කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ රාමනාදපුරම් පොලිස් වසමේ සුඩලකුලම් ප්‍රදේශයෙන් බරපතල සිද්ධියක් වාර්තා වේ. නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය කිළිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් පිරිසකට පහර දී ඔවුන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු මුදාගෙන පලා යාමට මැර පිරිසක් සමත් වී ඇත. මෙම කණ්ඩායම යකඩ පොලු සහ ලී පොලු රැගෙන පැමිණ නිලධාරීන්ට පහර දී තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට කිළිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් රාමනාදපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වහාම විමර්ශන ආරම්භ කර ඇත. නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු සහ සැකකාරියන් 05 දෙනෙකු ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිමි සැකකරුවන් වයස අවුරුදු 16 ත් 32 ත් අතර වන අතර, කාන්තා සැකකාරියන් වයස අවුරුදු 26 ත් 45 ත් අතර වයස්වල පසුවන රාමනාදපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. මෙම සැකකරුවන් හා සැකකාරියන් වැඩිදුර නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, රාමනාදපුරම් පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

