ජෝකර් ආණ්ඩුව හිනස්සන එකමයි කරන්නේ (VIDEO)

ආණ්ඩුව කරන එක විහිළුවකට හිනා වෙලා ඉවර වෙන්න කලින් තව විහිළුවක් කරනවා. දැන් නම් මේ ආණ්ඩුව තනිකරම ජෝකර ආණ්ඩුවක් යැයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

පරණ හොරු අල්ලන්න දෙන ට්‍රයි එකම අලුත් හොරු අල්ලන්න කටයුතු කරන ලෙස මනෝ ගනේෂන් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී

77000ට ආණ්ඩුව ගන්න ගිය එකෙයි විදුලිය රවුම් වෙලාද එන්නේ (VIDEO)

ආණ්ඩුව 77000කට ගන්න ගිය ප්ලග් පොයින්ට් එකේ විදුලිය එන්නේ වෙන ක්‍රමයකටද මම මේ ප්ලග් එක ගත්තේ රුපියල් 2500කට අපිට නම් විදුලිය එන්නේ රටේ මිනිසුන්ට විදුලිය එන විදියට යැයි පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසයි.

හොරු අල්ලන්න ආණ්ඩුව දැන් ඉන්දියාව අල්ලගෙන හොරකම පටන් අරන් ඇතැයිද උන්වහන්සේ අවධාරණය කරයි.

ඉන්දියාව විශ්වාස නෑ අයිඩී එක හදන්න දෙන්න බෑ (VIDEO)

ඉන්දියාව කියන්නේ කිසිසේත්ම විශ්වාස කල නොහැකි රාජ්‍යයක්. ඩ්‍රිජිටල් හැදුනුම්පතට මුවාවෙන් රටේ මිනිසුන්ගේ ජීවදත්ත ඉන්දියාවට පැවරීමේ ආණ්ඩුවේ උත්සාහ රටේම ජනතාව එක්ව පැරදිය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඉස්කෝල ගුරුවරුන් ගැන ආණ්ඩුවෙන් සමීක්ෂණයක්

පාසැල් වල සිටින අතිරික්ත ගුරුවරුන් ගැන වහාම වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දිවයිනේ සියළුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නියෝග කොට ඇත.

ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත පාසැල්වල ගුරුවරු අතිරික්තයක් ඇතැයි වාර්තාවී ඇති බවත් රටපුරා ගුරුවරුන් තුලනය කිරීමේ අරමුණෙන් මෙලෙස දත්ත එකතු කිරීම සිදුකරන බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා පවසයි.

අනුර දුන්නු ලොකුම බොරු පොරොන්දුව; ළමා අපචාර නඩුව යටගහන්නේ ටිරාන් නිසා ද?

ළමා අපචාර නඩු විභාගයන්හි සිදුවන අධික ප්‍රමාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ දැඩි විවේචනයක් එල්ල වී ඇති අතර, මේ පිළිබඳව වෛද්‍ය තුෂ් වික්‍රමනායක ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කර තිබේ. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඇය මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇත්තේ, ජනාධිපතිවරයා පොදු ගැටලු රැසකට මැදිහත් වුවද, “අහිංසක වින්දිත දරුවන් 40,000” වෙනුවෙන් “කුඩම්මාගේ සැලකිලි” දක්වන්නේ මන්දැයි විමසමිනි.

අධිකරණ ක්‍රියාවලියේ අසාර්ථකත්වය සහ පුද්ගලික අත්දැකීම්

වෛද්‍ය වික්‍රමනායක පෙන්වා දෙන්නේ, තම දරුවාට සිදුවූ අසාධාරණයට අදාළ නඩුව වසර 7 1/2ක් තිස්සේ අකර්මණ්‍ය වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් මාස 7කට පෙර ජනාධිපතිවරයාට ලිඛිත පැමිණිලි ඉදිරිපත් කළද, මේ දක්වා කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබීම ඇයව දැඩි කලකිරීමකට පත් කර තිබේ. ළමා නඩු කඩිනම් කිරීම සඳහා පොරොන්දු වූ පරිදි විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් පිහිටුවීමට තවත් කොපමණ කාලයක් අවශ්‍ය දැයි ඇය ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරයි. මෙය, රටේ අධිකරණ පද්ධතියේ සහ ළමා ආරක්ෂණ යාන්ත්‍රණයේ බරපතල දුර්වලතාවක් පෙන්නුම් කරයි.

ටිරාන් අලස් සම්බන්ධය සහ නිහඬතාව පිළිබඳ ප්‍රශ්න කිරීම

වෛද්‍ය වික්‍රමනායක මහත්මියගේ ප්‍රශ්න කිරීමේ ප්‍රධානතම කරුණක් වන්නේ, “ජනාධිපති තුමනි, ඔතරම් බය වෙන්න ටිරාන් එක්ක ඇති ගණුදෙනුව මොකක්ද?” යන්නයි. මෙම ප්‍රශ්න කිරීමේ මූලය වන්නේ, ඇයගේ දියණිය ප්‍රශ්නගත සිදුවීමට බඳුන්වූයේ හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට අයත් ගේට්වේ ජාත්‍යන්තර පාසලේදී වීමයි.

වෛද්‍ය වික්‍රමනායක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහන් රැසක් තබමින්, පොලිසිය, ළමා ආරක්ෂණ අධිකාරිය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන රැසක් තම දියණිය සම්බන්ධ සිදුවීමේදී හැසිරුණු ආකාරය දැඩි ලෙස විවේචනය කර තිබේ. ඇය යුක්තිය ඉල්ලා අවස්ථා ගණනකදී ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ද තනිව විරෝධතා පවත්වා ඇත.

 

දේශපාලන පක්ෂවල නිහඬතාව

පසුගිය සමයේ ද ජාතික ජන බලවේගය (NPP) දූෂණයට එරෙහි ස්ථාවරය ප්‍රකාශ කළද, හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා සම්බන්ධයෙන් එල්ල වූ ඇතැම් චෝදනා පිළිබඳව ඔවුන් නිහඬව සිටීම ප්‍රසිද්ධියේ ප්‍රශ්න කෙරිණි. මෙම තත්ත්වය, බලයේ සිටින හෝ බලයට ඒමට අපේක්ෂා කරන දේශපාලන පක්ෂවල පොරොන්දු සහ ක්‍රියාකාරීත්වය අතර ඇති පරස්පරතාව පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරයි. ළමා අපචාර වැනි සංවේදී සිදුවීම් සම්බන්ධයෙන් පවා දේශපාලන බලපෑම් මත යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා එල්ල වන්නේ දැයි මෙවැනි සිදුවීම් මගින් සමාජය තුළ සැකයක් මතුවීම වැළැක්විය නොහැක.

මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය, දේශපාලන බලපෑම් සහ ළමා ආරක්ෂණ යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව පිළිබඳව නැවත වරක් සමාජ සංවාදයක් ඇති කිරීමට සමත් වී තිබේ. මෙම ගැටලු විසඳීමට රජය සහ අදාළ ආයතන කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ජනතාව බලා සිටී.

නව සුරාබදු කොමසාරිස් ජනරාල් පත්වෙයි . වෘත්තීය සමිති විරෝධය පළ කරයි

 

සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට සුරාබදු වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධය පළ කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ, සුදුසුකම් සහිත නිලධාරීන් දෙපාර්තමේන්තුව තුළ සහ රාජ්‍ය පරිපාලන සේවය තුළ සිටියදී, දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට බාහිර නිලධාරියෙකු පත් කිරීම ගැටලු සහගත බවයි.

වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙන්නේ, මීට පෙර මෙම තනතුරට පත් කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බවයි. එසේම, රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙකු ප්‍රධාන තනතුරට පත් කිරීම සඳහා මීට පෙර ඇති කරගත් එකඟතාද මෙම පත් කිරීමෙන් කඩ වී ඇති බව ඔවුන් සඳහන් කරයි.

සුරාබදු වෘත්තීය සමිති එකමුතුව ජූලි 6 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ, නව සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දෙපාර්තමේන්තු නිලධාරියෙකු පත් කරන ලෙසයි. මෙයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ, දිගු කලක් තිස්සේ ක්ෂේත්‍රයේ අත්දැකීම් හා පලපුරුද්ද ඇති නිලධාරියෙකු පත් කිරීම තුළින් සුරාබදු ආදායම් ඉහළ නංවා ගත හැකි බවයි.

රාජ්‍ය පරිපාලන සේවයෙන් නිලධාරියෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ, ඉදිරි දින කිහිපය තුළදී මෙහි පවතින අසාර්ථකත්වය පිළිබඳව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දෙන බවයි. මේ ආකාරයෙන් සුදුසුකම් නොමැති පුද්ගලයින් ආයතන සඳහා පත් කිරීම හරහා රාජ්‍ය සේවයේ ව්‍යුහය බිඳ වැටෙන බවද ඔවුන් පෙන්වා දෙයි.

නව සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස පත් කර ඇති එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන අතර, ඔහු තඹුත්තේගම ප්‍රදේශයේ උපත ලබා ඇත. ඔහු ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ උප කුලපතිනිය සහ මාලිමා ජාතික ලැයිස්තුව නියෝජනය කළ ආචාර්ය වසන්තා සුබසිංහගේ ස්වාමිපුරුෂයාද වෙයි. ආචාර්ය වසන්තා සුබසිංහ මහත්මියද ජනාධිපතිවරයා විසින් එම තනතුරට පත් කරනු ලැබුවේ මීට දෙසතියකට පෙර බව වාර්තා වේ.

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ්

 

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා එළඹෙන ජූලි 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ .

ඔහුව අද (ජූලි 07) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත

රෝහල් රෝගීන්ට ගුණාත්මක ආහාර වේලක් ලබාදීමට නව වැඩපිළිවෙළක්

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාර වේලක් ඔවුන්ගේ ප්‍රියතාවය ඇතිවන අයුරින් ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

මෙම නව වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතිය ලෙස, මහනුවර අපේක්ෂා රෝහල කේන්ද්‍ර කරගනිමින් එය ආරම්භ කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (ජූලි 05) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ, ප්‍රනීත හා ගුණදායක ආහාර වේලක් ප්‍රියමනාපව රෝගියාට ලබා දීමේ අරමුණින් මහනුවර අපේක්ෂා රෝහලෙන් ආරම්භ කරන මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේදී මෙරට සියලුම රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාරපාන ලබා දීම සඳහා අති විශාල මුදලක් වැය කරන බවත්, නමුත් එම මුදලට සාධාරණයක් ඉටුවන්නේද යන්න පිළිබඳව ගැටලු මතුවන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම නව වැඩපිළිවෙළ මගින් එම ගැටලුවට විසඳුම් ලබාදීමට අපේක්ෂා කෙරේ.


පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනාගේ අසුන අනතුරේ? මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට!

 

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (ජූලි 2) අවසර දී තිබේ.

කෙසේ වෙතත්, පෙත්සම්කරුගේ ඉල්ලීම පරිදි, අර්ච්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මේ මොහොතේ නිකුත් නොකරන බව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කරන ලදී.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි. මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසිනි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආශෝක් බරන් මහතා අධිකරණය හමුවේ තර්ක කළේ, අර්ච්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිටි අතර, ඔහු වැඩ තහනමට ලක්ව සිටි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, රජයේ සේවකයෙකුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සුදුසුකම් නොමැති බැවින්, ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය හිමිකමක් නොමැති බව නීතීඥ බරන් මහතා කියා සිටියේය.

අනෙක් අතට, රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න මහතා අවධාරණය කළේ, සිය සේවා දායකයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී වැටුප් රහිතව වැඩ තහනමට ලක්ව සිටි බවයි. එම හේතුව නිසා, එම අවස්ථාවේදී ඔහුව රජයේ සේවකයෙකු ලෙස සැලකිය නොහැකි බවත්, ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නීතිමය බාධාවක් නොමැති බවත් නීතීඥ දයාරත්න මහතා තර්ක කළේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන්නේය. මෙම නඩුව නැවත අගෝස්තු මස 01 වනදා කැඳවීමට නියමිතයි.

කොමිස් ගහපුවා කොමිස් ගහපු කෙනා ගෙදර ගිය ගමන් ඉවර වෙන්නේ නැහැ. නලින්ද ඉන්ධන මිල වැඩිවීමට හේතු කියයි

පසුගිය කාලසීමාවන්හි ඉන්ධන මිලදී ගැනීම්වලදී සිදුවූ අක්‍රමිකතාවයන්ට දැනටත් වන්දි ගෙවමින් සිටින බවත්, එම බර කළමනාකරණය කරගනිමින් මිල සූත්‍රය අනුව ඉන්ධන මිල තීරණය කරන බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි. කොමිස් ගසා රටට හානි කළ පුද්ගලයන් නිලයෙන් ඉවත්වීමෙන් පමණක් එම හානිය අවසන් නොවන බවත්, එය තවදුරටත් රටට බරක් ලෙස පවතින බවත් ඔහු අවධාරණය කළේය.

ඊයේ (ජූලි 1) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය. “දැනට අපිට ජනතාවට සාධාරණයක් කරන්න පුළුවන් සහ තෙල් සංස්ථාවේ තියෙන ණය ගෙවන්න පුළුවන් පහුගිය කාලේදී තෙල් මිලදී ගැනීමේදී සිදුවුණු අක්‍රමිකතාවයන්ට දැනුත් අපි වන්දි ගෙවමින් ඉන්නේ.”

මෙම අක්‍රමිකතාවන් කළමනාකරණය කර ගැනීමට මේ අවස්ථාවේ තිබෙන සාධාරණ ක්‍රමවේදය දැනට පවතින මිල සූත්‍රය බව ඔහු පෙන්වා දුන්නේය. තෙල් සංස්ථාවට ණය ගෙවීමට නොතිබුණානම් සහ අතීතයේ මෙවැනි වංචා සිදු නොවූවානම් ජනතාවට මීට වඩා සාධාරණයක් ඉටු කළ හැකිව තිබූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

“මොකද පහුගිය ආණ්ඩුව කරපුවා ඒ ඇමතිවරු ගෙදර ගිය පමණින් අවසන් වෙන්නේ නෑ. පාඩුව ඉස්සරහට එනවා. ඒවත් ගණන් හදමින් තමයි ජනතා මත අවම වශයෙන් බර පටවමින් මේ ගමන අපි ගමන් කරමින් ඉන්නේ” අමාත්‍ය ජයතිස්ස පැහැදිලි කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, “කොමිස් ගහපුවා කොමිස් ගහපු කෙනා ගෙදර ගිය ගමන් ඉවර වෙන්නේ නැහැ. එයා ගෙදර නතර වුණාට කොමිස් එක අපිට බරක් හැටියට තව කාලයක් ඉස්සරහට දිවෙනවා. ඒවටත් වන්දි ගෙවමින් තමයි අපි ඉස්සරහට යන්නේ.” සමහර තෙල් මිලදී ගැනීම්වලදී ඒ කාලයේදී එතරම් මාජින් තබා නොගත්තානම් ජනතාවට මීට වඩා අඩුවට තෙල් ලබා දිය හැකිව තිබූ බවද ඔහු කියා සිටියේය.

කොමිස් ගැසූ පුද්ගලයන් නිලයෙන් ඉවත්වුවද, එම කොමිස්වල බලපෑම තව තවත් කාලයක් පවතින බව අමාත්‍යවරයා අවසන් වශයෙන් සිහිපත් කළේය. මෙම ප්‍රකාශයන් මගින් අතීතයේ සිදුවූ දූෂණවල ප්‍රතිවිපාක වත්මන් ආර්ථික තත්ත්වය කෙරෙහි බලපාන ආකාරය සහ එහි බර අවසානයේ ජනතාව වෙත පැවරෙන ආකාරය පිලිබඳව බරපතල ගැටලු මතු කරයි.

කෙසේ වෙතත්, අමාත්‍ය ජයතිස්සගේ මෙම ප්‍රකාශයන්, ඔහු සහ ඔහුගේ වත්මන් ආණ්ඩුවේ සෙසු සාමාජිකයන් විපක්ෂයේ සිටියදී පැවසූ දේට හාත්පසින්ම වෙනස් බවට මේ වන විට දැඩි විවේචනයක් එල්ල වී තිබේ. ආණ්ඩුවට ඒමට පෙර, ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ එවකට පැවති පාලකයන්ගේ දුෂණය, අක්‍රමිකතා සහ කොමිස් ගැසීම් බවයි. එමෙන්ම, තමන් බලයට පැමිණි විට වහාම ජනතාවට සහන සලසන බවටත්, ඉන්ධන මිල අඩු කරන බවටත් ඔවුන් පොරොන්දු විය.

නමුත් අද වන විට අමාත්‍ය ජයතිස්ස පවසන්නේ “පහුගිය කාලේදී තෙල් මිලදී ගැනීමේදී සිදුවුණු අක්‍රමිකතාවයන්ට දැනුත් අපි වන්දි ගෙවමින් ඉන්නේ” කියාය. එසේනම්, ආණ්ඩුවට පැමිණීමෙන් පසු මෙම අක්‍රමිකතා නතර කිරීමට හෝ ඒවායේ බර ජනතාවට දැනෙන්නේ නැති ආකාරයට කළමනාකරණය කිරීමට ඔවුන් අපොහොසත් වූයේ මන්දැයි ප්‍රශ්න කිරීම සාධාරණය.

“පහුගිය ආණ්ඩුව කරපුවා ඒ ඇමතිවරු ගෙදර ගිය පමණින් අවසන් වෙන්නේ නෑ. පාඩුව ඉස්සරහට එනවා” යැයි අමාත්‍යවරයා පවසන්නේ නම්, එම පාඩුව නැති කිරීමට හෝ එය ජනතාවට නොදැනෙන සේ කිරීමට වත්මන් ආණ්ඩුවට ඇති හැකියාව කුමක්ද? විපක්ෂයේ සිටියදී මෙම “පාඩු” ක්ෂණිකව අවසන් කළ හැකි බවට විශ්වාසය පළ කළ අයට, දැන් එම “පාඩු” තවදුරටත් ඉදිරියට එන්නේ කෙසේද?

අතීතයේ සිදුවූ අක්‍රමිකතා නිසා ඇති වූ බර, මිල සූත්‍රය නම් “සාධාරණ ක්‍රමවේදයක්” මගින් ජනතාවට පැටවීම කොතරම් දුරට සාධාරණද යන්නත් මෙහිදී ගැටලුවකි. විපක්ෂයේ සිටියදී මිල සූත්‍රය දැඩි ලෙස විවේචනය කළ පිරිසක්, දැන් එය “සාධාරණ ක්‍රමවේදයක්” ලෙස නම් කරන්නේ කෙසේද?

කොමිස් ගැසූවන් ගෙදර ගිය පමණින් හානිය අවසන් නොවන බව පිළිගන්නේ නම්, එම කොමිස් මුදල් නැවත ලබා ගැනීමට හෝ වගකිවයුත්තන්ට දඬුවම් කිරීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? මන්ද, එවැනි ක්‍රියාමාර්ග මගින් අනාගතයේ සිදුවිය හැකි අක්‍රමිකතා වළක්වා ගැනීමටත්, අතීත හානිය අවම කර ගැනීමටත් හැකි වනු ඇත. එසේ නොමැතිව, හුදෙක් “පසුගිය ආණ්ඩුවේ වැරදි” ලෙස පෙන්වා දීමෙන් පමණක් වත්මන් ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නැත.

අමාත්‍ය නලින්ද ජයතිස්සගේ මෙම ප්‍රකාශයන්, දේශපාලනඥයන් බලයට ඒමට පෙර එක් ආකාරයකටත්, බලයට පැමිණි පසු තවත් ආකාරයකටත් කතා කරන ආකාරය පිලිබඳව නැවත වරක් පුළුල් මහජන විවාදයක් ඇති කිරීමට සමත් වී තිබේ. අතීතයේ කළ වැරදිවලට ජනතාවට දිගින් දිගටම වන්දි ගෙවීමට සිදුවන්නේ නම්, පත්වන සෑම රජයකටම මෙය නිදහසට කරුණක් කරගෙන ජනතාව මත බර පැටවීමට හැකි වනු ඇත.

Add to cart