රෝහල් රෝගීන්ට ගුණාත්මක ආහාර වේලක් ලබාදීමට නව වැඩපිළිවෙළක්

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාර වේලක් ඔවුන්ගේ ප්‍රියතාවය ඇතිවන අයුරින් ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

මෙම නව වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතිය ලෙස, මහනුවර අපේක්ෂා රෝහල කේන්ද්‍ර කරගනිමින් එය ආරම්භ කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (ජූලි 05) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ, ප්‍රනීත හා ගුණදායක ආහාර වේලක් ප්‍රියමනාපව රෝගියාට ලබා දීමේ අරමුණින් මහනුවර අපේක්ෂා රෝහලෙන් ආරම්භ කරන මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේදී මෙරට සියලුම රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාරපාන ලබා දීම සඳහා අති විශාල මුදලක් වැය කරන බවත්, නමුත් එම මුදලට සාධාරණයක් ඉටුවන්නේද යන්න පිළිබඳව ගැටලු මතුවන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම නව වැඩපිළිවෙළ මගින් එම ගැටලුවට විසඳුම් ලබාදීමට අපේක්ෂා කෙරේ.


පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනාගේ අසුන අනතුරේ? මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට!

 

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (ජූලි 2) අවසර දී තිබේ.

කෙසේ වෙතත්, පෙත්සම්කරුගේ ඉල්ලීම පරිදි, අර්ච්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මේ මොහොතේ නිකුත් නොකරන බව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කරන ලදී.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි. මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසිනි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආශෝක් බරන් මහතා අධිකරණය හමුවේ තර්ක කළේ, අර්ච්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිටි අතර, ඔහු වැඩ තහනමට ලක්ව සිටි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, රජයේ සේවකයෙකුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සුදුසුකම් නොමැති බැවින්, ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය හිමිකමක් නොමැති බව නීතීඥ බරන් මහතා කියා සිටියේය.

අනෙක් අතට, රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න මහතා අවධාරණය කළේ, සිය සේවා දායකයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී වැටුප් රහිතව වැඩ තහනමට ලක්ව සිටි බවයි. එම හේතුව නිසා, එම අවස්ථාවේදී ඔහුව රජයේ සේවකයෙකු ලෙස සැලකිය නොහැකි බවත්, ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නීතිමය බාධාවක් නොමැති බවත් නීතීඥ දයාරත්න මහතා තර්ක කළේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන්නේය. මෙම නඩුව නැවත අගෝස්තු මස 01 වනදා කැඳවීමට නියමිතයි.

කොමිස් ගහපුවා කොමිස් ගහපු කෙනා ගෙදර ගිය ගමන් ඉවර වෙන්නේ නැහැ. නලින්ද ඉන්ධන මිල වැඩිවීමට හේතු කියයි

පසුගිය කාලසීමාවන්හි ඉන්ධන මිලදී ගැනීම්වලදී සිදුවූ අක්‍රමිකතාවයන්ට දැනටත් වන්දි ගෙවමින් සිටින බවත්, එම බර කළමනාකරණය කරගනිමින් මිල සූත්‍රය අනුව ඉන්ධන මිල තීරණය කරන බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි. කොමිස් ගසා රටට හානි කළ පුද්ගලයන් නිලයෙන් ඉවත්වීමෙන් පමණක් එම හානිය අවසන් නොවන බවත්, එය තවදුරටත් රටට බරක් ලෙස පවතින බවත් ඔහු අවධාරණය කළේය.

ඊයේ (ජූලි 1) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය. “දැනට අපිට ජනතාවට සාධාරණයක් කරන්න පුළුවන් සහ තෙල් සංස්ථාවේ තියෙන ණය ගෙවන්න පුළුවන් පහුගිය කාලේදී තෙල් මිලදී ගැනීමේදී සිදුවුණු අක්‍රමිකතාවයන්ට දැනුත් අපි වන්දි ගෙවමින් ඉන්නේ.”

මෙම අක්‍රමිකතාවන් කළමනාකරණය කර ගැනීමට මේ අවස්ථාවේ තිබෙන සාධාරණ ක්‍රමවේදය දැනට පවතින මිල සූත්‍රය බව ඔහු පෙන්වා දුන්නේය. තෙල් සංස්ථාවට ණය ගෙවීමට නොතිබුණානම් සහ අතීතයේ මෙවැනි වංචා සිදු නොවූවානම් ජනතාවට මීට වඩා සාධාරණයක් ඉටු කළ හැකිව තිබූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

“මොකද පහුගිය ආණ්ඩුව කරපුවා ඒ ඇමතිවරු ගෙදර ගිය පමණින් අවසන් වෙන්නේ නෑ. පාඩුව ඉස්සරහට එනවා. ඒවත් ගණන් හදමින් තමයි ජනතා මත අවම වශයෙන් බර පටවමින් මේ ගමන අපි ගමන් කරමින් ඉන්නේ” අමාත්‍ය ජයතිස්ස පැහැදිලි කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, “කොමිස් ගහපුවා කොමිස් ගහපු කෙනා ගෙදර ගිය ගමන් ඉවර වෙන්නේ නැහැ. එයා ගෙදර නතර වුණාට කොමිස් එක අපිට බරක් හැටියට තව කාලයක් ඉස්සරහට දිවෙනවා. ඒවටත් වන්දි ගෙවමින් තමයි අපි ඉස්සරහට යන්නේ.” සමහර තෙල් මිලදී ගැනීම්වලදී ඒ කාලයේදී එතරම් මාජින් තබා නොගත්තානම් ජනතාවට මීට වඩා අඩුවට තෙල් ලබා දිය හැකිව තිබූ බවද ඔහු කියා සිටියේය.

කොමිස් ගැසූ පුද්ගලයන් නිලයෙන් ඉවත්වුවද, එම කොමිස්වල බලපෑම තව තවත් කාලයක් පවතින බව අමාත්‍යවරයා අවසන් වශයෙන් සිහිපත් කළේය. මෙම ප්‍රකාශයන් මගින් අතීතයේ සිදුවූ දූෂණවල ප්‍රතිවිපාක වත්මන් ආර්ථික තත්ත්වය කෙරෙහි බලපාන ආකාරය සහ එහි බර අවසානයේ ජනතාව වෙත පැවරෙන ආකාරය පිලිබඳව බරපතල ගැටලු මතු කරයි.

කෙසේ වෙතත්, අමාත්‍ය ජයතිස්සගේ මෙම ප්‍රකාශයන්, ඔහු සහ ඔහුගේ වත්මන් ආණ්ඩුවේ සෙසු සාමාජිකයන් විපක්ෂයේ සිටියදී පැවසූ දේට හාත්පසින්ම වෙනස් බවට මේ වන විට දැඩි විවේචනයක් එල්ල වී තිබේ. ආණ්ඩුවට ඒමට පෙර, ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ එවකට පැවති පාලකයන්ගේ දුෂණය, අක්‍රමිකතා සහ කොමිස් ගැසීම් බවයි. එමෙන්ම, තමන් බලයට පැමිණි විට වහාම ජනතාවට සහන සලසන බවටත්, ඉන්ධන මිල අඩු කරන බවටත් ඔවුන් පොරොන්දු විය.

නමුත් අද වන විට අමාත්‍ය ජයතිස්ස පවසන්නේ “පහුගිය කාලේදී තෙල් මිලදී ගැනීමේදී සිදුවුණු අක්‍රමිකතාවයන්ට දැනුත් අපි වන්දි ගෙවමින් ඉන්නේ” කියාය. එසේනම්, ආණ්ඩුවට පැමිණීමෙන් පසු මෙම අක්‍රමිකතා නතර කිරීමට හෝ ඒවායේ බර ජනතාවට දැනෙන්නේ නැති ආකාරයට කළමනාකරණය කිරීමට ඔවුන් අපොහොසත් වූයේ මන්දැයි ප්‍රශ්න කිරීම සාධාරණය.

“පහුගිය ආණ්ඩුව කරපුවා ඒ ඇමතිවරු ගෙදර ගිය පමණින් අවසන් වෙන්නේ නෑ. පාඩුව ඉස්සරහට එනවා” යැයි අමාත්‍යවරයා පවසන්නේ නම්, එම පාඩුව නැති කිරීමට හෝ එය ජනතාවට නොදැනෙන සේ කිරීමට වත්මන් ආණ්ඩුවට ඇති හැකියාව කුමක්ද? විපක්ෂයේ සිටියදී මෙම “පාඩු” ක්ෂණිකව අවසන් කළ හැකි බවට විශ්වාසය පළ කළ අයට, දැන් එම “පාඩු” තවදුරටත් ඉදිරියට එන්නේ කෙසේද?

අතීතයේ සිදුවූ අක්‍රමිකතා නිසා ඇති වූ බර, මිල සූත්‍රය නම් “සාධාරණ ක්‍රමවේදයක්” මගින් ජනතාවට පැටවීම කොතරම් දුරට සාධාරණද යන්නත් මෙහිදී ගැටලුවකි. විපක්ෂයේ සිටියදී මිල සූත්‍රය දැඩි ලෙස විවේචනය කළ පිරිසක්, දැන් එය “සාධාරණ ක්‍රමවේදයක්” ලෙස නම් කරන්නේ කෙසේද?

කොමිස් ගැසූවන් ගෙදර ගිය පමණින් හානිය අවසන් නොවන බව පිළිගන්නේ නම්, එම කොමිස් මුදල් නැවත ලබා ගැනීමට හෝ වගකිවයුත්තන්ට දඬුවම් කිරීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? මන්ද, එවැනි ක්‍රියාමාර්ග මගින් අනාගතයේ සිදුවිය හැකි අක්‍රමිකතා වළක්වා ගැනීමටත්, අතීත හානිය අවම කර ගැනීමටත් හැකි වනු ඇත. එසේ නොමැතිව, හුදෙක් “පසුගිය ආණ්ඩුවේ වැරදි” ලෙස පෙන්වා දීමෙන් පමණක් වත්මන් ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නැත.

අමාත්‍ය නලින්ද ජයතිස්සගේ මෙම ප්‍රකාශයන්, දේශපාලනඥයන් බලයට ඒමට පෙර එක් ආකාරයකටත්, බලයට පැමිණි පසු තවත් ආකාරයකටත් කතා කරන ආකාරය පිලිබඳව නැවත වරක් පුළුල් මහජන විවාදයක් ඇති කිරීමට සමත් වී තිබේ. අතීතයේ කළ වැරදිවලට ජනතාවට දිගින් දිගටම වන්දි ගෙවීමට සිදුවන්නේ නම්, පත්වන සෑම රජයකටම මෙය නිදහසට කරුණක් කරගෙන ජනතාව මත බර පැටවීමට හැකි වනු ඇත.

යෝෂිත සහ ඩේසි ආච්චිට අධි චෝදනා!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට්ට එරෙහිව අද (ජූලි 02) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබීය. මෙම අධි චෝදනා ගොනු කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වන තවත් නඩුවක් සඳහා වීම විශේෂත්වයකි.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවිය. චෝදනා භාරදීමෙන් අනතුරුව, විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

කැස්බෑවේ අඳුරු සෙවණැල්ල ලොකුගේ නික්ම යයි!

ශ්‍රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක චරිතයක් වූ ගාමිණී ලොකුගේ, වසර 17ක එක්සත් ජාතික පක්ෂ (එජාප) පාලන සමයෙන් වැඩි කාලයක් පුරා කැස්බෑවේ අසීමිත බලවතෙකු ලෙස කටයුතු කළේය. ඔහුගේ දේශපාලන බලය අභියෝගයට ලක් වූයේ 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නැගී ඒමත් සමඟය. චන්ද්‍රිකාගේ පාර්ශ්වයෙන් පැමිණි චන්දන කත්‍රිආරච්චි ලොකුගේගේ ආධිපත්‍යය බිඳ දැමීමට උත්සාහ කළද, එය එතරම් සාර්ථක වූයේ නැත. පසු කලෙක කත්‍රිආරච්චි මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වයට එක් වූවත්, අද වන විට ඔහු දේශපාලන සිතියමෙන් මැකී ගොස් ඇත. කැස්බෑවේ ඩික්සන් ජේ. පෙරේරාට ද මෙවැනිම ඉරණමක් අත් විය. එහෙත් ලොකුගේ, තම මරණය දක්වාම නම කියවෙන, ප්‍රශ්නකාරී දේශපාලකයෙකු ලෙස රැඳී සිටියේය.

ආණ්ඩු බලය නොතිබූ කාලවකවානුවක වුවද, ලොකුගේගේ දේශපාලන ග්‍රහණය ලිහිල් වූයේ නැත. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගන්නා විට, චන්ද්‍රිකා කඳවුරේ අනෙකුත් අයට මෙන්ම කත්‍රිආරච්චිට ද පසුබෑමකට ලක් වීමට සිදු විය. මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ, ශක්තිමත් එජාප දේශපාලනඥයන් තමා වෙතට එක් කර ගැනීමේ ඔහුගේ උපාය මාර්ගය යටතේ, මුලින්ම එක් වූ අය අතර ලොකුගේ ද විය. මහින්ද සහ ලොකුගේ අතර පැවති ව්‍යාපාරික සබඳතා පිළිබඳ කටකතා පැතිර ගිය අතර, මෑතකදී ඇති වූ අරගල සමයේදී ලොකුගේගේ “ලොකු ගේ” ගිනිබත් වීම එම සම්බන්ධතා පිළිබඳව තවත් ප්‍රශ්න මතු කළේය.

අභාවප්‍රාප්ත වන තුරුම මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතෙකු මෙන්ම පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට ලොකුගේට හැකි විය. වසර 82ක දීර්ඝ ආයු කාලයක් භුක්ති විඳි ඔහු, දූෂණ ඇතුළු බරපතල චෝදනා සහ කෝටි ගණනක් වටිනා දේපළ පසුවට ඉතිරි කරමින් මෙලොවින් සමුගත්තේය. ඔහුගේ දේශපාලන ගමන පුරාවටම අයථා ක්‍රියා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා ඔහු පසුපස හඹා ආවේය.

මාලිමාවේ වසන්ත සමරසිංහට දේපල වංචා චෝදනා – ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්!

දූෂණ විරෝධී පෙරමුණේ නායක, වත්මන් මාලිමා ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය වසන්ත සමරසිංහ සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල බරපතල හෙළිදරව්වක් සිදු කර ඇත. ගම්මන්පිල පෙන්වා දෙන්නේ වෘත්තීය සමිතියකට අයත් දේපලක් වංචනික ලෙස අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස අධිකරණයේ පවතින නඩුවකට අදාළව, වසන්ත සමරසිංහ මහතාව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි. එහෙත්, මේ දක්වා පොලිසිය ඒ සඳහා අපොහොසත් වී ඇති බවට ඔහු චෝදනා කරයි.

මෙම ආන්දෝලනාත්මක ගනුදෙනුවට මාලිමා රජයේ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන මහත්වරුන්ද පාර්ශවකරුවන් වන බව ගම්මන්පිල සිය YouTube නාලිකාව ඔස්සේ පැහැදිලි කළේය. මෙම හෙළිදරව්ව සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති අතර, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල ස්වාධීනත්වය පිළිබඳව ප්‍රශ්න මතු කර තිබේ.

ගම්මන්පිලගේ මෙම විශේෂ වැඩසටහනේදී, සහල් අර්බුදය, උතුරේදී ධීවර අමාත්‍යවරයාට එල්ල වූ විරෝධය පිටුපස ක්‍රියාත්මක වූ බලවේග, නැවතත් උග්‍ර වී ඇති රේගු බහාලුම් තදබදය, සූර්ය බලශක්තියට මාලිමා රජයෙන් ලැබෙන අඩු සැලකිලි සඳහා හේතු, සහ ඉරාන-ඊශ්‍රායල් සටන් විරාමයේ නවතම තොරතුරු ඇතුළු කාලීන කරුණු රැසක් ද සාකච්ඡාවට බඳුන් විය.

මෙම චෝදනා මාලිමා ආණ්ඩුවට සහ එහි ප්‍රමුඛ සාමාජිකයන්ට එල්ල වන විට, ජනතාවගේ අවධානය යොමු වී ඇත්තේ මෙම චෝදනාවල සත්‍යතාව සහ ඒවාට නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවය.

 

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා 13ක්

අද (26) ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළේය.

එම අධිචෝදනා පත්‍රය චෝදනා 13කින් සමන්විත වේ.

2022 වසරේ ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, රට තුළ පැවති ආර්ථික අර්බුදයට මුවාවී, පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලින් වෙනස් කිරීමට ලක්කර සෞඛ්‍ය අංශ විසින් ඖෂධ මිලදී ගැනීමක් සිදුකර තිබුණි.

මහනුවර, මාතලේ සහ කොළඹ යන ප්‍රදේශවල රෝගීන් තිදෙනෙකුට සංකූලතා මතුවූයේ මෙලෙස මිලදීගත් ඖෂධ වර්ග අතර තිබූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නැමැති ප්‍රතිදේහ භාවිත කළ ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුකරමින්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ ලද පැමිණිලි 02ක් පාදක කරගනිමින් විමර්ශනයක් ආරම්භ කළේය.

පසුව පුද්ගලයින් 12 දෙනකු සැකකරුවන් ලෙස නම්කරමින් එකී විමර්ශනය අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කටයුත්තක් ආරම්භ කෙරුණේය.

ඒ ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයුම්කරු වන සුදත් ජනක ප්‍රනාන්දු, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත ඇතුළු සෞඛ්‍ය අංශවල ඉහළ නිලධාරින් පිරිසකි.

පළමු සැකකරු වන ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයූ සැපයුම්කරු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර, නඩුවේ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතකර සිට පසුව ඇප මත මුදාහැර ඇත.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කියාසිටියේ, එවන් පසුබිමක පසුගිය 19 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අවසන්වරට විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිදුවීම සම්බන්ධයෙන් වසරකුත් මාස 08යි දින 06ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන මේවනවිට අවසන් කෙරුණු බවයි.

ඒ අනුව මෙම නඩුව විභාගකිරීම සඳහා අගවිනිසුරුවරිය විසින් පත්කර ඇති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රමුඛ විත්තිකරුවන්ට එරෙහිව අද අධිචෝදනා ගොනුකෙරුණි.

මෙලෙස මහාධිකරණ විනිසුරුවන් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුවරු මඩුල්ල හමුවේ අධිචෝදනා ගොනුකිරීම සිදුකෙරුණේය.

ඒ හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොක්සිමැබ් නැමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන්.

අධිචෝදනා පත්‍රයට අනුව නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 350කට ආසන්න සංඛ්‍යාවක් සහ නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

 

ශ්‍රී ලංකාව ඉරාන-ඊශ්‍රායල් සටන් විරාමයක් සහ කලාපීය සාමයක් ඉල්ලයි

විදේශ අමාත්‍ය විජිත හේරත් මෑතකදී ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා හමුවී , ඊශ්‍රායලය සහ ඉරානය අතර යෝජිත සටන් විරාමය කෙරෙහි අවධානය යොමු කළ තීරණාත්මක සාකච්ඡාවක නිරත වී තිබේ.

මැදපෙරදිග කලාපයේ කල් පවතින සාමය සහ ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා තිරසාර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නවල අතිශයින් වැදගත් බව සාකච්ඡා මගින් අවධාරණය කළ බවයි අමාත්‍ය හේරත් සිය නිල X ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කළේ. තවදුරටත් ගැටුම් උත්සන්න වීම කලාපයට සහ ශ්‍රී ලංකාවට සිදුකරන බලපෑම් පිළිබඳව මෙන්ම ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වු බව විජිත හේරත් අමාත්‍යවරයා සිය සටහන මඟින් දැනුම් දී ඇත.

මේ අතර ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉදිරි සතියේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

එම සාකච්ඡාචලින් අනතුරුව ගිවිසුමකට ද එළඹීමට හැකි වනු ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
අමාත්‍ය හේරත් සහ ඉරාන තානාපතිවරයා අතර පැවති හමුව, ජාත්‍යන්තර ගැටුම්, මෙන්ම විශේෂයෙන් ගෝලීය බලපෑමක් ඇති කළ හැකි ගැටුම් සඳහා සාමකාමී විසඳුම් ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කාර්යභාරය පෙන්නුම් කරයි.

වැඩ තහනමට ලක් වූ උපුල්දෙණියට අධිකරණයෙන් දුන් තීන්දුව

වැඩ තහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළැඹෙන ජූලි 9 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

ජනාධිපති සමාව මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අදාළ නඩුව අද (ජුනි 25) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන් බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

රහස් ඡන්දය සහ ඡන්දදායකයාගේ ඇසට වැලි ගැසීම

කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ක්‍රියාවලිය තුළ රහස් ඡන්දය සහ විවෘත ඡන්දය සම්බන්ධයෙන් වන විවාදයක් මේ වන විට සමාජය තුළ පවතී. විශේෂයෙන් ම ජාතික ජන බලවේගය සහ කොමසාරිස්වරිය මෙහිදී ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් දේශපාලන ලෝකය තුළ විසම්මුතියක් පවතී.

රහස් ඡන්දය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වන කරු පරණවිතාන විසින් තම ෆේස් බුක් ගිණුමේ තැබූ සටහනකි.

රහසින් වත් පව් නොකරන්නවුන් ලෙස පෙනී සිටිය ද, දේශපාලන බලය හමුවේ ඕනෑම දේශපාලන කැත වැඩක් යුක්ති සහගත කරගැනීමේ තර්ක එකී සාදාචාරවාදීන් ද අවස්ථාව පැමිණි විට පාවිච්චි කරනු ඇත. එය මැකියාවෙලියානු යථාර්ථයකි. රහස් ඡන්දයට ද, එය අදාළ ය. මේ ලියන්නේ ඒ ගැන නොවේ. රහස් චන්දය හා මෙි යුගයේ ප්‍රජාතන්ත්‍රවාදය අතර පරස්පරයක් ඇති බව පැවසීමටය.

මේ යුගයේ ප්‍රජාන්ත්‍රවාදී ආණ්ඩුකරණයට අදාළ වන්නේ විවෘත ආණ්ඩු ප්‍රවර්ධනයයි. ව්වෘත ආණ්ඩු යුගයේ දේශපාලන එකඟතාද විවෘත විය යුතුය. එසේම සමානුපාතික මැතිවරණ ක්‍රමයකට බර තබා සකස් කර තිබෙන ක්‍රමයක් ඇතුළත පක්ෂයේ/කණ්ඩායමේ පොදු මතය ඉක්මවා මන්ත්‍රී වරුන්ගේ පුද්ගලික කැමැත්තට අනුව කටයුතු කිරීමට ඉඩ දීම යනු තවත් පරස්පරයකට ඉඩදීමක් හා අරාජිකත්වයකට පාර කපා ගැනීමකි. මේවා කිරීමෙන් අද විඳින ජොලිය හෙට නැතිවන බව අමතක කළ යුතු නැත.

රහස් චන්දය තව දුරටත් භාවිත කිරීමේ අයිතිය දිය යුත්තේ ජනතා නියෝජිතයන් මැතිවරණවල දී තෝරා පත්කරගන්නා චන්දදායකයාට පමණි. එසේ පත්වන ජනතා නියෝජිතයන්ටද රහස් චන්ද වරප්‍රසාදය හිමි වන විට වැලි වදින්නේ චන්දදායකයාගේම ඇසටය. මේ ඡන්දදායකයා තමන්ගේම ඇස්වලට කැමැත්තෙන් වැලිගස්සවා ගන්නා නාටක අප ඉදිරියේ රඟ දැක්වෙන මොහොතකි..

Add to cart