­ස්තාන සංචා­ර­යට එක්ව නැත.

දෙපා­ර්ශ්වය එක්දින ජාත්‍ය­න්තර තරග 157කදී එකි­නෙකා මුණ ගැසී ඇති අතර, ඉන් තරග 93ක් පාකි­ස්තා­නය ජය­ගෙන, තරග 4ක් ප්‍රති­ඵ­ල­ය­කින් තොරව අව­සන් වී ඇති අතර, එක් තර­ග­යක් සම තත්ත්ව­යෙන් අව­සන් විය. ඉති­හා­සය පුරා ශ්‍රී ලංකා පිල පාකි­ස්තා­නය පර­දවා තරග 59ක ජය ලබා තිබේ. සත්කා­රක කණ්ඩා­යම මේ වසරේ එක්දින තරග 14කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජය­ග්‍ර­හ­ණය කර ඇත්තේ තරග හත­රක් පමණි. එහෙත් ශ්‍රී ලංකා පිල මේ වසරේ එක්දින තරග 10කට ක්‍රීඩා කර එයින් තරග 7ක් ජය­ගෙන යහ­පත් තත්ත්ව­යක පසුවේ.

පාකි­ස්තා­න‍යේදී කණ්ඩා­ය­මට ලබාදී ඇති උසස් ආර­ක්ෂාව පිළි­බඳ සතු­ටට පත්වන බව පිති­කරු කුසල් මෙන්ඩිස් ඊයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් පැව­සීය. “අපට ලබාදී ඇති ආර­ක්ෂාව ඉතාම උසස් එකක්. මා පාකි­ස්තාන සුපර් ලීග් තර­ගා­ව­ලි­යට මෙයට මාස කිහි­ප­ය­කට පෙර පැමි­ණියා. රාව­ල්පින්ඩි ක්‍රීඩාං­ග­ණය අවට වෙනස් කාල­ගු­ණික තත්ත්ව­යක් තියෙ­නවා. චරිත්ගේ නාය­ක­ත්ව‍ෙ­යන් යුත් ශ්‍රී ලංකා පිල හොඳ සම­බර කණ්ඩා­ය­මක්. පැතුම් පසු­ගිය කාලයේ දක්ෂතා අත­රට පැමි­ණියා. අනෙක් සියලු ක්‍රීඩ­ක­යින් මේ තර­ගා­ව­ලි­යේදී උප­රිම දස්කම් දක්වා හොඳ තර­ගා­ව­ලි­යක් පව­ත්වන බව විශ්වා­සයි” කුසල් මෙන්ඩිස් සඳ­හන් කළේය.

පාකි­ස්තා­නය සහ ශ්‍රී ලංකාව තරග තුන­කින් යුත් එක්දින තර­ගා­ව­ලි­යේදී දෙවැනි එක්දින තර­ගය මේ 13 සහ තෙවැනි එක්දින තර­ගය 15දා රාව­ල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේ­දීම පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත. මේ තර­ගා­ව­ලිය අව­සන් වූ පසු, සිම්බාබ්වේ එක්වන තුන්කොන් තර­ගා­ව­ලිය ආරම්භ වන අතර, එහි පළමු තරග දෙක රාව­ල්පින්ඩි හිදී පැවැ­ත්වෙන අතර, 29 වන දින අව­සන් මහා තර­ගය ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාං­ග­ණ­යට ගෙන යනු ඇත.

ශ්‍රී ලංකා එක්දින සංචි­තය: චරිත් අස­ලංක (නායක), පැතුම් නිස්සංක, ළහිරු උදාර, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, සදීර සම­ර­වි­ක්‍රම, කමිදු මෙන්ඩිස්, ජනිත් ලිය­නගේ, පවන් රත්නා­යක, වනිඳු හස­රංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදු­ෂාන්, ඩිල්ෂාන් මදු­ශංක.

පාකි­ස්තාන එක්දින සංචි­තය: ෂහීන් ෂා අෆ්රිඩි (නායක), අබ්‍රාර් අහ­මඩ්, බබාර් අසාම්, හසී­බුල්ලා ඛාන්, මොහො­මඩ් රිස්වාන්, සායිම් අයුබ්, හසන් නවාස්, සල­මන් අගා, ෆහීම් අෂ්රෆ්, හුසේන් තලාට්, මොහො­මඩ් නවාස්, ෆයි­සාල් අක්‍රම්, හරිස් රවුෆ්, මොහො­මඩ් වසීම්, නසීම් ෂා.

ශ්‍රී ලංකාව තරගාවලියේ ජය තහවුරු කර ගනියි

ICC සංකල්පයකට අනුව ක්‍රිකට් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහය වීම සළකා මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාව විසින් විස්සයි විස්ස තරග පහක්ම ලබා දී තිබෙනවා.එහිදී තරගවල තරගකාරීත්වය සහ සටන්කාමීත්වය උද්යෝගිමත්ව වැඩි කර ගනිමින් මැලේසියාවට පහසු සහ වඩාත් සමීප දක්ෂතා ඇති කණ්ඩායමක් ප්‍රතිවාදීන් ලෙස ලබා දීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට මැලේසියානු කණ්ඩායම සමඟ තරග කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.එහෙත් තරග පහකින් සමන්විත තරගාවලියේ තරග තුනක් නිමාවන විට තරග 3-0 ක් ලෙස තරගාවලියේ ජය ශ්‍රී ලංකාව සතු කර ගැනීමට අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත් වුණා.

පළමු තරගයේ සිට මැලේසියා ජාතික කණ්ඩායමේ දක්ෂතා ඉහළ නැඟීම සිඳු විය යුතු වුව ද,එහ අනෙක් පස සිඳු කරමින් ශ්‍රී ලංකා තරුණියන් එහි පළමු තරගය කඩුලු 5 කින් ද,දෙවන තරගය කඩුලු 7 න් ද සහ තුන්වන තරගය ලකුණු 118 ජයක් ද වාර්තා කළේ ශ්‍රී ලංකා තරුණියන්ය.

තෙවන තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 166 ක් රැස් කරන්නට සමත් විය.එහිදී මෑතකදී නිමාව දුටු ඔස්ට්‍රේලියා අවුරුදු 19 න් පහළ තරගවෙලියේදී සාර්ථක වූ සංජනා කාවින්දි වෙනුවට මෙවර තරගාවලියේ දී සාර්ථකව ක්‍රීඩා කරන විමෝක්ෂා බාලසූරිය කැපී පෙණෙන ඉණිමක් දියත් කරමින් ලකුණු 62 ක් රැස් කළේ පන්දු 42 න් ය.එයට හතරේ පහර 10 ක් අයත්ව තිබිණ.

පිතිකරු නාමාවලියේ උසස්වීමක් ලැබ අංක 4 පිතිකාරිණිය වීමේ භාග්‍යය ලද රශ්මිකා සෙව්වන්දි පන්දු 30 දී ලකුණු 38 ක් ලැබුවේ හතරේ පහර 3 ක් සහ එක් හයේ පහරක් ද සමඟය.ශෂිනි ගිම්හානි පන්දු 14 දී ලකුණු 20 ක් ලබා ගත්තේ එක් හයේ පහරක් එක් හතරේ පහරක් සමඟින්ය.මේ ප්‍රහාරය හමුවේ නොසැලී පන්දු යැවූ නූර් ඩානියා පන්දු ඕවර් 4 ලකුණු 20 නිමා කළේ කඩුලු 3 ක් දවා ගනිමින්ය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ මැලේසියාව එම ලකුණු පූවරුවේ ඇති අගය විසින් තිගැස්මට ලක් කර තිබෙන බව පැහැදිළි විය.තරගාවලියේ පළමුවරට ඔවුන් සියල්ලම දැවී ගිය අතර ලබා ගත්තේ ලකුණු 48 ක් පමණි.පන්දු ඕවර් 13.5 දී නිමාව දුටු මැලේසියා ඉණිමෙන් පන්දු ඕවර් 2.5 ක් යැවූ අසෙනි තලගුණේ ලකුණු 10 ට කඩුලු 5 ක් ලබා ගනිමින් විශිෂ්ඨ පන්දු යැවිමක නිරත විය.

 

 

 

කිරුළ රැකගන්න සය සාමාජිකයෝ හොංකොං බලා යති

හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 7 සිට 9 වන දා දක්වා හොංකොං හීදී පැවත්වේ. ඒ සදහා සහභාගීවන නායක ලහිරු මධුශංකගෙන් සමන්විත කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියහ.

කණ්ඩායමේ සෙසු සාමාජිකයින් වන්නේ ධනංජය ලක්ෂාන්,තනුක දාබරේ,නිමේෂ් විමුක්ති,ලහිරු සමරකෝන්,තරිඳු රත්නායක,සචිත ජයතිලක ,මොවින් සුබසිංහයි.

මෙම තරගාවලියේ වත්මන් සූරයින් වන්නේ ශ්‍රී ලංකාවයි.එහිදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් ලහිරු මධුශංකටම මෙවර සූරතාවය රැක ගැනීමේ වගකීමත් පැවරී ඇත.

කාන්තා ලෝක කිරුළ ඉන්දීය කෙල්ලන්ට

දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 52කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලානය පළමුවරට තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (02) සමත් විය.

එහිදී තියුණු මුහුණුවරක් ගත් තරගයේ ලකුණු 299ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට පන්දුවාර 45.3ක් අවසානයේ කඩුළු සියල්ල දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 246ක් පමණි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායිකා ලෝරා වොල්වාඩ් ලකුණු 101ක් රැස් කළ අතර, ටස්මින් බ්‍රිට්ස් ලකුණු 23ක්ද, සුනේ ලූස් ලකුණු 25ක්ද, සිනාලෝ ජැෆ්ටා ලකුණු 16ක්ද, ඇනරි ඩර්ක්සන් ලකුණු 35ක්ද රැස් කළහ.

පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දීප්ති ශර්මා කඩුළු 05ක්ද, ෂෆාලි වර්මා කඩුළු 02ක්ද, ශ්‍රී චරණී කඩුළු 01ක්ද ඉන්දියාව වෙනුවෙන් දවාගත්තාය.

වර්ෂාව හේතුවෙන් පැය 02ක ප්‍රමාදයකින් අනතුරුව ආරම්භ වූ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියා කණ්ඩායම ලකුණු 298ක් රැස් කිරීමට සමත් විය.

ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී යාමෙනි.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ෂෆාලි වර්මා විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 87ක්ද, ස්ම්‍රිති මන්දනා ලකුණු 45ක්ද, ජෙමිමා රොඩ්‍රිගස් ලකුණු 24ක්ද, නායිකා හර්මන්ප්‍රීත් කෞර් ලකුණු 20ක්ද, අමන්ජොත් කෞර් ලකුණු 12ක්ද. දීප්ති ශර්මා ලකුණු 58ක්ද, රිචා ගෝෂ් ලකුණු 34ක්ද රැස් කළහ.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්, අයබොන්ගා කාකා කඩුළු 03ක්ද, නොන්කුලුලෙකෝ ම්ලාබා, නඩින් ද ක්ලර්ක් සහ ක්ලෝයි ට්‍රයෝන් එක් කඩුල්ල බැඟින් දවාගත්තාය.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයක් ක්‍රීඩාකළ පළමු අවස්ථාව මෙයයි.

ඉන්දීය කාන්තා කණ්ඩායම මීට පෙර අවස්ථා දෙකකදී එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගය ක්‍රීඩාකර තිබුණත්, එම දෙවතාවේදීම ඔවුන් පරාජය වී තිබුණි.

දුමිදුගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

XVI Mexican International 2025 තරගාවලියේ අවසාන තරගය සඳහා පිවිසී දුමිදු අබේවික්‍රම, එහිදී ලෝකයේ අංක 83 ට ශ්‍රේණිගතව සිටින ඇමෙරිකාවේ මාර්ක් සෙලී සමඟ විනාඩි 43 ක් තිස්සේ සූරතාවය තීරණය කරන සටනක නිරත වුණත්,අවසානයේ ජයග්‍රහණය මාර්ක්ට හිමි විය.මීට පෙර අවස්ථා දෙකකදි හමු වී තිබූ දෙදෙනා රක් ජයග්‍රහණය බැඟින් බෙදා ගෙන සමව සිටි අතර එහෙත් තෙවන හමුවේදී දුමිදු පරාජය වීම නිසා පෞද්ගලිකව ඹවුන් දෙදෙනා මුණ ගැසෙන අවස්ථාවන් හී වැඩි ජයග්‍රහණ ප්‍රමාණය මාර්ක්ට හිමි වන්නේය.

තරගයේ ලකුණු තත්ත්වය දැක් වුණේ 21 – 13 ක් සහ 21 – 11 ක් ලෙස ය.ඩොලර් 5000 ක ජය මල්ලක් වෙනුවෙන් පැවති මෙම තරගාවලියෙන් පසුව බොහෝ විට දුමිදුගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථානයේ වර්ධනයක් ඇති විය හැකිය.ඔහු දැනටමත් ඇමෙරිකානු මහද්වීපය පදනම් කරගෙන ක්‍රියාත්මක වූ තරගවලදී විශාල ප්‍රගතියක් අත් කර ගනිමින් 110 වන තැන දක්වා ඉදිරියට පැමිණ සිටියි.

ඊයේ දිනට ලංකාවට රන්, රිදී, ලෝකඩ ලැබෙයි

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ(24) රන්පදක්කම් 4 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගාවලිය ඉන්දියාවේ රාංචි හිදී පැවැත්වේ.

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය මෙවර පැවැත්වෙන සිව් වැනි අවස්ථාව මෙයයි. මීට දකුණු ආසියාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටි. ඊයේ පැවති සමාරම්භ උත්සවයෙන් අනුතුරුව තරග ඉසව් ආරම්භ කෙරුණි.

මීටර 100 පිරිමි ධාවන ඉසව්වෙන් රන් පදක්කම හිමිකර ගත්තේ, කෙටි දුර ධාවන ශූර චමෝද් යෝධසිංහ විසිනි. ඔහු තත්පර 10 දශම 30 ක කාලයකින් තරගය අවසන් කළේය. මීටර 100 කාන්තා ධාවනය ඉසව්වේ රන් සහ රිදි පදක්කම් ද්විත්වයම ශ්‍රී ලංකාව සතු වුණි.

රන් පදක්කම හිමිකර ගත්තේ, තත්පර 11 දශම 53 ක කාලයකින් තරගය අවසන් කළ සෆියා යමික්. රිදී පදක්කම අමාශා ද සිල්වාට හිමි විය.

තුන් පිම්ම පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමි කර ගත්තේ පසිඳු මල්ෂාන් විසින්. ඔහු මීටර 16 දශම 19 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළේය. එහි කාන්තා ඉසව්වේ රන් පදක්කම මධුෂානි හේරත් සතු විය. ඒ, මීටර 13 දශම 26 ක දක්ෂතාවක් දක්වමින්ය.

සෂිනි උපේක්ෂා තුන් පිම්ම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. මීටර 5000 පිරිමි ධාවන ඉසව්වේ රිදි පදක්කම හිමි වුණේ, වික්නරාජ් වෝක්ෂට ය.

ඔහු මිනිත්තු 14 යි තත්පර 23.21 කින් තරගය අවසන් කළේය. යග්ගුලිය විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝක ඩ පදක්කම මිතුන් රාජ්ට හිමි වුණි.

යග්ගුලිය විසි කිරීම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්ම හිමිකර ගත්තේ, ඔවිනි චන්ද්‍රසේකර විසිනි. මීටර 400 හතර මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදි පදක්කම ශ්‍රී ලංකාව හිමි කර ගත්තේය.

එහිදී කාලිංග කුමාරගේ, නදීශා රාමනායක, කල්හාර ඉන්දූප සහ සයුරි මෙන්ඩිස් ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ඔවුන් තරගය නිම කළේ මිනිත්තු 3 යි තත්පර 20 යි දශම 85 ක කාලයක් වාර්තා කරමින්ය.

LPL 2025 කල් දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විසින් මේ වසරේ පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2025 කල් දැමීමට තීරණය කර ඇති බව නිවේදනය කරයි.

මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව ලබන වසරේ පෙබරවාරි-මාර්තු මාසවලදී ඉන්දියාව සමඟ සම සත්කාරකත්වය දරන 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා රට තුළ පුළුල් සූදානමක් සිදුකිරීමේ කොටසක් ලෙස ය.

SLC පවසන්නේ ප්‍රධාන ගෝලීය ඉසව්වක් පැවැත්වීම සඳහා සියලුම ක්‍රීඩාංගණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීම සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය මත මෙම පියවර ගත් බවයි.

ICC හි මාර්ගෝපදේශ අනුව, කණ්ඩායම් 20 කින් යුත් ලෝක කුසලාන තරඟාවලියේ පරිමාණය සහ ඉල්ලීම් හැසිරවීමට සියලුම සත්කාරක ස්ථාන පරිපූර්ණ තත්ත්වයේ තිබිය යුතුය.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය LPL 2025 වඩාත් සුදුසු කාල කවුළුවකට මාරු කිරීමට තීරණය කර ඇති අතර, එමඟින් රටේ ක්‍රිකට් පහසුකම් සකස් කිරීම සහ වැඩිදියුණු කිරීම කෙරෙහි සම්පත් සහ අවධානය යොමු කිරීමට හැකි වනු ඇත.

දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ප්‍රධාන ජාත්‍යන්තර ස්ථානවල ප්‍රේක්ෂක කුටි, ක්‍රීඩක පහසුකම්, පුහුණු ප්‍රදේශ, විකාශන යටිතල පහසුකම්, මාධ්‍ය මධ්‍යස්ථාන සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සඳහා ප්‍රධාන වැඩිදියුණු කිරීම් ඇතුළත් වේ.

යෙවාන් ඩේවිඩ් Euroformula Open Rookie ශූරතාව දිනා ගනී

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ්, Euroformula Open Rookie ශූරතාව දිනා ගනිමින් එම දස්කම කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කර තිබේ.

ඔහු මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූයේ ඉතාලියේ මොන්සාහිදී පැවති තරගාවලියේ දෙවන තරගයෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමෙනි.

කෙසේ වෙතත්, එම තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට පෝලන්ත ධාවක Dymek Kicharczck සමත් වී ඇති බව වාර්තා වේ.

පාකිස්තාන ප්‍රහාරයකින් ක්‍රිකට් ක්‍රීඩකයින් 03ක් මරුට

සිකුරාදා රාත්‍රියේ පාකිස්තානය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ටොලෝ නිවුස් වාර්තා කළේ මෙම ප්‍රහාරය කන්දහාර්හි ස්පින් බෝල්ඩක් දිස්ත්‍රික්කයේ නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ගෙන ඇති අතර, මියගිය අයගෙන් බහුතරය කාන්තාවන් සහ ළමුන් බවයි.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම ක්‍රීඩකයින්ගේ මරණය සම්බන්ධයෙන් සිය කනගාටුව සහ ශෝකය පළ කර තිබේ. එම ක්‍රීඩකයින් තිදෙනා පක්ටිකා පළාතේ උර්ගුන් දිස්ත්‍රික්කයට අයත් බවත්, ඔවුන් “පාකිස්තාන ප්‍රහාරයකට ඉලක්ක වූ බවත්” ACB සඳහන් කළේය.

ACB පවසන්නේ මෙය ඇෆ්ගනිස්ථානයේ ක්‍රීඩා ප්‍රජාවට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ක්‍රිකට් පවුලට වූ මහත් පාඩුවක් ලෙස සලකන බවයි.

“මෙම ඛේදජනක සිදුවීමට ප්‍රතිචාර වශයෙන් සහ වින්දිතයින්ට ගෞරව දැක්වීමක් වශයෙන්, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය එළඹෙන නොවැම්බර් මස අගදී පැවැත්වීමට නියමිත පාකිස්තානය ද සම්බන්ධ වන තුන්කොන් විස්සයි-විස්ස ජාත්‍යන්තර තරඟාවලියට සහභාගී වීමෙන් ඉවත් වීමට තීරණය කර ඇත,” යනුවෙන් මණ්ඩලය සිය තීරණය ප්‍රකාශයට පත් කළේය.

ඇෆ්ගන් දේශීය නිලධාරීන්ට අනුව, මෙම ගුවන් ප්‍රහාර සෘජුවම සිවිල් නිවාසවලට එල්ල වී තිබේ. ටොලෝ නිවුස් වෙත අදහස් දක්වමින් ස්පින් බෝල්ඩක්හි මහජන සෞඛ්‍ය ප්‍රධානී සඳහන් කළේ, “සිවිල් වැසියන්ගේ හානි අතිශයින් ඉහළයි. ඊයේ ගුවන් ප්‍රහාර තවදුරටත් එම සංඛ්‍යා වැඩි කළා. දැන් අපට තුවාලකරුවන් 170 ක් සහ මියගිය 40 ක් සිටිනවා.”

Add to cart